“තිදස් මගෙ ඔලුව නෙවෙයි පස්ස පැත්ත අත ගෑවත් තමුන්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද?” කියලා ඔලුව කැක්කුම එක්ක හිතයි හිසයි දෙකම බර කරගෙන උන්න මට දිව්‍යාට නොකිය ඉන්න තිබුණෙ කියන එක මං පිළිගන්නවා. කටෙන් වචනයක් පිටකරන්න කලින් දෙතුන් පාරක් හිතන්න කියලා කිව්වට එවෙලෙ මගෙ ඔලුවෙ තිබ්බ කැක්කුමයි හිතේ තිබ්බ බරයි එක්ක මට ඒක කරගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.
දිව්‍යාගෙ ඇස් ලොකුවුණේ මගෙ කටෙන් කිසිම වෙලාවක එහෙම කතාවක් එලියට එයි කියලා හිතුවෙ නැති හන්දා වෙන්නැති. ඒත් ඕනම මනුස්සයෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා. දිව්‍යාට කිසිම ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනෙ කොහොමත් මම තිදස් එක්ක මොන රෙද්ද කරගත්තත්. මොකෝ තිදස් ඒකිගෙ මිනිහද කියන එක තමයි මම ඇත්තටම කල්පනා කරේ.
“මොකක්ද කිව්වේ?”
දිව්‍යා එයාගේ ලන්ච් බොක්ස් එක මේසෙ උඩින් තිබ්බේ මහා සද්දෙන්. ඒ සද්දෙ අස්සෙ එයාට වචනෙන් පිට කරගන්න බැරුව උන්න තරහ තියෙන විත්තිය මට තේරුං ගන්න අමාරු උනේ නෑ. ඒ වෙලාවෙම වගේ අපේ කැබින් එක ඇතුළට ආව විගඟලා, අප්සරාලා පවා උන්නෙ “මේ වෙන්නෙ මොකද්ද?” කියලා හිතාගන්න බැරුව වගේ ඇස් ලොකු කරගෙන මාරුවෙන් මාරුවට මමයි දිව්‍යායි දිහා බලාගෙන
“ඇයි මම කියපු දේ ඇහුණේ නැද්ද? මම තිදස් එක්ක කතා කරනවාද, එයා මගේ ඔලුව අතගානවාද කියන එක තමුන්ට අදාළ නෑනේ දිව්‍යා. මම මෙතන වැඩ කරන්නේ මගේ සුදුසුකම් වලට මාව මෙතනට ගැලපෙන හන්දා. මාව මෙතනට අරගෙන ආවෙ තිදස් නෙ. ඒ මොකද අපි දෙන්නම එකම කැම්පස් එකේ හන්දා. ඔයා තිදස්ට කැමති නම් කරුණාකරලා ඔයා ඒක ගිහින් එයාට කියන්න. එහෙම කියලා එයත් කැමති නම් ඔයාම එයාට කියන්න එයාට ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා. එහෙම නැතුව මේ ඔයා ලයින් දාන මිනිහා මා එක්කලා කතා කරනවද නැද්ද කියලා දැනගන්න මට ගාඩ් එක දාගෙන හිටියටයි මට පිප්පුවටයි වැඩක් නෑ.”
මම වෙව්ලන අතින් පැනඩෝල් පෙති දෙක කටට දාගෙන වතුර වීදුරුව එක හුස්මට බීලා ඉවර කළා. දිව්‍යාගේ මූණ කේන්තියටයි ලැජ්ජාවටයි රතු වෙලා තිබුණේ නිකන් තක්කාලි ගෙඩියක් වගේ. අනික් අතට විහඟලා, අප්සරාලා උනත් උන්නෙ තුශ්නිම්භූත වෙලා.
“ඔයා ඉන්නෙ නම් නිකන් දෙකට ගණින්න බැරි එක්කෙනා වගේ. කොහෙන්ද ඉඳලා එකපාර කඩා පාත්වෙලා මං කැමති මනුස්සයාටම ලයින් දාන්න ඔයාට ලැජ්ජ නැද්ද?” කියලා දිව්‍යා අහද්දි මට ඇත්තටම හිතුණා ඉඳගෙන උන්න තැනින් නැගිටලා ඒකිගෙ හොම්බ තැලෙන්න දෙකක් දෙන්න.
දිව්‍යා ආයෙත් මගේ පැත්තට අඩියක් තිබ්බේ මගේ ඇස් දෙක පසාරු කරගෙන යන බැල්මක් එක්ක මං දිහාවම බලාගෙන. “තිදස් ඔයාට ඔච්චර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔයාගේ සුදුසුකං හින්දා නෙවෙයි කියලා මෙතන ඉන්න හැමෝම දන්නවා ඉතින්. මම විතරක් ඒක කෙළින් කිව්වට ඔයා හිතන්නෙ මේ අනිත් අයට ඒක තේරෙන්නෙ නැතෙයි කියලද? අනුන්ගේ දේවල් වලට ඇහැ දාන එක ඔයාගේ හැටි වෙන්න ඇති. ලැජ්ජ නෑ.” කියලා දිව්‍යා කියද්දි විහඟයි අප්සරායි මාරුවෙන් මාරුවට මමයි දිව්‍යායි දිහා බලාගෙන හිටියේ ගල් වෙලා වගේ. කවුරුත් මේ යුද්ධෙ නතර කරන්න ආවේ නෑ. හැමෝගෙම ඇස්වල තිබුණේ ‘දැන් මොකක් වෙයිද?’ කියන කුතුහලය විතරයි. ඒකම මගේ හිතේ තිබුණ කේන්තිය තවත් ඇවිස්සුවා.අනික මගේ හිත තව කේන්ති ගැස්සුවේ දිව්‍යා කිව්ව “අනුන්ගේ දේවල් වලට ඇහැ දාන එක ඔයාගේ හැටි වෙන්න ඇති” කිව්ව කතාව. බොරු කියන්නෝන නෑනෙ. මට එවෙලෙ කල්පනා උනා දිව්‍යා කිව්ව කතාව මනුසත් මම සහ භානුකි අතර තිබිච්ච කතාවට ගැලපෙනවා නේද කියන එක. මම මනුසත්ගෙ ජීවිතේට එද්දිත් මනුසත් උන්නෙ භානුකීව ඩිවෝස් කරන්න හිතාගෙන උනාට මං යාලු උනේ ඊට කලින් හන්දා එතනදිත් මං කරේ භානුකීගේ මනුසත්ට ඇහැ දාපු එක නේද කියලා නොහිත ඉන්න මට බැරිවුණා.
“දිව්‍යා, මට මඩ ගහන්න කලින් තමන්ගේ මට්ටම ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද?” මම කට හඬ එළියට දැම්මෙ හරිම හෙමින් උනත් ඒ හෙමින් බව අස්සෙ මරාගෙන මැරෙන තරහක් මගෙ හිතේ තිබ්බ විත්තිය කාට කාටත් තේරෙන්න ඇති.
“ඔයාට තිදස්ගෙන් ලැබෙන්න ඕන අවධානය මට ලැබෙන එක මගේ වැරැද්දක් නෙවෙයි. ඒක ඔයාගෙ ප්‍රශ්නයක් මිසක් මගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා මෙතන අනිත් අයගේ පෞද්ගලික දේවල් හොය හොය රස්තියාදු වුණාට මම මෙතනට එන්නේ වැඩ කරන්න. දෙකට ගණින්න බැරි එක්කෙනා වගේ ඉන්නෙ මං නෙවෙයි දිව්‍යා ඔයා. ඔයා කරන වැඩ බලපුවාම තමයි තේරෙන්නේ ඔයාගේ ඇතුළේ කොච්චර කුණු ගොඩක් තියෙනවද කියලා. මොකෝ කවදාවත් මේ මං හීනෙකින්වත් හිතුව දේවල් නෙවෙයිනෙ ඔයා මේ එළියට දාන්න හදන්නෙ”
දිව්‍යා මගේ ඒ වචන ටිකට ගැස්සුණා. ඒකි හිතන්නෙ නැතුව ඇති මම කවදාවත් ඒ වගේ රිටර්න් එකක් දෙයි කියලා.
“කටෙන් මොන සෙල්ලම දැම්මත් මෙතන වෙන දේවල් ඔක්කොම ඉතින් අපිටත් පේනවනෙ. බලමුකො ඔයා ඔය නටන්න හදන සෙල්ලම කොච්චර කල් කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. අපිත් ඉන්නෙ මෙතනනෙ” කියාගෙන දිව්‍යා එතනින් ගියේ සමහරවිට මේ කතාව දිගට දිගට ඉස්සරහට අරගෙන යන එක තේරුමක් නෑ කියලා එයාට හිතිච්ච හන්දා වෙන්නැති. රණ්ඩුව එතනින් ඉවර වුනාට මේ ඇතිවෙච්ච ඉරිතැලීම නම් ආයෙ පිරියං කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා මං දැනගෙන උන්නා. විහඟලා අප්සරාලා උනත් වෙනදා වගේ කිසි කතාවක් නැතුවම ඇවිල්ලා තම තමන්ගෙ පුටුවලින් වාඩිගත්තා මිසක් මාව කම්ෆර්ට් කරන්න කිසිම දෙයක් කිව්වෙ නෑ. සමහර විට උන්ට උනත් දිව්‍යාව ලොකු ඇති. මං ඇවිල්ලා තාම පොඩි කාලයයි දිව්‍යා එහෙම නෙවෙයිනෙ.
මම මගේ බෑග් එකයි, ෆෝන් එකයි අතට ගත්තෙ මගෙ ඔලුව කැක්කුම ඔලුවෙන් පටන් අරගෙන මුලු ඇඟම ගිනිබත් කරගෙන යනවා වගේ දැනිච්ච පාර. මට තවත් එක තත්පරයක්වත් ඒ මූසල කැබින් එක ඇතුළේ ඉන්න උවමනාවක් තිබ්බෙ නෑ. හැමෝගෙම ඇස්වල තිබුණේ කුතුහලයයි, ප්‍රශ්නාර්තෙකුයි එක්කහු වෙච්ච බැල්මක්. මම කාටවත්ම වචනයක්වත් නොකියා, දොරත් හෙල්ලෙන තරම් හයියෙන් වහගෙන එළියට ආවෙ මට එතන ඉද්දි මගෙ හුස්ම හිරවෙන්න වගේ දැනිච්ච හන්දා. මට ඕන උනේ හයියෙන් හයියෙන් හුස්ම ගන්න. අලුත් හුස්මකට මගේ පපුව පුරවගෙන යන්න දෙන්න, ඇඟට කූල් ඩවුන් වෙන්න දෙන්න.
උදේ ඉඳලා තිබිච්ච ඔලුවේ කැක්කුම දැන් මගේ මුළු ඇඟ පුරාම පැතිරිලා වගේ. ත්‍රීවීල් එකක් අරන් ගෙදර එනකල්ම මගේ හිතේ මාරුවෙන් මාරුවට වෙච්ච දේවල් ආය ආය ප්ලේ වුණා. අනික බොරු කියන්න ඕන නෑනෙ මට මනුසත් මේවා වෙන්න කලින් කිව්වා නේද කියන එකත් මතක් උනා.
“ඔය ඔෆිස් අස්සෙ රිංගගෙන එක එක ගෑනුන්ගෙන් කුණු කතා අහ අහ ඉන්න වෙද්දි ඔයාට උනත් තේරේවි මං කිව්ව දේ කොච්චර ඇත්තද කියලා” මනුසත් කිව්ව දේ ආයෙ මතක් වෙද්දි “එයා මේ දේවල් දැනගත්තොත් මට හොඳටම බණීවි” නේද කියලා මම මගේ හිතටම කිව්වා. මට මනුසත් එක්ක කොච්චර ප්‍රශ්න තිබ්බත්, මම තවමත් එයාගේ බිරිඳ. දිව්‍යා වගේ කෙනෙක්ගෙන් මෙහෙම නින්දිත කතා අහන්න තරම් මම පහත් වුණේ කොහොමද කියලා මටම හිතාගන්න බැරි වුණේ අන්න ඒ හන්දා.
ගෙදර ගේට්ටුව ගාවින් ත්‍රීවීල් එක නතර කරේ අන්න මගේ ඒ හිතුවිලි වලටත් බ්‍රේක් එකක් ගහන ගමන්.
වාහනේට සල්ලි ගෙවද්දිත් මං උන්නෙ ගේ දිහා බලාගෙන ටිකක් පුදුම වෙලා. මං උදේ යද්දි, මනුසතුත් මං එක්කම ගෙදරින් පිටවෙච්ච එකේ දැන් ආය වතාවක් මනුසත් ගෙ වාහනේ ගෙදර ඉස්සරහා එලියෙ නතර කරලා තියෙන්නෙ ඇයි කියන එක මට හිතාගන්න උනේ නෑ.
“මනුසත්ට කලින් ලෙක්චර්ස් ඉවර උනා නම් එයා වාහනේ තාප්පෙ අයිනෙ නතර කරලා තියන්න ඕන නෑනෙ ගරාජ් එකට දාන්න පුලුවන් නෙ. වාහනේ තාප්පෙ අයිනෙ නතර කරලා තියෙන්නෙ ආයෙ එයා යන්න ප්ලෑන් කරගෙන ඉන්න හන්දද?” කියලා හිත හිත මං ගේ ඇතුලට ආවෙ හරියට හොරෙක් වගේ. එහෙමත් නැත්තම් කාගෙ හරි හොරයක් අල්ලන්න වගේ.
ගෙයි සාලෙ හරි කෑම කාමරේ හරි කවුරුහරි පේන්න ඉඳී කියලා හිතුණට කවුරුවත් ගෙදර උන්නෙ නෑ.
ඒ එක්කම තමයි මට ඇහුණෙ කාගෙ හරි හීනි හිනා හඬක්.
මගේ හුස්ම හිරවෙන්න වගේ ආව එක අහන්නත් දෙයක්ද?
ඒ හිර වෙච්ච හුස්ම එක්ක මම හෙමින් සැරේ හිනා හඬ ආව දිහාවට අඩිය තිබ්බෙ හිත අස්සෙ මහ අසුබ පෙරනිමිත්තක ලකුණු ඇඳගෙන.


