ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මම බලන් හිටියේ හරියට මරණ වරෙන්තුව අතට ගත්ත අපරාධකාරයෙක් වගේ.
“අම්මා” කියන නම දැකලා මගේ පපුව හෝස් ගාලා පත්තු වුණා. මම කෝල් එක ආන්සර් කරලා කනට තියාගත්තා විතරයි, අම්මාගේ හඬ ආවේ හරියට වෙඩි උණ්ඩයක් වගේ. හැබැයි ඒ වෙඩි උණ්ඩෙ අස්සෙ තිබ්බෙ තමන්ගෙ දූ මෝඩකමක් කරන්න යද්දි පිච්චෙන, පිපිරෙන අම්මා කෙනෙක්ගෙ මහමේරු ආදරේ කියන එක මට තේරුං ගන්න අමාරු උනේ නෑ.
“මොනවද ළමයෝ මේ අර මහත්තයා කතා කරලා කිව්වේ? මොනවද ඔයා මේ කරන්නේ ලිහිණි? ඔහොම මුරණ්ඩු වෙලා පුළුවන්ද ඈ හැබෑවටම ගෑනියෙක්ට කසාද බැඳලා ඉන්න? මට අදහගන්න බෑ ඒ මනුස්සයා කිව්වම ඔයා මෙහෙම වැඩක් කරයි කියලා. මනුසත් මහත්තයා අද හවස මට කතා කරලා හරිම හිත් වේදනාවෙන් ළමයො කතා කරේ. ඒ මනුස්සයා කොච්චර අසරණ වෙලාද කියලා උඹට තේරෙන්නේ නැද්ද? ගෑනියෙක් වුණාම ඔහොම හිතුවක්කාර වෙන එක හරිද? අනික මේ ඒ මනුස්සයා ඔය වයසට මෙහෙම මේ පොඩි කෙල්ලන්ගෙ මළ විකාර උහුලන්නෝන කියලද උඹ හිතන්නෙ. ඇයි ළමයො මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඉගෙන ගන්නෝන නේද? අනේ මේ උඹලව මොකට මේ විස්ස විද්‍යාල වල යැව්වද කියලා මං මේ කල්පනා කරන්නෙ ඔයිට හොඳයිනෙ මේ ගම අස්සෙ තියන් උන්නා නම්. ගමේ ගෑනුවත් කරන්නෙ නැති නොසණ්ඩාල වැඩනෙ හැබෑවටම උඹ කරන්නෙ.බලපන් ලිහිණි, උඹේ ඔය උගත්කම නිසා උඹලා හිතන් ඉන්නෙ උඹලා හැමදේම දන්නවා කියලා වෙන්නැති. හැබැයි පුතේ අමතක කරන්නෙපා උඹ ඉගෙන ගන්න එක කරෙත් බාගෙට. අපි එහෙම නෙවෙයි කියන එක. උඹ තාම මේ ලෝකෙ ජීවත්වෙලා මිනිස්සු දැන අඳුනගෙන තියෙන්නෙත් බාගෙට. එහෙමෙකේ තමන්ට වඩා වැඩිමල් මනුස්සයෙක් යමක් කිව්වම කරාම ඒකට පුප්පගෙන එලියට පනින එක නෙවෙයි ළමේක් උනාම කරන්නෝන. ඒ මනුස්සයා වැරැද්දක් කළා වුණත්, ඒක ඉවසගෙන ගේ ඇතුළේ හදාගන්න බැරි තරම් උඹ මොකටද ඔය හැටි ඔලුව උදුම්මගෙන ඉන්නේ? පිරිමියෙක් වුණාම එක එක දේවල් වෙනවා. ගෑනියෙක් වුණාම ඕවා නෑහුණා වගේ ඉන්න ඉගෙන ගන්න ඕනේ. උඹ හිතාගෙන ඉන්නේ බෝඩිම් කෑලිවල රස්තියාදු වෙලා රස්සාවක් කළාම උඹ හරි ලොකු ගෑනියෙක් කියලද? නෑ ළමයෝ… මිනිහෙක් නැති ගෑනියෙක් කියන්නේ හරියට බාගෙට කැඩිච්ච වත්තක් වගේ. ඕන හරකෙක්ට පැනලා වැට කඩන්න පුළුවන්. උඹට ඒක තේරෙනකොට උඹ පරක්කු වැඩි වෙයි.”
අම්මාගේ හඬේ තිබුණේ මහා ලොකු බයක්. ඒ බය මං ගැන නෙවෙයි, අපි හැමෝටම සමාජයට මූණ දෙන්න බැරි එක ගැන ඇතිවෙච්ච බයක් කියලා මට තේරුණා.
“උඹේ ඔය තීරණවලට අපි එදත් කැමති වුණේ නෑ. අපි කිව්වා මතකද වයසින් මෙච්චර වැඩි මනුස්සයෙක්ව කසාද බඳින්න එපා කියලා? එදා උඹ කිව්වෙ කොහොමද? එදා අපේ වචන කණකට ගත්තේ නැති උඹ, අද ඒ මනුස්සයාගේ අඩුපාඩු හොය හොයා පාරට බහිනවා. උඹ හිතනවා ඇති උඹ හරි සාධාරණයි කියලා.මොලේ කල්පනා කරලා වැඩ කරපං. තමන්ගෙ මනුස්සයගෙ ගෙදරින් ගෑනියෙක් එලියට බැහැලා ඇවිත් ඒ ගෙදර හදන හිස්තැන හැමදාම එයාකාරෙන් තියේවි කියලා හිතන්නෙපා. අනික අමතක කරන්නෙපා උඹ කියන්නෙ ඒ මනුස්සයගෙ දෙවනි කසාදෙ කියලා.දෙවනියෙක් උන්නු තැනක ඒ දෙවනියා නැතිඋනාම තුන්වෙනියෙක් ඒය කියනවට වඩා උඹ බයවෙන්නෝන ආය ඒ හිස්තැනට පලවෙනියා රිංගාවිය කියන එක ගැන එක.ගෑනියෙක් නැති ගේක පාලුව පිරිමියෙක්ට වැඩිය දවසක් උහුලන්න බෑ දුවේ.ඹ ඔහොම ගෙයින් බැහැලා ආවම, ඒ මනුස්සයා තනිකම මකාගන්න ආයෙත් පරණ මළ ඉලව්වම ගෙට ගනීවි. එතකොට උඹට වෙන්නේ අහස දිහා බලන් හූල්ලන්න තමයි. පිරිමියෙක්ගේ හිත රිදවලා, ඌව තනි කරලා උඹට දිනන්න බෑ ලිහිණි. උඹ අද ඔය බෝඩිම් කෑල්ලක හිටියට, මනුසත් මහත්තයා ඉන්නේ එයාගේ මාලිගාවේ. ඒ මාලිගාවට රිංගන්න ඕනෑ තරම් ගෑනු පෝලිමේ ඉන්නවා කියලා උඹට අමතකද?”
” මනුසත් අම්මට මොනවද කිව්වේ කතාකරලා? මම නිකන් නෙවෙයි ආවේ…” මම කියන්න හැදුවත් අම්මා මට ඒකට ඉඩ දුන්නේ නැහැ.
“මොනවා කිව්වත් මොකද? ඒ මනුස්සයා කිව්වේ උඹ පොඩි දේකට තරහ වෙලා බෝඩිමකට ගියා කියලා. දරුවෝ… ඔය තරම් හිතුවක්කාර වෙන්න එපා. කසාද ජීවිතේ කියන්නේ සෙල්ලම් ගෙවල් දැමිල්ලක් වගේ මේ හිතුමනාපෙ යන්න එන්න ඇහැක් තැනක් නෙවෙයි. මනුසත් මහත්තයා වගේ රත්තරන් මනුස්සයෙක් උඹට ලැබුණේ පෙර පිනකට. උඹේ ඔය අබුද්දස්ස කාලෙ අදහස් එක්ක මේ ලෝකේ ජීවත් වෙන්න බෑ ළමයෝ. අන්තිමට තනි වෙන්නේ උඹ විතරයි. ගෑනියෙක් වුණාම ඉවසන්න ඉගෙන ගන්න ඕනේ. පිරිමියෙක් මොන වැරැද්ද කළත්, ඒක ඉවසගෙන ගේ ඇතුළේ ඉන්න එක තමයි ගෑනියෙක්ගේ වටිනාකම. උඹ හිතාගෙන ඉන්නේ බෝඩිම්වල රස්තියාදු වෙලා රස්සාවක් කරලා ලොකු වැඩක් කළා කියලද? නෑ ලිහිණි… උඹ කරන්නේ අපේ නම කැත කරන එක. ඊටත් එහා උඹ කරන්නෙ උඹේ නමම කැත කරගන්නෙක”
“අම්මේ… මනුසත්ට මට වඩා තාම භානුකී ලොකුයි නම් අම්මා කියන්නෙ මට ඒක බලන් ඉන්න කියලද? එහෙම බැරි නිසයි මම ආවේ. මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා,”
“ආත්ම ගරුත්වය? මොන ආත්ම ගරුත්වයක්ද බං කසාද මිනිහා දාලා පාරට බැස්සම ගැනියෙක්ට තියෙන්නෙ ඈ? මිනිහෙක් වැරැද්දක් කළා නම් ඒක හදාගන්න බලන්න ඕනේ ගෑනියෙක්. මේ ගමේ ඕන තරං ගෑනු ඉන්නවා මිනිහගෙන් ගුටි කකා උනත් පවුල් ජීවිතේ පරිස්සං කරගන්න. බීලා ඇවිත් ගහන දවස්වල, බනිණ දවස්වල උන් කොහේවත් ගියේ නෑ ලිහිණි. උන් හිටියා… උන් හිටපු නිසයි අද උන් උන්ගෙ කසාද පරිස්සං කරගෙන ඔය තැන්වල ඉන්නේ. මනුසත් මහත්තයා වැරැද්දක් කළත් ඒක උඹේ ඉවසීමෙන් හදාගන්න තිබුණා. දැන් බලපන්… ගමේ මිනිස්සුන්ටත් මේවා ආරංචි නොවී තියෙයිද. එතකොට අපිට පාරේ බැහැලා යන්න පුළුවන්ද? උඹේ ඔය උගත්කම නිසා උඹට හැමදේම පේන්නේ වැරදි විදිහට. ගෑනියෙක් පිරිමියෙක්ගේ හෙවණැල්ලක් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි ලෝක සොබාවෙ.”
“අම්මා කියන විදිහට මම හැමදේම විඳගෙන, ඉවසගෙන ඉන්න ඕනෙද?” මගේ ඇස්වලට කඳුළු පිරුණා එහෙම අහද්දි.
“ඔව්! ඉවසන්න බැරි නම් කසාද බඳින්න ඕනේ නෑ. මිනිහෙක් වුණාම නපුරු වෙනවා, වැරදි කරනවා. ඒවට තමයි ගෑනියෙක් ගෙදර ඉන්නේ… ඒ නපුරු ගතිය නිවන්න. උඹ මනුස්සකම දන්නේ නෑ වගේ හැසිරෙන්නෙපා. මොක උනත් උඹට ඒ මනුස්සයා දුන්නෙ සුලුපටු සැපක්ද මාලිගාවල් වගේ ගෙවල් වල දිව්‍ය යානා වගේ ඇඳවල් උඩ. හෙටම පලයන්… ගිහින් ඒ මනුස්සයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමා වෙලා ගෙට පලයන්. ඒ මනුස්සයා කිව්වා මහත්තයා නම් පස්සෙන් එන්නෙ නැත හැබැයි ආවොත් ඕනෑම වෙලාවක බාරගන්නවාය කියලා. බලපන් ඒ මනුස්සයාගේ තියෙන මනුස්සකම උඹ මෙච්චර හරියක් කරලත්. උඹ හිතුවක්කාර විදිහට ගෙයින් එළියට බැස්සත් ඒ මනුස්සයා තාමත් බලන් ඉන්නවා උඹ එනකම්. ඒ වගේ මනුස්සයෙක්ව පයින් ගහලා දාන්න තරම් මෝඩ වෙන්න එපා දුවේ. උඹට යන්න තැනක් නෑ කියලා අමතක කරන්න එපා. අන්තිමට බෝඩිම් කෑලිවල ලගින්නයි වෙන්නේ.”
එහෙම කියලා අම්මා එකපාරටම කෝල් එක කට් කළා.
මගේම අම්මා මාව තේරුම් ගත්තේ නැති එක ගැන දැනුණු වේදනාවටත් වඩා, මනුසත් මාව කොයි තරම් සූක්ෂම විදිහට හැම පැත්තකින්ම කොටු කරලාද කියන බය මාව වහගත්තා. මගේ එකම රැකවරණය වෙච්ච අම්මාවත් මට විරුද්ධව හසුරුවන්න තරම් මනුසත් බලවත් වෙලා. මම තනියම ඇඳ විට්ටමට හේත්තු වෙලා, අන්ධකාරය දිහා බලාගෙන හුස්ම ගන්න එක පවා අමතක කරලා හිටියා.


