ඊයේ රෑ ඇඬූ කඳුළින්ම නින්ද ගිය නිසාද මන්දා, මට ඇහැරෙද්දී වෙනදාට වඩා ගොඩක් පරක්කු වෙලා තිබුණා. ඔළුවේ මහා බරක් තියාගෙනම මම කුස්සියට ගියේ “මනුසත් නැත්තං ඒකටත් මට බණීවි” කියලා හිත හිත. මනුසත් ඊයෙ රෑ නිදාගන්න අපෙ කාමරේට ආවෙ නැති හන්දා මං හිතුවෙ එයා තාම එයාගෙ ඔෆිස් කාමරේ නිදි ඇති කියලා. ඒත් කුස්සියේ මම දැක්ක දේකින් මාව තප්පරේකට ගල් වුණා. මනුසත් ලෑස්ති වෙලා, එයාගේ තේ එක හදාගන්න ගමන් හිටියේ. වෙනදාට උදේ හයට මම මූණ ඉස්සරහට ගිහින් දෙන තේ කෝප්පේ අද එයා තනියම හදාගන්නවා දකිද්දී මගේ හිතට පුංචි ලැජ්ජාවක් වගේම බයකුත් ආවා.
“සොරි මට ඇහැරුණේ නෑ. කෝ දෙන්න මං හදලා දෙන්න” කියලා මම හෙමින් ඇහුවේ බිම බලාගෙන. මට ඇත්තටම මනුසත් දිහා කෙලින් බලන්න කොන්දක් එවෙලෙ තිබ්බෙ නෑ. මොක උනත් ඊයෙ වෙච්ච දේ වැරැද්දෙ වැඩි පැත්ත මගෙ ඇඟට වැටෙනවා කියන එක වගේම ඒක එහෙම වෙන්නෝන කියන හැඟීම මගෙ හිතේ තිබිච්ච හන්දා ද මන්දා මං උන්නෙ පුලුවන් තරං මනුසත්ගෙන් මූණ හංගගන්න බලාගෙන.
මනුසත් තේ කෝප්පේ අරන් කෑම මේසෙන් වාඩි වුණා. එයාගේ මූණේ ඊයේ තිබ්බ අර යක්ෂ පෙනුම නෑ. ඒ වෙනුවට තිබුණේ මාරම නිහඬ බවක්. මං වැඩියත්ම බය උනේ අන්න ඒකට. නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියන එක වගේම ඕනම කුණාටුවකට සුනාමියකට කළින් මාරම ලොකු සයිලන්ස් එකක්, කාම්නස් එකක් තියෙනවා නේද කියල යටි හිත අනතුරු අඟවද්දි මං උන්නෙ තප්පරෙන් තප්පරේ වැඩිවෙන බයක් එක්ක හිත ගල් කරගෙන.
“ඕන නෑ ලිහිණි, මම හදාගත්තා. ඔයාත් මෙතනින් වාඩි වෙන්නකෝ. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”
මම බයෙන් බයෙන් එයා ඉස්සරහින් වාඩි වුණේ ඒ වචන අස්සෙ පිරිලා තිබිච්ච දරුණු කුණාටුවෙ පළවෙනි හුලං පාර මගෙ පපුව කඩාගෙන ගිය හන්දා. මනුසත් තේ උගුරක් බීලා හරිම සන්සුන්ව කතාව පටන් ගත්තෙ එහෙම කුණාටුවක් ගැන එයා දන්නෙවත් නෑ වගේ. මං ඒ හන්දම මනුසත්ට කලින් කතාව පටන් ගන්න හිතුවෙ එහෙම කරලා හරි වෙන්න යන දේ බරපතල කම අඩු කරගන්න හිතාගෙන.
“මනුසත් ඊයෙ වෙච්ච…” කියලා මම කියන්න ගියාට මනුසත් අත උස්සලා මට ඒ කතාව නතර කරන්න කිව්වයින් පස්සෙ මට ඒක කන්ටිනිව් කරගෙන යන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.
“ලිහිණි, මම හිතුවේ නෑ ඔයා මෙච්චර පොඩි දේකටත් ඔය තරම් මහ පරිමාණයෙන් රියැක්ට් කරන කෙනෙක් කියලා. ඊයේ ඔයා හැසිරුණු විදිය මට කොහොමටවත් හිතාගන්න බැහැ. ඇයි ඔයාට බැරි මේක සාමාන්‍ය විදියට දකින්න? භානුකී ආවේ අහස්ගේ වැඩකට. මං ඔයාට අපි බඳින්න කලිනුත්, ඊට පස්සෙත් අවස්තා කීපෙකදිම කිව්වා භානුකී සහ මම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන සම්බන්ධෙන් වෙන් වුනාට අපිට කවදාවත් අපෙ දරුවන්ගෙ අම්මා සහ තාත්තා කියන සම්බන්ධෙන් මිදෙන්න විදියක් නෑ කියන එක. ඔයා මුල් කාලෙත් ඒකට විරුද්ධ වෙලා මෙහෙම හැසිරුණා නම් ඇත්තටම මම ඔයාව මැරි කරන්නෙ නෑ. මොකද මට භානුකීලව සදහටම මගෙ ලයිෆ් එකෙන් අයින් කරලා දාන්න බැරි හන්දා. ඒත් ඔයා මුල් කාලෙ ඒකට ඕකේ කිව්ව හන්දා තමයි අපි මේ සම්බන්ධෙ මෙච්චර දුර ගෙනාවෙ නේද? ඔයා මට බොරුවක්ද කරේ? ඒ කාලෙ ඔයා මට පෙන්නපු අහිංසක මූණයි දැන් ඉන්න විදියයි අහසට පොළව වගේ. මට හිතාගන්න බෑ මේ කාලෙට ඔයා කොහොමද මෙච්චර ලොකුවට වෙනස් උනේ කියලා. එක්කො ඔයා මට ලොකු බොරුවක් කරලා එහෙම නැත්තම් මේ තමයි ඇත්ත ඔයා.”
මම මනුසත්ගේ ඇස් දිහා බැලුවා. මගේ හිතේ තිබ්බ පීඩනය වචන වෙලා එළියට පැන්නෙ මට හිතේ තිබ්බ වේදනාව දරාගන්න බැරිම වෙච්ච තැන.
“මනුසත්… ඔයා දන්නේ නෑ මම ඊයේ මොන වගේ මානසික මට්ටමකින්ද ගෙදර ආවේ කියලා. ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මුළු ඔෆිස් එකම මං දිහා වැරදියට බලද්දී මම ගෙදර ආවේ ඔයාගෙන් පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන්. ඒත් ගෙදර එද්දී ඔයා භානුකී එක්ක එක්ක බිම වාඩි වෙලා හිනා වෙනවා දකිද්දී, වෙනදා වගේ ඒක ඉවසා දරාගෙන ඉන්න ලෙවල් එකකට මගේ ඔලුව වැඩ කළේ නෑ මනුසත්. මමත් මනුස්සයෙක් මනුසත්. මටත් තරහා යන දුක හිතෙන වෙලාවක් තියෙනවා. මට හැම තිස්සෙම අහිංසක මූනක් දාගෙන මේ වෙන හැමදේම ඉවසන් ඉන්න බෑ. මං තාම එච්චර ලෙවල් එකකට හිත දියුණු කරලා නෑ මනුසත්. මම බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක් නෙවෙයි. මම තවමත් ආදරේ හින්දා ඉරිසියා කරන, තමන්ගේ මිනිහව තව ගෑනියෙක් එක්ක බෙදාගන්න බැරි සාමාන්‍ය ගෑනියෙක් විතරයි.”
ඊයේ මම ඔෆිස් එකේ ලොකු ප්‍රශ්නෙක උන්නෙ මනුසත්. එහෙම වෙලාවක මම දුවගෙන ආවේ මගේ කියලා කියන්න ඉන්න එකම තැනට. මම හිතුවා ඔයා මාව පපුවට තුරුල් කරගෙන මොකද වුණේ ලිහිණි කියලා අහයි කියලා. ඒත් ඔයා? ඔයා හිටියේ ඔයාගේ ඒ පරණ සුරංගනා ලෝකේ. මම අගුල් දාලා වහපු, මම හැමදාම බය වෙච්ච ඒ අතීතය අස්සේ ඔයා භානුකී එක්ක මාරම සතුටින් හිටියා.
ඔයාට ඒක පොඩි දෙයක් වෙන්න ඇති මනුසත්. හැබැයි මට ඒක මරණ දඬුවමක් වගේ. මම රස්සාවට යන්න ගත්ත දවසේ ඉඳන් ඔයා මට සාප කළා මිසක්, එක දවසක් මගෙන් අඩුම ඔෆිස් එක කොහොමද කියලවත් ඇහුවෙ නෑ. මං ඔයාව දාහක් කතන්දර මැද්දෙ පවා කසාද බැන්දෙ මට ඒ හැමදේම ඉවසගන්න ශක්තියක් මේ ගෙදර ඔයා ඉන්නවා කියන විශ්වාසය හින්දා. ඒත් දැන් දැන් ඒක නෑ නේද කියලා හොඳටම තේරෙන තැනකට ආවයින් පස්සෙත් මං කොහොමද මනුසත් අහිංසක මූනක් දාන් ඉන්නෙ.
මට සමාවෙන්න මනුසත්, මට භානුකී වගේ ක්ලාස් එකක් නැතුව ඇති. මට එයා වගේ මොන ප්‍රශ්නෙ ඉස්සරහදි උනත් හිනා වෙලා, ඔයාගේ පරණ බැඳීම් දිහා උපේක්ෂාවෙන් බලන්න තරම් ලොකු හදවතක් නැතුව ඇති. මම ගොඩේ ගෑනියෙක් වෙන්න ඇති. හැබැයි ඒ ගොඩේ ගෑනියත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මිනිහා තමන්ට විතරක් අයිති වෙයි කියන එක විතරයි. ඒක ලොකු වැරද්දක්ද මනුසත්? මම ඔයා වෙනුවෙන් මගේ ලෝකෙම අතෑරලා ආවේ අන්තිමට ඔයාගෙන් මේ වගේ හිත රිද්දගන්නද?”
මනුසත් මං දිහාව බලාගෙන උන්නෙ එයා ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැතුව ඇති කියලා මට හිතෙන බැල්මකින්. එයාගේ ඇස්වල තිබ්බ දැඩි බව ටිකක් බුරුල් වුණා වගේ මට දැනුණා.
ඒත් මම ඉකි ගගහා කෑම මේසෙ උඩ ඔළුව තියා ගත්තා. මගේ මුළු ඇඟම වේදනාවෙන් වෙව්ලනවා මට දැනුණා. මනුසත් සද්ද නැතුව බලාගෙන හිටියා මිසක් වචනයක්වත් කිව්වේ නැහැ. මගෙ හිත තව පෑරෙව්වෙ අන්න ඒක.
“ලිහිණි, ඔයා ඔය කියන ප්‍රශ්නෙ මම දැනගෙන හිටියේ නෑ කියන එක ඇත්ත. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා භානුකීට කෑගහන්න ඕනේ කියලා. ඔයාගේ ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදරට ගේන්න එපා කියලා මම මුල ඉඳලම කිව්වේ ඒකයි. ඔයා දැන් පේනවනේ, ඒ ප්‍රශ්න හින්දා අපේ පවුලේ සාමයත් නැති වෙන ලෙවල් එකකට ඇවිත් තියෙන්නෙ.”
“ඔයා අන්තිමේ ඒකටත් වැරැද්ද දාන්නෙ මටද මනුසත්? මම ඔයාගෙන් ආදරේ කරුණාව බලාපොරොත්තු වෙන එකත් වැරදි ද? ඇයි ඔයාට මාව තේරුං ගන්න බැරි?”
“ලිහිණි, මම ඔයාව තේරුම් ගන්නවා. ඒත් එක දෙයක් මතක තියාගන්න. මට භානුකීව සහමුලින්ම ජීවිතෙන් අයින් කරන්න බෑ. ඒක මට විතරක් නෙවෙයි, කාටවත් කරන්න බැරි දෙයක්. මොකද එයා මගේ දරුවන්ගේ අම්මා. ඒ බැඳීම සදහටම තියෙනවා. ඔයා ඒක පිළිගන්නම වෙනවා. ඔයාට මාව අයිති කරගන්න බෑ ලිහිණි සහමුලින්ම. මාව ඕල් රෙඩි මගේ දරුවො අතර බෙදිලා ඉවරයි, අයිති කරගන්න එක කෙසේවෙතත් අඩුම අපි එකට සන්තෝසෙන් ඉන්නවත් උවමනාවක් ඔයාට තියෙ නම් ඔයා මුලින්ම ඔයාගේ ඔය අනවශ්‍ය ඉරිසියාව පාලනය කරගන්න”
මනුසත් පුටුවෙන් නැගිටලා මගේ ළඟට ආවෙ එහෙම කියාගෙන.
“මම අදත් කියන්නේ එදා කිව්ව එකමයි. මට මේ ගෙදර නිදහස ඕනේ. අහස්ගේ වැඩකට භානුකී මෙහෙ එන එක මම නතර කරන්නේ නෑ. ඒක ඔයාට දරාගන්න බැරි නම්, ඔයාට පුළුවන් මේ ගැන ආයෙත් හිතලා බලන්න. මම ඔයාට බල කරන්නේ නෑ මගේ නීති වලට යටත් වෙලා ඉන්න කියලා.”


