තිදස්ගේ ඒ සද්දෙ ඇහුණා විතරයි, මුළු කැබින් එකම නිකන් ගල් ගැහුණා වගේ එකපාරටම සද්ද නැතුව ගියා.
අපි දෙන්නම එකපාර තිදස්ගේ මූණ බලලා, ඊළඟ තත්පරේදී එකිනෙකාගේ මූණවල් බලාගත්තේ ඇත්තටම මොකද වෙන්න යන්නේ කියලා හිතාගන්න බැරිව. තිදස්ගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති මහා අමුතුම, බය හිතෙන පෙනුමක්. එයාගේ ඇස් දෙක නිකන් රතු වෙලා වගේ. හරියට හොඳටම තරහා ගියාම පිරිමින්ට අඬන්න බැරිවෙන හන්දා ඇස් රතුවෙච්ච වෙලාවක වගේ.
“දිව්‍යා… මම කිව්වේ ඔයාට. මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එන්න මගේ රූම් එකට.”
තිදස් එහෙම කියලා අපි දිහා ආයෙත් නොබලාම හැරිලා එයාගේ කැබින් එකට ගියා. මගේ පපුව ගැහෙන්න ගත්තේ හරියට රේස් පදින අශ්වයෙක් වගේ. ඇයි තිදස් මට කතා නොකර දිව්‍යාට විතරක් කතා කළේ? එයාටත් මාව එපා වෙලාද? නැත්නම් දිව්‍යා මෙතන ඇදපු කුණු කතා එයාටත් ආරංචි වෙලා, ඒ ගැන තව විස්තර අහගන්නද ඇයි ඒකිට එන්න කිව්වේ? ඒ කියන්නෙ තිදස් උනත් හිතනවා ඇත්තෙ අනිත් උන් මං ගැන හිතන විදියටමද?
දිව්‍යා මං දිහා බලලා සමච්චලේට වගේ හිනාවෙලා, සීට් එකෙන් නැගිටලා මගේ ඩෙස්ක් එක ගාවින් යද්දී මං දිහාව බැලුවෙ නිකන් මට මෙහෙම කියන්න වගේ. “බලපන්… දැන්වත් තේරෙනවද තිදස් සර් කාගේ පැත්තෙද ඉන්නේ කියලා? උඹේ නාඩගම් අදින් පස්සේ ඉවරයි ලිහිණි.” ඒකි එහෙම ලුක් එකක් මං දිහාවට දාලා හරිම ආඩම්බරෙන්, යුද්ධයක් දින්න විදියට තිදස්ගේ කාමරයට ඇවිදගෙන ගියා.
ඒකි ගියාට පස්සේ මම හිටියේ මහා ලොකු මානසික අරගලයක. මගේ හිත ඇතුළේ ප්‍රශ්න කෝටියක් තිබ්බා. මට දැනුණේ මහා පරාජිත හැඟීමක්. “ඇයි තිදස් මට එක වචනයක්වත් කතා කළේ නැත්තේ? ඇයි එයා මගේ පැත්ත ගත්තේ නැත්තේ? හරිනං මේ වෙලාවෙ එයා එන්නෝන මාව සනසවන්න නෙවෙයිද?” කියලා මම මගෙන්ම අහගත්තා. සමහරවිට එයාටත් දැන් මම වදයක් වෙලා ඇති. මම කසාද බැඳපු කෙනෙක් හන්දා මේ වෙච්ච දේ සම්බන්ධයෙන් එයා උනත් මාව පිළිකුල් කරනවා ඇති. දිව්‍යා වගේ සිංගල් කෙල්ලෙක් එයා පස්සෙ එද්දි මං වගේ කසාද බැඳලා පරඬැල් වෙච්ච හෝන්තුවක් හන්දා කතාවක් අහගන්න වෙච්ච එක ගැන එයා උනත් දුක් වෙනවා ඇති.
මම මගේ ඩෙස්ක් එකට ඔළුව තියාගෙන ඇස් පියාගත්තා. මට දැනුණේ මම මේ මුළු ලෝකෙම තනි වෙලා කියලා. මනුසත් මාව ගණන් ගන්නෙ නෑ, ඔෆිස් එකේ අය මට හිනා වෙනවා, දැන් මම විශ්වාස කරපු එකම කෙනා, තිදස් පවා මාව මගහරිනවා. ඇයි මිනිස්සු මෙච්චර කුරිරු? මම කරපු එකම වැරැද්ද මගේ පාඩුවේ ජීවත් වෙන්න හදපු එකද? ඇයි තිදස්… ඔයාටත් මාව තේරුම් ගන්න බැරි වුණාද? මං උන්නෙ මගෙ හිත අස්සෙන්ම ඔන්න ඕවා අහන ගමන්.
විනාඩි දහයක්… විස්සක්… කාලෙ හෙමින් ගෙවිලා ගියා. දිව්‍යා තාමත් තිදස්ගේ කාමරේ. මුළු ඔෆිස් එකම නිශ්ශබ්ද වුණත් මට දැනුණේ හැමෝම හොරෙන් මං දිහා බලනවා වගේ. මම හිටියේ හුස්ම ගන්නත් බයෙන්. තිදස් දිව්‍යාට මොනවා කියනවා ඇත්ද? සමහරවිට මාව අස් කරන්න කියලා බොස්ට කියන්න දෙන්නා එක්ක එකතු වෙලා ප්ලෑන් කරනවා ඇති. මගේ හිත එක එක විකාර දේවල් හිතන්න ගත්තා.
සෑහෙන වෙලාවකට පස්සේ තිදස්ගේ කාමරේ දොර හෙමින් ඇරුණා. දිව්‍යා එළියට ආවේ කලින් උන්න ඒ අහංකාර ලීලාවෙන් නෙවෙයි. දිව්‍යා කාමරෙන් ආව විදිය දැකලා මම පුදුම වුණා. දිව්‍යාගෙ මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා, ඇස් දෙක ඉදිමිලා තිබ්බෙ. එයා හොඳටම අඬලා කියලා ඕනම කෙනෙක්ට පේනවා ඒ මූණ දැක්කම. දිව්‍යා කාගෙවත් මූණ බලන්නේ නැතුව බිම බලාගෙනම ඇවිත් එයාගේ සීට් එකෙන් වාඩි වුණේ සමහරවිට එයාගෙ මූණ දැක්කම අපිට ඒ කාමරේ අස්සෙ වෙච්ච දේවල් පේනවා කියලා එයාට තේරිච්ච හන්දා වෙන්නැති.
මට එකපාරටම හිතට දැනුණේ මහා ලොකු සහනයක්.
“හොඳ වැඩේ ඕකිට! ඕකිට ඔහොම වෙලා මදි,” මම හිතින් කෑගැහුවෙ ඇත්තටම තිදස් ශුවර් එකටම දිව්‍යාට බැණලා තියෙනවා කියලා මට තේරිච්ච හන්දා. මගේ හිතේ තිබුණ වේදනාව මොහොතකට අමතක වෙලා, දිව්‍යාට ඒ අසරණ මූණ දැක්කම මට ඇති වුණේ මහා කුරිරු සතුටක්. ඒත් එක්කම මගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණා. තිදස් දිව්‍යාට මොනවා කිව්වද කියලා දැනගන්න. දිව්‍යාට ඔය විදියට අඬන්න තරම් තිදස් මොන වගේ වචන පාවිච්චි කරන්න ඇත්ද? අනික තිදස් දිව්‍යාට බැන්න නම් බැන්නෙ අහවල් දේකටද? හරිනං එයා බණින්නෝන මට නේද කියලා මට ඇත්තටම කල්පනා උනා.
දිව්‍යා ලේන්සුවෙන් ඇස් පිහිදානවා මම හොරෙන් බලන් හිටියා. එයාගෙ ඒ ගැහෙන අත් දෙක දැක්කම මට තේරුණා තිදස් දිව්‍යාට සාමාන්‍ය බැනුමකට වඩා ලොකු දෙයක් කියලා තියෙනවා කියලා. ඒත් එක්කම මගේ හිතට ආයෙත් අර පරණ බය ආවා. තිදස් දිව්‍යාට බැන්නේ මගේ පැත්ත අරන්ද? නැත්නම් වෙන ප්‍රශ්නයකටද? එයා මට තාමත් කතා කළේ නැත්තේ ඇයි? තිදස් මගේ පැත්ත අරගෙන දිව්‍යාට බැන්න එක ශෝක් කියලා තප්පර ගාණකට හිතුණට අනිත් පැත්තෙන් මට නොහිතුණා නෙවෙයි “එහෙම දෙයක් උනා නම් මේ ඔෆිඩ් එකේ තව කතන්දර වැඩිවෙනවා නේද?” කියලත්.
දිව්‍යා ඒ විදියට සුරුස් සුරුස් ගගා හොටු උඩට අදිද්දි, අපේ සෙක්ෂන් එකේ ඉන්න අනිත් උන් හොරෙන් හොරෙන් බලනවා මට පෙනුණා. මීට ටිකකට කලින් මට හින්ට් පාස් කර කර රඟපාපු ඒ උද්දච්චකම දැන් ඒකි ගාව ගෑවිලාවත් නැහැ. හැබැයි ඒකෙන් මගේ හිතට ලැබුණ ආතල් එකට වඩා ලොකු බයක් මගේ හිතේ වැඩ කරන්න ගත්තා. තිදස් ඇත්තටම දිව්‍යාට මොනවා කියන්න ඇත්ද? දිව්‍යා අඬන්නෙ තිදස් මගේ පැත්ත අරන් එයාට දොස් කියපු හින්දද, නැත්නම් මම හින්දා තිදස්ට මොකක් හරි කරදරයක් වෙලා ඒක දිව්‍යා පිටින් ගිය හින්දද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නෙ නැතුව ඇත්තටම මට හිතුණෙ මට නිකන් පිස්සු හැදේවි කියලා.
මම හෙමින් ඩෙස්ක් එක උඩ තිබුණ වතුර වීදුරුව අතට ගත්තා. උගුර වේලිලා කරවෙලා වගේ. වතුර උගුරක් බොන ගමන් මම බැලුවේ තිදස්ගේ කැබින් එකේ දොර දිහා. තාම ඒක වහලා. මට හිතුණා තිදස් මේ වෙලාවේ මාවත් ඇතුළට ගෙන්නලා මොනවා හරි කිව්වා නම් මීට වඩා හොඳයි කියලා. මේ වෙච්ච දේ මොකද්ද කියලා නොදන්නාකම මාව පිස්සු වට්ටන ගමන් උන්නෙ. තිදස් මට කතා නොකර හිටියේ ඇයි? මම කසාද බැඳලා කියන එක එයාටත් මහා ලොකු වැරැද්දක් වගේ පේනවා ඇතිද? එයා මාව දැන් මගාරින්න හදනවාද?
“දිව්‍යා… මොකද වුණේ බං?” අප්සරා හෙමින් සැරේ දිව්‍යාගේ ළඟට ගිහින් ඇහුවෙ සමහරවිට මට වගේම මේ වෙච්ච දේ මොකද්ද කියලා දැනගන්න බැරිකම එයාගෙ හිතටත් මහ වදයක් වෙච්ච නිසා වෙන්නැති.
ඒත් දිව්‍යා නෙවෙයි ඒකට උත්තර දුන්නේ. ඒ වෙනුවට එයා කරේ තවත් හයියෙන් ලේන්සුව මිරිකගෙන මූණ වහගන්න එක. “සර් මොනවා හරි කිව්වද? ඇයි මේ අඬන්නේ?” අප්සරා ආයෙත් ඇහුවත් දිව්‍යා හෙමින් ඔළුව දෙපැත්තට වැනුවා විතරයි. ඒ නිශ්ශබ්දතාවයම මට පෙනුණේ මහා ලොකු ගුප්ත දෙයක් වගේ.
මට ඒ වෙලාවේ මතක් වුණේ මනුසත්ගේ මූණ. “ඉන්න බැරිනම් යන්න පුළුවන්” කියලා එයා උදේ මට එයා නොකිය කිව්ව විදිය. එක පැත්තකින් මගේ කසාද ජීවිතේ අවුල් වෙලා. අනිත් පැත්තෙන් රස්සාව කරගෙන යන්න බැරි තරමට චාටර් වෙලා. මේ හැමදේම අස්සේ තිදස් මටත් එක්කම දිව්‍යාට බැන්නා නම් මම කොහොමද හෙට මේ මූණවල් බලන්නේ? මගේ හිත ඇතුළෙන් මම දහස් වාරයක් තිදස්ගෙන් ඉල්ලුවා “අනේ මටත් මොනවා හරි කියන්න, මෙහෙම මාව මගාරින්න එපා” කියලා.
දිව්‍යා තාමත් ඉකි ගහනවා. දිව්‍යා අඬපු එක මුලින් මට නිකන් හිත ඇතුළෙන් හිනාවෙන්න හේතුවක් උනත් දැන් නම් මේ ඇඬියාව අස්සේ මට දැනුණේ මම ලොකු පරාජිතයෙක් වගේ. මම වැරැද්දක් නොකරත්, මගේ ආත්ම ගෞරවය හැම තැනකදීම දැන් මං විශ්වාස කරපු මිනිස්සුන්ගෙ කකුල්වලට පෑගිලා ඉවරයි. මම හෙමින් නැගිටලා වොෂ්රූම් එකට යන්න හැදුවේ මූණ පොඩ්ඩක් හෝදගන්න හිතාගෙන. මම මගේ සීට් එකෙන් නැගිටිද්දීම තිදස්ගේ කැබින් එකේ දොර ඇරුණා.
මම එතනම නතර වුණා. තිදස් එළියට ඇවිත් කෙළින්ම මගේ දිහා බලයි කියලා මම හිතුවත්, එයා ඒ පැත්තවත් නොබලා කෙළින්ම බොස්ගේ කාමරේ පැත්තට ගියා. එයාගේ පියවරවල් වල තිබුණේ මහා ලොකු කලබලයක් වගේම කේන්තියක්.
“තිදස් සර්ට මල පැනලා ඉන්නේ… අද නම් කවුරු හරි ඉවරයි”
විහඟ හෙමින් අප්සරාට කියනවා මට ඇහුණා.
මම ආයෙත් හෙමින් මගේ සීට් එකේම වාඩි වුණා. මට වොෂ්රූම් යන්න තිබුණ උවමනාවත් අතුරුදන් වෙලා ගියා. මට ඕන වුණේ කොහොම හරි මේ වෙලා තියෙන දේ දැනගන්න විතරයි. දිව්‍යාට මෙච්චර අඬන්න තිදස් කිව්වේ මොකක්ද? ඒ වචන වල මගේ නමත් ගෑවිලා තිබුණද? මගේ හිතේ තියෙන ඒ ලොකුම ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ දැන් දිව්‍යාගේ කට ඇතුළේ විතරයි.
මගේ හිත තිබ්බෙ පුදුම විදියට නොසන්සුන් වෙලා. තිදස් මට කතා නොකළ එක මට තාමත් ලොකු වේදනාවක්. මම මගේ ෆෝන් එක අතට ගත්තා. තිදස්ගෙන් මැසේජ් එකක්වත් ඇවිත් තියෙයිද කියලා බලන්න. ඒත් කිසිම දෙයක් නැහැ. දිව්‍යා තාමත් හොටු හූරනවා. විහඟයි අප්සරායිත් දැන් සද්ද නැතුව වැඩ. මුළු සෙක්ෂන් එකම අමුතුම විදියට ගොළු වෙලා. මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ “ඇයි තිදස් මට කතා නොකර දිව්‍යාට විතරක් කතා කළේ?” කියන එකයි. ඒ රහස දැනගන්නකම් මගේ හිතට නිවනක් නැති බව මට තේරුණා.
ඒත් ඒ රහස දැනගන්න නම් එක්කො දිව්‍යා එහෙම නැත්තම් තිදස් කියන දෙන්නගෙන් එක්කෙනෙක් හරි කට අරින්නෝන විත්තිය මම දැනගෙන උන්නා.


