කලුවර රෑ සඳක් වගේ – 39

0
870

එදා රෑ මනුසත් ගෙදර ආවේ වෙනදාටත් වඩා සෑහෙන වෙලාවක් ගිහින්. 

මනුසත් සාලේ ලයිට් එක දාද්දී මම සෝෆා එකේ ගුලි වෙලා හිටියේ හරියට පණ යනකම් බලාගෙන ඉන්න සතෙක් වගේ. එයාගේ ඇස් දෙක රතු වෙලා, මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති මහා අමුතුම ලුක් එකක්. මගේ හිතේ තිබුණේ මහා ලොකු අසහනයක් වුණත්, මනුසත් භානුකීගේ ගෙදර ඉඳන් රෑ වෙලා ආපු එක ගැන මට තිබුණේ දරාගන්න බැරි කේන්තියක්.

“භානුකීගේ රෙද්ද අස්සේ රිංගන්න යන්නේ ඇයි මනුසත් හැමදාම? ඔයා මේ ගෙදරට එන්නේ නිකන් රෙදි හෝදගන්නයි, කාලා යන්නයි විතරද?” මම ඇහුවේ වෙව්ලන හඬින් වුණත් මගේ උපරිම ශක්තිය මගෙ වචන අස්සට එකතු කරගෙන.

මනුසත් එකපාරටම නතර වුණා. ඒක මාව දැකලා නතර වීමකට වඩා එයාට මොනා හරි දෙයක් අවධාරණය කරන්න ඕන වෙච්ච හන්දා වෙච්ච නතර වීමක් වගේ දෙයක්. එයා අතේ තිබුණ වාහනේ යතුර සාලේ මේසෙ උඩට විසික්කරලා වගේ දැම්මෙ ඒ ටේබල් එකේ තිබුන වීදුරු ටොප් එක කුඩු වෙලා යන්න වගේ සද්දෙකින්. එයා හෙමින් මගේ ගාවට ඇවිත් නැමුණා. 

“මම යන්නේ මගේ දරුවන්ගේ අම්මව හම්බෙන්න ලිහිණි. ඒ මිසක් ඔයා වගේ කැෆේ වල එක එකා එක්ක මුකුළු කරන්න නෙවෙයි!” මනුසත්ගේ හඬ සාලේ බිත්තිවල වැදිලා දෝංකාර දෙද්දි තමයි මට ඇත්තටම හරි සිහියට එන්න පුළුවන් වුණේ. මං උන්නෙ හිත අස්සෙන් ලැජ්ජාවෙන් දියවෙවී වැගිරෙන ගමන්.

 “ලැජ්ජා නැද්ද ඕයි… මගේ දරුවො ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා තමුන් කවුද කොල්ලෙක් එක්ක කැෆේ එකක් අස්සෙ රිංගනවා. මං අහන්නෙ තමුන්ට තමුන්ට හිතන්න තිබ්බෙ නැද්ද ලෝකෙ අනිත් මිනිස්සුන්ට ඇස් තියෙනවා, ඒ මිනිස්සු තමන් වටේ ඉන්නවා කියලා. මගේ ආත්ම ගරුත්වය බල්ලට වැටෙනවා කියලා තමුන් දන්නේ නැද්ද? ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන එක බොරුවක් නෙවිනෙ ලිහිණි. මං හිතුවෙ ගමකින් ආවා කිව්වම වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක් කියලා. මටයි වැරදුණේ. ඒ කාලෙ පෙන්නපු ඔය අහිංසක මූණට මමයි රැවටුණෙ. මහා ලොකු ආදරේකුයි, අහිංසකකමකුයි පෙන්නලා තමුන් මාව රවට්ටගත්තා.

මම හිතුවේ ඔයා මගේ ගෙදරට ගැලපෙන, මගේ දරුවන්ට ආදර්ශවත් වෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඒත් පාරේ යන එක එකා එක්ක කැෆේ ගානේ රිංගන, තමන්ගේ කසාද මිනිහගේ නම පාවලා දෙන ගෑනියෙක්ට කොහොමද මම මේ ගෙදර ඉඩ දෙන්නේ? තමුසෙට ඕනේ වුණේ මගේ සල්ලි වලින් සැප විඳලා, වෙන උන් එක්ක ආතල් ගන්නද? මං අහන්නේ තමුසෙට කොහෙන්ද ඒ තරම් හයියක් ආවේ?

මට උත්තර නැති වුණා ලිහිණි. තමුන් හින්දා මම මගේ දරුවෝ ඉස්සරහා ලැජ්ජා වුණා. මගේ නම්බුව පාරේ හැමතැනම තමුන් ලන්සු තියලා ඉවරයි. ගමක කෙල්ලෙක් වුණාම හරි විනීතයි කියලා හිතපු මටයි හෙණ ගහන්න ඕනේ. තමුන්ගේ ඔය ලස්සන මූණ පිටිපස්සේ මෙච්චර නින්දිත ගෑනියෙක් ඉඳියි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. රඟපෑම… ඒක තමයි තමුන් දන්න එකම දේ. මාව රවට්ටලා මේ ගෙදරට රිංගගත්තේ තමුන්ගේ ඒ බොරු රඟපෑමෙන් නේද?”

මගේ පපුව නතර වුණා වගේ මට දැනුණෙ. “මනුසත්ගේ දරුවෝ? ශුවර් එකටම අර මන්දාරා කියන තේ උඩිච්චි වෙන්නැති දකින්න ඇත්තෙ. දකින්න ඇත්තෙ නෙවෙයි අම්මයි දුවයි දෙන්නා එක්කහු වෙලා මං යන එන තැන්වල සීසීටීවි දාලාද කොහෙද” කියලා හිත අස්සෙන් උන්ට බැන්නට මට දැනුණේ මම මහා අගාධයකට වැටෙනවා වගේ. “මනුසත්… ඒක ඔයා හිතන විදියේ දෙයක් නෙවෙයි. ඒ මගේ කැම්පස් එකේ යාලුවෙක්. එයා තමයි මට ජොබ් එකත් හොයලා දුන්නෙ” මම බොහොම අමාරුවෙන් කියාගත්තා.මොකද බේරෙන්න නම් මොනාහරි දෙයක් කියන්නෝන විත්තිය මම දැනගෙනයි උන්නෙ.

“යාළුවෙක් එක්ක? කවුද ඔය මහ ලොකු යාළුවා රස්සාවක් හොයලා දීලා කැෆේ වලට එක්කන් යන්න? මාර යාළුවොනේ ඉන්නෙ?”

මනුසත් මගේ ඉස්සරහට අඩියක් තියලා, මගේ ඇස් දෙක ඇතුළටම එබිලා ඇහුවේ මහා පිළිකුලකින්. එයාගේ හිනාවේ තිබුණේ මාව ලැජ්ජාවෙන් පණපිටින් පුච්චන්න පුළුවන් තරම් දරුණු උපහාසයක්.

“ලිහිණි… මේ මං ගොනෙක් කියලද හිතන්නේ? රස්සාව හොයලා දෙන්නෙත් යාළුවා, ප්‍රශ්න ඇති වුණාම කැෆේ වලට එක්කන් ගිහින් හිත හදන්නෙත් යාළුවා. තමුසේ හිතුවද මම මේවා අහලා ආ එහෙමද කියලා ඔළුව අතගායි කියලා? රශ්න කතා කරන්නේ ඔෆිස් එකේ මිසක්, පාරේ තියෙන කැෆේ වල නෙවෙයි ලිහිණි! කල් යද්දි වෙන්නැති නේද තමුසෙට හිතුනේ නාකි මිනිහෙක් බැඳගත්තේ අපරාදේ කියලා?”

මගේ මුළු ඇඟම වෙව්ලන්න ගත්තට මං උන්නෙ ලේසියෙන් මනුසත්ට කියන්නෝන දෙයක්, දෙන්නෝන උත්තරයක් හිතාගන්න පුළුවන් මානසික වාතාවරණයක නෙවෙයි. මනුසත්ගේ ඒ වචන මගේ ආත්ම ගරුත්වයට ගැහුව මහා පාරක් වගේ දැනෙද්දි මං මනුසත්ට දෙයක් කියන්න වචන එක්කහු කරගත්තෙ පුදුමාකාර අමාරුවෙන්.

 “මනුසත්… ඔයා මේ මොනවාද කියවන්නේ? මම කවදාවත් එහෙම හිතලා නැහැ,” මම බොහොම අමාරුවෙන් කියාගත්තාට මොකෝ මනුසත් උන්නෙ මගේ වචන ගැන තඹ සතේක වගක් නැතුව වගෙ.

“බොරු නොකියා ඉන්නවා ලිහිණි! මට පේනවා දැන් තමුසෙගේ හැසිරීම. අර තරුණ කොල්ලෙක් දකිද්දී තමුසෙට මාව පේන්නේ නාකි හමක් වගේ වෙන්න ඇති. ඒකනේ මගේ දරුවෝ ඉස්සරහම කැෆේ ගානේ රිංගලා මගේ නම්බුව කන්නේ. මං හිතුවේ ගමකින් ආපු කෙල්ලෙක් වුණාම පවුල් ජීවිතේ අගය දනීවි කියලා. මටයි වැරදුණේ. තමුසෙත් අර අනිත් කෙල්ලෝ වගේමයි. මහා ලොකු ආදරේකුයි, අහිංසකකමකුයි පෙන්නලා තමුන් මාව රවට්ටගත්තා. දැන් තමුසෙට මාව ඇති වෙලා ඇති ඒකනෙ වෙන උන් එක්ක කැෆේ ගානෙ රිංගන්නෙ. අද කැෆේ වලට රිංගන එක හෙට තමුසෙ රස්සාවට යනවා කියලා කොහේ කොහේ යාවිද කවුද දන්නෙ? තව ටික දවසකින් එක එකාව මේ ගේ අස්සටත් වද්දගනීවි. කවුද දන්නෙ දැනටම එහෙම වෙලාද කියලත්. මට අප්පිරියයි ඕයි තමුසෙව.”

“මනුසත්… කරුණාකරලා ඔය විදියට කතා කරන්න එපා. මම කරපු වැරැද්ද මොකක්ද? මම තිදස් එක්ක කතා කළේ මගේ රස්සාව බේරගන්න ඕන නිසා. වෙච්ච කිසිම දෙයක් දන්නෙ නැතුව නිකන් මෙතන බොරුවට චෝදනා කරන්න එන්නෙපා” මම ඉකි ගහන ගමන් උත්තර දෙන්න හැදුවා.

“තිදස්? ආ… දැන් නමත් කියවෙනවා. මේ බලනවා ලිහිණි, තමුසෙගේ කටින්ම දැන් ඇත්ත එළියට එනවා. තමුසෙට ජොබ් එක අරන් දුන්නෙත් අරූ, දැන් ප්‍රශ්න විසඳන්නෙත් අරූ. එතකොට මම කවුද? මම නිකන් තමුසෙට කන්න බොන්න දෙන, නවාතැන් පහසුකම් දෙන අම්බලමක් කරන එකෙක් විතරද?

තමුසෙ එහෙම කරන ගමන් තමයි නේද මේ භානුකී මේ ගෙදෙට්ට යන එන ඒවට මගෙ ඇඟට කඩං පනින්නෙ.භානුකී කියන්නේ මගේ දරුවන්ගේ අම්මා ලිහිණි! එයාට මේ ගෙදරට එන්න, මගේ ළඟින් ඉන්න අයිතියක් තියෙනවා. ඒත් තමුසෙට? තමුසෙට තියෙන්නේ මම දෙන දේ කාලා, මට ඕන විදියට ඉන්න විතරයි. තමුසේ එක එක හිඟන්නො එක්ක පැටලිලා මට ලැජ්ජ කරන්න ප්ලෑන් කරන්න හිතුවොත් මම ඒක ලේසියෙන් අමතක කරාවි කියලා හිතන්න එපා”

“කරුණාකරලා ඔය වගෙ හිත රිද්දන වචන කියන්නෙපා මනුසත්. මං එක වචනෙකින්වත් ඔයාට මේ තාක් කිසිම වරදක් කරලා නෑ. මාත් මනුස්සයෙක්. මටත් හිතක් පපුවක් තියෙන්වා. කරුණාකරලා කරුණාකරලා මට ඔහොම කරන්න එපා”

“හිත රිදෙනවා? තමුන්ට විතරක් නෙවෙයි මටත් රිදෙනවා ලිහිණි! මගේ නම්බුවට තමුන් මෙහෙම කරාම මටත් රිදෙනවා. දැන් ඇති. මම එදා අහපු ප්‍රශ්නෙට මට දැන් උත්තර ඕනේ. කරුණාකරල ඔය රස්සාවෙන් අයින් වෙලා ගෙදර වැඩ පල ටික කරගෙන ඉන්නවා. නැත්නම් දැන්ම බඩු ටිකත් අරන් අර තිදස් කියන එකා ළඟට යන්න පුළුවන්. තීරණය තමුසෙගේ අතේ. හැබැයි මතක තියාගන්න, තමුසේ මේ ගෙදරින් එළියට බැස්සොත්, තමුසෙගේ අම්මලා තාත්තලාට මම මේ හැම දෙයක්ම කියනවා. තමුසෙගේ මහලොකු යාළුවා ගැනත් එක්කම!”

එයා එහෙම කියලා කාමරයට ගිහින් දොර හයියෙන් වහගත්තා. 

මම සාලේ මැද තනි වුණා. මගේ මුළු ජීවිතේම එක ප්‍රශ්නයක් ඇතුළේ හිර වෙලා. මම මොකක්ද කරන්නේ? රස්සාවෙන් අස් වෙන්නද? මේ ගෙදරින් දොට්ට බහින්නද?

මං උන්නෙ එහෙම තැනක හිරවෙලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here