BE SILENT – 29

0
2752

” අපිට මේක මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා මිසිස් මල්දෙණිය. මොකද මං අනුමාන කරන විදිහට මේවා නිකන්ම නිකන් දිවිනසා ගැනීම් නෙමෙයි . තමන්ට තියන මානසික ප්‍රශ්න , පවුල් ප්‍රශ්න , ආර්තික ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතේ නැති කරගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒත් මේ අයගේ මරණ වෙලා තියෙන්නේ එහෙම හේතු උඩ කියලා මට මේ අය දිහා බැලුවම පේන්නෑ. මෙයාලගෙ ජීවිත වලට පිටින් සම්බන්ධ වෙච්ච මොකක් හරි කාරණයක් හරි , කවුරුම හරි කෙනෙක් හරි මේවා පිටි පස්සේ ඉන්නවා. ඒ නිසා මට මේක මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා. හරියට අරන් බැලුවොත් මුලින්ම නැති වෙලා තියෙන්නේ ටෙහාන් මෙන්ඩිස්. දැනට අපි දන්න විදිහට ටෙහාන් මෙන්ඩිස්ගේ වයිෆ් උමායා මෙන්ඩිසුත් මිස්ටර් මල්දෙණියලා එක්ක එකට ඉගෙනගත්තු කෙනෙක්. “

” ඔව්.. ඒක හරි.. උමායාත් හිටියේ ඒ ක්ලාස් එකේම තමා. “

” අපි කීපවතාවක්ම උත්සාහ කළා මිසිස් මෙන්ඩිස්ව මුණ ගැහිලා මේ ගැන ටිකක් කතා කරන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුන්නෑ. අපි මේ ප්‍රශ්න කිරීම් උනත් නීත්‍යානුකූලව කරන්න තාම උත්සාහ ගන්නෑ මිසිස් මල්දෙණිය. මොකද එහෙම උනොත් අපිට වැඩි කාලයක් මේ ඉන්වෙස්ටිගේශන් කරගෙන යන්න වෙන්නෑ. හැම පැත්තකින්ම වගේ බලපෑම් එන්න පුලුවන් . ඒත්.. මිසිස් මෙන්ඩිස් මුණ ගැහෙන්න උත්සහ කරපු එක වගේම ඉස්කෝලෙන් හරි තොරතුරක් ගන්න බැරි උනු නිසා මං හිතන් හිටියේ මේක මීට වඩා ලීගල් විදිහට කරන්න කියලා. “

මනුහස්ගේ ස්වරය මඳ දැඩි ස්වභාවයක් ගෙන තිබුණේය. වජිරා මල්දෙණිය මනුහස් දෙස බලා විසල් සුසුමක් හෙළුවාය .

” මිස්ටර් විජේවර්ධන කිව්ව හරි . මයන්ලා එක්කලා ඉගෙනගත්තේ රටේ නමගිය පවුල් වල දරුවෝ. කවුරුවත් කැමති නෑනේ අමාරුවෙන් හදාගත්තු තමන්ගෙ නමටයි , තත්වෙටයි හානියක් වෙනවට. මල්දෙණිය ගෲප් එකේ සභාපති මං උනත් , හැම ඩිසිශන් එකක්ම මට තනියම ගන්න අමාරුයි . ඒකට අපිට ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. හැම කෙනාගෙම අදහස්  අහලා ඒ අනුව තමයි අපි උනත් තීන්දු තීරණ ගන්නේ. මයන්ගෙන් පස්සේ අපිට ඉන්නේ නෙත්‍යා. එදා මයන්ගේ සුයිසයිඩ් නෝට් එකක් ගැන කියලා නෙත්‍යාව පොලීසියට එක්කන් ගියාම මුළු මල්දෙණිය ගෲප් එකම සෑහෙන්න කලබල උනා. මයන් නැති උනා. ඒක හරි. ඒත් ඒ සිද්ධියට නෙත්‍යාගේ නම ගෑවෙන එක සුදුසු නෑ. ඒක මල්දෙණිය පවුලට වගේම මල්දෙණිය ගෲප් එකටත් හොඳ දෙයක් නෙමෙයි. කළු පැල්ලම් තියාගෙන අපිට තව දුරටත් මේ බිස්නස් ෆීල්ඩ් එකේ මල්දෙණිය කියන නම තියාගෙන ඉස්සරහට යන්න බෑ. 

අපිට ආපු ඒ ප්‍රශ්නේ මේ වැඩේදී මේකට සම්බන්ධ අනිත් මිනිස්සුන්ටත් එන්න පුලුවන් මිස්ටර් විජේවර්ධන. මිනිස්ටර් සේනක පළිහවඩන , එතකොට මිනිස්ටර් ඩෙස්මන් ආබෲ ඒ දෙන්නගෙම පුතාලා දෙන්නා උනත් ඉගෙනගත්තේ මයන්ලා එක්ක. ඒ ක්ලාස් එකේ හිටපු විසි හත් දෙනා අතර ඒ දරුවෝ දෙන්නත් ඉන්නවා “

මනුහස් කුතුහලය පිරි දෙනෙතින් වජිරා මල්දෙණිය දෙස බැලුවාය. 

” අන්න ඒකයි මං කිව්වේ මිස්ටර් විජේවර්ධන මේක රහසිගතව හොයන්න පුලුවන් නං ගොඩක් හොඳයි. මොකද මේක උඩට ආවොත් මේ වෙන ඉන්වෙස්ටිගේශන් නතර වෙන තැනට වැඩ සිද්ධ වෙනවා ඇරෙන්න ඒවට කිසි සහයෝගයක් නං ලැබෙන එකක් නෑ.  හැබැයි මං ආයෙම කියනවා මිස්ටර් විජේවර්ධනට වෙන්න ඕන ඕනෙම සපෝට් එකක් මගෙන් ලැබෙනවා. “

” හරි.. මිසිස් මල්දෙණිය , එහෙනං මට මිසිස් මෙන්ඩිස් එක්ක කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න. මිසිස් මෙන්ඩිස්ව පොලීසියට ගෙන්නලා ප්‍රශ්න කිරීම් කරනවට වඩා අපි මේක මේ වගේ හොඳ හිතින් කරගන්න එක හොඳයිනේ ..?” 

බොහෝ වේලාවකට පසු මනුහස්ගේ කටහඬෙහි නැවතත් උඩඟු ස්වරූපයක් තැවරී තිබුණේය . 

තම පුත්‍රයාගේ මරණය පිළිබඳව කෙතරම් උවමනාවෙන් සොයා බලන්නට උත්සාහ ගත්තද වජිරා මල්දෙණිය එය රහසිගතව කරනවා විනා ප්‍රසිද්ධියේ කිරීමට කැමැත්තක් නොමැති බවත් තම බලාධිකාරයට යන්තමින් හෝ කළු පැල්මක් එකතු වනවාට ඈ කිසිවිටකත් කැමැති නොවන බවත් මනුහස් මේ වන විට තේරුම් ගෙන සිටියේය. බොහෝ දුරට තම පුත්‍රයාගේ අතින් මීට පෙර සිදු වූ කුමක් හෝ වරදක් යළි පෙරළා භූමරංගයක් සේ තම පවුලටත් , ව්‍යාපාරයටත් හානි දායක වන මට්ටමින් වර්ධනය වෙමින් පවතින බව ඈ දැනටමත් දන්නවා විය හැක.  බොහෝ දුරට මෙය පසුපස සැඟවී සිටින මයන් මල්දෙණිය හෝ තවමත් තමා වෙත පෙරළා පැමිණෙන තම පව කුමක්ද කියා හෝ වැටහීමක් නොමැතිව සිටිනු ඇත. සැඟවී සිටීම නුවණක්කාර බව වැටහුණිද මයන් මල්දෙණියට පවා තමා සැඟවිය යුත්තේ කුමකින්ද , කාගෙන්ද කියා හෝ හරි හැටි වැටහීමක් තවමත් ලැබී නොමැති හැඩය . එසේ තොරතුරු දන්නවානං ඔහු ඒ වරද සහමුලින්ම විනාශ කරනවා විනා මෙලෙස සැඟවී නොසිටින්නේය.   

මනුහස්ගේ හදවත කොන සියුම් සමච්චල් සිනහවක් නිර්මාණය වුණේය. එසේ නම් මේ තමාගේ වාරයයි.                          

” හොඳයි. මං ඒක පුලුවන් තරම් ඉක්මනට කරන්නං. උමායා දන්න ඕනම දෙයක් හංගන්නේ නැතුව මිස්ටර් විජේවර්ධනට කියයි. “

වජිරා මල්දෙණියගේ කටහඬෙහි පෙර පැවැති තේජස අඩුවී ගොස් තිබුණේය . කිසි දිනක නීතිය ඉදිරියට යෑම හෝ තම තත්වයට හානිදායක දෙයක් නොවෙන තැනට වැඩ කරන   ඇය මේ වන විට තමා පවසන ඕනෑම දෙයක් ඉටු කර දීමට සූදානම් බව මනුහස් හොඳින් තේරුම් ගෙන සිටියේය .  

” පැය විසි හතරක්‍ යන්න කලින් උමායාව මිස්ටර් විජේවර්ධනට මුණ ගැහෙන්න ක්‍රමයක් මං හදලා දෙන්නං. ඒ එක්කම ආයේත් මං ඉල්ලනවා , හැමදෙයක් ගැනම මාව නිතරම දැනුවත් කරන්න. එතකොට මගෙන් වෙන්න දෙයක් තියනවනං ඒක උපරිමෙන්ම කරන්න මට පුලුවන් වෙයි. “

කිසිවක් නොපැවසූ මනුහස් හිස සලා වජිරා මල්දෙණියගේ කතාව අනුමත කළේය. 

” නර්මදා.. ! අපි යං.. තව ටිකකින් මට මීටින් එකක් තියනවා මිස්ටර් විජේවර්ධන . මං ගිහින් එන්නං.  අපි එහෙනං ආයෙම මුණ ගැහෙමු මිස්ටර් විජේවර්ධන . “

” ශුවර්.. !” 

නර්මදා පැමිණ වජිරා මල්දෙණියව නිවසින් පිටතට රැගෙන ගිය අතර ජාන්වීද ඈ පසුපසින් වැටුණාය. 

” ගිහින් එන්නං සචින්ද්‍ර ..!” 

ඉදිරියට ආ නෙත්‍යා සචින්ද්‍ර දෙස බලා එසේ පවසා යන්තමින් මනුහස් දෙස බැලුවද ඔහු ඉවත බලා ගෙනම සිටියේය. 

” සර් … ! සර් ඔය කරන්නේ සර්ටම රිද්දගන්න එක නෙමෙයිද ?” 

” මොකද්ද ..?” 

මනුහස් තිගැස්සී සචින්ද්‍ර දෙස බැලුවේය.

” මොකද්ද උඹ කියන්නේ ?” 

” නෑ.. නෑ.. මුකුත් නෑ සර්..”

” නෑ.. නෑ.. කියපන්. මොකද්ද දැන් උඹ කියන්නේ ?” 

” නෙත්‍යා මැඩම්ට රිද්දන්න ගිහිල්ලා රිද්දගන්නේ සර්මයි සර්. “

” මං කොහෙද බං එයාට රිද්දුවේ ? ඇරත් මං මොකටද වෙන මිනිහෙක්ගේ ගෑනියෙක්ට රිද්දන්නේ ? “

උගුර තුළ වූ කටු තුඩු වැනි යමක් තම ගෙල සිදුරු කරමින් පිටතට පැමිණෙන්නට දරන්නාක් මෙන් දරාගත නොහැකි වේදනාවක් මනුහස්ට දැනුණේය . තව දුරටත් සචින්ද්‍ර දෙස එක එල්ලේ බලා සිටිය නොහැකි වූ ඔහු අතේ තිබූ අව් කණ්ණාඩිය පැළැඳ නිවසින් පිටතට බැස්සේය. 

” මනූ.. ! යන්නද  හදන්නේ ?” 

නිවසින් පිටතට ආ මනුහස් දුටු ජාන්වී එසේ ඇසූ අතර දින ගණනාවකට පෙර ඈ පොලිස් ස්ථානයේදී හමු වූ මුල් වර මිස්ටර් විජේවර්ධන යැයි පවසා අද මෙලෙස මනූ ලෙස පැවසීම මනුහස්ගේ මුවඟට සිනහවක් ගෙන ඒමට සමත් වූයේය . 

” ඔයා මට වෙන්නැති හිනා වෙන්නේ ? “

ජාන්වී මුහුණ බිමට හරවාගෙන ඇසුවද මනුහස්ගෙන් එයට පිළිතුරක් පිට නොවුණේය. 

” ඔයාව මීට් වෙනකන් හිටියේ මං මේක කියන්න. සොරි මනූ… එදා පොලිස් ස්ටේශන් එකේදී මං ටිකක් කලබල උනා වැඩියි. මං එවෙලේ නෙත්‍යා ගැන බයෙන් හිටියේ . ඒ කෙල්ලට මේ වෙන දේවල් දරාගන්න අමාරුයි මනූ .. “

” බලාපොරොත්තු වෙන්නැති දේවල් එක පාරට ජීවිත වලට සිද්ධ වෙනකොට හැමෝටම ඒවා දරාගන්න අමාරුයි තමා ජාන්වී…”

මනුහස් ඈ දෙස නොබලාම පිළිතුරු දුන්නේය.

” නෙත්‍යව පොලීසියට ගෙනිච්චේ ඔයා දැනුවත්ව කියලයි මං හිතන් හිටියේ. ඒත් .. පස්සේ නෙත්‍යාමයි කිව්වේ එයාව රිලීස් කළෙත් ඔයා කියලා. ඔයාට වෙලාවක් තියනවනං අපි පොඩ්ඩක් කතා කරමුද ?” 

කිසිවක් නොපැවසූ මනුහස් නැවත හැරී ආපසු පැමිණ පෙර හිඳ සිටි සෝෆාවට බර වූයේය .

” මං ජීප් එකට වෙලා ඉන්නං සර්.. “

” මෙහෙන් හිටහන් බං. උඹට හංගන්න තරම් දෙයක් මට නෑ.. “

එසේ පැවසූ මනුහස් දෑසේ පළඳා තිබූ අව් කණ්නාඩිය ගලවා තමා ඉදිරියෙ තිබූ ටීපෝව මතින් තබා විසල් සුසුමක් හෙළුවේය . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here