“මහත්තයා ඒකට කැමති නැත්නම් ලිහිණි, උඹ ඕක ඔච්චරම අල්ලගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද බං?
පිරිමියෙක්ගේ හිත රිද්දලා ලබන රස්සාවෙන් ඇති වැඩේ මොකක්ද කියපංකො. මහත්තයා කියන්නේ උගත්, වැදගත් මනුස්සයෙක් කියලා උඹම නේද අපිට කිව්වෙ. උඹට කිසිම දේකින් අඩුපාඩුවක් කරලා නෑනේ ඒ මනුස්සයා. රත්තරන් බඩු ටික, අඳින පළඳින ඇඳුම් පැළඳුම්, ඉන්න මාලිගාවක් වගේ ගේ, කෑම බීම ටික මේ හැමදේම දීලා තියෙද්දී උඹ මොකටද ඔය රස්සාවකට යන්න කියලා දඟලන්නේ?
උඹ කොහොමත් මහ මුරණ්ඩු එකී ලිහිණි. පොඩි කාලේ ඉඳලම හැමදේම උඹට ඕන විදියටමයි කරන්න හැදුවේ. දැන් කසාද බැඳලත් උඹේ ඔය ගතිගුණ ගිහින් නෑනේ. පිරිමියෙක් සද්ද නැති වෙන්නේ හිතේ ලොකු අමාරුවක් තියාගෙන. උඹ කියන විදියට මහත්තයා උඹට කතා කරන්නේ නැතුව ඉන්නවා නම්, ඒ කියන්නේ ඒ මනුස්සයා උඹෙන් ඒ තරමටම කලකිරිලා. පවුල් ජීවිතයක් වුණාම එකෙක් නැමෙන්න ඕනේ ලිහිණි. උඹේ ඔය මහ ලොකු හිතුවක්කාරකම හන්ද වෙන්නේ අන්තිමට තියෙන සැනසීමත් නැති වෙන එක. රස්සාවල් ඕන වෙලාවක හොයාගන්න පුළුවන්, ඒත් මහත්තයා වගේ රත්තරන් මනුස්සයෙක් උඹෙන් ඈත් වුණොත් උඹට ආයෙත් ඒ වගේ කෙනෙක් හම්බවෙයිද?
අපේ කාලේ අපිත් ඕන තරම් දේවල් ඉවසුවා. තාත්තා බැන්නා කියලා, රණ්ඩු වුණා කියලා අපි ගෙවල් අතෑරලා ගියේ නෑනේ. උඹ දැන් ලොකු ළමයෙක්, මොලේ කල්පනා කරලා වැඩ කරන්න බලපන්. මහත්තයා ගාවට ගිහින් වෙච්ච දේට සමාවෙන්නය කියලා ඔය රස්සාව අතෑරලා දාපන්. පිරිමියෙක්ගේ හෙවනැල්ල යට ඉන්න එක ගෑනියෙක්ට මහා ලොකු හයියක්. උඹ ඔය රස්සාවෙන් හොයන තුට්ටු දෙක හන්ද උඹේ පවුල විනාශ කරගන්න එපා ලිහිණි. උඹේ ඔය මට ඕන විදියටමයි වෙන්න ඕනේ කියන මතේ හිටියොත් උඹට අන්තිමට ඉතුරු වෙන්නේ තනිකම විතරයි.” කියලා අම්මා බණිද්දි ඇත්තටම මට පුදුම හිතුණා අම්මා මේ පොඩි කාලෙට ඔච්චර ඉක්මනට මනුසත් ගැන අම්මගෙ හිතේ තිබිච්ච හැඟීම වෙනස් කරගත්තෙ කොහොමද කියන එක ගැන.
ඇත්තම කිව්වොත් මනුසත් සහ මම අතර ලොකුම ප්‍රශ්න පටන් ගත්තේ එදා රෑ ඇතිවෙච්ච ඒ කතාබහෙන් පස්සේ. ඒ වචන මගේ හිතේ කොච්චර තදින් වැදුණද කියනවා නම්, මනුසත් කියන චරිතෙ ගැන මගේ හිතේ තිබ්බ අන්තිම ගෞරවයත් එදා රෑ ඒ අන්ධකාරෙම දියවෙලා ගියා.
අපි දෙන්නා එකම ගෙදරක, එකම වහලක් යට නන්නාදුනන මිනිස්සු දෙන්නෙක් වගේ ජීවත් වෙන්න පටන් ගත්තා. එකම ඇඳේ නිදාගත්තත් අපේ හිත් තිබුණේ සැතපුම් දහස් ගාණක් ඈතින්. උදේට මම නැගිටලා මගේ වැඩ ටික කරගෙන ඔෆිස් යන්න ලෑස්ති වෙද්දී මනුසත් ජීවත් වුණේ හරියට මම කියලා කෙනෙක් නැති ගාණට. එයාගේ ඒ නොසලකා හැරීම හරියට මුවහත් කරපු පිහියක් වගේ මගේ හිත හාරන්න ගත්තා වුණාට “මනුසත්ට සෙකන්ඩ් වෙන්න බෑ” කියලා කිව්ව මගෙ හිත හන්දම මම උන්නෙ ඒ කිසිම දේකට අබමල් රේණුවක රියැක්ශන් එකක් පෙන්නන්නෙ නැතුව.
“මම යනවා” කියලා මම ගෙදරින් පිට වෙන්න කලින් දොර ගාවදී හෙමින් කිව්වත්, මනුසත් පත්තරේට හරි ෆෝන් එකට හරි ඔලුව ඔබාගෙන හිටියා මිසක් අඩුම තරමේ මං දිහා බැලුවේවත් නෑ. මම හිතුවේ මනුසත් බනියි, රණ්ඩු වෙයි කියලා. ඒත් ඒ නිහඬතාවය ඊට වඩා මහා භයානකයි කියලා මට තේරුණේ දවස් කිහිපයක් යද්දී.
මනුසත්ට ඕන වුණේ මාව අත ඇරලා දාලා මට රිද්දන්න. එයා හිතුවේ එයා මට කතා නොකර ඉද්දී, මාව තනි කරද්දී මම ආයෙත් දණගාගෙන එයා ගාවට ඇවිත් සමාව ඉල්ලයි කියලා. “අනේ මනුසත්, මට ඔයා නැතුව බෑ, මම ජොබ් එක අත අරින්නම්” කියලා මම කියනකල් එයා මග බලන් උන්න විත්තිය මට තේරුණේ එයා කූල් ඩවුන් වෙන්නෙ නැතුව මේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එකෙන් මාව දිගින් දිගටම රිද්දද්දි. බොරු කියන්න ඕන නෑනෙ සමහර තැන්වලදි මට ඇත්තටම හිතුණා “මනුසත් තරම් වටිනවද මේ රස්සාව? රස්සාව අත ඇරලා ගෙදෙට්ට වෙලා ඉන්නවා. මනුසත් මට කන්න බොන්න ඔක්කොම ඕන කරන ජාති අරගෙන දෙනවනෙ” කියලා. ඒ උනාට මම ඒ වෙද්දි දැනගෙන උන්නා මගේ හිත කියන දේට ඇහුන්කම් දෙන්නෙ නැතුව ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න.
හැබැයි මනුසත් ඒක දැනගෙන උන්නෙ නෑ.
එයාගේ මේ සයිලන්ට් ට්‍රීම්මන්ට් මාව වට්ටනවා වෙනුවට මාව තවත් හයිය කළා කියන එක. හැමදාම හවසට මම ගෙදර එද්දී මනුසත් ගෙදර හිටියේ නෑ. එයා හිතාමතාම රෑ වෙනකල් භානුකීලගේ ගෙදර හරි එයාගේ යාළුවෙක්ගේ ගෙදර හරි කාලෙ ගත කරන්න සූදානම් කරගෙන තිබ්බා. රෑට උයලා තිබ්බ කෑම මේසෙ උඩ ඒ විදියටම සීතල වෙවී තිබ්බා. මනුසත් ඒවයින් කටක්වත් කෑවේ නෑ.
මං වත් කවදාවත් නොහිතපු විදියට මේ මහා මාලිගාව ඇතුළේ මම දැන් තනිවෙච්ච රැජිනක් වෙලා තිබ්බේ. හැබැයි මම ඒ තනිකමට දැන් බය වුණේ නෑ. මොකද මම දැන් මගේම කියලා ලෝකයක් ඔෆිස් එක ඇතුළේ හදාගෙන තිබුණා.
ගෙදර ඒ මහා බර නිහඬතාවයෙන් මිරිකිලා හිටපු මට ඔෆිස් එකේ ගත කරපු පැය අට ඇත්තටම මහා සහනයක් වුණා. ගෙදරදී මම නිකන්ම නිකන් වැඩකාරියක් හරි දේකට පාවිච්චි කරලා පස්සෙ පැත්තකට දාන බඩුවක් හරි වගේ දැනෙද්දී, ඔෆිස් එකේදී මට මගේ ඇත්ත වටිනාකමක් දැනෙන්න ගත්තා. වැඩක් හරියට කරාම ලැබෙන අගය කිරීම්, ඔෆිස් එකේ යාළුවොත් එක්ක බෙදාගන්න හිනාවල් මාව ජීවත් කරවන්න ගත්තා. හැමෝම එක්ක හිනාවෙලා කතා කරද්දී මගේ හිතේ තිබ්බ අර මනුසත් දීපු තුවාල තාවකාලිකව හරි යටපත් වුණා.
ඇත්තටම ගෑනියෙක් කියන්නේ හරිම අමුතු ජීවියෙක්.
ගෑනියෙක් ඕනෑම මහා මාලිගාවක වුණත් ජීවත් වෙන්න ලෑස්තියි, හැබැයි ඒ මාලිගාව ඇතුළේ තමන්ව අගය කරන, තමන්ට ආදරේ කරන හදවතක් තියෙනවා නම් විතරයි.
අපිට ලොකු දේවල් ඕන නෑ. දවස පුරාම වැඩ කරලා හෙම්බත් වෙලා ඉද්දී අද මහන්සි ඇති නේද? කියලා අහන පොඩි සැලකිල්ලකට, අද ඔයා ලස්සනයි කියලා කියන එක වචනයකට මුළු ලෝකයක් වුණත් දිනන්න පුළුවන් හයියක් අපේ හිත් වලට ලැබෙනවා කියන එක පිරිමි දැනගෙන උන්නා නම් සමහර විට මේ ලෝකෙ ගොඩක් දුක් විඳින ගෑනුන්ට සන්තෝසෙන් ඉන්න ලැබෙන්න තිබ්බා.
ඒත් මනුසත් එක්ක ගෙවන මේ ජීවිතේ මට දැනෙන්නේ මම රත්තරන් කූඩුවක හිරවෙච්ච පණ නැති රූපයක් වගේ. එයාට ඕන වුණේ මාව ලස්සනට අන්දලා, එයාට ඕන වෙලාවට එළියට අරන් පෙන්නලා, ආයෙත් අඳුරු මුල්ලක තියන්න පුළුවන් ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න විතරයි. මනුසත්ගේ ඒ සයිලන්ට් ට්‍රීට්මන්ට් ඉස්සරහා මගේ හුස්ම පවා හිරවෙද්දී, මට දැනුණේ මම දවසින් දවස පණ පිටින් මැරෙනවා වගේ.
ගෑනු ආසයි තමන්ව විශේෂ කෙනෙක් විදියට තමන්ගෙ මිනිහා දකිනවට. කෑමක් උයලා මේසෙට තිබ්බම ඒක රසයි කියලා කියද්දී දැනෙන සතුට, අලුත් ඇඳුමක් ඇන්දම ඒක ගැලපෙනවා කියලා කෙනෙක් හිනාවෙලා කියද්දී දැනෙන ආත්මවිශ්වාසය පිරිමියෙක්ට හිතාගන්නවත් බෑ. අපි ආදරේට කොච්චර ලෝභද කියනවා නම්, හිතට දැනෙන ඒ පුංචි ලෙන්ගතුකම වෙනුවෙන් ඕනෑම මහා දුකක් දරාගන්න අපි ලෑස්තියි. හැබැයි ඒ ආදරේ වෙනුවට ලැබෙන්නේ නොසලකා හැරීමයි, මහා අහංකාරකමකින් පිරුණු නිහඬතාවයයි නම්, ගෑනියෙක්ගේ හිත හෙමින් හෙමින් ගල් වෙන්න ගන්නවා.
මගේ හිතත් දැන් තියෙන්නේ අන්න ඒ ගල් වීමේ අන්තේ.
ඔෆිස් එකේදි මං සන්තෝසෙන් ඉන්න උපරිම ට්‍රයි කරේ අන්න ඒ හන්දා
හැබැයි ඒ සැනසීම අස්සෙත් එකම එක දෙයක් මට මහා වදයක් වුණා. ඒ තමයි තිදස් අයියා මගේ ඩෙස්ක් එක ගාවට එන හැම වෙලාවකම දිව්‍යා මං දිහා බලන විදිය. ඒ බැල්ම හරියට සීසීටීවී කැමරාවක් වගේ මගේ හැම මූව්මන්ට් එකක්ම රෙකෝඩ් කරගන්නවා වගේ මට දැනුණෙ. එයා මං දිහා බැලුවේ හරියට මම එයාට අයිති වස්තුවක් හොරකම් කරන්න ආපු හොරෙක් වගේ. මගේ හිතේ තිදස් අයියා ගැන කිසිම වැරදි හැඟීමක් නොතිබුණත්, දිව්‍යාගේ ඒ ඊර්ෂ්‍යාව පිරුණු ඇස් දෙක මාව මාරම අසීරුතාවයකට පත් කළා කිව්වොත් හරියටම හරි.
තමන්ගේ මිනිහගෙන් ලැබෙන්න ඕන ආදරේ, සැලකිල්ල නැතිවෙලා යනකොට ගෑනියෙක්ගේ හිත හරිම දුර්වල වෙනවා. ඒ වෙලාවට පිටින් ලැබෙන පොඩි හරි ලෙන්ගතුකමක් ලොකු හයියක් වගේ දැනෙනවා. ගොඩක් ගෑනු වැරදි පාරවල් වල යන්නේ ඒ ආදරේ අඩුව පුරවාගන්න තැනක් හොයන්න ගිහින් නේද කියලා මට හිතුණා.
මම හිතන්නේ දිව්‍යා බය වුණෙත් මම තිදස් අයියාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙයි කියලා වෙන්නැති. මනුසත් මාව හිතාමතාම තල්ලු කරන්නේ ඒ වගේ අගාධයකටද කියලා මටම හිතිච්ච වෙලාවල් තිබුණා.
“ලිහිණි… අර ප්‍රොපෝසල් එකේ පොඩි එඩිට් එකක් තියෙනවා. හෙට උදේට ඒක බලමුද?”
තිදස් කතා කරද්දී එයාගේ මූණේ තිබුණේ හරිම ෆ්‍රෙන්ඩ්ලි හිනාවක්. ඒත් එහා පැත්තේ ඩෙස්ක් එකේ හිටපු දිව්‍යා තමන්ගේ බෑග් එකේ සිප් එක මහා හයියෙන් ඇදලා දාපු සද්දෙට අපි දෙන්නම ගැස්සුණා. තිදස් මොකුත් නොවිච්ච ගාණට හිනාවෙලා යන්න ගියාට මොකෝ විහඟ නම් උන්නෙ කොයි වෙලාවෙ තමන්ගෙ කට අස්සෙ පොරකකා තියෙන වචන ටික එළියට දාගන්නද කියන එක මට නොතේරුණා නෙවෙයි.
“ ලිහිණි ආවයින් පස්සේ දැන් දිව්‍යාට තිදස්ව දවසට දෙතුන් පාරක් දකින්න සෙට් වෙනවා නේද?”
විහඟ ඒක කිව්වේ දිව්‍යාව අවුස්සන්නමයි කියලා මට තේරුණා.ඒත් මං මුකුත් කියන්න කලින්ම අප්සරාත් ඒකට සෙට් වුණා.
“ආයෙත් අහලා! ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුලන්ට රජ මඟුල් කිව්වලු. තිදස් මේ පැත්තට එන්නේ ලිහිණිගේ වැඩ බලන්න වුණාට ඒකෙන් වාසි වෙන්නේ ඉතින් අපේ දිව්‍යාටනේ” අප්සරා හයියෙන් හිනාවෙවී කිව්වා.
දිව්‍යා එකපාරටම පුටුව පස්සට තල්ලු කරලා නැගිට්ටා. එයාගේ මූණ රතු වෙලා තිබුණේ කේන්තියටද දුකටද කියලා හිතාගන්න බැරි තරමට.
“ඔය එන්නෙ ඉතින්… ආවට වැඩක් නෑනේ…”
“ඒ මොකෝ දිව්‍යා? ඇයි වැඩක් නෑ කියන්නේ?” විහඟ ආයෙත් ඇහුවා.
“එන්නේ ඉතින් අපිව බලන්න නෙවෙයිනේ!”
දිව්‍යා එහෙම කියලා මං දිහා මහා විසාල වෛරයකින් පිරුණු බැල්මක් විසි කරලා, තමන්ගේ බෑග් එකත් කරට අරගෙන මහා හයියෙන් ගස්සගෙන රූම් එකෙන් එළියට ගියා.
දොර වැහුණේ මුළු ඔෆිස් එකම හෙල්ලෙන තරම් හයියෙන්.
මං උන්නෙත් පමණට වඩා තිගැස්සිලා හෙල්ලෙන තරම්!


