කලුවර රෑ සඳක් වගේ – 37

0
925

එදා දවස ගෙවුණේ හරියට අවුරුදු ගාණක් ගෙවෙනවා වගේ හරිම ස්ලෝ. 

වැඩ ඇරෙන වෙලාව එනකම්ම තිදස් මගේ පැත්තවත් බැලුවේ නෑ. අඩුම ගානේ පණිවිඩයක්වත්, මැසේජ් එකක්වත් නෑ. දිව්‍යා ඒ විදියටම මූණත් රතු කරගෙන, කා එක්කවත් වචනයක්වත් කතා නොකරම වැඩ ඇරුණු ගමන් බෑග් එකත් අරන් එළියට දිව්වේ අපි කාගෙවත් මූණ බලන්න බැරිකමට වෙන්න ඇති.

“අන්තිමේ ඉතින් එක මිනිහෙක් හින්දා කෙල්ලෝ දෙන්නෙක් මරාගෙන සෙක්ෂන් එකම චාටර් වෙච්ච එකයි වුණේ,” විහඟ හෙමින් අප්සරාට කියනවා මට ඇහුණා. ඒ වචන මගේ හිත පතුලටම කිඳා බැස්සේ මහා ලොකු වේදනාවකුත් එක්ක. මේ හැමදේටම වැරදිකාරිය මමද කියලා මට හිතුණු වාර අනන්තයි.

මම හෙමින් මගේ බෑග් එක අතට අරන් ඔෆිස් එකෙන් එළියට බහිද්දී මගේ පපුව ගැහෙන්න ගත්තේ නොදන්නා බයකින්. මම උන්නෙ බස් එකේ යනවද, පික් මී එකක් දාගෙන යනවද කියලා කල්පනා කරන ගමන්. මම පික් මී එකක් දාගෙන ගෙදර යනවා කියලා හිතාගෙන ෆෝන් එක අතට ගත්තත් එක්කම මගේ පෝන් එකට මැසේජ් එකක් ආවා. ඒ තිදස්ගෙන්. “පහළ කැෆේ එක ළඟ ඉන්න. අපි පොඩ්ඩක් කතා කරමු.” බොරු කියන්නෝන නෑනෙ හිත හීනියට හිනාවෙන අස්සෙම මම තිදස් මගෙන් අහන්න පුලුවන් කියලා හිතිච්ච හැම ප්‍රශ්නෙකටම උත්තර හිතෙන් හදාගත්තා. ඒ අතරෙ ලස්සන ප්‍රශ්න වගේම මට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නත් තිබ්බා. කෝකටත් හැමදේකටම රෙඩි වෙලා ඉන්න එක හොඳයි කියලා තමයි මං එවෙලෙ කල්පනා කරේ.

තිදස් මට එන්න කියලා එවලා තිබිච්ච කැෆේ එක තිබ්බෙ අපෙ ඔෆිස් එක තියෙන තැන ඉඳලා ඇවිදගෙන යන්න පුළුවන් ලෙවල් එකේ දුරකින්.

ඒක හරිම ලස්සන, නිදහස් තැනක්. වටේටම වීදුරු දාලා, ඇතුළේ ලස්සන කහ පාට ලයිට් දාලා, ලී මේස පුටු එක්ක හරිම ක්ලාසි පෙනුමක් ඒකට තිබුණේ. ඇතුළේ සුවඳ විහිදෙන කොෆි සුවඳයි, හෙමින් ඇහෙන මියුරු සංගීතයයි ඕනෑම කෙනෙක්ගේ හිත නිවන සුළු බව ඇත්ත. ඒත් මගේ හිතේ තිබුණේ මහා ලොකු කලබලයක්. එළියේ පරිසරය කොච්චර ලස්සන වුණත්, ඒ ලස්සන විඳගන්න තරම් මානසිකත්වයක් මට තිබුණේ නැහැ. මට දැනුණේ මම මහා ලොකු විත්ති කූඩුවක ඉන්නවා වගේ. තිදස් ඇවිල්ලා මගෙන් දැන් මොනවා මොනවා අහවිද කියන ප්‍රශ්නෙ මට නොතිබ්බ නෙවි.

කැෆේ එකේ වීදුරු බිත්තිවලින් එළිය බලද්දී පාරේ වාහන පේළියට යනවා පේනවා. මිනිස්සු හරිම සැහැල්ලුවෙන් හිනාවෙවී පාරේ ඇවිදගෙන යනවා. හැබැයි ඒ කිසිම දෙයක් මගේ හිතට දැනුණේ නැහැ. මම හිටියේ හරියට මම හදපු හීන මාලිගාව එකපාරටම කඩාගෙන වැටිලා, ඒ සුන්බුන් අස්සේ හිරවෙලා වගේ. අර ලස්සනට පේන කහ පාට ලයිට් එළිය මට දැනුණේ මගේ මූණට ගහපු සර්ච් ලයිට් එකක් වගේ. හැමෝම මං දිහා බලලා “මේ ඉන්නේ අර බැඳපු ගෑනියෙක් වෙලත් ඔෆිස් එකේ කොල්ලෙක් හන්දා වෙන ගෑනු එක්ක රණ්ඩු වෙන එකී නේද?” කියලා අහනවා වගේ මට දැනුණා.

කොෆි මැෂින් එකෙන් එන ඒ සද්දෙත් මගේ ඔළුව ඇතුළේ නිකන් බෙර ගහනවා වගේ දැනුණේ. මට ඒ වෙලාවෙ හැමදේම මහ වදයක් වගේ දැනුනෙ. මගේ අත් දෙක අයිස් වගේ සීතල වෙලා. මම බෑග් එකේ පටිය තද කරලා මිරිකා ගත්තේ මගේ වෙව්ලන ගතිය කාටවත් පේයි කියන බයට. මේ වගේ ලස්සන තැනකට මම ආවොත් එන්න ඕනේ මනුසත් එක්ක හරි තිදස් එක්ක හරි හරිම නිදහසේ හිනාවෙලා කතා කරන්නයි. ඒත් අද මම මෙතන ඉන්නේ මගේ වැරදිවලට දඬුවම් විඳින්න වගේ පරාණ බයකින්.

ඇත්තටම මම කරපු වැරැද්ද මොකක්ද කියලා මට තාමත් හිතාගන්න බැහැ. රස්සාව බේරගන්න බලද්දී මගේ ආත්ම ගෞරවය නැති වුණා. ආත්ම ගෞරවය බේරගන්න බලද්දී රස්සාවයි ගෙදර ජීවිතෙයි දෙකම අවුල් වුණා. තිදස් එනකම් ඉන්න වෙච්ච ඒ හැම තත්පරයක්ම මට දැනුණේ පැය ගාණක් වගේ. මම වතුර උගුරක් බිව්වත් ඒක උගුරෙන් පහළට ගියේ හරිම අමාරුවෙන්. මම මගේ හෙවනැල්ල දිහා බලාගෙන හිටියේ ඒකත් මගෙන් අයින් වෙලා යයිද කියන බයට. මට ඕන වුණේ මේ හැමදේම හීනයක් වෙන්න. මම ඇස් දෙක පියාගෙන හිතුවා “මම ආයෙත් ඇස් ඇරිද්දී මම මගේ කැම්පස් බෝඩිම් කාමරේ හරි ගෙදර කාමරේ හරි ඉන්නවා නම් කොච්චර හොඳද” කියලා. ඒත් ඇස් අරිද්දී ඉස්සරහින් පෙනුණේ ඒ වීදුරු බිත්තියයි, මගේ අසරණ මූණයි විතරයි.

මම ගිහින් කොනක තිබුණ මේසෙක වාඩි වුණා. විනාඩි දෙකක් යන්න කලින් තිදස් ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුණා. එයා කොෆි දෙකක් ඕඩර් කරලා මගේ දිහා බැලුවේ හරිම බැරෑරුම් විදියට. එයාගේ ඇස් වල තිබුණේ කෝපයට වඩා කලකිරීමක් වගේ හැඟීමක්.

“බොස්ට ආරංචි වෙන්න කලින් ඔයාට හරි තිබ්බා නේද මට මේ වෙච්ච දේ කියන්න ලිහිණි?” තිදස් කතාව පටන් ගත්තේ කෙලින්ම මගේ ඇස් දෙක දෙස බලලා. එයාගේ හඬේ තිබුණේ රළු බවක් නෙවෙයි, මහා ලොකු වේදනාවක්. මං නිකන් එයාගෙන් දෙයක් හැංගුවෙ ඇයි කියලා අහනවා වගේ වේදනාවක්.

මම මගේ ඇඟිලි එකට එක පටලවගන්න ගමන් බිම බලාගත්තා. “ඒ වගේ දෙයක් ඔයාගේ මූණටම ඇවිත් මම කොහොමද තිදස් කියන්නේ? මම දන්නවා මම ඒක හංගපු එක වැරදියි කියලා. ඒත් මට බය හිතුණා. ඔයා මං ගැන මොනවා හිතයිද කියලා මට හිතාගන්න බැරි වුණා,” මම කිව්වේ අඬන්න ඔන්න මෙන්න වගේ.

තිදස් ලොකු හුස්මක් හෙළලා මේසෙ උඩ තිබුණ කොෆි එක අතට ගත්තා. “ඔයා හිතුවේ මම ඔයාට බනී කියලාද? නැත්නම් මම ඔයාව අතඇරලා දායි කියලාද? ඔයාට තිබුණා මාව විශ්වාස කරන්න. අද දිව්‍යා ඔය විදියට හැසිරෙද්දී මට දැනුණේ මම ඔයාව නිකන් මහ කරදරේකට, අමාරුවකට වැට්ටුවා කියලා.”

” දිව්‍යා ඇයි අද අඬ අඬ එළියට ආවේ? ඔයා එයාට මොනවාද කිව්වේ එච්චරටම එයාට බ්‍රේක් වෙන්න?” මම මගේ හිතේ තිබුණ ලොකුම ප්‍රශ්නය හෙමින් එළියට දැම්මෙ ඇත්තටම මට ඒකට උත්තරේ දැනගන්න ඕන වෙච්ච හන්දා.

“මම එයාට කෙලින්ම කිව්වා මගේ හිතේ එයා ගැන කිසිම ෆීලින් එකක් තිබුණේ නැහැ, මීට පස්සේ තියෙන්නෙත් නැහැ කියලා. මම එයාට කිව්වා අනුන්ගේ පෞද්ගලික ජීවිත වලට එබිකම් කරලා මඩ ගහන එක නවත්තන්න කියලා. ඒකි හිතාගෙන හිටියේ මම ඔයාට බනියි කියලා, ඒත් මම ඒකිටයි බැන්නේ. තමන්ගේ සීමාව දැනගෙන ඉන්න කියලා මම හොඳටම සැර කළා. මම මෙච්චර දවසක් ඔච්චර චාටර් වෙල තිබ්බෙ නෑ. බොසුත් දන්නවනෙ. මොන ලැජ්ජාවක්ද කියන්නකො”

තිදස් එහෙම කියද්දී මට දැනුණේ මගේ පපුවේ තිබුණ බර ටිකක් අඩු වුණා වගේ. ඒත් මගේ හිතේ තාමත් ලොකු අසහනයක් තිබුණා. මොක උනත් තිදස් බැන්නෙ දිව්‍යාට විතරක් උනාට එතන මගෙත් වරදක් තිබුනනෙ. මට තිබ්බා මුලින්ම කට්ටියටම කියන්නෙ මම මැරීඩ් කියලා. එහෙම උනා නම් සමහරවිට මෙහෙම ප්‍රශ්න නොවෙන්න වගේම දිව්‍යා එක්ක උනත් මට අන්වෝන්ටඩ් ප්‍රශ්නයක් හදාගන්නෙ නැතුව ඉන්න තිබුණා.

තිදස් කොෆි එකෙන් උගුරක් බීලා ආයෙත් මගේ දිහා බැලුවේ හරිම ගැඹුරු විදියට. ඒ ඇස් දෙකේ තිබුණේ මට තේරුම් ගන්න බැරි අමුතුම එළියක් කැෆේ එකේ පසුබිමින් ඇහිච්ච ස්ලෝ මියුසික් එකයි, එළියේ පාරේ යන වාහන වල ලයිට් එළියයි එකතු වෙලා මැව්වේ හරිම නිහඬ, ඒ වගේම හිතට බරක් දෙන පරිසරයක්.

“දන්නවද ලිහිණි… මම දිව්‍යාට බැන්නේ ඔයා බැඳලා හින්දවත්, ඔයා අහිංසකයි කියලා හිතලවත් නෙවෙයි. මම එයාට බැන්නේ මගේ නම ගාවගෙන ඔයාට අපහාස කරපු හින්දා. මගේ ජීවිතේ මම කාටවත් ඉඩ දීලා නැහැ මම වෙනුවෙන් තීරණ ගන්න. දිව්‍යා හිතාගෙන හිටියේ ඔයා බැඳලා කියලා දැනගත්තම මම ඔයා එක්ක කතා නොකර ඉඳියි, ගණන් නොගෙන ඉඳියි කියලා. දිව්‍යාව මම දැනගත්තෙ රස්සාවට ආවයින් පස්සෙ. ඔයාගෙයි මගෙයි දැන ඇඳුනුං කම ඊට එහා ගියපු එකක් නේද? ඒ ඇඳුනුංකම කොච්චර දුරට යනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්නෙ මං මිසක් දිව්‍යාවත් වෙන කෙනෙක්වත් නෙවෙයිනෙ නේද?”

“මම දන්නවා මම ඔයාවත් අමාරුවේ දැම්මා කියලා. ඇත්තටම මට ඕන වුණේ නැහැ මේ ඔෆිස් එකේ කාටවත් මගේ පෞද්ගලික ජීවිතේ ගැන කියන්න. මම ආවේ රස්සාවක් කරන්න විතරයි. ඒත් අන්තිමට නිකන් බොරු ඕපදූපයක් හින්දා අපි අතරේ ප්‍රශ්න ඇති වුණ එකයි වුණේ.අයෑම් එස්ක්ට්‍රීම්ලි සොරි ෆො වට් හැපන්ඩ්”

මම එහෙම කිව්වේ හිතේ තිබුණ ලොකුම බර නිදහස් කරන්න වගේ. තිදස් එකපාරටම එයාගේ කොෆි කෝප්පය මේසය උඩින් තිබ්බා. එයාගේ මූණේ තිබුණ බැරෑරුම් ගතිය තවත් වැඩි වුණා.

“මොකක්ද බොරු ඕපදූපේ?” තිදස් ඇහුවේ හරිම කෙටි ප්‍රශ්නයක්.

“ඇයි අර ඔෆිස් එකේ හැමෝම කියන කතාව. ඔයා මං ගැන ඉන්ටරස්ට් කියලා හැමෝම කියවනවානේ. ඒකනේ දිව්‍යාටත් ඔච්චර මල පැන්නේ. ඉතින් ඒක බොරු ඕපදූපයක් බව අපි දෙන්නම දන්නවනේ,” මම හීන් හිනාවකුත් එක්ක කිව්වේ තිදස්ගේ හිත නිවන්න හිතාගෙන.

ඒත් තිදස් හිනා වුණේ නැහැ. එයා මගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියේ නිකන් මගේ හිත කියවන්න හදනවා වගේ. මට එවෙලෙ ඒ බැල්ම දැනුනෙ මහ බරක් වගේ.

“ඒක ඕපදූපයක් බව ඇත්ත ලිහිණි… ඒත් ඒක බොරුවක් කියලා ඔයා හිතුවේ කොහොමද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here