මං මනුසත්ගෙ ගෙදරින් එළියට බැහැලා ආවෙ අන්න ඒ විදියට.
ඒ මහා මාලිගාවක් වගේ තිබුණ ගෙදර බර යකඩ ගේට්ටුව මගේ පිටිපස්සෙන් වැහෙද්දී, මට දැනුණේ හරියට මගේ හුස්ම හිර කරගෙන හිටපු යකඩ දම්වැලක් එකපාරටම මගෙ බෙල්ලෙන් ගැලවිලා ගියා වගේ සැහැල්ලුවක්. ඒත් ඒ සැහැල්ලුවත් එක්කම මහා ලොකු බයක් මගේ මුළු ඇඟ පුරාම දිව්වා. රෑ මැදියම පහු වෙලා. පාරේ වාහනයක් තියා බල්ලෙක්වත් පේන්න හිටියේ නැහැ. මම මගේ රෙදි බෑග් එකත් බදාගෙන පාරේ අයිනට වෙලා වෙව්ල වෙව්ල හිටියේ ත්‍රීවීල් එකක් එනකම්.
ගෑනියෙක් තමන්ගේම කියලා හිතාගෙන හිටපු, තමන්ගේ කියලා අයිතිවාසිකම් කියපු ඒ කසාද ගෙදරින් රෑ මැදියමේ බෑග් එකකුත් උස්සගෙන පාරට බහිනවා කියන එක මොන වගේ හැඟීමක්ද කියලා දන්නේ ඒක විඳපු කෙනෙක් විතරයි. මනුසත් මට කරපු අපහාස වලට වඩා මාව රිද්දුවේ, එයා මාව ඒ ගෙදර කසාද බිරිඳක් විදියට නොවී දෙවනියෙක්, දෙවනි වයිෆ් කෙනෙක් විදියට සලකපු එක, එළියට දාපු එක. එයා මට යන්න කිව්වේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි, එයාට භානුකීව ඒ ගෙදරට වද්දාගන්න තිබුණ එකම බාධාව මම වෙච්ච නිසා නෙවිද කියලා මගෙ හිත අහද්දි ඇත්තටම මට හයියෙන් කෑගහල අඬන්න හිතුනා. ඒත් පාරක මෙහෙම හිටගෙන මහ රෑ ගෑනියෙක් අඬනවා කියන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනො කියලා කෑගහන්න වෙන විදියෙ වැඩක් විත්තිය දන්න නිසාම මම මගේ කඳුළු උවමනාවෙන්, හරිම අමාරුවෙන් පාලනේ කරගත්තා.
කසාදයක් ඇතුළේ තවත් ගෑනියෙක් වෙනුවෙන් තමන්ව පැත්තකට තල්ලු කරන එක තරම් වේදනාවක් තවත් නැහැ. මනුසත්ට භානුකී කියන්නේ එයාගේ දරුවන්ගේ අම්මා. ඒ ගෞරවය ඉස්සරහා මම නිකන්ම නිකන් ප්‍රදර්ශන භාණ්ඩයක් විතරක් වෙලා. මම ඒ ගෙදර අතුගෑවේ, ඉව්වේ, මනුසත්ගේ වචන සේරම ඉවසගෙන හිටියේ කවදා හරි දවසක එයා මට ආදරේ කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් අන්තිමට මට උරුම වුණේ පාර විතරයි.
ඔය බලාපොරොත්තුව එකපාරටම කඩලා වැටුණම හිතට දැනෙන්නේ මහා පුදුම හීතලක්. මෙච්චර වෙලාවක් මගේම්කියලා හිතාගෙන හිටපු හතරැස් බිත්ති, අර ලොකු ගේට්ටුව, ඇතුළේ තිබුණු සුවපහසු භාණ්ඩ ඒ හැමදේම එක මොහොතකින් මට අයිතියක් නැති දේවල් වෙලා ගිහින් තිබුණා. මම පාරේ අයිනට වෙලා ත්‍රීවීල් එකක් එනකල් බලන් ඉන්නකොට මට දැනුණේ මම මේ ලෝකේ කාටවත්ම අයිති නැති, හුළඟට අහුවෙච්ච වේලිච්ච කොළ කෑල්ලක් වගේ හැඟීමක්. වේලිච්ච කොළයක් හුලඟෙ පාවෙලා ඔහේ ඔහේ ඇදිලා ඇදිලා යනවා. කාටවත් ඵලක් නෑ වේලිච්ච කොළයක් තමන් ළඟ නතර කරගත්තා කියලා. ඒ නිසා නවාතැනක්, අවසානයක් හම්බෙනකම් වේලිච්ච කොලේ එහෙ මෙහෙ යනවා. මං උන්නෙත් අන්න එහෙම අවසානයක් හොයන ගමන්.
මනුසත්ට භානුකී කියන්නේ එයාගේ දරුවන්ගේ අම්මා වුණාට, මම කවුද? මම මනුසත්ගේ නීත්‍යානුකූල බිරිඳ වුණත්, එයාගේ ඇස් ඉස්සරහා මම හිටියේ භානුකීට ලැබෙන ඒ ලොකු පිළිගැනීම අස්සේ රිංගපු හිඟන්නියක් වගේ. කසාදයක් ඇතුළේ තවත් ගැහැනියෙක්ට දෙවැනි වෙනවා කියන්නේ, තමන්ගේ හුස්ම ටික පවා තව කෙනෙක් පාලනය කරනවා වගේ වැඩක්. මම ඉව්වේ මනුසත්ට, ඒත් එයාට ඒ කෑම වල රස දැනුණේ භානුකීගේ මතකයන් එක්ක. මම ගේ අස්පස් කළේ මනුසත්ට නිදහසේ ඉන්න, ඒත් එයා ඒ නිදහස පාවිච්චි කළේ භානුකී ගැන හිතන්න. මගේ මුළු ජීවිතයම එකම එක බොරුවක් කියලා දැනෙද්දී, පපුව ඇතුළෙන් මහා ලොකු වේදනාවක් එනවා “ඇයි මම මෙච්චර අසරණ වුණේ?” කියලා.
කසාදයක දෙවැනි ගැහැනිය වීම කියන්නේ ඇත්තටම පණපිටින් මැරෙනවා වගේ වැඩක්. තමන්ගේ මිනිහගේ හිතේ වෙන ගෑනියෙක් රජ කරද්දී, තමන්ට හිමි වෙන්නේ ඒ රජ මාලිගාවේ අතුගාන වැඩකාරියකගේ තැන විතරක් නම්, ඒ කසාද සහතිකය නිකන්ම නිකන් කොළ කෑල්ලක් විතරයි. මනුසත් මාව ඒ තැනට ඇදලා දැම්මේ හරිම සීරුවට. එයා මට ආදරේ පෙන්නුවේ එයාගේ වරදකාරී හැඟීම වහගන්න විතරයි. ඒත් අද ඒ හැම රඟපෑමක්ම ඉවරයි.
මම පරාජය වුණා කියලා දැනෙන එක තරම් වේදනාවක් තවත් නැහැ. ඒත් ඒ පරාජය අස්සේ මට එක දෙයක් තේරුණා. මම මෙච්චර කාලයක් හෙව්වේ මනුසත්ගේ ආදරේ නෙවෙයි, මගේම නැතිවෙච්ච ගරුත්වය. අද ඒ ගරුත්වයත් අරන් පාරට බැස්සම, බය දැනුණත්, මගේ හිතේ එක පැත්තක පුංචිම පුංචි නිදහසක් මට දැනුණා. ඒ නිදහස මනුසත්ගේ මාලිගාවේ තිබුණේ නැහැ.
මම කෙළින්ම ගියේ උෂාණිගේ බෝඩිමට.
උෂාණි බෝඩිමේ ගේට්ටුව ගාවට දුවගෙන ආවේ කලබලයෙන්. මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණේ එයාගේ මූණ දැක්ක ගමන්. මට වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. මම උෂාණිව බදාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. මගේ ඇඬුම අස්සේ තිබුණේ මනුසත් ගැන තිබුණ තරහට වඩා, මගේ අනාගතය ගැන තිබුණ මහා ලොකු බයක්.
උෂාණි මාව එයාගේ පොඩි කාමරයට එක්කන් ගියා. ඒ කාමරේ මනුසත්ගේ මාලිගාව වගේ සැප පහසු නැහැ. පරණ ෆෑන් එකක් කරකැවෙන සද්දෙයි, පාරේ යන වාහන සද්දෙයි විතරයි එතන තිබුණේ. ඒත් ඒ හතරැස් බිත්ති හතර ඇතුළේ මට දැනුණ නිදහස, මනුසත්ගේ ඒ මිල අධික සැප පහසුකම් තිබිච්ච කාමරේ කවදාවත් තිබුණේ නැහැ. මම ඇඳ උඩ වාඩි වෙලා වෙච්ච හැමදේම උෂාණිට කිව්වා.
“ලිහිණි, ඔයා කරපු දේ හරි. මනුස්සකමක් නැති මිනිහෙක් ළඟ වහලියක් වෙනවට වඩා පාරේ හිඟා කන එක සැපයි,” උෂාණි මගේ අතින් අල්ලගෙන කිව්වා. ඒත් ඒ වචන වලින් මගේ හිත හැදුණේ නැහැ. කසාදයක දෙවනියා වීම කියන්නේ හදවත පණපිටින් හූරලා ලුණු දානවා වගේ වේදනාවක්. මනුසත් මට වඩා භානුකීව අගය කළා. මම ඒ ගෙදර හැමදේම මගේ කියලා හිතාගෙන අයිතිවාසිකම් කිව්වට, ඇත්තටම මම එතන හිටියේ නිකන්ම නිකන් අමුත්තෙක් වගේ. මගේ හිතේ තිබුණේ මහා පරාජිත හැඟීමක්.
එදා රෑ මම නිදාගත්තේ නැහැ. ජනේලෙන් පේන අඳුරු අහස දිහා බලාගෙන මම කල්පනා කළා. මනුසත් දැන් නිදි ඇති. නැත්නම් භානුකීට කෝල් කරලා මම ගිය එක ගැන සතුටු වෙනවා ඇති. මට දැනුණේ මාව පාවිච්චි කරලා අයින් කරපු පරණ රෙදි කෑල්ලක් වගේ හැඟීමක්. ගෑනියෙක්ට තමන්ගේ කසාද මනුස්සයාගෙන් මේ වගේ නින්දාවක් ලැබුණම, ඒක මුළු ජීවිත කාලෙටම මකාගන්න බැරි කැළලක් වෙනවා. ගෑනියෙක්ට තමන්ගෙ කසාද මනුස්සයගෙ ගෙදරින් එලියට බහින්න උනාම දරන්න වෙන මානසික අවතැන්බව මම අද අකුරක් නෑර වින්දා. මට යන්න තැනක් නැහැ, මට අයිතිවාසිකමක් කියන්න තැනක් නැහැ.
“ලිහිණි… ඔයා දැන් මොකද කරන්න හිතන් ඉන්නේ?” උෂාණි හීන් හඬින් ඇහුවෙ මං එහෙම කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉද්දි. මම උත්තරයක් නොදී බිම බලාගත්තා. ඇත්තටම මට අඬනවා ඇරෙන්න වෙන දෙන්න උත්තරයක් එවෙලෙ තිබුණෙ නෑ.
“අඬන්න එපා ලිහිණි. ඔයා දැන් ශක්තිමත් වෙන්න ඕනේ. අපිට මේකට මුහුණ දෙන්න වෙනවා.”
මගේ ඉකිබිඳුම මැද්දෙන් කාමරේ තිබිච්ච නිහඬතාවය තත්පර ගාණකට බිඳිලා ගියේ උෂාණිගේ හිතේ තිබුණ ඒ බරපතල ප්‍රශ්නෙ එළියට එද්දියි. උෂාණි ඒ ප්‍රශ්නය ඇහුවේ මගේ හිතේ තිබුණ ලොකුම බය අස්සට අත දාලා කලත්තනවා වගේ හැඟීමකින්.
“ලිහිණි… අපි මේ ගැන තිදස්ට කියමුද?”
තිදස්…
ඒ නම ඇහෙද්දී මගේ පපුව එකපාරටම හිර වුණා. මනුසත් මට එල්ල කරපු හැම චෝදනාවකම කේන්ද්‍රය වුණේ ඒ නම.
මම මේ වෙලාවේ තිදස්ව හෙවනැල්ලක් කරගන්න හැදුවොත්, මනුසත් මගේ ඇඟේ ගාපු මඩ වලට මමම සාක්ෂි දුන්නා වගේ වෙයිද?
මගේ හිතේ තියෙන මේ දරාගන්න බැරි තනිකමයි, මනුසත් මට කරපු නින්දිත අවමානයයි මැද මම තීරණයක් ගන්න බැරුව ගොළු වුණේ අන්න එහෙම!


