BE SILENT – 91

0
813

” සර්..!” 

” මේක තිබ්බේ ගේ ඇතුළේ.. “

පොලිස් නිලධාරියාගේ කතාව අතර මැදම මනුහස් අසලට පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් ඔහු වෙත ලිපි ගොනුවක් දිගු කළාය.

” මං හිතන්නේ සර් ඔක්කොටම කලින් ඕක බලන්න ඕනේ. “

ඇගෙන් කිසිදු පැනයක් නොවිමසා අතට ගත් ලිපි ගොනුව වේගයෙන් පෙරළමින් ඔහු කලබලයෙන් ඒ මත දෑස එහා මෙහා යැව්වේය.

 ලිපි ගොනුවේ පළමු පිටුවේ,

” Adhee Memorial Foundation – In Remembrance of  late Adheera & Adheesha . ” 

ලෙස සඳහන් වී තිබූ අතර මනුහස්ගේ කුතුහලාත්මක දෑස එකී වචන අතර වේගයෙන් දෝලනය වූයේය. 

මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ නවතම සභාපතිනිය වූ නෙත්‍යා සඳනාරී මල්දෙණිය විසින් මල්දෙණිය සමූහ ව්‍යාපාරය තුළ ඈ සතු වූ සියළුම වත්කම් හා කොටස් ඇමරිකානු සමාගමක් වූ The future line සමාගම හට විකුණා දැමීමට අත්සන් යොදා තිබුණාය.  තවද ගිවිසුමට අනුව මේතාක් මල්දෙණිය සමූහ ව්‍යාපාරය තුළ සේවය කරන කිසිදු සේවකයෙකු ඉන් ඉවත් නොකර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙසටත් ඇය The future line සමාගම වෙත ඉල්ලීමක් කර තිබුණාය.  ගිවිසුම් ප්‍රකාරව එකී කොටස් හා වත්කම් විකුණා දැමීමෙන් ලැබෙනා මුළු ආදායම වූ ශ්‍රී ලංකානු රුපියල් කෝටි පන්සියයකට අධික මුදල ඈ ” Adhee Memorial Foundation – In Remembrance of  late Adheera & Adheesha . ” 

නමින් පිහිටුවා ලූ අරමුදලකට බැර කොට එය දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය බාර අමාත්‍ය නිවේදිකා මංචනායක වෙත නීත්‍යානුකූලව බාර දී තිබුණාය. 

මනුහස්ගේ දෑත වෙව්ලන්නට පටන් ගෙන තිබූ අතර ලිපි ගොනුවද ඔහුටම නොදැනීම බිමට වැටුණේය. 

” සර්…!” 

වෙව්ලන මස්පිඬු හා වෙව්ලන දෑසින් සචින්ද්‍ර දෙස බැලූ මනුහස් කිසිවක් පැවසීමට උත්සාහ කළද ඒ කිසිවකට ශක්තියක් නොවූ ඔහු පාමුල තිබූ සෝෆාවට කඩා වැටුණේය. බොහෝ වේලාවක් කඳුළු කඩා හැලෙන දෙනෙතින් සෙල් පිළිමයක් ලෙසට බලා සිටි ඔහුගේ කල්පනාව යළි සචින්ද්‍රගේ හඬින් බිඳී ගියේය. 

” සර්.. !  සර්ට පෙන්නන්න තව දෙයක් තියනවා. නෙත්‍යා අක්කගේ ෆෝන් එක ඇඳ යට තිබිලා හම්බුණා. ඒකේ සර්ට එවන්න රෙකෝඩ් කරපු වොයිස් එකක් තියනවා. රෙකෝඩ් කළාට ඒක සර්ට එවලා නෑ. එක්කො එවන්න වෙලාවක්  තියෙන්න නැතුව ඇති . “

එසේ පැවසූ සචින්ද්‍ර පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබූ නෙත්‍යාගේ ජංගම දුරකතනය මනුහස් වෙත පෑවේය. 

 “මනූ… අනේ මගේ රත්තරනේ.. මට සමාවෙන්න. කවදාවත් මං ගැන වැරදියට හිතන්න එපා. මගෙ මුළු ජීවිත කාලෙම සතුටින්ම හිටපු දවස් ටික ගෙවුණේ ඔයා ලඟ. මට එහෙම හරි සතුටු වෙන්න මතකයක් දුන්නට ඔයාට ගොඩාක් පින් මනූ.. මට කරන්න දෙයක් නෑ. මයන් කියන්නේ මහා කාලකණ්නි සතෙක්. උගේ ඇඟිල්ලක් හරි මගේ ඇඟේ වැදුණට පස්සේ ආයේම හිත හදාගෙන ඔයා ලඟට එන්න මට බැරි වෙයි. මනූ.. මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි මනූ.. ආයෙම සංසාරේ කවදාවත් මං වගේ පව්කාරියෙක් ඔයාට මුණ ගැහෙන්න එපා. මං දන්නවා ඔයාට දරාගන්න බැරි වෙයි. ඒත්.. මට ඊටත් වඩා දරාගන්න බැරි වෙයි මනූ. දවසින් දවස මැරි මැරී ජීවත් වෙනවට වැඩිය එක පාර මැරිලා යන එක සැනසීමක්. මං දන්නවා ඔයා මාත් එක්ක තරහින් ඇත්තේ . ඒත් ඉක්මන්ටම මං මොනවද කළේ කියන එක ඔයාට දැනගන්න ලැබෙයි . ඊට පස්සේ ඔයාගේ හිතේ තියන කේන්තිය නැති වෙයි මනූ. 

මනූ.. මං ඔයාට ගොඩාක් ආදරෙයි.. පරිස්සමට ඉන්න මගේ රත්තරනේ. අනේ මගේ සුදු මහත්තයා. .. ඔයා මං නිසා ගොඩාක් දුක් වින්ඳා. ඒ හැමදේකටම මට සමාවෙන්න දෙයියනේ.. අනේ මට සමාවෙන්න.. !” 

හඬ පටය අවසානයේ වැසී ගිය දුරකතන තීරයේ ඇති තමාගේත් ඇගේත් ජායාරූපය දෙස බලා සිටි ඔහු අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය. සිරුර පුරා දුවන විදුලි සැරක් බඳු වේදනාව පිට කර ගත නොහැකිව ඔහු දෑතම මිට මොළවා ගත්තේය. වේගයෙන් හතිළමින් සිටි දේහදාරියාගේ වෙව්ලන දෙකම්මුල් සහ රක්ත වර්ණ වී ඇති දෑස දෙස බලා සිටි ඔහුගේ කෝපයේ දිග පළල හොඳින් දන්නා සචින්ද්‍රද තව දුරටත් කිසිවක් නොදොඩාම මුනිවත රැක්කේය .

ඔහුට කිසිසේත්ම තම කෝපය පාලනය කර ගත නොහැක. මේ මොහොතේ ඔහු සිටින්නේ තම ජීවිත කාලය තුළ මුහුණ දෙන උපරිම කෝපාවිශ්ට සීමාවේ බව වටහා ගත් සචින්ද්‍ර තව දුරටත් නිහඬ වෙමින් මනුහස්ගේ කල්පනාවට බාධා නොකර සිටියේය . 

එක දිගට ඇසිපිය නොගසා වේගයෙන් හති ළමින් බලා සිටි පොලිස් නිලධාරියා සචින්ද්‍රවද පුදුම කරමින් හිඳ සිටි සෝෆාවෙන් නැඟී සිටියේය. ඉන් පසුව තමා නිවසට ගොඩ වූ සැටියේ මෙහි සිදුව ඇති සිදුවීම පැහැදිලි කරන්නට පටන් ගත් පොලිස් නිලධාරියා දෙසට යළි හැරුණේය. 

” මෙතන මොකද්ද වෙලා තියෙන්නේ ?” 

මනුහස්ගේ පැනය ඇසුණු සැණින් පොලිස් නිලධාරියා මේසය මත තිබූ ලැප් ටොප් පරිගණකය අතට ගෙන එහි තීරය මනුහස් වෙතට පෑවේය.

සර්.. මිනිහා ඇවිල්ලා තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි. පිටි පස්සේ ගේට් එකෙන්. එතන ඉන්නේ එක සිකියුරිටි ගාඩ් කෙනෙයි. ඒ මනුස්සයත් එහා මෙහා වෙනකන් ඉඳලා තමයි ඇතුල් වෙලා තියෙන්නේ. හැම සීසීටීවී කැමරාවකටම පේන්නැති වෙන්න කැප් එකකින් මූණ වහන් ඇවිත් තියෙන්නේ. ලිෆ්ට් එක ලඟ තියන සීසීටීවී එකේ ෆුටේජස් වල තියනවා සර් ඌ ලිෆ්ට් එකෙන් ඇවිල්ලා සර්ලගේ දොර ගාව නැවතිලා බෙල් එක ගහනවා. බෙල් එක ගහපු සැණින් මැඩම් දොර ඇරලා තියනවා. ඊට පස්සේ ඌ එක පාරට ඇතුළට යනවා.

මැඩම් දොර අරින්න ඇත්‍තේ ආවේ ඌ කියලා නොදැන. දොර ඇරපු ගමන් මැඩම්ව තල්ලු කරලා තියනවා . මැඩම් විසික් වෙලා ගිහිල්ලා බිම වැටිලා තියනවා. මේ හරියට. “

ආලින්දයේ ඉදිරි පස පොළොව දෙසට අත දිගු කළ පොලිස් නිලධාරියා සිදුව ඇති සියල්ල දෑසින් දුටුවාක් මෙන් මනුහස් හට පැහැදිලි කරමින් සිටියේය. 

” ඊට පස්සේ මිනිහා මැඩම්ව සෝෆා එකට තල්ලු කරලා තියනවා. එතනදි මැඩම්ට පහර දීලා තියනවා. සෝෆා එකේ තියන කැඩිච්ච කෙස් සහ ලේ සාම්පල් ඔක්කොම අපි ටෙස්ට් වලට යැව්වා. ඒ ඔක්කොම මැඩම්ගේ කියලා අපි සැක කරනවා. මයන්ගෙන් බේරෙන්න ඕන නිසා කොෆී ටේබල් එක උඩ තිබ්බ වීදුරු වාස් එකෙන් මැඩම් මයන්ගේ ඔලුවට ගහලා තියනවා. බිඳිච්ච වාස් එකේ තිබ්බ ලේ ගෑවුණු වීදුරු කටුයි , බිම වැටිලා තිබ්බ ලේ සාම්පල් කීපෙකුයි , මයන් දාගෙන ආපු කැප් එකයි අපි ඩීඑන්ඒ ටෙස්ට් වලට යැව්වා. මයන්ගේ ඔලුවට වාස් එකෙන් ගැහුවට පස්සේ මැඩම් බෙඩ් රූම් එකට ගිහින් දොර ලොක් කරගෙන තියනවා. ඒත් අරූ දොර කඩලා. ඒ ටික වෙන්නනං විනාඩියක් වත් ගිහින් නෑ වගේ සර්. ඒ නිසයි මැඩම්ට සර්ට එවන්න රෙකෝඩ් කරපු වොයිස් එක උනත් එවාගන්න බැරි වෙන්න ඇත්තේ. මිනිහා බෙඩ් රූම් එකටත් ආවට පස්සේ යන්න එන්න තැනක් නැතිම වෙච්ච නිසා තමයි මැඩම්…..”

පොලිස් නිලධාරියා මඳකට කතාව නතර කළේය . එතැනින් එහා සිදුවීම මනුහස්ගේ මුහුණ දෙස බලා විස්තර කිරීමට ඔහුට නොහැකි වූයේය .

 ” ගේ ඇතුළට ඇවිල්ලා හරියටම ඊට විනාඩි දහයකට පස්සේ ඌ ආපහු ගෙදර දොර ඇරගෙන එළියට යනවා. එතනදි ඔළුවේ කැප් එක නෑ. අනික ඌ ගෙයින් එළියට දුවගෙන එන්නේ කලබලෙන්. ඇඳගෙන ඉන්න ෂර්ට් එකේ බොත්තං දාන ගමන්. ඌ ආපහු යන සීසීටීවී ෆුටේජස් වල උගේ ඔලුවේ තියන තුවාලේ හොඳට බලාගන්න පුලුවන් . මැඩම් පහළට වැටුණු නිසා ඒක බලන්න මේන් එන්‍ට්‍රන්ස් එකේ හිටිය සිකියුරිටි ගාඩ්ස්ලා තුන්දෙනාම එතනට දුවලා. ඒ ලැබිච්ච ටයිම් එකේ ඌ එතනින් යන එකත් සීසීටීවී ෆුටේජස් වල තියනවා. “

මනුහස් තව දුරටත් මයන් මල්දෙණිය තම නිවසට ඇතුළු වන සහ පිටවන වීඩියෝ පට දෙස එක දිගට බලා සිටියේය . ඉන් පසුව අවුල් ජාලාවක් වී තිබූ ආලින්දය දෙස දෑස කරකවමින් බැලුවේය. ඊලඟ මොහොතේ සෙමින් සෙමින් අඩි තබමින් තම නිදන කාමරය වෙතට පා නැඟුවේය. නිදන කාමරයට ඇතුළු වන තැනම මයන් විසින් කඩා දැමූ එහි දොර ඒ ආකාරයෙන්ම බිම වැටී තිබුණේය . යහනත් , කණ්ණාඩි මේසයත් අතර තිබූ කුඩා ඉඩෙහි සුදු පැහැති ටයිල් පොළොව මත වැටී තිබූ ලේ බිඳිති කිහිපයක් ඒ වන විටත් පොලිස් නිලධාරීන් විසින් සළකුණු කර තිබුණේය . 

එකී  කුඩා ඉඩෙහි ගුලි වී තමා හට ඇමතුම් ගන්නට උත්සාහ කරනා අසරණියගේ දුක්බර සහ වේදනාබර වටකුරු උවන ඔහුගේ දෑසට මැවී පෙනුණේය . ක්ෂණිකව තමාට පසුපස තිබූ නිදන කාමරයේ දොර කඩා දැමූ මයන් මල්දෙණිය නිදන කාමරයට ඇතුළු වන ආකාරයත් , බය භිරාන්ත වූ ඈ අතේ තිබූ ජංගම දුරකතනය යහන යටට විසි කොට බැල්කනිය වෙත දිව ගොස් එහි බරාඳයට නගින ආකාරයත්  , වේගයෙන් ඒ මේ අත හමන බැල්කනි ද්වාරයේ සුදු පැහැ තිර රෙදි අතරින් ඇගේ ජායාව නොපෙනී යන අන්දමත් දෑස් අද්දර මැවී පෙනුණු ඇසිල්ලේ ඔහු තදින් තම දෑස පියා ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here