කලුවර රෑ සඳක් වගේ – 43

0
945

ගෑනියෙක්ට මේ ලෝකෙ ලැබෙන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ට ආදරේ කරන මිනිහෙක්. ඒ වගේම නැතිවෙන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ට ආදරේ නොකරන මිනිහෙක්. 

හැබැයි මට වුණේ ඒකෙ අනිත් පැත්ත.

 මගේ පපුව ඇතුළේ ඒ හිතුවිල්ල නලියන්න ගත්තේ තිදස්ගේ කාර් එකේ ඉඳගෙන පාර දිහා බලාගෙන ඉද්දි. තිදස් මාව බෝඩිමට ඩ්‍රොප් කරන්න ආවේ මනුස්සකමට විතරක් නෙවෙයි කියලා මම දන්නවා. ඒත් ඒ ලෙන්ගතුකම පිළිගන්න තරම් මානසික නිදහසක් මට තිබුණේ නැහැ. 

කාර් එක ඇතුළේ තිබුණේ මහා නිහඬ ගතියක්. ඒත් ඒ නිහඬතාවය ඇතුළේ තිදස්ගේ හුස්ම වැටෙන සද්දෙ පවා මට දැනුණේ මට දොස් කියනවා වගේ. තිදස් මං දිහා හොරෙන් බලනවා මට දැනෙනවා. ඒ බැල්මේ තිබුණේ අනුකම්පාවකට වඩා වැඩි දෙයක්. එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියලා දැනගෙන උන්නට ඇත්තටම ඒක දෙන්න උවමනාවක් මට තිබ්බෙ නෑ. මට පුළුවන්කමක් තිබ්බෙත් නෑ. සමහරවිට ඒක කැම්පස් යන කාලේ ඉඳන් එයා හංගගෙන හිටපු, මම කවදාවත් නොදැකපු ආදරයක් වෙන්න ඇති. ඒත් මනුසත්ගේ රළු වචනවලින් තුවාල වෙලා තිබිච්ච මගේ හිතට, තිදස්ගේ මේ මෘදු බව දැනුණේ නන්නාඳුනන බියක් වගේ.

“දැන්වත් ඔයා මනුසත් ගැන කල්පනා කරන එක නතර කරන්න. ඔයාට දැන් ඕනේ නිදහසේ ඉන්න එක අනික ඉතින් කොච්චර කල්පනා කරත් ලිහිණි ඔයාට ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන්නෙ උත්තර දෙකයි නෙ. ඒ දෙකම ඔයා ඕල්‍ රෙඩි දන්නවා. මොන උත්තරේද ගන්නෙ කියලා ඩිසයිඩ් කරන එක තමයි තියෙන්නෙ” තිදස් කිව්වේ හරිම මෘදු හඬකින්. එයාගේ කට හඬේ තිබුණේ මාව රැකගන්න හදන සහෝදරයෙක්ගේ වගේ ලෙන්ගතුකමක් වුණත්, ඒක මගේ හිතට බරක් වුණා.

“කල්පනා නොකර ඉන්න මට පුළුවන් ද තිදස්? මම ඒ ගෙදරට යද්දි අඩුම මට මනුසත්ගෙ වයිෆ් කියන ටයිටල් එක හරි තිබ්බා. ඒත් දැන් මම ආපහු ඇවිත් ඉන්නේ හිස් අතින්. මගේ හිතේ තියෙන ඒ මදිපුංචිකම ඔයාට තේරෙන්නේ නැහැ,” මම කිව්වේ ජනේලෙන් එළිය බලාගෙන.

“කසාදෙ කඩාගෙන යාළුවෙක්ගෙ බෝඩිමක නතර වෙන්න ආව ගෑනියෙක් එක්ක එහෙ මෙහෙ යන එක ඔයාට හොඳ නෑ නේද තිදස්? කවුරුහරි දැක්කොත් අනං මනං කියයි” මම එහෙම කිව්වෙ තිදස් කිය කිය උන්න කතාව තප්පර ගානකට අමතක කරන්න වගේ. මගේ නම්බුව චුට්ට චුට්ට දියවෙවී යන ගමන් තිබිච්ච නිසා මම තවමත් බයෙන් උන්නෙ මිනිස්සුන්ගේ කතාවලට. පිරිමියෙක්ට පුළුවන් ඇති ගෑනියෙක්ව මාසයක් ඇතුළත අමතක කරන්න. හැබැයි ගෑනියෙක්ට තමන්ගේ කසාද මිනිහාව අමතක කරනවා කියන්නේ පණ පිටින් මැරෙනවා වගේ වැඩක්.

“මං කවදාවත් ඔයාව ගෑනියෙක් විදියට විතරක් දැක්කෙ නෑ ලිහිණි. මට කවදාවත් ඔයාව මගෙ ඔලුවෙන් නිකන්ම නිකන් ගෑනියෙක් විදියට දකින්න බෑ. ඔයාව හැමදාම මං දකින්නෙ කැම්පස් එකේදි පච බෙන්ච් එක යටදි මුලින්ම ඔයාව දැක්ක දවසෙ දැක්ක විදියටමයි. ඔයා බාහිරෙන් කොච්චර වෙනස් වුණත් මගෙ හිත ඇතුළෙ ඉන්න ඔයා වෙනස් වෙලා නෑ,” තිදස් කිව්වේ මගේ හිතේ තියෙන ඒ ලොකුම තුවාලයට බෙහෙත් දානවා වගේ. ඒත් එයා දැනන් උන්නෙ නෑ ඒකෙන් උනේ මගෙ තුවාලෙ තව පෑරෙන එක විතරයි කියලා.

ඒත් ඒ වචනවලට දෙන්න මගේ ළඟ උත්තර තිබුණේ නැහැ. “ඔයා කියන ඒවට මට දෙන්න උත්තර නෑ තිදස්. මට තේරෙන්නෙ නෑ මං ඕවට කියන්නෝන මොකද්ද කියලා. අනික් අතට මට තේරෙන්නෙ නෑ ඔයා ඔහොම දේවල් කියලා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියලා.”

තිදස් ලොකු හුස්මක් හෙළුවෙ එයාගෙ ඔක්කොම බලාපොරොත්තු කඩං වැටුණා වගේ. “මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලිහිණි. මට ඕනේ ඔයා වැටෙනකොට අල්ලගන්න අතක් වෙන්න විතරයි. ඔයා මනුසත් ළඟට යන්න ගත්ත තීරණයට මම කැමති නැති වුණත්, ඒ යන පාරේ ඔයාට තනියම යන්න දෙන්න මට බෑ.”

තිදස්ගේ ඒ වචන මගේ පපුව පසාරු කරගෙන ගියා. මට දැනුණේ මම ලෝක දෙකක් මැද හිරවෙලා වගේ. එක පැත්තකින් මාව කුණුගොඩකට දාපු මනුසත්, අනිත් පැත්තෙන් මාව අගය කරන තිදස්. ඒත් මගේ හිත තාමත් මුරණ්ඩු විදියට මනුසත්ගේ ඒ පරිණතකම අස්සෙ ආදරයක් හෙව්වා. ඒක තමයි ගෑනියෙක්ගෙ අවාසනාව. තමන්ට ආදරේ නොකරන මිනිහෙක් වෙනුවෙන් තමන්වම විනාශ කරගන්න එක. මම මනුසත්ගේ වයිෆ් විදියට ඉද්දි මට තිබුණ පිළිගැනීම මට ඒ ගෙයින් එළියට බැස්සයින් පස්සෙ හම්බෙන්නෙ නෑ කියන එක මම දැනගෙන හිටියා. කසාද සහතිකේ කියන්නේ නිකන්ම නිකන් කොළ කෑල්ලක් වුණාට, ඒක නැති වුණාම ගෑනියෙක් කියන්නේ මේ සමාජය ඇතුළේ කිසිම වටිනාකමක් නැති වස්තුවක් වගේ.

බෝඩිමට ආවට පස්සේ මම කාමරේට වෙලා බලන් හිටියේ ගේට්ටුව දිහා. මනුසත් මාව හොයාගෙන එයි කියලා මගේ හිතේ තිබුණේ අමුතුම මුරණ්ඩු බලාපොරොත්තුවක්. මම හිතුවා මනුසත්ට මම නැතුව ඉන්න බැරි වෙයි කියලා. එයාට මම උයලා දීපු කෑමවල රස මතක් වෙයි කියලා. එයා නිදාගන්න යද්දී මම නැති අඩුව එයාට දැනෙයි කියලා. තප්පරෙන් තප්පරේ ගෙවිලා යද්දී මගේ ඒ බලාපොරොත්තුව හීන වෙලා ගියේ මහා වේදනාවකින්.

රෑ දහය වෙද්දීත් මනුසත්ගෙන් කිසිම කෝල් එකක් නැහැ. මම ෆෝන් එක අතට ගත්තා. මම එයාට මැසේජ් එකක් දාන්නද? නැහැ… ඒක මගේ නම්බුවට ප්‍රශ්නයක්. එයා හිතාවි මම නිකන් එයාගෙ පස්සෙන් එනවා කියලා. මම කිසිම වරදක් කරන්නෙ නැතුව මම එයාගෙ පස්සෙන් යන්න උවමනාවක් නෑනෙ. ඒත් මගේ හිත කිව්වේ මනුසත්ට තව එක චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා. මේක මගේ ජීවිතේ අන්තිම සටන. මම මනුසත්ට පෙන්නන්න ඕනේ මම එයා හිතන තරම් දුර්වල ගැහැනියක් නෙවෙයි කියලා. තමන්ගෙ මිනිහා තමන්ගෙ දෙවනි ගෑනි ඉන්න අස්සටම පලවෙනි ගෑනිව ගෙන්න ගද්දි, ඒ ගෑනිට දෙවනි ගෑනිට වඩා තැන දෙද්දි තමන්ගෙ නම්බුව බේරගන්න මං එළියට බැහැපු එකේ කිසිම වරදක් තිබුණෙ නෑ කියලා මම මටම කියාගත්තා.

මම ඇස් පියාගත්තා. මට මැවිලා පෙනුණේ භානුකී මනුසත්ගේ ගෙදර සාලේ ඉඳගෙන ඉන්න විදිය. ඒ ගෙදර මගේ අයිතිය තිබුණ තැන්වල දැන් එයා ආයෙම වතාවක් කිරිල්ලි වගේ ඉන්නවා ඇති. ඒ සිතුවිල්ල මගේ පපුව හෝස් ගාලා පිච්චුවා. මම බිඳිලා ගිය ගැහැනියක්. ඒත් මම ඒ බිඳිච්ච කෑලි එකතු කරගෙන ආයෙත් නැගිටින්න ඕනේ. මම මගේ කඳුළු පිහදාගෙන හීන් හඬින් මගේ තීරණය මටම කියාගත්තා

තිදස්ගේ පිරිසිදු ලෙන්ගතුකම මගේ හිතේ එක පැත්තක තැන්පත් වෙලා තිබුණත්, මගේ මුළු පැවැත්මම ලියැවී තිබුණේ මනුසත්ගේ මාලිගාව ඇතුළෙයි කියන එක මම දැනගෙන උන්නා. මම දන්නවා මම ආයෙත් යන්නේ අපායකට කියලා. ඒත් ඒ අපායේ මට අයිතිවෙලා තිබිච්ච රැජිනකගේ අභිමානෙ, වරප්‍රසාද  භානුකීට ආයෙම වරක් අයිති කරගන්න දීලා මට බලාගෙන ඉන්න බැහැ. මම මනුසත් එනකම් බලන් ඉන්නවා. මනුසත් මාව හොයාගෙන එන්නම ඕනේ.

මනුසත් මාව භානුකීගේ අඩුව පුරවාගන්න පාවිච්චි කරපු ඔප්ෂන් එකක් වුණාට, මට තිදස්ව මනුසත්ගේ අඩුව තාවකාලිකව පුරවාගන්න ඔප්ෂන් එකක් කරගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මනුසත් මගේ ආත්මයට කරපු අගෞරවය මම තවත් පිරිමියෙක්ට කරන්න ලෑස්ති නැහැ. තිදස්ගේ ඒ පිරිසිදු ආදරය මගේ පරාජිත හිත වහගන්න පාවිච්චි කරන ආවරණයක් කරගන්නවාට වඩා, තනිවම මේ ගින්දරේ පිච්චෙන එක මට සැපක් කියලා මට හිතුණා. මම මනුසත්ගෙන් පලිගන්න ඕනේ මගේම හයියෙන් මිසක්, තිදස්ව පාවඩයක් කරගෙන නෙවෙයි. මගේ මේ තීරණය මාව තවත් අගාධයකට ඇදලා දායිද කියලා මම දන්නේ නැහැ, ඒත් මම බලන් ඉන්නවා… මනුසත් මාව හොයාගෙන එනකම් මම මරණාසන්න බලාපොරොත්තුවකින් බලන් ඉන්නවා.

“අනික් එක තිදස් කියන්නෙ මේ තාම පොඩි කොල්ලෙක්නෙ. එයාට තව මනුසත්ගෙ ලෙවල් එකට එන්න සැහෙන්න කල් යාවි” කියන එකත් හිත යටින් මම යන්තටම කල්පනා කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here