කලුවර රෑ සඳක් වගේ – 44

0
857

ඔෆිස් එකේ වැඩ අස්සේ මම හිටියේ හරියට මැෂිමක් වගේ. මනුසත් ගැන තියෙන ඒ එයා ආයෙ ඒවි, මාව හොයන් ඒවි කියන බලාපොරොත්තුවයි, හිතේ තියෙන පාලු ගතියයි යටපත් කරන්න තිබුණ එකම විදිහ තමයි වැඩවල අතරමං වෙන එක. මම ෆයිල් එකින් ෆයිල් එක ඉවර කරලා තිදස් ගෙ සයින් එක ගන්න එයාගෙ කාමරේට ගියාමත් ඒවා එකින් එක සයින් කරන ගමන් තිදස් විටෙන් විටේ මං දිහාවට එයාගෙ ඇහැ කරකවන විත්තිය මම නොදැක්කා නෙවෙයි. ඒ උනාට මම ඒකට ලොකුවට ඇටෙන්ශන් එක දුන්නෙ නෑ. මම දෙන ඇටෙන්ශන් එක තිදස්ට මෝටිවේශන් එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා දැනගෙන උන්න නිසාම මම උන්නෙ තිදස් කියලා කෙනෙක් නෑ වගේ.

“ඔයා ඔය විදිහට නැහීගෙන වැඩ කරන්නේ මනුසත්ගේ ප්‍රශ්නේ ඔළුවෙන් අමතක කරන්න මිසක් වැඩ කරන්න ඇත්තටම උවමනා හන්දා නෙවෙයි කියලා මට තේරෙන්නේ නෑ කියලාද හිතන්නේ ලිහිණි?” තිදස් එකපාරටම එහෙම ප්‍රශ්නයක් ඇහුවම නම් මම ඇත්තටම කන්ෆියුස් උනා. මොකෝ තිදස් ඒක ඒ විදියට ඩිකෝඩ් කරගනීවි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. තිදස් කිව්ව කතාව ඇත්ත. මම වැඩ අස්සෙ ඔලුව හිරකරගෙන හෙව්වෙ එක්තරා විදියකින් මනුසත්ගෙ සිතුවිලි වලින් මිදිච්ච මානසික නිදහසක් තමයි.

“මොන හේතුව හන්දා හරි වැඩ ටික හරි යනවා නම් එච්චරයිනේ තිදස්. මම මගේ වැඩ ටික වෙලාවට කරලා දෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ නේද?”

“ඔයාට වැඩ ගැන විතරක් කියලා හිත හදාගන්න ලේසි වුණාට මට එහෙම බෑ. මම ඔයාලගේ ටීම් ලීඩ් වගේම ඔයාව මම පර්සනලිත් දන්න හන්දා මං ඔයා ගැන කන්සර්න් වෙන්න ඕනේ.”

“මං ගැන නම් දැන් කවුරුවත් කන්සර්න් වෙලා වැඩක් නෑ ඉතින්. මම ඇත්ත කිව්වේ තිදස්… කන්සර්න් වෙන්න ඕනේ නම් මම මොනවා හරි ඩිසිෂන් එකක් ගන්න කලින්නේ. දැන් වෙන්න තියෙන හැමදේම උනයින් පස්සෙ මොකටද කන්සර්න් වෙන්නේ?”

“ඇයි ඔයා එහෙම කියන්නේ? මම ඔයාට උදව් කරන්න හදන්නේ.”

“උදව් කරන්න? මම දැන් පාරට වැටිලා ඉවරයි තිදස්. මගේ කසාදේ තියෙන්නෙ කැඩෙන්න ඔන්න මෙන්න.ඒ අස්සෙ ඔෆිස් එකේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ මම කසාද මිනිහා ඉන්න අතරවාරෙදිම ඔයාව දැලේ දාගන්න හදනවා කියලා. මට උශානි ඇරෙන්න වෙන යාලුවෙක් කියලා කෙනෙක් නෑ. මගේ ගෙදර මට නැති වුණා. තව ටික දවසකින් මට මගේ කසාදෙ වගේම කසාද මනුස්සයත් නැතිවෙයි. මට දැන් ඉතුරුවෙලා තියන එකම වටින දේ තමයි මගෙ රස්සාව. ඉතින් මං මේ හැමදේම කරන්නෙ මට තියෙන ඒ එකම වටිනකම හරි පරිස්සම් කරගන්න.”

තිදස් ටික වෙලාවක් සද්ද නැතුව මං දිහා බලන් හිටියා. ඒ බැල්ම මට හරිම වදයක් වුණා. මට දැනුණේ මම මොකක් හරි මහා ලොකු වැරැද්දක් කරලා අහුවෙච්ච හොරෙක් වගේ. එයා අතේ තිබුණ පෑන මේසය උඩින් අතෑරලා පුටුවේ පස්සට වුණේ ලොකු හුස්මක් හෙළන ගමන්.

“ඔයා පරාද වෙච්ච මනුස්සයෙක් කියලා හිතන්න එපා ලිහිණි. ඔයා වැරදි මිනිහෙක්ට ආදරේ කරපු එක විතරයි වුණේ. ඒකෙන් ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නෑ. අනික ඔෆිස් එකේ උන් කියන ඕපාදූප ගැන මම බලාගන්නම්, ඔයා ඕවට කන් දෙන්න එපා. අපි දෙන්නම දන්නවනෙ ඇත්ත මොකද්ද කියලා”

ඒ වචන ඇහෙද්දී මට ආවේ මහා ලොකු කේන්තියක්. මට ඕන වුණේ නෑ එයා මාව බේරගන්න සුපර් හීරෝ කෙනෙක් වෙනවා දකින්න. මට ඕන වුණේ එයාව මගෙන් ඈත් කරලා තියන්න. මොකද එයාගේ ඔය අනුකම්පාව මාව තවත් දුර්වල කරනවා කියලා මට තේරුණා. අනික අනුකම්පාව භූමිකම්පාවක් වෙන්නත් පුළුවන් විත්තිය මම දැනගෙන උන්නා. සුළි කුණාටු, මහ වැසි ඔක්කොටම මූණ පාපු මට තව භූමිකම්පාවකට මූණ දෙන්න හයියක් තිබුණෙ නෑ.

“ඔයා මං ගැන ඔය තරම් වද වෙන එක ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ. අනික ඔයා කියන්නේ තාම පොඩි කොල්ලෙක්නේ. අනික ඉතින් මම තාම මනුසත්ගෙ වයිෆ් නෙ තිදස්. ඔයා ඔය කියන දේවල් පිටිපස්සෙ තියෙන ඇත්ත හේතුව කවදාවත් හැබෑවක් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ වැඩක් බලාගෙන හිටියොත් හොඳයි නේද?”

මම ඒක කිව්වේ හරිම රළු විදියට. මම ඒක කිව්වේ හිතාමතාම එයාට රිද්දලා මගෙන් ඈත් කරන්න. මගේ වචනවලට එයාගේ මූණ එකපාරටම ඇඹුල් වුණා. එයාගේ ඇස්වල තිබුණේ මහා ලොකු බලාපොරොත්තු කඩවීමක්. ඒත් මම ඒක දැක්කේ නෑ වගේ හිටියා.

 “ඔයා ඔය තරහෙන් කතා කරන්නෙ මං එක්ක තියෙන ප්‍රශ්නයක් හන්දා නෙවෙයි ඔයාගෙ හිත අස්සෙ තියෙන තරහා කාගෙ හරි පිටින් යවන්න ඕන හන්දා කියන එක මම නොදන්නවා නෙවෙයි. ඒ උනාට නිකන් එහෙම ඔයාට කරදරයක් වෙලා බලු වෙන්න මට උවමනාවක් නෑ ලිහිණි. මට ඕනේ මම විදිහට ඉඳගෙන ඔයාට උදව් කරන්න විතරයි. ඔයා ඇයි හැමවෙලේම මාව පන්නගන්න හදන්නේ? මම ඔයාට ලැජ්ජාවක් වෙයි කියලද?”

“මොකද මට තවත් පිරිමියෙක්ව විශ්වාස කරන්න බැරි හන්දා. මම දැන් ඉන්නේ පිච්චිලා ගිය තැනක. ඔයාගේ ඔය මනුස්සකම, ලෙන්ගතුකම මගේ කැඩිච්ච බිඳිච්ච හිත වහගන්න පාවිච්චි කරනවාට වඩා, තනියම මේ ගින්දරේ පිච්චෙන එක මට සැපක්.” මම එහෙම කියලා ෆයිල් ටිකත් අරන් එයාගේ කාමරෙන් එළියට ආවා.

එදා වැඩ ඉවරවෙලා මම බෝඩිමට ගිහින් ඇඳේ දිගා වෙද්දීත් මට දැනුණේ මහා තනිකමක්. උශානිත් ඒ වෙද්දි බෝඩිමට ඇවිත් උන්නෙ නෑ. මම ඒ නිසා ඇඳේ හාන්සිවෙලේ ඔහේ ෆෝන් එක දිහා බලාගෙන උන්නා “කාගෙන්හරි මට දැන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ඒවි” කියලා. ඒත් ෆෝන් එක තාමත් සයිලන්ට්. මනුසත් එක මැසේජ් එකක්වත් එවලා නෑ. මගේ හිතේ තිබිච්ච ඒ මරණාසන්න බලාපොරොත්තුව ටික ටික දියවෙලා යනවා වගේ දැනුණා. 

මනුසත්… ඔයා ඇත්තටම මාව අමතක කළාද? 

මම ජනේලෙන් පේන එළියෙ අන්ධකාරෙ දිහා බලාගෙන හීන් හඬින් මගෙන්ම අහගත්තා. මම තාමත් මෝඩියක් වගේ මග බලන් ඉන්නවා. සමහරවිට මනුසත් මාව දැනටම සහමුලින්ම අමතක කරලා ඇති.

එහෙමෙකේ මම එයාව තවදුරටත් මතක තියාගෙන ඉඳලා වැඩක් තියෙනවද?

මනුසත්ට මාව සහමුලින්ම අමතක වෙලා ඇති කියලා හිතෙද්දීත් පපුව මැදින් මොකක්දෝ හිරවෙනවා වගේ මට දැනුණා. ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් මම තවත් එයාව මතක තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද? මම මගෙන්ම දහස් වාරයක් අහගත්තා. ඒත් හිත කියන්නේ හරිම අමුතු තැනක්. ඒක පාලනය කරන්න මට බැහැ. ඔහේ සිවිලිම දිහා බලාගෙන ඉද්දි මගේ මතකය අවුරුදු ගාණක් පස්සට දිව්වා. ඒ අපි දෙන්නා හරිම සතුටින් හිටපු, ලෝකෙටම හොරෙන් හීන මවපු කාලයක්. එදා වැස්ස වෙලාවක මම මනුසත්ගේ පපුවට තුරුළු වෙලා හිටියේ හරියට මුළු ලෝකෙම මගේ ළඟ තියෙනවා කියලා හිතාගෙන.

” ඔයා කවදාහරි මාව අමතක කළොත් මං මොකද කරන්න ඕනේ?” මම එයාගේ ඇස් දිහා බලාගෙන හීන් හඬින් ඇහුවා. ඒක මහ බොලඳ ප්‍රශ්නයක් උනත්, අවුරුදු පනස් ගාණකට කිට්ටු වෙච්ච මනුස්සයෙක්ගෙන් අවුරුදු විසි ගානක කෙල්ලෙක් අහන්නෝන නැති බොළඳ ප්‍රශ්නයක් උනත් එවෙලෙ අපි උන්න සිටුවේශන් එකත් එක්ක මට ඒක අහන්න ඕන උනේ. අපේ වටපිටාවෙ තිබිච්ච ඉමෝශන්ස් මාව ඒ තැනට අරගෙන ගියා කිව්වොතින් හරියටම හරි.

“පිස්සුද ලිහිණි? ඇයි මම ඔයාව අමතක කරන්නේ? අමතක කරන්න නම් ඉතින් මෙහෙම ළඟ තියාගන්නෝන නෑනෙ”

“නෑ ඉතින්… දන්නේ නෑනේ. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවනේ. ඔයාට කවදාහරි හිතුණොත් මාව තෝරගත්ත එක අපරාදේ කියලා… එදාට මොකද වෙන්නේ?” මම ආයෙත් ඇහුවේ හිතේ තිබුණ පොඩි බයකට. ඒත් එදා මම කවදාවත් හිතුවෙ නෑ එවෙලෙ හිතේ තිබ්බ ඒ බය කවදහරි දවසක මට ඇත්තටම විඳින්න වෙයි කියලා.

“ඔයා මට වටිනාකම කියන්න බැරි මැණිකක්. එහෙම මැණිකක් අතෑරලා දාන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. මාව විශ්වාස කරන්න… මොන දේ වුණත් මම ඔයාව අතාරින්නේ නෑ,” 

එදා මනුසත් දුන්න ඒ පොරොන්දු අද මගේ හිතේ රතිඤ්ඤා පත්තු වෙනවා වගේ පිච්චෙනවා. අතාරින්නේ නෑ කියපු මනුස්සයා අද මාව කුණු ගොඩකට සමාන කරලා පාරට ඇදලා දාලා. මතකයන් කියන්නේ මෙච්චර රිදෙන දෙයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. මම ඇස් දෙක තද කරලා පියාගත්තා. තිදස් මං ගැන වද වෙන එක පවා මට වදයක් වුණේ, මනුසත් මට නැති කරපු ඒ ගෑනියෙක්ට ලැබෙන්න ඕන වටිනාකම මට ආයෙත් මතක් වෙන හින්දා.

තනියම මේ කළුවර කාමරේ ඇතුළේ මම මගේම හුස්ම වැටෙන සද්දේ අහගෙන හිටියා. රෑ දහයත් පහු වෙලා. මුළු ලෝකෙම හරිම අන්ධකාරයි, හරිම සයිලන්ට්. ඒත් මගේ හිත ඇතුළේ තිබ්බෙ මහා ලොකු යුද්ධයක්. මම මනුසත්ට මැසේජ් එකක් දාන්නද? නැත්නම් මේ හැමදේම අතෑරලා දාන්නද?

එකපාරටම කාමරේ තිබිච්ච ඒ මහා නිහඬතාවය බිඳගෙන මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. 

මේ වෙලාවේ කවුද මට කෝල් කරන්නේ? උෂානිද? නැත්නම් තිදස්ද? මගේ හිත ගැහෙන්න ගත්තේ හිතාගන්න බැරි වේගයකින්. මම ගැහෙන අත්වලින් ෆෝන් එක අතට ගත්තා. අන්ධකාරෙ දිලිසෙන ස්ක්‍රීන් එක දිහා බලද්දී මගේ ඇස් අදහගන්න බැරිව ගියා.

මගෙ හිතේ තිබ්බෙ එක ප්‍රශ්නයයි.

“දැන් මේ කෝල් එකට ආන්ස්වර් කරල මම මොනවද කියන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here