BE SILENT – 90

0
42

” ස…ර්…..!” 

පොලිස් මූලස්ථානයේ රැස්වීම් ශාලාවක් තුළ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුම රැස් වී ඉතා වැදගත් හා බරපතල සාකච්ජාවක නිරත වී සිටියහ. නමුත් එක් වරම කිසිදු ගරු කිරීමක් , ආචාරශීලීත්වයක් නොමැතිව කෑගසමින් ඊට කඩා වැදුණු පොලිස් නිලධාරියා දෙස කෝප සහගත බැල්මෙන් බලා සිටින ඉහල නිලධාරීන් මධ්‍යයේ වික්ශිප්ත වූ මනුහස් වහා හිඳ සිටි අසුනෙන් නැඟී සිටියේය . 

” ස්..ස..ර්…!” 

සචින්ද්‍ර යමක් පවසන්නට උත්සාහ ගත්තද එය ඔහුගේ වෙව්ලන දෙතොලින් පිටතට නොආවේය. ඔහු පිටතට අත දිගු කරමින් යමක් පවසන්නට කෙතරම් උත්සාහ දැරුවත් ඔහුගේ මුවින් එකදු වචනයක් හෝ පිට නොවූ අතර ඒ වෙනුවට දෑසින් ගලා ගිය කඳුළක් කම්මුලක් මතට වැටුණේය. 

රෝහල් කොරිඩෝව දිගෙහි උමතුවෙන් මෙන් දිව යන තරුණ පොලිස් නිලධාරියෙකු දෙස වට පිටාවේ හිඳි උන් පුදුමයෙන් මෙන්  බලා සිටියහ. වේගයෙන් දිව ආ ඔහු දැඩි සත්කාර ඒකකය අසල නැවතී වේගයෙන් හති ළන්නට වූයේය. කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් එහා මෙහා දුවන වෛද්‍යවරුන්ද , හෙදියන්ද ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලය මනුහස්ව පසු කරමින් ඒ මේ අත කලබලයෙන් දිව යමින් යුහුසුලුව වැඩ කටයුතු කරමින් සිටියහ. දෑසින් එක දිගට ගලා හැලෙන කඳුළුද , නළල දෙපසින් වැගිරෙන දා බිඳුද , වේගයෙන් උස් පහත් වන උරපතුද , වෙව්ලන දෙතොලද දැඩි සත්කාර ඒකකය ඉදිරියේ සිට ගෙන සිටින දේහදාරියාගේ හදවතේ පවතින නොසන්සුන්බවත්, කලබලයත් හොඳින්ම කියා පෑවේය. 

දැඩි සත්කාර ඒකකය තුළින් පැමිණි වෛද්‍යවරයෙක් සෙල් පිළිමයක් සේ බලා සිටින පොලිස් නිලධාරියා දෙස හොඳින් බැලුවේය. අද උදෑසන සිටම මුළු රට පුරාම කතා වන පොලිස් නිලධාරියා ඔහු බව හඳුනා ගත් වෛද්‍යවරයා ඔහුගේ නම මතක් කරගන්නට මහත් වෑයමක් දැරුවේය. 

” මේ.. මේ.. අර…”

” මනුහස් විජේවර්ධන “

වෛද්‍යවරයාගේ ගැටළුවට පිළිතුරු ලබා දුන්නේ මනුහස් නොව ඔහුගේ පසකින් සිටි සචින්ද්‍රය. 

” ඇතුලේ ඉන්නේ සර්ගේ වයිෆ්..”

ඔහු නැවතත් මනුහස් වෙනුවෙන් කටහඬ අවදි කළේය. 

” Oh! There’s a major surgery  going on.. You must be patient. This is a crucial situation Mr Wijewardhane “

එසේ පැවසූ වෛද්‍යවරයා යළි දැඩි සත්කාර ඒකකය තුළට ඇතුළු වූයේය. 

තවත් මොහොතක් සිට ගෙන දැඩි සත්කාර ඒකකය දෙස බලා සිටි මනුහස් දෙපා පණ නැතිව ගියාක් මෙන් කොරිඩෝවේ තිබූ පුටුවක් මතට කඩා වැටුණේය .

” සර්…!” 

වහා ඔහු අසලට පහත් වූ සචින්ද්‍ර ඔහුගේ අතක් මතින් තම වෙව්ලන අත තැබුවේය .

” හුස්ම වැටෙනවා කියලා විතරක් කියන්න කියහන් බං. වෙන .. වෙන මුකුත් ඕන්නෑ.. “

” සර්..!” 

රටක්ම ප්‍රශංසා සහගත ලෙස මේ මොහොතේ කතා කරමින් අගය කරනු ලබන තම ඉහල නිලධාරියා මෙතරම් අසරණව සිටි එකදු අවස්ථාවක් හෝ දිවියට දැක නොමැති සචින්ද්‍රගේ හදවත දරා ගත නොහැකි අන්දමට කම්පා වූයේය .

” සචින්ද්‍ර ..!” 

වේගයෙන් දිව ආ ෂියෝනා දැඩි සත්කාර ඒකකය අසල පුටුවකට බර වී සිටින මනුහස් දෙසත් ඔහු අසල සිටගෙන සිටින සචින්ද්‍ර දෙසත් හති ළමින් බැලුවාය. 

” දැන් හරිද මිස්ටර් විජේවර්ධන.. ? ඕකනේ කරගන්න ඕන උනේ ? ඊයේ රෑ කීපාරක්නං මට කෝල් කරලා මනූ ගෙදර ආවේ නෑනේ ෂියෝනා , ඔයාටවත් කතා කළාද කිය කිය ඇහුවද ? පොලීසියෙදි දාන්න ඕනේ පොලිස් පාට් ගෙවල් වල ඉන්න ගෑනුන්ට දාන්න ගියාම උන්ට ඒවා දරාගන්න බෑ තමා.. “

” මිස් ෂියෝනා.. ප්ලීස්..” 

ෂියෝනාගේ කතාව දරාගනු නොහැකි වූ සචින්ද්‍ර වහා ඇගේ කතාවට බාධා කළේය. 

” නිකමට හිතෙන්නැද්ද ඊයේ රෑ ගෙදර නොගියපු එකේ එක පාරක් කතා කළා නං අද ඔහොම දෙයක් එයා කරගන්නෑ නේද කියලා ? ඇයි බං උඹලා ගෑනු එක්ක මෙහෙම සෙල්ලං කරන්නේ ?” 

මනුහස් හිස ඔසවා සචින්ද්‍ර දෙස බැලුවේය. තවමත් සිදුවී ඇති කිසිදු දෙයක් පිළිබඳව හරි හැටි වැටහීමක් නොවුණු මනුහස් දෙසට චෝදනා නඟමින් ෂියෝනා පවසනා දෑ නිවැරදි බව ඔහුගේ යටි සිත පිළිගත්තේය . තමා ඈ සමඟ අමනාපයෙන් සිටින බව වටහා ගත් නිසාම ඈ මෙවන්නක් සිදු කර ගත්‍තා විය හැකිය. එක වරක්… එකම වරක් හෝ ඈ හා කතා බස් කළානං බොහෝ විට මෙවැන්නක් සිදු නොවනු ඇත . එසේ නම් සියල්ලටම වැරදිකාරයා තමාය. මනුහස් හිඳ සිටි පුටුවෙන් නැඟී සිටියේය. 

” සර්..!” 

තමා පසුපස නොඑන ලෙසට අතින් සන් කළ මනුහස් සෙමින් ඇවිද රථ ගාලා වෙතට ගියේය . ඉන්පසුව මෝටර් රථයේ දොර හැර එයට ගොඩවී දුරකතනය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. මඟ හැරුණු ඇමතුම් එකසිය හතළිස් තුනක් ඇගෙන් ඇත. කෙටි පණිවිඩ අසූවක් පමණ ඇත . හේ වෙව්ලන දෑතින් ඇගෙන් ලැබුණු හඬ පට ක්‍රියාත්මක කළේය. 

” මනූ.. අනේ ඇයි කතා කරන්නැත්තේ ? රෑ වෙන්න එනවා මනූ. ඔයා ඉක්මන්ට එනවා නේද ?” 

” මනූ .. රෑ වෙලා මනූ.. අනේ ඉක්මන්ට එන්නකෝ..”

” ෆෝන් එක ආන්සර් කරන්නැත්‍තේ ඇයි මනූ.. ? මට තනියම ඉන්න බයයි මනු. අනේ ගෙදර එන්නකෝ..”

” ඔයා හිතන දේ නෙමෙයි මනූ මෙතන උනේ. මං චෙයාමන් පෝස්ට් එක බාරගත්‍තේ හේතුවක් ඇතුව . හරි . මාත් එක්ක තරහයි නං ගෙදර එන්නෙපා. අඩුම මං කියන දේ අහන්න ෆෝන් එක ආන්සර් කරන්න. “

” මනූ.. ඔයා කොහෙද ඉන්නේ ? අනේ මට මෙහෙම කරන්නෙපා මනූ. මට දරාගන්න බෑ. වෙච්ච හැමදේම මං කියන්නං .  අනේ ගෙදර එන්නකෝ. “

එක දිගට ඇගෙන් ලැබී ඇති පණිවිඩ කිහිපයකි. ඒ සෑම එකකින්ම පවසා ඇත්තේ තමාට නිවසට පැමිණෙන ලෙසටය . සෑම හඬ පටයකම ඈ හඬා වැටෙන්නීය. රාත්‍රිය පුරාම ඈ හඬ හඬාම සිටින්නට ඇත. එසේ නම් ෂියෝනා පැවසූ දේ නිවැරදිය . දරාගත නොහැකි අන්තිම තත්පරයේදී ඈ මෙලෙස තීරණයක් ගන්නට ඇතිය . සියල්ලටම වැරදි තමාය. එක දිගට දෑසින් ගලා එන කඳුළැල් වළකා ගත නොහැකිය . හදවත පුරා දැනෙන රිදුම දරා ගත නොහැකිය . ඔහු තම දෑතම පපුව මත ගුලි කර ගත්තේය. 

” ආ..හ්…. ආආආ…හ්….”

හැකි පමණ වෙර යොදා කෑගසා හැඬූ ඔහු එක දිගට දෑතින්ම සුක්කානමට පහර පිට පහර දුන්නේය . 

” අනේ ඇයි සුදු නෝනා මෙහෙම දෙයක් කරගත්තේ ? තමුසේ නැතුව මං කොහොම ජීවත් වෙන්නද ? නැඟිටලා ඇවිල්ලා මාව මරලා දාපන් බං. මට මේක උහුලගන්න බෑ. “

මනුහස් වේගයෙන් සුක්කානම මත හිස තබා ගෙන මෝටර් රථය තුළ ඉකි ගසමින් හැඬුවේය.

” මං මහ ජරා සතෙක් බං. මට එක පාරක් ඔයා කියන එක අහන්න තිබ්බා. ෂියා කියන කතාව ඇත්ත. ඒ කතාව ඇත්ත . වරද මගෙයි. සම්පූර්ණම වරද මගෙයි. මං තමුසෙට ආදරේ කළා සුදු නෝනා. මගේ පණටත් වැඩිය. ඒක තමුසේ දන්නවා. අනේ මගේ පපුව පැලෙයි බං  . මං කොහොමද මේක දරාගන්නේ ? තමුසේ කොහොමද මාව මෙච්චර ලේසියකට දාලා යන්න හිත හදා ගත්තේ ? මාව මැරෙයි යකෝ. මගේ පපුව පැළිලා මැරෙයි… “

මනුහස් මෝටර් රථයේ සුක්කානම දෑතින්ම තදින් අල්ලා ගනිමින් මහ හඬින් හඬා වැටුණේය. 

” සර්… ! සර්..! “

ඔහු තිගැස්සී දෑස එසවූයේ ජනෙල් වීදුරුවට තට්ටු කරමින් සිටි සචින්ද්‍ර දෙස බලමින්ය. 

දෑතම එහා මෙහා කරමින් ඔහු කලබලයෙන් කුමක් හෝ පවසනු දුටු මනුහස් මෝටර් රථයේ ජනෙල් වීදුරුව මඳක් පහත් කළේය. 

” සර්.. ! අක්කා මෙහෙම කරන් තියෙන්නෙ සර් එක්ක තරහකට නෙමෙයි. ඒක කරලා තියෙන්නේ අරූ..”

ඉදින් මනුහස්ගේ වික්ශිප්ත හා කෝපාවිශ්ට දෑස සචින්ද්‍ර වෙත යොමු වූ අතර  රෝහල් රථගාලෙන් පිට වූ තරුණයාගේ මෝටර් රථය පවනට බඳු වේගයකින් මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය . මනුහස් එකොළොස්වන මහලේ තම නිවස වෙත වේගයෙන් දිව ගියද ඒ වනවිටත් එහි පැමිණි පොලිස් නිලධාරීන් පරීක්ෂණ කටයුතු සියල්ල මෙහෙයවා තිබුණේය. 

” සර්.. මිනිහා ඇවිල්ලා තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි. පිටි පස්සේ ගේට් එකෙන්. එතන ඉන්නේ එක සිකියුරිටි ගාඩ් කෙනෙයි. ඒ මනුස්සයත් එහා මෙහා වෙනකන් ඉඳලා තමයි ඇතුල් වෙලා තියෙන්නේ. හැම සීසීටීවී කැමරාවකටම පේන්නැති වෙන්න කැප් එකකින් මූණ වහන් ඇවිත් තියෙන්නේ.”

 මේසයක් මත තිබූ පරිගණක තීරයක ධාවනය වන සීසීටීවී අරක්ෂක පද්ධතියක වීඩියෝ කිහිපයකට මාරුවෙන් මාරුවට ඇඟිල්ල තබමින් නිවසේ ඒ වන විටත් පරීක්ෂණ අරඹා තිබූ පොලිස් නිලධාරියා මනුහස් වෙත සියල්ල පැහැදිලි කරන්නට උත්සාහ ගනිමින් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here