සඳ දිය දහරා 70 (අවසන් කොටස)

0
4137

( වසර 2 කට පසුව )

විහාර මහා දේවී උද්‍යානයට මුහුණලා තිබූ සුඛෝපභෝගී තට්ටු නිවාසයේ හයවෙනි මහලෙහි වූ නිවසක වාසය කළ පුංචි පවුල වූයේ පුදුමාකාර සතුටකින්ය. විවාහයෙන් වසර දෙකක් ගෙවී ගියත් ඔවුන් එකිනෙකා ගැන සොයා බැලුවේත් ආදරය කළේත් කැපවී සිටියේත් ඊයේ පෙරේදා මුණගැසුණු යුවළක් ලෙසය. 

‘සඳ දිය දහරා’ පොත  මුද්‍රණයෙන් පිටවීමත් සමඟ දහරා වර්තමාන නවකතා ලෝකය තුළ සිටියේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේමය. 

වෛද්‍ය ඩොක්ටර් රමාෂ් වේළු කණකරත්නම් මෙරට ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වෘත්තියේ ඉහළ පෙලේම නමක් තබාගෙන උන්නේය. ඔහුගේ අවිවේකී ජීවිතය තුල වුවත් හැකි සෑම විටකම දහරාත් කුඩා පුතුත් වෙනුවෙන් කාලය වෙන් කරන්නට අමතක නොකළේය. 

සාමා දැන් රැකියාවට යන්නේ නැත. ඕ රීටාවත් බලාගෙන නිවසට වී කාලය ගත කළාය. දහරා විසින් පටන් ගත් මල් සැකසුම් ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ ඈය. ඒ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් වඩා කාලය ගෙවා දැමීමේ උවමනාවෙන්ය. අසල නිවසක සාමාගේ වයසේම වූ ගැහැණියකද ඊට උදව් වෙමින් දැනෙන තරමේ මුදලක් උපයා ගත්තාය. 

දැන් වේළු තමාගේ ව්‍යාපාර පාලනය නොකරන තරම්ය. වසර ගණනක් ජීවත් වන්නට තරම් යමක් උපයාගෙන සිටි ඔහු තම බිරිඳ සමග නිදහසේ කාලය ගෙවා දමමින් සිටියාය. පසුගිය දිනවල ඔහු කැනඩාවේ සිටින නැගණිය බලන්නට ගියේද තංගමනී සමගින්ය. මාස හයක පමණ කාලයක් ඔවුන් එහි රැඳී සිටියෝය. තමාටත් වඩා දක්ෂ ලෙස ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන යන සෙනරත් ගැන ඔහුගේ සිතෙහි වූයේ විශ්වාසයකි. තමාගේ මවගේත් පියාගේ තැන ලබා දෙමින් සෙනරතුත් රසිකාත් ඔවුනට වචනයක හෝ වෙනසක් නොකළේය. 

මහාමේඝයකට හසුවූවා සේ කැළඹී තිබූ ජීවිත මෙතරම් නිරවුල් නිස්කලංක සාමකාමී එකක් වූයේ කෙසේදැයි දහරාට විටෙක පුදුමය. ඒ සතුටත් නිදහසත් රැගෙන ආවේ රමාෂ් බව විශ්වාසය. එනිසාම ගෙවී ගිය ජීවිතයේ මතක සිතේ කොනකවත් ඉතිරි නොකරගෙන රමාෂ් වෙනුවෙන් ජීවත් වන්නට ඈ සිත හදාගෙන අවසන්ය.

“අද මට ටිකක් වේලාසනින් ගෙදර එන්න පුළුවන් ඔයාට ඕනෙනම් අපි මනුජිත්ගේ අම්මයි තාත්තයි බලන්න්න ගිහිල්ලා එමු. ටික දවසකින් යන්නත් බැරි උනානේ….”

රමාෂ් සවස දුරකථනයෙන් කතා කරමින් එසේ පැවසූයේ මනුජිත්ගේ මවත් පියාත් බැලීමට යාමේ වුවමනාව ඇයට තදින්ම දැනෙමින් තිබියදීය. අදටත් තමාගේ උවමනාවන් ඔහු ඉවෙන් මෙන් වටහා ගන්නා ආකාරය පුදුම සහගතය. 

“මට ඒක ඔයාට කියාගන්න බැරුව හිටියේ. තාත්තා මට කිව්වා ඒ අම්මා පහුගිය දවස්වල ආපහු ටිකක් අසනීපෙන් හිටියා කියලත්.” 

“මං ඒක දැනගෙන හිටියා. ඔයා උවමනාවෙන්ම මමත් එක්ක ඒගොල්ලෝ ගැන කතා කරද්දි මට හිතුනා ඔයාට එයාලව බලන්න යන්න ඕන වෙලා කියලා.”

“ඔයා මේ දවස් ටිකේ බිසීනේ රමාෂ්…”

අපේ ලයිෆ් එක කොහොමත් ටිකක් බිසී තමයි මැණික. එහෙමයි කියලා අපි යුතුකම් වගකීම් අමතක කරලා ජීවත් උනොත් ආපහු හැරිලා බලද්දි අපිට අපි ගැන දැනෙන්නෙ හරිම හිස් හැඟීමක්. බිසී ලයිෆ් එකක් ඇතුළු උනත් ඕනම මනුස්සයෙක් තමන්ගේ යුතුකම් වගකීම් වගේම සතුට ගැනත් හිතන්න ඕනේ. 

“ඔයා ජීවිතේ ගලපන විදිහ හරි ලස්සනයි….”

$ආදරණීය වයිෆ් කෙනෙකුයි චූටි පුතෙකුයි  ලග ඉදිද්දී කොහොමත් ජීවිතය ලස්සනට ගැලපෙනවා. දන්නවද ඔයා නිසා අද මට මගේ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ…”

සිතෙහි වන විඩා නිවා ගැනීමට මිනිසුන්ට අවශ්‍ය වන්නේ පුංචි පැසසුමක් පමණි. රමාෂ් තමා හා ජීවත් වන්නන් අගය කරන්නට වචන වැය කරන්නේ කිසිදු ලෝබකමකින් තොරවය. 

ඔහු පැවසූ පරිදිම මනුජිත්ගේ මවත් පියාත් බැලීමට ගියේ සවසය. තවමත් ඔවුන් සිටින්නේ පෙර වූ ඇනෙක්සියේමය. 

“මං හීනෙනුත් දැක්කා මගේ චූටි පුතා.”

වාහනයෙන් බැස මනුජිත්ගේ සුළැඟිල්ලේ එල්ලී ආ චූටි පුතුව ඉදිරියට පැමිණ වඩා ගත්තේ ශ්‍රියාලතාය. නොදැක උන්  දෙමාසයට ඔවුන් වියපත් වී ඇතැයි දහරාට සිතිණ.

“අර ළමයා මේ දරුවට වෙනස්කමක් කරන්නෙ නෑ නේද දුවේ…”

ශ්‍රියාලතා ඇසුවේ මනුජිත් රාත්‍රිය ආහාරය ගෙන එන්නට සුමනසේකර හා වාහනයෙන්ම පිටතට ගිය වේලාවේය. 

“අනේ නෑ අම්මා..කවදාවත් එහෙම වෙයි කියලා හිතන්නවත් බෑ. එයාට එහෙම කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි.” 

“අනේ වාසනාවන්..මගේ හිතේ ඔය ගැන පුංචි බයක් තිබුණා.”

“නෑ අම්මේ ඒ බය හිතින් අයින් කරගන්න.”

“ඒ උනාට  තමන්ටය කියලා දරුවෙක් ඉන්න වෙලාවක..”

“අනේ නෑ අම්මේ. මගේ අතින් වෙනසක් උනත් එයාගේ අතින් ඒ දේ වෙයි කියලා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මං මේ ලෝකේ දැකපු කරුණාවන්තම මනුස්සයා තමයි ඒ.”

“ඒකත් හැබෑව. එහෙම නොවුනනං  දරුවෙක් එක්ක ගෑනියෙක් බාරගන්න කැමති වෙනවද. අනිත් එක අපි වගේ කිසි දෙයක් නැති මිනිස්සු නෙමෙයිනේ. සුළු පටු තානාන්තරයක් දරණ මනුස්සයෙක්ද..”

රමාෂ් ආපසු නිවසට පැමිණියේ රාත්‍රී ආහාරයත්  සුමනසේකරත් ශ්‍රියාලතාත් වෙනුවෙන් විටමින් වර්ගයකුත් පෝෂදායි පිටි වර්ගයකුත් රැගෙනය. 

“මං එපා කියද්දී මෙන්න මේ ළමයා මෙව්ව ගත්තා. අපිට කන්න බොන්නත් මාසයකට සෑහෙන්න බඩු ගෙනත් දාලා තවත් වියදම් කරනවා. හැම මාසෙකම අම්මටයි  තාත්තටයි යුතුකම් ඉෂ්ඨ කරනවා වගේ අපි දෙන්නවත් බලා ගන්නවා.”

සුමනසේකර පැවසූයේ දෑස්මත කඳුළක් තබාගෙනය. ශ්‍රියාලතාත් පසු පසට හැරී සිය සැහැල්ලු ගවුමේ වාටියෙන් කඳුළු පිස දාගන්නවා දහරා දුටුවාය.

“ඒ ටික අපි කරන්නම් තාත්තේ. තාත්තගෙ සැලරි එකෙනුත් කීයක් හරි එකතු කරගෙන මනුජිත් එවන ගානත් පරිස්සම් කරගෙන පොඩි ගෙයක් හරි ගන්න බලමු.”

“පුතා දැන් මාස හයක විතර ඉඳලා ලක්ෂ දෙකක් වගේ වෙන්න එවනවා දුවේ. දැන් කීයක් තියෙනවද ඒයි පාස් පොතේ.”

ශ්‍රියාලතා එසේ ඇසුවේ සුමනසේකර දෙසට හැරෙමින්ය. 

“ලක්ෂ විසි හතක් විතර වගේ තියෙනවා. මුදලාලිත්  පෙරේදා මට කතා කරලා කිව්වා පොඩි ගෙයක් හොයාගෙන මුදලාලිටත් කියන්න කියලා. මං දැන් එතන අවුරුදු විසි හතක් වැඩ කරනවනේ දුවේ. සුමනසේකර මැරිච්ච කාලෙකවත් වැඩ කරන්න බැරිව අයින් වෙච්ච කාලෙකවත් උදව්වක් කරලා වැඩක් නෑ උවමනා වෙලාවට කරන්නේ නැත්නම් කියලා කිව්වා.”

“මමත් මට පුළුවන් දෙයක් කරන්නම් තාත්තේ අපි හෙමිහිට ගෙයක් බලමු එහෙනම්.”

රමාෂ් පැවසූයේ සුමනසේකරගේ පිටට තට්ටුවක් යොදමින්ය. තවත් වසරකින් මනුජින් ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු දැන් ජීවිතය ගැන යම් අවබෝධයක් ලබා ගනිමින් සිටින බව පැවසූයේ සුමනසේකරය. සියල්ලන්ගේම ජීවිත මේ අයුරින් නිරවුල්වීම සිතට සහනයකි. 

දහරාත් රමාශුත් පුතුත් නිශාදිව බලන්නට මාතර ගියේ ඉන් සතියකට පසුවය. ඇයව බැලීමේ වුවමනාවටත් වඩා දෙදෙනාට වූයේ නිශාදිගේ  පෙම්වතා හමුවීමේ උවමනාවය. නිශාදි දැන් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේය. කසුන් තෙවන වසරේ ශිෂ්‍යයෙකු විය. ඔහුත් බොහෝ අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලක වැඩිමහලු දරුවාය. දහරා අදටත් මාස් පතා නිශාදි වෙනුවෙන් මුදලක් ඇගේ බැංකු ගිණුමට යොමු කරයි. අඩුම තරමේ මේ කිසිවක් පිළිබඳව රමාෂ් සොයා බලන්නේවත් නැත. එනිසාම දහරා තමාගේ ජීවිතය තුළ කළ යුතු යුතුකම් වගකීම් ඉටු කරමින් සතුටු වෙමින් උන්නාය. 

ඔවුන් කතරගම ගියේත් ඒ ගමනේදීමය. තුන් දවසක චාරිකාව නිම වූයේ දහරාගේ සිත සතුටින් පුරවාලමින්ය. රමාෂ් හින්දු ආගමටත් බෞද්ධාගමටත් එක ලෙසම ගරු කරමින් උන්නේය. 

දහරා යලිත් වරක් ගැබ් ගත්තේ පුතුට අවුරුදු තුන ඉක්මවද්දීය. රමාෂ් පුදුමය උපද වන අයුරින් තමාගේ යුතුකම් වගකීම් ඉටු කරමින් උන්නේය. ඒ මාස දහයක කාලය පුරාම ඕ විවේකී සුවයෙන් කාලය ගත කළාය. පුතුව මේ කුසයේ දරාගෙන මනුජිත්ගේ නිවසේ උන් කාලයත් දියණියව කුසෙහි දරාගෙන රමාෂ්ගේ රැකවරණයත් ආදරයත් උපරිමයෙන්ම විඳිමින් උන් කාලයත් හාත්පසින්ම වෙනස් වූ එකකි. සියලු බිරින්දෑවරුන්,ගැබිණි මව්වරුන් මේසා ආදරයක් ගෞරවයක් රැකවරණයක් ලැබිය යුතුයැයි දහරා බොහෝවර ප්‍රාර්ථනා කළේ හදවතින්මය.

“දන්නවද  අපේ  පුතාවයි, දුවවයි මෙහෙම මැදින් තියාගෙන ඔයයි මමයි දෙන්නා දෙපැත්තෙන් හිටගෙන ඉන්නකොට මට මැවෙන ඉමේජ් එක හරි ලස්සන එකක්. තැන්කියු දහරා මාව සම්පූර්ණ මිනිහෙක් කළාට…”

රමාෂ් ඇගේ නළලත සිපගෙන පැවසූයේ දියණියවත් ඇයවත් රෝහලේ සිට ආපසු නිවසට කැඳවාගෙන එද්දීය. 

ඉන් වසරකට පසුව චූටි පුතුව ඇතුළත් කෙරුණේ දිවයිනේ ප්‍රධාන පෙළෙහි වූ පුද්ගලික පාසලකටය. රමාෂ්ට උවමනා වූයේ දරු දෙදෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්නටය. 

සෙනරත්ටත් රසිකාටත් ඔවුන්ගේ දරුවෙකු මෙලොවට බිහි කිරීමට වාසනාව වූයේ නැත. එනිසාම ඔවුන්ගේ ලෝකය වී තිබුණේත් දහරාගේ දරු දෙදෙනාය. 

මනුජිත්ගේ මවත් පියාත් ජීවත් වූ මල්වාන ප්‍රදේශයට ආසන්නයේම කුඩා නිවසක් මිලදී ගැනීමට ඔවුනට හැකියාව ලැබුණේ රමාෂ්ගේ මැදිහත් වීමෙන්ය.  පර්චස් දහයක් පමණ වූ ඉඩමෙහි කාමර තුනකින් යුක්ත වූ නිවස සිරියාවන්ත එකක් විය. වසර තුනේ ගිවිසුම නිමා කරමින් ලංකාවට පැමිණි මනුජිත් හංසනාගේ නිවසට ගියත් පෙර සේම හංසනා ඔහුව ප්‍රතික්ෂේප කළාය. දැන් ඇය පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් සිටී. යලි දෙවසරක කොන්ත්‍රාත් කාලයකට  යටත්ව ඩුබායි රාජ්‍යයට ගිය මනුජිත් මුදලක් ඉතිරි කරගෙන ලංකාවට පැමිණ ව්‍යාපාරයක් පටන් ගන්නා බව රමාෂ් හා කියා තිබිණ. දහරා බියෙන් පසු වූයේ ඔහු ලංකාවට පැමිණ පුතු පිළිබඳව ගැටුමක් ඇති කරගනීයැයි කියාය. එහෙත් ඔහු මනා සංයමයක් දැරුවේය. ඔහු ආපසු යන ගමනේදී ගුවන් තොටුපළට ඇරවූයේත් දහරා හා රමාෂ් විසින්ය. ඔහු කුඩා පුතුව තදින් වැළඳගෙන සිපගන්නා අයුරුත් මහත් වූ ලෝබකමක් දරාගෙන බලා සිටිනා අයුරුත් දහරා දුටුවාය. 

“වටිනාකමක් නැති මිනිස්සුන්ට ඒ දේවල් අහිමි වෙන්න ඕනෙමයි දහරා.”

අදටත් නිශාදි ඔහු ගැන පවසන්නේ ඒ අයුරින්ය.

ලෝකය ලස්සන වන්නටනම් මිනිසුන් එකිනෙකා පිළිබඳව සොයා බැලිය යුතුය. එකිනෙකා පිළිබඳව ආදරය කරුණාව දැක්විය යුතුය. සෙනෙහස පෑ යුතුය. මිත්‍රත්වයේ හස්තය දිගු කළ යුතුය. ඒ සංකීර්ණ කර්තව්‍ය මුලින්ම ආරම්භ කළ යුත්තේ තමාගේ සිතින්ය. ඉන් පසුව පවුල තුළින්ය. ඉන්පසු තමා හා සිටින හිතවතුන්ගෙන්ය. මේ දහරා  ජීවිතයේ උගත් වැදගත්ම පාඩම බව විශ්වාසය. 

ඉන් වසර දෙකකට පසු ඇය ලියූ මව්වත් හදවත් කෘතිය රාජ්‍ය සම්මානය සඳහා පාත්‍ර විය. හදවත් වලින් මිය ගිය මිනිසුන් යළි උපද්දවන්නට අවශ්‍ය වන්නේ තවත් කාරුණික හදවතක්, මිත්‍රත්වයේ හස්තයක් බව ඕ ඒ කෘතියේ පෙරවදනෙහි සටහන් කර තිබිණ.

නිමි.

කොටස් 70 පුරා දහරාගේ කතාව කියවූ ඔබට තුති පුදමි. 

ඉතින් කතාව ඔබට දැණුන ආකාරය පිළිබඳව වදනක් පවසා යන්නේනම් තුති..

යළිත් අලුත් කතාවක් සමගින් නුදුරේදීම හමුවනතුරු ඔබට තෙරුවන් සරණ පතමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here