BE SILENT-88

0
1453

88

යාන්තමින් අරුණළු වැටෙන හිමිදිරි උදෑසනට පෙරම මුළු රටම ගිනි ගෙන ඇවිළී හමාරය. දිවයිනේ ප්‍රමුඛ ව්‍යාපාර ජාලයක් වූ මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ සභාපතීත්වය දරමින් සිටි නැසී ගිය රිචඩ් මල්දෙණියගේ එකම පුත්‍රයා වූ මයන් මල්දෙණිය මීට මාස කිහිපයකට පෙර මිය ගොස් සිටි අතර ඔහුගේ මළ සිරුර ඉහල ප්‍රභූ සැලකිල්ලක් යටතේ භූමදානය කරන ලද්දේය. නමුත් අද දිනට හිරු උදා වීමට පෙර රට පුරාම මයන් මල්දෙණිය මියගොස් නොමැති බව සනාථ කරමින් ඔහු විසින්ම මීට අවුරුදු විසි තුනකට පෙර තමන් හා තම මිතුරු කැළ විසින් මල්දෙණිය සමූහ ව්‍යාපාර ජාලයට අයත් නයින් මවුන්ටන්ස් හෝටල් සංකීර්ණය විවෘත කිරීමට දින කිහිපයකට පෙර එහි සේවය කළ කුඩා දෙමළ තරුණියක් සමූහ දුෂණයට ලක් කිරීම හා ඉන් සූක්ශම ලෙස ගැලවී ගිය ආකාරය පැහැදිලි කරන වීඩියෝ පටයක් සමාජ ජාලා හා මාධ්‍ය කළඹවමින් තිබුණේය . 

ව්‍යාපාර ක්ෂේත්‍රයේ පළමු පෙළ නම් දරා සිටි මල්දෙණිය සමූහ ව්‍යාපාරය මයන් මල්දෙණියගේ මරණයෙන් අනතුරුව නොයෙකුත් බිඳ වැටීම් වලට ලක් වුණු අතර පළමුව මයන් මල්දෙණියගේ මරණයට වගකිව යුතු පාර්ශවය ලෙස ඔහුගේ බිරිඳවද පොලිස් ප්‍රශ්න කිරීම් වලට කැඳවා තිබුණේය . දෙවනුව මීට අවුරුදු පහකට පෙර එනම් දෙදාස් විස්ස වසරේ අනුරාධපුර බ්ලූ වෝටර් නිවාඩු නිකේතනය තුළ කොරෝනා මරණයක් යැයි තහවුරු කර ආදාහනය කරන ලද ජර්මන් ජාතික තරුණියක් වූ හැනා මුලර්ගේ මරණය කොරෝනා මරණයක් නොවන බවටත් , එය ඒ දින කිහිපයේ නිවාඩු නිකේතනයේ රැඳී සිටි මයන් මල්දෙණිය ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඇයට සිදු කරන ලද අමානුෂික වද හිංසා වලින් සිදු වූවක් බවට ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කළ කණ්ඩායම මෙහෙය වූ පොලිස් පරීක්ෂක මනුහස් විජේවර්ධන මහතා සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වූවේය. ඒ අනුව හැනා මුලර්ගේ ඝාතනය සැඟවීම , අපරාධකරුවන්ට උදව් ලබා දීම , සාක්ෂි වසන් කිරීමට අනුබල දීම , ඒ සඳහා මුදල් යෙදවීම වැනි කරුණු මත මයන් මල්දෙණියගේ මව වූ වජිරා මල්දෙණියව පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය. 

අද දින උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සියල්ල මාධ්‍ය වෙත පැහැදිලි කරමින් කතා කළ පොලිස් පරීක්ෂක මනුහස් විජේවර්ධන තව දුරටත් තම අදහස් මෙලෙස ඉදිරිපත් කළේය. 

” මයන් මල්දෙණිය බොහෝම සූක්ශම අයුරින් තමා සියදිවි නසා ගනිමින් මරණයට පත් වූවා යැයි පෙන්වීම සඳහා හඳුනාගත නොහැකි මළ සිරුරක් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරලා තිබුණා. අදාල මළ සිරුර මයන් මල්දෙණියගේ බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමකින් තොරව ඔහුගේ මව වූ වජිරා මල්දෙණිය විසින් මයන් මල්දෙණියට අදාල පෞද්ගලික භාණ්ඩ කිහිපයක් මළ සිරුර අසලින් හමු වීම නිසා අදාල මළ සිරුර මයන් මල්දෙණියගේ බව ස්ථීර කරලා තිබුණා. අපි මේ වන විට අධිකරණ නියෝගයක් අරගෙන තියනවා භූමදානය කරලා තියන මයන් මල්දෙණියගේ යැයි පවසන  මළ සිරුර යළි ගොඩ අරගෙන ඒ ගැන පරීක්ෂණ පවත්වන්න. 

අවුරුදු විසි තුනකට පෙර මහ නුවර ඉඳිඔය ප්‍රදේශයේ මල්දෙණිය සමූහ ව්‍යාපාරයකට අයිති නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රය විවෘත කිරීමට ආසන්න දිනයක එහි සේවයේ නියුතු දෙමළ ජාතික තරුණියක් අමානුශික ලෙස වද හිංසා වලට ලක් කරමින් අපයෝජනය කිරීම පිළිබඳව මයන් මල්දෙණිය විසින්ම සිය පාපොච්චාරණය සිදු කරන වීඩියෝ පට කිහිපයක් දැනටමත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. ඒ අනුව එම අපයෝජන සිද්ධිය වගේම ඉන්පසුව එම තරුණියව ඝාතනය කිරීම වෙනුවෙනුත් මයන් මල්දෙණියට විරුද්ධව අපිට ඇසින් දුටු සාක්ශි ලැබී තිබෙනවා. 

ඒ වගේම ඉඳිඔයේ සිද්ධියත් ඉන් පසුව මෑතක දෙදාස් විස්ස අවුරුද්දේ අනුරාධපුරයේ බ්ලූ වෝටර් නිවාඩු නිකේතනයේ සිදු වූ සිදුවීමේදීත් ජර්මන් ජාතික තරුණියක් වෙච්ච හැනා මුලර් ඝාතනය කිරීම වෙනුවෙනුත් මයන් මල්දෙණියට විරුද්ධව පැහැදිලි සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ වන විට අපිට ලැබී තිබෙනවා. මෑතකදි එක දිගට දිවි නසා ගැනීම් වලින් මරණයට පත් වී තිබෙන ටෙහාන් මෙන්ඩිස් , ක්‍රිශාන් පීරිස් , අසංග සුදේශ් , ඇමැන්ඩ්‍රා නටාලි පෙරේරා , ජේඩ් තෝමස් සහ මේ මිතුරු කණ්ඩායමේම කෙනෙක් වුණු කැනඩාවේ පදිංචි වී සිටි ජෙසිකා පීටර්සන් යන සියළුම දෙනාගේ මරණ වලට මයන් මල්දෙණිය සම්බන්ධ බව තව දුරටත් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියනවා. තමන්ගේ සියළුම නීති විරෝධී හා අපරාධමය කටයුතු වලට බලෙන් සම්බන්ධ කර ගැනීම් සහ ඒවාට උදව් ගැනීමට මයන් මල්දෙණිය මේ මිතුරු කවය නොයෙක් අවස්ථාවල පාවිච්චියට අරගෙන තියනවා වගේම නොයෙක් නොයෙක් සිද්ධි වලදී මේ සියලුම දෙනාට බරපතල විදිහට මානසික පීඩා මෙන්ම තර්ජනද සිදු කර තිබෙනවා. මයන් මල්දෙණියගෙන් එල්ල වන පීඩාවන් වල ගොදුරු බවට කාලයක් පුරාවට පත් වෙලා හිටපු මේ පිරිස විටින් විට තමන්ගේ දිවි හානි කර ගෙන තියෙන්නේ ඒ පීඩාවන් දරාගැනීමට නොහැකිව බව මේ වන විටත් සාක්ෂි සහිතව අපි සොයාගෙන අවසන්. 

මේ සියල්ල සලකා බලලා මේ වන විට අනන්‍යතාවය සඟවමින් සැඟවී සිටින මයන් මල්දෙණිය  දුටු තැන අත් අඩංගුවට ගන්න සියලු වරෙන්තු අපි ලබා ගෙන තියෙනවා. ඒ අනුව හැකි ඉක්මනින් මයන් මල්දෙණිය අත් අඩංගුවට ගනු ලැබීම සිදු කරනවා කියලා මං මේ මොහොතේ ඔබ හමුවේ ප්‍රකාශ කර සිටිනවා. 


” සර්…!” 

සියළුම දෙනාගේ උණුසුම් සුබ පැතුම් හා ගෞරව ලැබීම් වලින් අපහසුවෙන් ගැලවී ආ මනුහස් අසලට ආ සචින්ද්‍රගේ මුහුණේ අලුත් ආරංචියක සේයාවක් දැවටී තිබෙනු ඔහුට දැනුණේය. 

” කියපන්..”

 ” වජිරා මල්දෙණිය සුයිසයිඩ් කරගෙන. “

මනුහස් මුව ඇද කරමින් ෂියෝනා දෙස බැලුවේය. 

” මොනවා කරගෙනද ?” 

” වසක් පාවිච්චි කරලා. දැන් පැය භාගයක් ඇති. “

” ඒ ගෑනිට කරන්න තිබුණේ එච්චර තමා. “

ෂියෝනා කිසිදු අනුකම්පාවක් නොමැතිව පවසා සිටියේය.,

” සර්.. !” 

” තව විනාඩි විස්සකින් පොලිස් හෙඩ් ක්වාටස් එකේ මීටින් එකක්. ලොක්කට ඒක ඉන්ෆෝම් කරන්න. “

” සර් , ගෙදර යන්නැද්ද ?” 

මනුහස් අපහසුවෙන් කෙළ පිඬක් ගිල සචින්ද්‍ර දෙස බැලුවේය. 

” ඒකත් ඉවර වෙලාම යන්නං බං. නයින් මවුන්ටන්ස් එකේ රණබාහුවයි , රමිතව‍යි ගත්තද ?” 

” ගත්තා සර්..”

” හ්ම්ම්… අපි යංද ? ” 

” යං.. “

එසේ පැවසූ මනුහස් ඉදිරියෙන් තිබූ වීදුරු ද්වාරය හැර ඉන් පිටතට අඩි තැබූ අතර අනෙකුත් පොලිස් නිලධාරීන් සියළු දෙනාම ඔහු අනුගමනය කළහ. 


රැයක් පුරා නිදි වර්ජිතව ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නෙත්‍යාට හිඳ සිටි සෝෆාවේම නින්ද ගොස් තිබුණේය . එක් වරම නාද වන දොරෙහි සීනුව ඇසුණු සැණින් තිගැස්සී අවදි වූ ඇය ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වහා නිවසේ ප්‍රධාන දොර විවර කළාය . නමුත් එහි ඉදිරිපස සිටගෙන සිටියේ කිසිදු දිනක මනුහස්ගේ නිවස තුළ ඈ දකින්නට අපේක්ශා නොකළ රුවක්ය. 

” ම.. මයන්..”

වහා විවර කරන ලද දොර නැවත වැසීමට උත්සාහ ගත්තද මයන්ගේ හැඩි දැඩි බාහුවක තල්ලුවට විසි වී ගිය නෙත්‍යා ආලින්දය මැදම ඇදගෙන වැටුණාය. වහා නිවසේ ප්‍රධාන දොර වසා දැමූ මයන් පහත් වී නෙත්‍යාගේ ගෙල මුලින් අල්ලා තද කරන්නට පටන් ගත්තේය. 

” ම.. මයන්.. අ..අතාරිනවා..”

නෙත්‍යා දෑතින්ම ඔහුගේ අත අල්ලා බේරීමට උත්සාහ කළද එය සෙලවීමට පවා ඈට හැකියාවක් ලැබුණේ නැත.

” පට්ට පාහර බැල්ලී.. තෝ මගෙන්ම කකා ඉඳලා අන්තිමට තෝ මටම කොකා පෙන්නුවා නේද ? තොට කොහෙන් ආපු හයියක්ද යකෝ මගෙ බිස්නස් එකේ චෙයාමන් වෙන්න ?  හිඟන්නියෙක් වගේ මුළු පවුලමත් එක්ක පාරට වැටිලා ඉන්නකොට අනුකම්පා කරලා තොපි ඔක්කොම ගොඩ දැම්මේ මම. තොපේ හිඟන මහ එකා එල්ලිලා මැරෙන්න වැටිලා ඉන්න වෙලාවේ ඌව බේර ගත්තේ මම. එදා මං නොහිටින්න තොපි එක්කො පවුල පිටින් මැරිලා , නැත්තන් තාමත් හිඟා කනවා. “

නෙත්‍යා තම ගෙල මයන්ගේ අතට කෙතරම් සිරවී තිබුණද එය ගණනකට නොගෙන මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තාය. 

දොළොස් අවුරුද්දක් පුරා තමා අත ඔසවන වාරයක් වාරයක් පාසා තමා ලඟ දණින් වැටී යදින්නියක සේ පහර දීම නතර කරන්න යැයි ඉල්ලා හඬා වැටුණු ඇය අද තම දෑස දෙස එක එල්ලේ බලා සිනාසෙන්නීය. තමාගෙ අණසක යටතේ තම පය පාමුල වැඳ වැටෙමින් , හඬමින් අයදින කාන්තාවන් දුටු පමණින් තම සිතට දැනෙන ප්‍රීතිය , සැනසුම කෙතරම්ද කියා හොඳින්ම දන්නේ ඔහු පමණක්මය. ඉදින් පහර පිට පහර දෙමින් , තව තවත් කෲර වද හිංසා කරමින් තමා අභිමුව වැද වැටෙන ස්ත්‍රීයකගේ කඳුළු වැඩි වැඩියෙන් දකිනු වස් ඔහු විසින් එකී ස්ත්‍රීය කපා හෙළූ කෙසෙල් කඳක් සේ දරා ගත නොහැකිව ඇද වැටෙන තුරුම වද හිංසා දෙනු ලබන්නේය. ගැහැණියකගේ ඇයැදීම හමුවේ ලැබෙන අපරිමිත ප්‍රීතිය අත් විඳින්නේය. නමුත් අද සියල්ල හාත්පසින්ම වෙනස්ය. ඇගේ දෑසේ කිසිදු බියක් නොමැත . ඇගේ දෑසේ කිසිදු වෙව්ලීමක් නොමැත.  සුපුරුදු හඬා වැටෙන මුහුණ වෙනුවට වියරුවෙන් සිනහ නඟන මුහුණක් සහිතව කෙදිනක හෝ තමා දෙස එක එල්ලේ බලා නැති වටකුරු දෑසින් ඈ එක දිගට තමා දෙස බලා සිටින්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here