තිදස් ඒ අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ මුළු ලෝකයම එක තත්පරේකට නතර වුණා වගේ මට දැනුණා. මම අතේ තියාගෙන හිටපු කොෆි කෝප්පය මේසය උඩින් තිබ්බේ මගේ අත් දෙක වෙව්ලන එක තිදස්ට පෙනෙයි කියන බයට. කැෆේ එකේ පසුබිමින් ඇහුණු ඒ හීන් සංගීතය පවා මට දැනුණේ මහා ඝෝෂාවක් වගේ. මම තිදස්ගේ මූණ දිහා බැලුවේ හරිම අසරණ විදියට. එයාගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති මහා බැරෑරුම්, ඒ වගේම අවංක බැල්මක්.
“තිදස්… ඔයා මොනවද මේ කියන්නේ?” මම ඇහුවේ ගොත ගගහ, යාන්තමට පිටවෙච්ච කටහඬකින්.
තිදස් පුටුවට බර වෙලා, හරිම පරාජිත හිනාවක් මං දිහාවට දැම්මා.
“කසාද බැඳපු ගෑනියෙක්ට සම්බන්ධයකට කතා කරන එක කොච්චර බලු වැඩක්ද කියන එක මම නොදන්නවා නෙවෙයි ලිහිණි. ඒක මනුස්සකමටත් නිග්‍රහයක්. ඒත් මට තවත් මේක හිත අස්සේ හංගගෙන ඉන්න බැහැ. ඒ කසාදෙට කලිනුත් මම ඔයාට ආදරේ කළා ලිහිණි. හරියටම කිව්වොත් එදා ඉඳන් අද වෙනකම්ම ඔයාට හැමදාම ආදරේ කරපු කෙනා තමයි මම.”
මම හුස්ම ගන්නත් අමතක වෙලා වගේ මම එයා දිහා බලන් හිටියා. කැෆේ එකේ වීදුරුවෙන් එළිය පේන පාරේ වාහන වල රතු, සුදු එළි මගේ ඇස් ඉස්සරහා බොඳ වෙලා ගියා.
“ඒ නිසා මේ වෙච්ච දේවල් බොරු ඕපදූප කියලා හිතලා හිත හදාගන්න හදන්න එපා. ඔව්, ඒවා ඕපදූප වෙන්න ඇති, මොකද මිනිස්සු කතා වෙන්නේ අපේ පිටිපස්සෙන් හින්දා. ඒත් ඒවා බොරු නෙවෙයි ලිහිණි. මගේ පැත්තෙන් ඒ හැම වචනයක්ම ඇත්ත. ඔයා හිතුවද දන්නේ නැහැ මම ඔයා වෙනුවෙන් හැමදේම කළේ, ඔයාට මේ රස්සාව පවා අරන් දුන්නේ ඔයාව හිතෙන් අමතක කරපු හින්දා කියලා? අනේ නැහැ ලිහිණි… මම එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි මේ පොත්වල ඉන්නවා වගේ මගේ ජීවිතේ මම ආදරේ කරපු එකම කෙල්ල වෙන මිනිහෙක්ව බැන්ද ගමන් එයාව අමතක කරලා දාන්න. මට තාම ඒක කරන්න බැරි වුණා. ඉස්සරහටත් කවදාවත් බැරි වෙයි.”
තිදස් කියපු ඒ හැම වචනයක්ම මගේ හදවත පසාරු කරගෙන ගියා. මම මෙච්චර දවසක් හිතුවේ තිදස් මට උදව් කරන්නේ පරණ දැන ඇඳුනුංකමට, කැම්පස් එක නිසා අපි අතරෙ ඇතිවෙච්ච සහෝදරකමට, යාළුකමට කියලා. ඒත් ඇත්ත ඊට වඩා මහා ගොඩක් ගැඹුරුයි වගේම භයානකයි කියන එක මට තේරුණේ විහඟගෙ මේ වචන එක්ක.
තිදස් මගේ අතක් උඩින් එයාගේ අත තියන්න හැදුවත්, එයා ඒක නතර කරගෙන ආයෙත් අත පස්සට ගත්තා. එයා මගේ සීමාවන්ට ගරු කරන්න උත්සාහ කරනවා කියලා මට තේරුණේ ඒ විදියට. ඒත් ඔය කියන තරං සීමාවල් හැමදාම අපි අතරෙ තියාගන්න අපිට පුළුවන් වේවිද? කොටින්ම මං වගේ සැලෙන හිතක් තියෙන මනුස්සයෙක් එක්ක.
“මට ඔයාව හැමදාම මගේ ළඟින් තියාගන්න ඕන වුණා ලිහිණි. ඒ නිසයි ඔයාට මේ ජොබ් එක පවා දෙන්න මම මැදිහත් වුණේ. ඔයාව දවසකට සැරයක් හරි මගේ ඇස් ඉස්සරහා දකින්න ලැබෙන එක මට ලොකු සහනයක් වුණා. අනික ඔයා හිතන්න එපා ලිහිණි මම මුකුත් දන්නේ නැහැ කියලා. මම දන්නවා ඔයා ඔය මැරේජ් එක අස්සේ ඉන්නේ සන්තෝසෙන් නෙවෙයි කියලා.”
. මම එකපාරටම මගේ කඳුළු පිරුණු ඇස් දෙක පිහිදාගත්තෙ තිදස් ඒ කිව්ව කතාව එක්ක. තිදස් කිව්ව කතාව ඇත්ත වෙන්නැති. හැබැයි ඒක කවදාවත් මට කා එක්කවත් කියන්නෝන වෙච්ච, ලෝකෙට පෙන්නන්න ඕන වෙච්ච ඇත්තක් නෙවෙයිනෙ. එහෙනං කොහොමද තිදස් ඒ ඇත්ත දැනගත්තෙ?
“කවුද ඔයාට එහෙම කතාවක් කිව්වේ? උෂානිද?” මම ඇහුවේ තරහකට වඩා මහා ලොකු තැතිගැනීමකින්.
තිදස් ඔළුව දෙපැත්තට වැනුවා. “උෂානි මට කිසිම දෙයක් කිව්වේ නැහැ ලිහිණි. ඒත් ඔයා දිහා බලන ඕනෑම කෙනෙක්ට ඔයා ඉන්නේ අසන්තෝසෙන් කියන එක තේරෙනවා. ඔයාගේ ඇස්වල ඉස්සර තිබ්බ සන්තෝසෙ දැන් නැහැ. කැම්පස් එකේදී හිටපු ඒ ලිහිණියි, දැන් මේ ඉන්න ඔයයි අතරේ මහා ලොකු වෙනසක් තියෙනවා. ඔයා රඟපාන්න හැදුවට ඔයාගේ ඇස් දෙක හැමදේම පාවලා දෙනවා.”
තිදස් එහෙම කියද්දි මට ඇත්තටම ලැජ්ජ හිතුණා. මොක උනත් මට මීට වඩා පරිස්සම් වෙන්න තිබුනා කියල මට හිතුණා. මට දැනුණේ මම ලෝකෙටම රහසක් කියලා හංගගෙන හිටපු මගේ වේදනාව අද මේ කැෆේ එක මැද, තිදස්ගෙ ඇස් ඉස්සරහා නිරුවත් වුණා වගේ.
“ලිහිණි… මම දන්නවා මම මේ කියන දේවල් ඔයාට ලොකු බරක් කියලා. ඔයා දැන් මනුසත් සර්ගෙ වයිනෙ මොනවා උනත්. ඒත් මට එක දෙයක් කියන්න. මම මේ හැමදේම කරන්නේ ඔයාට බලපෑම් කරන්න නෙවෙයි. මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි. ඒත් මට තේරෙනවා මනුසත් සර් එක්ක ඔයාට ඒ සතුට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. ඔයාව දකින ඕන කෙනෙක්ට එදා ඔයාගෙයි අද ඔයාගෙයි ඒ වෙනස පේනවා ලිහිණි”
මම එකපාරටම ගැස්සිලා නැගිට්ටා. මගේ හිතේ තිබුණේ මහා ලොකු අවුලක්. එක පැත්තකින් අතීතෙ මට ආදරේ කරපු මං තඹ සතේකට ගණන් ගත්තෙ නැති, හැබැයි දැන් මගේ හිත හොල්ලලා තියෙන තිදස්.
අනිත් පැත්තෙන් මගේ වර්තමාන කටුක කසාදෙ. මම වචනයක්වත් කියන්න බැරුව තිදස් දිහා බලාගෙන හිටියා. තිදස්ගේ මූණේ තිබුණේ මාව බේරගන්න බැරි වෙච්ච මනුස්සයෙක්ගේ අසරණකම. ඒත් තිදස් මොකටද මං වගේ කසාද බැන්ද ගෑනියෙක්ට අනුකම්පා කරන්නෙ කියලා කල්පනා කරන්න තරං මොලයක් මට එවෙලෙ තිබ්බෙ නෑ. එවෙලෙ මං උන්නෙ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ අනුකම්පාව උනත් මහ දෙයක් වගේ භාරගන්න තරං පල්ලෙහා තැනකට වැටිලා.
මම මගේ බෑග් එකත් අරන් හදිස්සියෙම කැෆේ එකෙන් එළියට දිව්වේ තිදස්ට සමු දෙන්නවත් හිතක් නැතුව. මට ඕන වුණේ මේ ඇත්තෙන් පැනලා දුවන්න. ඒත් මම දුවන්නේ කොහාටද? මනුසත්ගේ ඒ හිරගෙදර වගේ ගෙදරටම නේද? එහෙම බැලුවම හැම තැනකම තියෙන්නෙ හිරවීමයි, රැවටීමයි විතරයි නේද? මම කරන්නෙ අවස්තානුකූලව මානසික වදෙන් බේරෙන්න අතනින් මෙතනට. මෙතනින් අතනට මාරුවෙන එක.
මම කැෆේ එකෙන් එළියට ඇවිත් පාරට වැටුණේ හරියට සිහියක් නැති මනුස්සයෙක් වගේ. පාරේ යන වාහනවල සද්දෙවත්, මිනිස්සුන්ගේ තෙරපීමවත් මට දැනුණේ නැහැ. මගේ කන් අස්සේ දෝංකාර දුන්නේ තිදස්ගේ ඒ වචන ටික විතරයි. “මම තවමත් ඔයාට ආදරෙයි ලිහිණි…” ඒ වචන මගේ හිත පිච්චුවා. මම මනුසත්ගේ බිරිඳ වෙලත්, තිදස් මං ගැන මෙච්චර හැඟීමකින් ඉන්නවා කියලා දැනගත්තම දැනුණේ මහා ලොකු බයක් එක්ක කලවම් වෙච්ච වරදකාරී හැඟීමක්.
මම කොහොම හරි ත්‍රීවීල් එකක් දාගෙන ගෙදර ආවා. පඩිපෙළ නගිද්දීත් මගේ කකුල් පණ නැති වෙලා වගේ වෙව්ලනවා. ගෙදර ඇතුළට ආපු ගමන් මම කෙළින්ම ගියේ කාමරයට. අන්ධකාරෙම මම ඇඳ උඩින් වාඩි වුණා. මට ලයිට් එක දාන්නවත් හිතක් තිබුණේ නැහැ. මේ හුදෙකලාව මට ඔරොත්තු දෙනවා වැඩියි වගේ. මම හෙමින් ඇස් දෙක පියාගත්තා. තිදස් කියපු හැමදේම ආයෙත් මැවි මැවී පේන්න ගත්තෙ මට ඒ ඇස් පියාගැනිල්ල අස්සෙ.
“ඔයා ඉන්නේ අසන්තෝසෙන් කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා…”
ඒක ඇත්ත. මම මේ කාලෙම මනුසත් එක්ක හිටියේ පණ තියෙන මළමිනියක් වගේ. උදේට නැගිටිනවා, වැඩට යනවා, හවසට ඇවිත් උයනවා, මනුසත්ගේ රළු වචන අහගෙන නිහඬව ඉන්නවා. මගේ හීන, මගේ සතුට ඒ හැමදේම මම මේ ගෙදර බිත්ති හතර අස්සේ වළලලා දැම්මා. තිදස් ඒක දැක්කා. එයා ඒක දැකලා මට උදව් කරන්න හැදුවා. මම හිතුවේ එයා මාව යාළුවෙක් විදියට බේරගන්න හදනවා කියලා, ඒත් එයා මට ආදරේ කරලා.
මම මගේ වෙඩින් රින්ග් එක දිහා බැලුවෙ එක තප්පරේකට ඇස් ඇරලා. ඒක මගේ ඇඟිල්ලේ හිරවෙලා තියෙන්නේ හරියට මගේ ජීවිතේ මනුසත්ගේ කන්ට්‍රෝල් එකට හිරවෙලා තියෙනවා වගේ. තිදස් ළඟ මට නිදහසක් දැනෙනවා. එයා මාව තේරුම් ගන්නවා. එයා එක්ක ඉද්දී මට ආයෙත් මගේ පරණ සැහැල්ලු ජීවිතේ මතක් වෙනවා. ඒත් මම කොහොමද මගේ කසාදෙ පාවලා දෙන්නේ? මම කෙච්චර අසරණ වුණත් මම මනුසත්ගේ වයිෆ්!
පැය ගාණක් මම ඒ විදියටම කල්පනා කර කර ඉන්න ඇති. කාමරේ දොර ඇරෙන සද්දෙට මම ගැස්සිලා බලද්දි එතන උන්නෙ මනුසත්. මම කාමරේ ලයිට් එකවත් නොදා එහෙම ඇඳට වැටිලා ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මම එයාගෙ ඇස් අස්සෙ දැක්කත් මට ඒකට උත්තර දෙන්න උවමනාවක්වත් හයියක්වත් තිබ්බෙ නෑ. හොඳ වෙලාවට මනුසත් මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙත් නෑ. එයා කරේ ලයිට් එක දැම්ම එක. එකපාරටම ඇස්වලට වැදිච්ච ඒ එළිය මට දරාගන්න බැරි වුණා. මනුසත් එයාගේ ටයි එක බුරුල් කරන ගමන් හරිම බැරෑරුම් විදියට මං දිහා බැලුවා.
“මට කියන්න ලිහිණි… මොකක්ද දැන් ඔයාගේ තීරණේ?”
මනුසත්ගේ ඒ ප්‍රශ්නෙ මගේ කන් අඩි පුපුරවන්න වගේ මට ඇහුණෙ.
මගේ මුළු ජීවිතේම ඒ එක ප්‍රශ්නයක් ඇතුළේ හිර වෙලා තිබ්බෙ. මට උත්තරයක් තිබුණේ නැහැ. මම හිටියේ මහා ලොකු අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න වගේ.
වෙලාවකට මට හිතුණා ඒ අගාධෙට වැටිලා ගියා නං මීට වඩා හොඳයි කියලත්.
ඒත් මම මනුසත්ගෙ වයිෆ්. මං කොහොමද අගාධෙකට වැටෙන්නෙ?
මං ඇත්තටම හිරවුණේ අන්න එතන!


