BE SILENT – 12

0
405

” ඕකේ සර් ! ගුඩ් නයිට්. !” 

ෂියෝනා බොතේජුගේ නිවස පිහිටි මහල් නිවාස සංකීර්ණය අසලින් මනුහස්ගෙන් සමු ගත් සචින්ද්‍ර තම නවාතැන් පළ කරා ඉගිල ගියේය . 

දෙතුන් වතාවක්ම නාද වන දොරෙහි සීනුවට අවදි වුණු ෂියෝනා නිදි ගැට කඩමින් වේලාව බැලුවාය. වේලාව රාත්‍රී දොළහ කණිසමට ආසන්නය . විසිරී ගිය කොණ්ඩය එක මිටකට ගෙන පෝනිටේලයක් දමා ගත් ඈ මෙවැනි මොහොතක නිවසට කඩා වදින්නේ කවුරුදැයි දැන දැනම දොර විවර කිරීම පමා කළාය. 

යළිත් වතාවක් දෙවතාවක් දොරෙහි සීනුව නාද වුවද ඈ තවදුරටත් එය විවර නොකරම සිටියාය . නමුත් ගත වුයේ තත්පර කිහිපයකි.

එක දිගට කිසිවෙකු හෝ විසින් දොරට තඩිබාන හඬක් ඇසුණේය. 

සෙල්ලම් බෙරයක් අතට හසු උනු පොඩි දරුවෙකු සේ පිටත සිටි මනුහස් එක දිගට තම දෑතින්ම දොරට තඩි බාමින් සිටි අතර වහා ඉදිරියට ආ ෂියෝනා ඉක්මනින් දොර විවර කළාය. ඒ වන විටත් අනෙක් නිවෙස් තුළින් රාත්‍රීයේ ඇසෙන විසල් ශබ්දයට කලබලයෙන්  පිටතට බැස බලා සිටි කිහිප දෙනෙක් යළිත් බැන වදිමින් යන අයුරු දුටු ෂියෝනාගේ මුහුණ ලැජ්ජාවෙනුත් , මනුහස් වෙනුවෙන් උපන් කෝපයෙනුත් පිරී ගියේය. 

දොර විවර කළ ෂියෝනා , මනුහස් දෙස නොබලාම ඉවත බලා සිටි අතර නිවස තුළට පැමිණි මනුහස් හැඳ සිටි ජැකටය ගලවා පුටුවක් මතට විසි කළේය. 

” බඩගිනියි … “

ඔහු එසේ පවසා කුඩා මුළුතැන්ගෙයට වැද ශීතකරණයේ තිබූ සීත වතුර බෝතලයක් ගෙන එක හුස්මට බීමට පටන් ගත්තේය . කිසිවක් පැවසීම කෙසේ වෙතත් මනුහස්ගේ මුහුණ දෙස හෝ හැරී නොබැලූ ෂියෝනා මුළුතැන්ගෙහි කූඩයක් තුළ තිබූ නූඩ්ල්ස් පැකට් දෙකක් ගෙන සෑදීමට පටන් ගත්තාය . 

වතුර බෝතලය හිස් කළ මනුහස් , යළිත් ශීතකරණය විවර කොට මින් පෙර දිනක තමා විසින්ම ගෙනත් තැබූ ශීත කළ බීර බෝතලයක් ගෙන ෂියෝනා අසලින්ම පැන්ට්‍රිය මතින් හිඳ ගත්තේය . ඔහු දෙස තවත් නොබලා සිටීමට තීරණය කළ ඈ නිහඬවම කෑම බඳුන පිළියෙළ කරමින් සිටියාය . 

බිත්තර , එළවළු , සොසේජස් , චීස් දමා කඩිමුඩියේ සැකසූ නූඩ්ල්ස් පිඟාන මනුහස් අසලින් තැබූ ෂියෝනා නිහඬවම ආපසු යන්නට හැරුණාය . තමාට පිටුපා යෑමට උත්සාහ කළ තරුණියගේ අතින් අල්ලා ගත් මනුහස් අනෙක් අතින් නූඩ්ල්ස් පිඟානත් අතැතිව නිවසේ බැල්කනිය කරා අඩි තැබුවේය. බැල්කනියේ ඇති කුඩා ලී පුටුවට බර වූ ඔහු එහි තිබූ ටීපෝව මත නූඩ්ල්ස් පිඟාන තැබූ අතර ෂියෝනා ඔහුගෙන් අත මුදවාගෙන යළිත් ඔහු මඟ හැර යෑමට අඩියක් තැබුවාය. නමුත් එවේලෙහිද තදින් ඇගේ අතින් අල්ලාගත් මනුහස් ඈ බලෙන් මෙන් ලී පුටුවේ තමා අසලින්ම වාඩි කර ගත්තේය. 

” කනවා.. කාලා නෑ නේද ? “

” මටෝන්නෑ…”

ඉදින් ඒ ඈ කතා කළ පළවන වචනයයි . 

” කන්න බැරි නං මට කවනවා. “

” හැන්දක් තියෙන්නේ ඒකට තමයි. අරන් කන්න. “

” පිස්සු නැතුව ඉන්නවකෝ ඕයි. “

” තාම මට නං පිස්සු හැදිලා නෑ ලොකු සර් . සර් තමයි මේ තමන්ගෙ තත්වෙට ගැලපෙන්නැති තැන් වලට ඇවිත් ඉන්නේ . අපි කොහොමත් ඉන්නේ සර්ලා වගේ ලොකු මිනිස්සුන්ගෙ ඕඩර්ස් පිළිපදින්න විතරනේ. මේ ජොබ් වල අපිට ඕන දේ කරන්න ඉඩක් නෑනේ. නරකක් කළත් එකයි , හොඳක් කළත් එකයි. බැනුමකට එහා දෙයක් නෑ. “

” හයියෝ… ඔන්න ඉතිං පටන් ගත්තා. තමුසෙනේ අනවශ්‍ය වැඩ කරන්න ගිහින් තියෙන්නේ. බලනවා.. , අද කරපු ගොං වැඩේ නිසා තමුසේ විතරක් නෙමෙයි මාත් චාටර් උනා. අනික දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවා ෂියා. අර අපේ අම්මා කියනවා හැම එකටම කඩදාසිය ළිපේ දැම්මා දුවන්න තියා ගන්න එපා. දැන් ඉතිං අච්චර දුරක් ගිහින් හොයන් ආපු දේවල් වලිනුත් වැඩක් නෑනේ.” 

ෂියෝනා තිගැස්සී මනුහස් දෙසට හැරුණාය. 

” ඒ කිව්වේ…?” 

” කිව්වේ ඉතිං ඉවරයි. ඔක්කොම ඉවරයි. පෝස්ට්මෝටම් රිපෝට් එකේ තියනවා මේක සුයිසයිඩ් එකක් කියලා. ඉන්වෙස්ටිගේශන් නැවැත්තුවා. “

” එතකොට මේක ඉවරද ? “

” හ්ම්ම්…” 

” එතකොට කැන්ඩි ගිය එක. ?” 

” ගිය එකෙන් නං සෑහෙන්න දේවල් ටිකක් හොයාගත්තා. ඒත් ඉතිං දැන් වැඩක් නෑනේ. ” 

මනුහස් ජංගම දුරකතනය අතට ගෙන එහි තිබූ සියළු වීඩියෝ ෂියෝනා හට පෙන්වූයේය.

” ඒ කියන්නේ මිනිහා තාම ඉන්නවා.. “

” හ්ම්ම්… දැන් එතකොට ඒ මනුස්සයගෙ වයිෆ්ව ඇරෙස්ට් කළේ මොන හේතුවක් උඩද ? “

ෂියෝනා මඳ වේලාවක් නිහඬව සිටියාය . ඉන් පසු විසල් හුස්මක් හෙළුවාය. 

” අපි මිස්ටර් මල්දෙණියගෙ ලැප් එක චෙක් කළා. ඒකේ  මිස්ටර් මල්දෙණිය ලියපු ඊමේල් එකක් තිබ්බා. . ඒකේ හැටියට මිසිස් මල්දෙණියයි , මිස්ටර් මල්දෙණියයි අතරේ සෑහෙන්න ප්‍රශ්න තිබිලා තියනවා. ප්‍රධාන ප්‍රශ්නේ දරුවො නැති එක. මිසිස් මල්දෙණිය ඒකට උත්සාහ කළේවත් නෑ කියලා තමයි ඒකේ තිබුණේ. 

අනික තව තිබ්බා මිස්ටර් මල්දෙණියට ඒ ප්‍රශ්නේ නිසාම ජීවිතේ එපා වෙලා කියලා. කොච්චර සැප සම්පත් තිබ්බත් වැඩක් නෑ තමන්ගෙ කියලා දරුවෙක් නැතුව. ඒ නිසා ජීවිතේ ගැන අන්තිම දශමෙටම කළකිරිලා තියෙන්නේ කියලා ඒකේ තිබුණා. ඒ ඔක්කොමත් පැත්තකින් තිබ්බම අන්තිමටම තිබ්බේ හිතාගන්න බැරි විදිහට තමන්ගෙ මරණේ සිද්ධ උනොත් ඒකට වගකියන්න ඕනේ තමන්ගෙම බිරිඳ කියලා “

ෂියෝනා එසේ පවසමින් නූඩ්ල්ස් හැන්දක් මනුහස්ගේ මුවට ළං කළද ඔහු මුව විවර නොකරම ඉවත බලා ගෙන සිටියේය . දිගු කල්පනාවකට වැටී සිටි ඔහුගේ දෙකම්මුල් නළියන ආකාරයක් අහම්බෙන් දුටු ෂියෝනාගේ හදවත පෙර නොවූ ආකාරයට අමුතුම හැඟීමකින් වෙළී ගියේය . මෙතරම් කල් ඔහු හා එක්ව කෙතරම් නඩු කටයුතු හා පරීක්ශණ වලට සහභාගී වී ඒවා විමර්ෂණය කළද ඔහු කිසිදු දිනක කිසිදු රාජකාරීමය කටයුත්තකදී මෙතරම් හැඟීම්බරව සිටිනවා ඇය දැක නැත . 

” දැන් ඔයා හිතන්නෙත් මේක පිටිපස්සේ මිසිස් මල්දෙණිය ඉන්නවා කියලද ?” 

බොහෝ වේලාවකට පසු ෂියෝනා දෙස නොබලාම මනුහස් ඇගෙන් විමසුවේය .

” අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. මං හොයාගත්ත දේවල් වගේම , ඔයා දැන් කියපු දේවලුත් අරන් බැලුවම මයන් මල්දෙණිය මේ වෙනකොට මැරිලා හිටියත් , ජීවත් වෙලා හිටියත් කොහෙන් හරි මේකට මිසිස් මල්දෙණියගේ සම්බන්ධයක් තියනවා. “

මනුහස් සීත ඉවත් වී ගොස් තිබූ බීර බෝතලය එක හුස්මට බී ඉවර කළේය. 

” නිකමට හිතන්න , මෙච්චර ලොකු රටේම පිළිගත්තු බිස්නස්මන් කෙනෙක් වෙලා දවස් දෙකක් අතුරුදහන් වෙලා හිටියා. ඊට පස්සේ ගඟක තිබිලා බොඩි එකක් හම්බුණා. කිසිම ඩීඑන්ඒ ටෙස්ට් එකක් නොකර අඳුරගන්න බැරුව තිබ්බ මිනිය අතේ තිබ්බ මුද්දෙනුයි , කරේ තිබ්බ මාලෙනුයි , තව ඔය අනිත් අනං මනං වලිනුයි විතරක් අඳුරගන්නවා. එතනම අවුලක් තියනවා කියලා ඕනෙම එකෙක්ට පේනවනේ ?”

මනුහස් තව දුරටත් කල්පනාවේ ගිලී සිටියා විනා කිසිවක් හෝ පැවසුවේ නැත. 

” මට තේරෙන්නැත්තේ කැන්ඩි වලින් ඔච්චර එවිඩන්ස් හොයා ගත්තනං ඇයි ඔයා මේ තරං සයිලන්ට් එකේ ඉන්නේ කියලා ? ඔයා මේ ගැන ලොකු සර්ට කිව්වද ?” 

මනුහස් හිස සලා නැත යැයි පැවසුවේය. 

” ඇයි අප්පා ඒ ?”

ෂියෝනාගේ හඬ පෙරට වඩා උස් වූවාය.

” ඇයි ඔයා හොටෙල් එකේ ඔය කියන මැනේජර්ව ඇරෙස්‍ට් කළේ නැත්තේ ? අපිට තිබුණා ෆොරෙන්සික් එකෙන් ගෙන්නලා මුළු හොටෙල් එකම ආයේ චෙක් කරන්න. ඔය කියන විදිහට ඉමර්ජන්සි එක්සිට් එකේ මල්දෙණියගේ ෆින්ගර් ප්‍රින්ට්ස් ඇති. එතකොට ඌ වගේ ආපු එකාගේ ෆින්ගර් ප්‍රින්ට්ස් රූම් එකේ ඇති. එතකොට ඔයා පෙන්නන මේ සීසීටිවි ෆුටේජස් .? මට තේරෙන්නෑ මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔයා ඒ මුකුත්ම කරන්නේ නැත්තේ කියලා ? “

” මොකටද ?” 

එවර ඔහුගේ පැනය හමුවේ ෂියෝනා තිගැස්සී ගියාය. 

” මනූ .. ඔයා කරන්නේ නීති විරෝධී වැඩක්නේ. ? මේ මිනිහා මැරිලා. උගෙ නමට මරණ සහතිකේකුත් තියනවා. ඒත් ඌ ජීවත් වෙනවා. මේක කොච්චර බරපතල වරදක්ද කියලා ඔයාට කියල දෙන්න ඕනේ නෑනේ ? ඉතිං ඒක හොඳාකාරවම දැනගෙනත් සද්ද නැතුව ඉන්න එක ඊට වඩා වරදක්. “

” කවුරුහරි පැමිණිල්ලක් දාන්න එපැයි මරණේ ගැන සැකයි කියලා. එහෙම උනොත් බලමු. “

” පැමිණිල්ලක් එනකන් මොකටද මනූ ඉන්නේ ? අපිට මේක උඩට ගන්න පුලුවන්නේ ? ලොකු සර්ට මේ ගැන කියන්න විතරයි තියෙන්නේ. “

” බලමුකෝ. හදිස්සි වෙන්න ඕන්නෑ.. “

“. බලන් ගියාම මූ සෑහෙන්න මොළ කාරයෙක්. වෙන්නත් එපැයි. එහෙම නොවෙන්න මෙච්චර කෝටිපතියෝ වෙයි ඈ.. ?” 

ෂියෝනා නැවත වතාවක් නූඩ්ල්ස් හැන්දක් මනුහස්ගේ මුවට ළං කළේය.

” ආ…!”

” එපා ඇති . “

” භාගයක්වත් කෑවේ නෑනේ ?” 

කිසිවක් නොපැවසූ මනුහස් හිස් බීර බෝතලයද අතැතිව නැඟී සිට මුළුතැන්ගෙය දෙසට යන අයුරු ෂියෝනා පුදුමයෙන් බලා සිටියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here