BE SILENT – 89

0
2215

කිසිදා නුදුටු ඇගේ දෑසේ ඇති භයානක බව දුටු මයන්ගේ අත ඔහුටත් නොදැනීම මඳක් ලිහිල් වී ගියේය . වියරුවෙන් සිනහ වෙමින් සිටි නෙත්‍යා එය නතර කර දමා තව දුරටත් ඔහු දෙස එක එල්ලේ බලමින් වේගයෙන් හති ලන්නට වූවාය. 

” අනුකම්පා කරලා ? උඹ කොහෙද මිනිහෝ මට අනුකම්පා කළේ ? උඹ කොහෙද මගේ පවුලට අනුකම්පා කළේ ? උඹ මාව කසාද බැඳගත්තේ රටේ ලෝකේ එවුන්ට උඹ තරම් වෙන හොඳ එකෙක් නෑ කියලා පෙන්නන්න ඕනේ නිසා. උඹ කියන දේ අහගෙන ගේ ඇතුළේ ඇති කරන බැල්ලියෙක් ගාණට උඹ පස්සෙන් වැටිලා ඉන්න ඕනේ ගෑනියෙක් උඹට ඕනේ නිසා. ඔව්.. උඹ තමයි අපේ අප්පච්චිලාගේ වැටිච්ච බිස්නස් ගොඩ දාලා දුන්නේ . ඒකට හිලව් උනේ මාව. උඹ මාව පාවිච්චි කළා. වෙන ගෑනියෙක්ව බැඳගත්තනං උඹට කවදාවත් අවුරුදු දොළහක් තියා එක දවසක් පවුල් කන්න වෙන්නෑ. මොකද උඹ මානසික ලෙඩෙක්. එහෙම උනානං ඒක මුලු ලෝකෙම දැනගන්නවා. උඹ මාව මගේ පවුල ඉස්සරහට දාලා හිර කළා. මගේ පවුල නිසා මට කට අරින්න බැරි උනා. එහෙම බැලුවම මල්දෙණියලා ඉද්දමල්ගොඩ පවුල බේරුවේ නෑ. ඉද්දමල්ගොඩ පවුලයි මල්දෙණියලව බේරුවේ. උඹේ තියන අසික්කිත වැඩ ගැන ලෝකෙට නොකියා හිටිය මමයි උඹලගෙ මහ ලොකු මල්දෙණිය පවුල බේර ගත්තේ. උඹේ තිබ්බ දහජරා ගති ගැන ලෝකෙට කිව්වානං උඹලගේ මල්දෙණිය පවුලට මිනිස්සු ගල් ගහනවා. “

” මොකද්ද පරට්ටි තෝ කිව්වේ ?” 

මයන් වහා අත දිගු කොට නෙත්‍යාගේ කම්මුලට දැඩි අතුල් පහරක් එල්ල කළේය . දරාගත නොහැකි වූ පහරින් තොල් පට පිපිරී ගිය නෙත්‍යා දවා අළු කර දැමිය හැකි බැල්මකින් මයන් දෙස බලා හැකි උපරිම වෙර යොදා ඔහුව තල්ලු කර දැම්මාය . හනික නැඟිට නිදන කාමරය වෙත දිව යාමට උත්සාහ ගත්තද වහා එය වැළැක්වූ මයන් නැවතත් ඇගේ අතින් ඇද ඇගේ අනිත් කොපුලටත් තවත් පහර පිට පහර කිහිපයක් දී ඈ අසල තිබූ සෝෆාව මතට තල්ලු කර දැමුවේය . 

” තමුසේ මේ කරගන්නේ තමුසෙගෙම වළ කපාගන්න වැඩක් මයන්. මගේ ඇඟට අත තියන්නේ බලාගෙන. මනූ දැනගත්තු ගමන්  තමුසෙගේ අත ඔය ඇඟෙන් උගුල්ලලා දායි. “

වේගයෙන් හති ළමින් රක්ත වර්ණ දෑසින් මයන් දෙස බැලූ නෙත්‍යා ගුගුරා හැළුණාය. 

” හහ්.. ආ..හා.. එහෙනං මේ ඒකයි. අනේ.. මයන් එපා.. අනේ මයන් වඳින්නං. අනේ මයන් රිදෙනවා. අනේ.. එපා.. අනේ එපා.. ගගා මගෙ ලඟ වැඳ වැටුණු ගෑනි එක පාරට මෙච්චර උඩ ගිහින් තියෙන්නේ ඒකයි. ලැජ්ජ නැද්ද බැල්ලියේ කසාද මිනිහා ඉද්දි තවත් එකෙක් එක්ක නිදාගන්න ? ඒ කරලා තමන්ගෙ මිනිහටම ඌ ගැන කියලා වර්ණනා කරන්න ?” 

නෙත්‍යා නැවත වරක් අපහසුවෙන් වුවද සමච්චල් සිනහවක් පෑවාය .

” නෑ.. මොකද ඒ මිනිහා නියම පිරිමියෙක්. තමුසේ වගේ දෙපා සතෙක් නෙමෙයි. අවුරුදු දොළහක් මං තමුසෙ එක්ක පවුල් කෑවා. එක දවසක් , එක දවසක් තමුසෙගේ ගෑනි තමුසෙට ආදරෙන් එක කිස් එකක් දීලා තියනවද ? නෑ.. හැබැයි මං මනුස්සයගේ ඇගේ කිස් එකක් නොදීපු තැනක් නෑ. ඇයි දන්නවද ඒ මිනිහා දන්නවා ගෑනියෙක්ගේ වටිනකම. ඒ මිනිහා දන්නවා ගෑනියෙක්ගේ තියන ආදරේ. ඒ මිනිහා දන්නවා නියම පිරිමියෙක් වගේ තමන්ගේ ගෑනිව තියාගන්නේ කොහොමද කියලා . තමුසේ වගේ තිරිසනෙක් ආදරේ ගැන මොනාද ඕයි දන්නේ ? තමුසෙලා දන්නේ හුස්ම වැටෙනවනං ඕනම කුණු ගොඩක් එක්ක නිදාගන්න විතරයි. “

 නෙත්‍යා වහා වියරුවෙන් මෙන් කෑගැසුවාය. කෝපය ඉව වහා ගිය මයන් නැවත වතාවක් ඇගේ ගෙලින් අල්ලා සෝෆාවට තබා තද කළේය . 

” එච්චර හයියක්. ? යකෝ මං මයන්. මයන් මල්දෙණිය . රිචඩ් මල්දෙණියගේ පුතා. තෝ කොහොමද පරට්ටි මගේ ඉස්සරහා වෙන මිනිහෙක් ගැන ඔච්චර වර්ණනා කරන්නේ ? අවුරුදු දොළහක් තිස්සේ මං ලඟ බැල්ලියෙක් වගේ වැටිලා හිටපු එකී මගේ බිස්නස් එකටත් කෙළවලා , අරූ ලව්ව මගෙ නම ලෝකේ ඉස්සරහා නැත්තටම නැති කරලා දාලා , මගේ අම්මවත් නැති කරලා දාලා තෝ හිතුවෙ මගෙ බිස්නස් එකෙන් අරූ එක්ක සුරසැප විඳින්න වෙන්න ඇති නේද ? හහ්… එච්චර දෙයක් කරන්න උඹ ? උඹ මං කවුරු කියලද හිතන් ඉන්නේ ? එන්න කියපන් උඹේ මහ ලොකු ප්‍රේමවන්තයාට. ඌ එද්දි මං ඌට ලස්සන තෑග්ගක් ලෑස්ති කරලා තියන්නං. කාලෙකින් මටත් බැරි උනානේ උඹ එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්න. වරෙන්.. අරූගේ මුළු ජීවිත කාලෙටම මතක තියාගන්න වෙන විදිහට මං අද උඹව ඌ එද්දි ලෑස්ති කරලා තියන්නං. “

එසේ පැවසූ මයන් හැඳ සිටි උඩු ඇඳුම ගලවා විසි කර දැමුවේය . ඉන් පසුව හැඳ සිටි කලිසමේ බඳ පටිය ගලවා දමා එය කසයක් ආකාරයට එක් අතක ඔතා ගත්තේය. 

” මං මනූ එක්ක ඉඳලා ඉවරයි. ආයේ තෝ වගේ කුණු ගොඩක් එක්ක ලැගලා කුණු ගාගෙන ඒ මනුස්සයා ඉස්සරහට යනවට වඩා හොඳයි මේ ජීවිතේ මෙතනින් ඉවර කරගන්නවා. “

එසේ පැවසූ නෙත්‍යා තමා පැවසූ දේ පිළිබඳව මයන්ට සිතන්නට හෝ කාලයක් නොතබා සෝෆාව අද්දර තිබූ ටීපෝව මත තිබුණු වීදුරු මල් බඳුන ගෙන එක් වරම මයන්ගේ හිසට දැඩි පහරක් එල්ල කළේය. තදින් වැදුණු පහරේ තරම නිසාම වීදුරු බඳුන කුඩු වී ගිය අතර , බලාපොරොත්තු නොවූ පහර වළක්වා ගත නොහැකිව එක් වරම පසෙකට විසි වූ මයන් වේදනාවෙන් රිදුම් දෙන හා රුධිරය ගලා හැලෙන හිස තදින් අල්ලා ගත්තේය. ක්ෂ්ණිකව ලැබුණු කාලය ගත් නෙත්‍යා වහා නිදන කාමරයට දිව ගොස් එය ඇතුළතින් තදින් අගුලු ලෑවාය . ඉන්පසුව යහන මත තිබූ දුරකතනය ගෙන මනුහස් වෙතට ඇමතුමක් ලබා ගන්නට උත්සාහ දැරුවාය. නමුත් ඒ වන විටත් පොලිස් මූලස්ථානය තුළ ඉහල නිලධාරීන් පිරිසක් සමග සාකච්ජාවක නිරත වෙමින් සිටි මනුහස්ගේ නිහඬ කොට තබා තිබූ දුරකතනය කීප වරක් නාද වුවද ඔහුට එය නොඇසුණේය. 

නෙත්‍යා ඉකි ගසමින් හඬා වැළපෙමින් යහන අසල බිම හිඳ ගත්තාය. එක දිගට නිදන කාමරයේ දොරට තඩි බාන මයන් කොයි මොහොතේ හෝ නිදන කාමරයට කඩා වදිනු නියතය. තව දුරටත් මයන්ගේ අප්‍රසන්න , කිළිටි දෑතට හෝ ශරීරයට පොඩි වී යන්නට තමන්ට කිසිදු උවමනාවක් නොමැත. එවැන්නෙකුගේ පිළිකුල් සහගත ස්පර්ශයකින් පසුව නැවත මනුහස් වැනි ස්නේහවන්තයෙක්ගේ තුරුළට යෑමද පාපයකි.

එසේ නම් මේ තමාගේ දෛවය ලියැවී තිබෙන අයුරුය. දෙකම්මුල් දිගේ රූරා වැටෙන කඳුළු පිස දැමූ නෙත්‍යා වහා ජංගම දුරකතනය ගෙන හඬ පටයක් පටිගත කිරීමට පටන් ගත්තාය. 

” මනූ… අනේ මගේ රත්තරනේ.. මට සමාවෙන්න. කවදාවත් මං ගැන වැරදියට හිතන්න එපා. මගෙ මුළු ජීවිත කාලෙම සතුටින්ම හිටපු දවස් ටික ගෙවුණේ ඔයා ලඟ. මට එහෙම හරි සතුටු වෙන්න මතකයක් දුන්නට ඔයාට ගොඩාක් පින් මනූ.. මට කරන්න දෙයක් නෑ. මයන් කියන්නේ මහා කාලකණ්නි සතෙක්. උගේ ඇඟිල්ලක් හරි මගේ ඇඟේ වැදුණට පස්සේ ආයේම හිත හදාගෙන ඔයා ලඟට එන්න මට බැරි වෙයි. මනූ.. මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි මනූ.. ආයෙම සංසාරේ කවදාවත් මං වගේ පව්කාරියෙක් ඔයාට මුණ ගැහෙන්න එපා. මං දන්නවා ඔයාට දරාගන්න බැරි වෙයි. ඒත්.. මට ඊටත් වඩා දරාගන්න බැරි වෙයි මනූ. දවසින් දවස මැරි මැරී ජීවත් වෙනවට වැඩිය එක පාර මැරිලා යන එක සැනසීමක්. මං දන්නවා ඔයා මාත් එක්ක තරහින් ඇත්තේ . ඒත් ඉක්මන්ටම මං මොනවද කළේ කියන එක ඔයාට දැනගන්න ලැබෙයි . ඊට පස්සේ ඔයාගේ හිතේ තියන කේන්තිය නැති වෙයි මනූ. “

නෙත්‍යාට තව දුරටත් කතා කර ගත නොහැකි වූවාය. ඇගේ දෙතොල වෙව්ලී වචන සිරවී ගිය අතර මයන් අනෙක් පස සිට එල්ල කළ දැඩි පහරක් හමුවේ දොරෙහි එක් අගුලක් කැඩී ගියේය . ඉතා ඉක්මනින් ඔහු නිදන කාමරය තුළට කඩා වදින බව දැනගත් නෙත්‍යා යළිත් ජංගම දුරකතනය අතට ගත්තාය. 

” මනූ.. මං ඔයාට ගොඩාක් ආදරෙයි.. පරිස්සමට ඉන්න මගේ රත්තරනේ. අනේ මගේ සුදු මහත්තයා. .. ඔයා මං නිසා ගොඩාක් දුක් වින්ඳා. ඒ හැමදේකටම මට සමාවෙන්න දෙයියනේ.. අනේ මට සමාවෙන්න.. !” 

මයන් වහා දොර කඩා දමමින් නිදන කාමරයට ඇතුළු වූ අතර පටිගත කළ හඬ පටය මනුහස්ගේ දුරකතනය වෙත යැවීමට හෝ ඉඩක් නෙත්‍යාට නොලැබුණාය. ඈ වහා ජංගම දුරකතනය යහන යටට තල්ලු කරමින් නැඟී සිටියේය. ඉන් පසුව අඩියට දෙකට නිදන කාමරයේ බැල්කනිය වෙතට දිව ගියාය. 

” උඹට දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ මයන් මල්දෙණිය. උඹේ අම්මත් නෑ. බිස්නස් එකත් නෑ.  උඹ මුළු ලෝකෙටම මැරිච්ච මිනිහෙක්. ඒ කියන්නේ උඹට දැන් උඹවත් නෑ. උඹ හිතුවනං මාව ආයේම උඹේ කරගන්න. ඒක කවදාවත් ආයේ වෙන්නෑ. උඹේ ජරා හුස්මක් වත් වැදිලා අර රත්තරං මනුස්සයා ලඟට යනවට වැඩිය හොඳයි මං උඹට මාවත් නැති කරන එක. උඹ පරාදයි මයන්. උඹ හැම අතින්ම පරාදයි. “

” ඒයි….!” 

මයන් කෑගැසුවේත් වටකුරු දෑසක් හා රවුම් මුහුණක් සහිත බෝල කෙල්ල මහල් නිවාස සංකීර්ණයේ එකොළොස්වන මහලේ තමා සිටි නිවසේ නිදන කාමරයේ බැල්කනි ද්වාරයෙන් පිටතට පැන්නේත් එකම මොහොතකදීය. 

බිම් මහලේ නවතා තිබූ සුදු පැහැති මෝටර් රථයක් මතට ” දඩාස් ” හඬ නංවමින් ඇද වැටුණු හැඩකාරිය හේතුවෙන් මහ හඬක් නංවමින් මෝටර් රථයේ දෙපස තිබූ වීදුරු ජනේල පුපුරා හැලුණු අතර ඇගේ සිරුරෙන් ගලා ගිය රක්ත වර්ණ රුධිරය මෝටර් රථයේ සිව් පසින් ගලා ගෙන ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here