BE SILENT – 92

0
364

” රෑ එළිවෙනකන් කීප පාරක්ම නෙත්‍යා අක්කා මටත් කෝල් ගත්තා සර්. සර් එයා එක්ක ඉන්නේ තරහින් කියලා කිව්වේ. එළි වෙනකනුත් සර් නාපු නිසා බෙල් එක වැදිච්ච හදිස්සියට ආවේ සර් කියලා හිතලා බලන්නේ නැතුව දොර අරින්නැති සර්. “

සචින්ද්‍රගේ කටහඬෙහි කිසිදු ප්‍රාණවත් බවක් නොමැත. සියළු ශක්තීන් ගිලිහී ගියාක් මෙන් බිඳී ගිය ස්වරයක් පමණක් එහි ඉතිරී වී තිබුණේය. 

පොලිස් නිලධාරීන් සියළු දෙනාගේම පැහැදිලි කිරීම් අසා සිටි මනුහස් කිසිවක් නොපවසා  නිහඬවම යළි නිවසින් පිටතට අඩි තැබුවේය. තම ඉහල නිලධාරියාගේ ක්‍රියා කලාපය අදහාගත නොහැකි වූ සචින්ද්‍ර වහා දිව විත් ඔහුගේ මග හරස් කළේය. 

” සර්..! “

” ෂියා එක්ක හොස්පිට්ල් එකට පලයන් සචින්ද්‍ර . එතනට වෙලා හිටහං. “

” මේ වෙලාවේ එතන ඉන්න ඕනේ සර්. “

” එයාට මාව දාලා යන්න බෑ බං. එයා දන්නවා එයා නැතුව මටත් ජීවිතයක් නෑ කියලා. ඒ නිසා එයාට මුකුත් වෙන්නෑ “

” සර් කොහෙද යන්නේ ?” 

”  ප්‍රශ්න නාහා මං කියපු දේ කරපන්.”

එසේ පැවසූ මනුහස් විදුලි සෝපානයට ගොඩ වී ජංගම දුරකතනය කනේ තබා ගත්තේය. 

” මිස්ටර් විජේවර්ධන , ඌ අද රෑට රටින් පනින්න ඉන්නේ “

” මට එක උදව්වක් කරන්න ඇමතිතුමා..”

” okay ,  done . මේක ඉවරයක් වෙන්න ඕනේ. “

**********************************************

” බොස් විනාඩි දහයෙන් වාහනේ එනවා. “

” හ්ම්ම්..”

” අපරාදේ බොස් අර ගෑනිව හම්බෙන්න ගියේ. අන්තිම මොහොතේ තවත් නඩුවක්නේ දාගත්තේ ” 

” එතකොට ඒකි මට කරපුවා හොඳද ? මගෙන් කුණුහරප අහගන්නැතුව හිටහන් ඩඩ්ලි . ඒකි මොන හොස්පිට්ල් එකේ හිටියත් ඒ වැටිච්ච වැටිල්ලට ඒකිව බේරෙනවා බොරු. “

මයන් දෑඟිලි අතර සිර වී තිබූ දුම් වැටිය ගෙන උරා බොන්නට පටන් ගත්තේය. 

” මාව නැත්තටම නැති කලාට පස්සේ ඒකිට හුස්මක්වත් ගන්න දෙන්න හොඳ නෑ. “

 ” මං කියන්නේ ඒ ගැන නෙමෙයි බොස් . දැන් අර පොලිස්කාරයා පිස්සු බල්ලෙක් වගේ බොස්ව හැමතැනම හොයනවා ඇති. ඌ ලේසි පාසු එකෙක් නෙමෙයි. “

ඩඩ්ලිගේ වචන හමුවේ මයන්ගේ වචන නතර වී ගියේය. කිසිවක් නොපැවසූ ඔහු නිහඬවම දුම් වැටිය පානය කරමින් සිටියේය. 

” වාහනේ ලඟ එනවා ඇති “

එසේ පැවසූ ඩඩ්ලි හිඳ සිටි පුටුවෙන් නැඟිට මයන් සිටි කාමරයෙන් පිටතට අඩිය තැබුවේය. 

ඩඩ්ලි කාමරයෙන් පිටව ගොස් මිනිත්තුවක් හෝ ගත වූයේ නැත. එක් වරම මුළු නිවසේම විදුලිය විසන්ධි වී ගියේය. 

මයන් අඳුරේම හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය. එක් වරම ඔහුගේ ඇඟේ කිසිවෙකු හෝ හැපුණු වගක් දැනුණු ඔහු අන්ධකාරයේම ඒ මේ අත බැලුවද කිසිවෙකු ඉන්නා ජායාවක් හෝ නොපෙනුණේය. වහා අත පත ගාමින් කාමරයේ දොර දෙසට ඇවිද ගොස් එය විවෘත කිරීමට අගුල කැරකුවද එයද විවර නොවුණේය. හදවත තුළ සිහින් බියක් පැතිරෙන්නට පටන් ගත්තද ඔහු ඒ පිළිබඳව නොසලකා දිගටම දොර විවර කරන්නට උත්සාහ ගත්තේය.

” ඩඩ්ලී…! ඩඩ්ලී…!” 

කෙතරම් උත්සාහ ගත්තද දොර විවර කර ගත නොහැකි වූ තැන ඔහු ඩඩ්ලි හට හඬ නඟා කතා කළද පිටතින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේය . තමා පසුපසින් සැණකින් ලයිටරයක් දැල්වෙන හඬක් ඇසුණෙන් මයන් වහා ආපසු හැරුණේය. කෑලි කැපිය හැකි ගන අන්ධකාරය මධ්‍යයේ මුවේ රුවා ගත් දුම් වැටියක් දල්වන මනුහස් විජේවර්ධනගේ උවන ඔහුට සැණකින් පෙනී නොපෙනී ගියේය. 

********************************************

සතර දිශාවෙන්ම විසල් තාප්පයකින් වට වූ දෙමහල් නිවස අසල කළු පැහැ වෑන් රථයක් නතර කළේය. නිවස තුළ සිටි පැමිණි ඩඩ්ලි වහා නිවසේ ගේට්ටුව විවර කළ අතර අවට නිවාස වල විදුලි බල්බ දැල්වෙන ආකාරය දැක පුදුමව වටපිට බැලුවේය .

” මොකෝ බං කළුවරේ ?” 

ගෙමිදුලට ඇතුළු වූ කළු පැහැ වෑන් රථයෙන් බිමට බට තරබාරු පුද්ගලයෙක් ඩඩ්ලි දෙස බලා ඇසුවේය .

” මං හිතුවා පැත්තටම ලයිට් ගියා කියලා “

” ටිප් එක බලාන් “

කිසිවක් නොපැවසූ ඩඩ්ලී නිවසේ ප්‍රධාන විදුලි ස්විචය අසලට ගොස් ක්‍රියා විරහිත වී තිබූ එය නැවත ක්‍රියාත්මක කොට මුව ඇද කළේය. 

” බොසාට ඉක්මන්ට එන්න කියහන් බං. හැමතැනම පොලීසියෙන්. එයාව බේරලා යැව්වා වගේ නෙමෙයිනේ. අපිත් බේරෙන්න එපැයි .”

තරබාරු පුද්ගලයා ඩඩ්ලි අසලට ළං වී සෙමින් පැවසුවේය. තරප්පු පෙළ දිගෙහි වහා උඩු මහලට ඇවිද ගිය ඩඩ්ලි වසා දමා තිබූ මයන්ගේ කාමරයේ දොරට මඳක් තට්ටු කොට එය විවර කරගෙන ඇතුළට පිවිසියේය. නිදන කාමරයේ නොසිටි මයන් නාන කාමරය තුළ ඇතැයි සිතූ ඩඩ්ලී  මොහොතක් නිහඬව සිට නාන කාමරය දෙසට ඇවිද ගොස් එහි දොරට තට්ටුවක් දැමුවේය. 

” බොස් , ජූඩ් අයියා ඇවිල්ලා. “

නාන කාමරයෙන් පිළිතුරක් නොමැති තැන ඔහු වහා එහි දොර විවර කර බැලුවේය. ඉන් පසුව මයන් රැඳී සිටි නිදන කාමරයේද , ඊට අනෙක් පස තිබූ නිදන කාමරයේද අස්සක් මුල්ලක් නෑර මයන්ව සෙව්වද ඔහුව සොයාගත නොහැකි වූ ඩඩ්ලි වහා තරප්පු පෙළ බැස පහත මහලට දිව ආවේය .

” ජූඩ් අයියා. බොස් නෑනේ..”

” නෑ කියන්නේ ? ” 

” නෑ කියන්නේ ගේ ඇතුළේ කොහෙවත් නෑ..”

ඩඩ්ලී දා බිඳු වැගිරෙන මුහුණින් ජූඩ් දෙස වික්ශිප්තව බලා සිටියේය. 

*****************************************

 දැඩි සත්කාර ඒකකය අසල හිඳ සිටි ෂියෝනා ඉක්මන් ගමනින් ඒ දෙසට එන වැඩිහිටි යුවළ දැක හිඳ සිටි පුටුවෙන් නැඟී සිටියාය. 

” ආන්ටී…”

” මො.. මොකද්ද දරුවෝ උනේ ?” 

ඉකමන් ගමනින් අඩි තබා පැමිණි වසුන්දරා හති ළෑමට ඉඩක් නොලබාම ෂියෝනාගේ දෑතින් අල්ලා ගෙන ඇසුවාය . කිසිවක්ම නොපැවසූ ෂියෝනා බිඳුණු උවනින් දැඩි සත්කාර ඒකකය දෙස බැලුවාය. 

” මනූ කෝ..?” 

වසුන්දරාගේ පසුපසින් සිටි විජේවර්ධන ඇසූ පැනයට පිළිතුරක් දීමට නොහැකි වූ ෂියෝනා තව දුරටත් මුහුණ අඳුරු කර ගත්තාය. 

” ඩොක්ටර්ස්ලා මොනවද ෂියා කියන්නේ ?” 

” තාම කිසිම දෙයක් කියන්නෑ ආන්ටි. උදේ පටන් ගත්තු ඔපරේෂන් එක. දැන් පැය හත අටකට කිට්ටුයි . “

” දෙයියනේ මේ කෙල්ල. මොන දුකක් විඳලද ආයෙම ටික ටික හිනාවෙන්න පටන් ගත්තේ ? ඒ මදිවට මනූ. මුන් දෙන්නා කාට කරපු පවක්ද මන්දා මේක. ” 

වසුන්දරා ඔසරි පොට මුහුණට තද කරමින් හඬා වැටුණාය. 

” වාඩිවෙන්නකෝ ආන්ටි.. “

එසේ පැවසූ ෂියෝනා වසුන්දරා හට හිඳ ගැනීමට ඉඩ සලස්වා යළි හිස ඔසවා බැලුවා පමණි. තවත් වැඩිහිටි යුවළක් ඉක්මන් ගමනින් දැඩි සත්කාර ඒකකය දෙසට එනු දුටුවාය . ඒ කවුරුන්ද යන වග හරි හැටි හඳුනාගත නොහැකි වූ නිසාම ඈ කුතුහලයෙන් යුතුව වසුන්දරා දෙස බැලුවාය. තමන් දෙසට ඇවිද එන යුවළ කවුරුදැයි හොඳින් හඳුනාගත් වසුන්දරා තම සැමියා දෙස බැලූ අතර කලබල නොවන ලෙසට ඈට දෑසින් ඉඟි කළ විජේවර්ධන හිඳ ගෙන සිටි පුටුවෙන් යළි නැඟී සිටියේය . 

කලබලයෙන් පැමිණි යුවළ දැඩි සත්කාර ඒකකය ඉදිරිපස සිටි වසුන්දරා අසලත් විජේවර්ධන අසලත් නතර වුණු අතර වසුන්දරා සේම ඔසරියකින් සැරසී සිටි කාන්තාව දෑතම මුහුණ මත හොවා ගනිමින් හඬන්නට වූවාය. 

” මි.. මිස්ටර් විජේවර්ධන .., මගෙ කෙල්ල …”

මනුහස්ගේ පියා අසලට ආ පිරිමි පුද්ගලයා හැඬුම් ස්වරයකින් එසේ පැවසුවේය . එසේ නම් මේ නෙත්‍යාගේ මව සහ පියා විය යුතු යැයි ෂියෝනා හට එවර හොඳින් වැටහුණාය. 

” වාඩිවෙන්න මිස්ටර් ඉද්දමල්ගොඩ . කලබල වෙන්නෙපා. වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිත් හරියටම දන්නෑ. දොස්තරලා දෙයක් කියනකන් අපිට බලන් ඉන්න වෙනවා. “

” මනු.. මනුහස් කෝ..?” 

කඳුළු උනන දෑසින් වටපිට බලා මනුහස් නොමැති බව දුටු නෙත්‍යාගේ මව පෙරළා වසුන්දරාත් , විජේවර්ධනත් දෙස බලමින් ඇසුවාය. 

” දන්නෑ මිසිස් ඉද්දමල්ගොඩ . ෆෝන් එකත් ඕෆ්.   මේ ළමයි දන්නෙත් නෑ කොහෙ ගිහිල්ලද කියලා. “

විජේවර්ධන ෂියෝනාව පෙන්වමින් පිළිතුරු දුන්නේය. 

” එයාට හිතට අමාරු ඇති. කොහෙට හරි වෙලා ඇති. “

වසුන්දරා නැවතත් උගුරෙන් එන ඉකිය වළක්වා ගනිමින් ඔසරි පොට තද කර ගත්තාය. 

” මගේ කොල්ලට නෙත්‍යාට වඩා කෙනෙක් හිටියේ නෑ. ඒක එදත් එහෙමයි . අදත් එහෙමයි . එයා මේ දරුවාට පුදුම ආදරේකින් හිටියේ. ගෙවිච්ච අවුරුදු දොළහට මනූ හයියෙන් හිනා වෙනවවත් අපි දැකලා තිබුණේ නෑ. ඒකාගේ හිනාවක්වත් ආපහු දැක්කේ ආයෙම පාරක් නෙත්‍යාව එයාට ලැබුණම. එහෙම හිටපු කෙල්ල මෙහෙම ඉන්නවා දැකලා අපිටම දරා ගන්න බැරි එකේ එයා කොහොම දරා ගනීද ?” 

කෙතරම් වළක්වා ගන්නට උත්සාහ දැරුවද වසුන්දරා හට හැඬීම පාලනය කර ගත නොහැකි වූවාය . ඔසරි පොට මුහුණට තද කර ගත් ඇය ඉකි ගසමින් හඬා වැටුණාය. 

” මිස්ටර් විජේවර්ධන ..?” 

දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණි වෛද්‍යවරයෙක් රැස්ව සිටි පිරිස දෙස බලා මනුහස්ව සෙව්වේය .

” මගේ.. මගේ දරුවා ඩොක්ටර් ඇතුළේ ඉන්නේ. “

වහා ඉදිරියට ගිය ඉද්දමල්ගොඩ වෛද්‍යවරයා හට එසේ පැවසුවේය. 

” අහ්… මේකයි . අපි අපේ උපරිමේ කළා. Miss Nethya is getting out of a crucial situation. හැබැයි එයාට තාම සිහිය ආවේ නෑ. අපිට හරියටම කියන්න අමාරුයි මිස් නෙත්‍යාට කොයි වෙලාවේ සිහිය එයිද කියලා. “

” මනූ…!” 

රෝහල් කොරිඩෝව තුළින් මතු වූ මනුහස්ගේ රුව දුටු ෂියෝනා ඔහු දැක කෑ ගැසුවාය .

ඉක්මන් අඩි තබා දැඩි සත්කාර ඒකකයට ආ මනුහස් නෙත්‍යාගේ මවත් , පියාත් දෙසට දෑස යොමු කළ අතර පුත්‍රයාගේ කෝපය පිළිබඳව හැඟීමක් ඇති විජේවර්ධන වහා වෛද්‍යවරයා ඉදිරියට පැමිණියේය. 

” අපිට පේශන්ට්ව බලන්න පුලුවන්ද ඩොක්ටර් ?” 

” ම්ම්ම්… එක්කෙනෙක්ට යන්න පුලුවන් . “

” මනූ.. ඇතුළට ගිහිල්ලා නෙත්‍යාව බලන්න. “

තව දුරටත් ඉද්දමල්ගොඩ යුවළ ඉදිරියේ මනුහස් සිටීම වළකාලූ විජේවර්ධන ඔහුගේ පිටට තට්ටුවක් දමමින් දැඩි සත්කාර ඒකකයේ ද්වාරය දෙස බැලුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here