කලුවර රෑ සඳක් වගේ – 49

0
825

උෂානී මගේ ළඟින් වාඩි වුණේ මහා ලොකු හුස්මක් හෙළන ගමන්. එයා මගේ මූණ දිහා බැලුවේ හරියට “උඹට දැන්වත් තේරෙනවද කරගත්තු මෝඩකම?” කියලා අහනවා වගේ.

“ලිහිණි, උඹේ මේ ඇඬියාව දැන්වත් නවත්තපන් බං, උඹ හිතන්න එපා මිනිස්සු හැමදාම උඹේ ලොකු සීන් බලාගෙන, උඹ දෙන වද විඳගෙන උඹේ පස්සෙන් පන්නගෙන ඒවි කියලා. තිදස් කියන්නෙත් කොල්ලෙක්නේ බං. ඌටත් පිරිමියෙක් විදිහට නම්බුවක් කියලා දෙයක් තියෙනවා. ඌ උඹට පණ ඇරලා ආදරේ කළා තමයි, ඒත් උඹ ඌව පාගලා දාලා නිකන් තඹ සතේකට මායිම් නොකර ඉඳලා, අනික් අතට කසාද බැඳලා මිනිහා දාලා ආවයින් පස්සෙත් ලොකු සීන් දාද්දි ඌට ඒක දරාගන්න බැරුව ඇති. සාධාරණයිනෙ නේද?”

“සාධාරණද බං? සාධාරණ නෑනෙ. මම එදා ඒක කිව්වේ තරහ ගිහින් උන්න හන්දා. තිදස්ට මෙහෙම මාව ඉග්නෝර් කරන්න ඒක සාධාරණ හේතුවක් නෙවෙයිනෙ. එයා එහෙම කරන එක වැරදි නැද්ද? අනික එයාම මාව ජොබ් එකට එක්කරගෙන ඇවිල්ලා දැන් නිකන් මාව තඹ සතේකට මායිං නොකර ඉද්දි මිනිස්සු උනත් මොනවා හිතනවා ඇද්ද? අර දිව්‍යලා එහෙම හිතනවා ඇති උන් කිව්ව කටකතා ඔක්කොම ඇත්ත කියලා.” මම හිමින් මිමිනුවෙ මට ඇත්තටම ඒ බර මගෙ ඔලුව අස්සෙන් එළියට දාගන්න උවමනාවක් තිබිච්ච හන්දා.

“මොන කටකතාද ලිහිණි? උඹේ තියෙන ඔය ලොකුකම නිසා උඹට පේන්නේ නැද්ද උඹ මේ කරන දේ? තිදස් උඹව මෙහෙට එක්කන් ආවේ ඌට උඹ ගැන තිබුණ කැක්කුමට. ඒත් උඹ ඔෆිස් එකේ උන් ඉස්සරහ නිකන් ඌ උඹේ පස්සෙන් එනවා වගේ පෙනෙන්න ඇරලා, ඌට ලොකු සීන් දාලා, ඌව මනුසත් වගේ මිනිහෙක් ඉස්සරහා පොඩි කොල්ලෙක් කරලා හෑල්ලු කළාම, ඌට පුළුවන්ද හිනා වෙවී උඹේ පස්සෙන් එන්න? මිනිස්සු හිතන දේ ගැන නෙවෙයි, තිදස් හිතන දේ ගැන හිතපන්. ඌ ෂෙරින් එක්ක හිනා වෙන්නේ ෂෙරින් උඹ වගේ ඌව මනින්න යන්නේ නැති හන්දා. ඒ කෙල්ල ඌට රෙස්පෙක්ට් කරනවා ඇති. පිරිමියෙක්ට ආදරේට වඩා නම්බුව ලොකුයි බං. උඹ ඒක උගෙ පැත්තෙන් විනාස කරලා දැන් මෙතන නිකන් අඬන්න තියාගන්න එපා. දැන් උඹට රිදෙන්නේ ඌ උඹව ගණන් ගන්නේ නැති නිසා මිසක්, ඌට රිදුණු නිසා නෙවෙයි. ඒකයි උඹේ වැරැද්ද. අනික උඹත් බං මේ වෙලාවකට මනමේ කුමාරි වගේනේ. මනුසත් කුමාරයා තිදස් වැදි රජ. නැත්තම් ඒකෙ අනිත් පැත්තද?”

“ උඹ කියන දේවල් මට තේරෙන්නෙ නෑ බං. මම මේ දෙන්නා අතර මැද්දෙ හිර වෙලා ඉන්නේ.” මම කිව්වේ ඇස් දෙකේ පිරිච්ච කඳුළු අත්ලෙන් පිහදාන ගමන්.

“මැද්දෙ හිර වෙලා නෙවෙයි ලිහිණි, උඹ මැද්දෙ ඉඳන් දෙපැත්තට නූල් අදිනවා. උඹ හිතුවද තිදස් කියන්නේ හැමදාම උඹේ සෙකන්ඩ් ඔප්ෂන් එක වෙලා ඉන්නෝන කෙනෙක් කියලා? මනුසත් එක්ක ප්‍රශ්නයක් වුණාම ඌ ළඟට දුවන්නත්, ඒ ප්‍රශ්නේ විසඳුණාම හරි ඌ එක්ක සෙට් වුණාම හරි තිදස්ව පොඩි කොල්ලෙක් ගානට දාලා ඌව හෑල්ලු කරන්නත් උඹට අයිතියක් නැහැ බං. ඌ ඉවසුවේ ඌට උඹ ගැන තිබුණ ඒ මහා ආදරේ හින්දා. හැබැයි පිරිමියෙක්ගේ ඉවසීමත් රබර් පටියක් වගේ. ඒක එක තැනකදී තදින්ම ඇදෙනවා, ඊට පස්සේ බෝස් ගාලා කැඩෙනවා. දැන් ඒක කැඩිලා තියෙන්නේ. උඹ දැන් නිකන් මෙතන බටර් ගාගෙන ඌව කන්වින්ස් කරන්න ගියාට ඌ කන්වින්ස් වෙයි කියලා හිතන්නෙපා”

“මං කිව්වනෙ බං මං එවෙලෙ තරහෙන් උන්නෙ. ඇත්ත මනුසත් ගැන හිතේ තිබිච්ච තරහා මම එදා එවෙලෙ තිදස්ගෙ පිටින් යවපු එක වැරදි. ඒ උනාට මගේ ඔළුව ගිනි අරන් තියෙද්දී මට තිදස්ගේ හිත රිදෙයි කියලා හිතන්න සිහියක් තිබුණේ නෑ උෂානී. මම හිතුවේ ඌ මාව තේරුම් ගනීවි කියලා. අනික මං ඌට මාත් එක්ක යාලුවෙන්න කියලා කිව්වෙ නෑනෙ. මං කියන්නෙ වෙනදා වගෙ ඉමු කියලා. ඇයි අපිට බැරි සමාව දීලා වෙච්ච වැරැද්දට ආයෙ හොඳින් ඉන්න. මෙච්චර දවසක් හැමදේමටම හෙවණැල්ල වගේ ඉඳල දැන් අහක බලාගෙන ඉද්දි මට ඒක ප්‍රශ්නයක් නොවී තියෙන්න විදියක් නෑ නේද?”

“ඉතින් ඌ හෙවනැල්ල වගේ හිටියා තමයි ලිහිණි. උඹේ ඔය ඊගෝ එකයි, ලොකු සීන් එකයි නිසා නෙ මේ හැමදේම. බොරු කියන්නෝන නෑනෙ උඹට උනත් තේරෙන්නෝන මේ වෙද්දිවත් උඹ කොච්චර වෙනස් උනාද කියලා ඔය මනුසතා එක්ක සෙට් වුණයින් පස්සෙ. උඹ නිකන් අපේ බැච් එකේම සමහර කෙල්ලො කොල්ලො දිහා බැලුවෙ අඩි ගාණක් උඩින් ඉඳගෙන නිකන් පණුවො දිහා බලන ලයින් එකකින් නෙ. උඹ හිතනවා ඇති තිදස් ෂෙරින් එක්ක හිනා වෙවී ඉන්නේ උඹට රිද්දන්න කියලා. සමහරවිට වෙන්නැති. අමතක කරන්නෙපා උඹ මනුසතා එක්ක යාලුවෙලා තිදස්ට දුන්නෙත් එහෙමම වේදනාවක් කියන එක. එහෙම බැලුවම උඹට මේ වේදනාව ලැබෙන්නෝන නේද. අනික බං කසාද බැන්ද ගෑනියෙක්ට ලව් කරන එකෙන් තමන්ට පලක් නැති විත්තිය තිදස් දැන් හරි තේරුං ගත්ත නම් උගෙ පැත්තෙන් හිතලා අපි ඒ ගැන සන්තෝස වෙන්නෝන නේද?”

“මං හිතුවෙ මට තිදස් හරි ඉඳීවි කියලා බං”

“ උඹට ඕන වුණේ තිදස්ව උඹේ සර්වන්ට් කෙනෙක් කරගන්නද? ඌ උඹව ජොබ් එකට ගෙනාවා, උඹට බෝඩිමක් හෙව්වා, උඹේ මිනිහා උඹට බනිද්දී, ගෙයින් එළියට දාද්දි උඹේ ළඟ හිටියා. හැබැයි උඹේ හිත දෙපැත්තට  වැනෙනවා කියලා දැනෙනකොට තිදස් මොනවා හිතනවා ඇද්ද? උඹ හිතුවද ඌ ගල් පිළිමයක් කියලා? ඌ ෂෙරින් එක්ක කතා කරගෙන යනවා දකිද්දී උඹේ පපුව පිච්චෙනවා නේද? අන්න ඒ වගේ දහස් ගුණයක් තිදස්ට රිදෙන්න ඇති උඹ ඌව හෑල්ලු කරපු දවසේ.

උඹේ ඔය ලොකු සීන් නිසා දැන් උඹ අමු අසරණ වෙලා ඉන්නේ. දිව්‍යලා හිනා වෙන එක නෙවෙයි ප්‍රශ්නේ ලිහිණි, උඹ උඹටම හිනා වෙන තැනට වැටිලා තියෙන එක. උඹ තිදස්ව පාවිච්චි කළේ මනුසත්ගෙන් බේරෙන්න පාවිච්චි කරපු ටූල් එකක් වගේ. පිරිමියෙක්ට ඒක දැනුණම ඌ ආයේ ලොවෙත් එන්නේ නැහැ. උඹට තිබුණා ඌව ඔයිට වඩා ලස්සනට පරිස්සම් කරගන්න. දැන් ඌ මගහරිනවා කියලා අඬන එකේ තේරුමක් නැහැ. දැන් ඌ ඉන්නේ ඌට වටිනාකමක් දෙන තැනක. උඹට රිදෙන්නේ උඹ තිදස් ඉන්නවා ගැලවීමට කියලා හිතන් උන්න බලාපොරොත්තුව, ඔප්ශන් එක කුඩු වුණ නිසා මිසක්, ඇත්තටම තිදස්ගේ වේදනාව දැනිච්ච නිසා නෙවෙයි.”

“වෙලාවකට මට හිතෙනවා මම මැරුණා නම් හොඳයි කියලා.”

“මැරෙන්න නෙවෙයි ලිහිණි, ජීවත් වෙලා වැරදි හදාගන්න ඉගෙන ගනින්. උඹ තාමත් හිතන්නේ තිදස් වරදක් කළා කියලා. ඌ කරන්නේ ඌව බේරගන්න එක. ඌ දන්නවා තවත් උඹ පස්සෙන් ආවොත් උඹ ආයේ ඌව පාගනවා කියලා. ෂෙරින් කියන්නේ උඹ වගේ පණ්ඩිත කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ කෙල්ල ළඟ තිදස්ට තමන් මිනිහෙක් වගේ දැනෙනවා ඇති. උඹ ළඟදී ඌව හැමදාම සෙකන්ඩ් වෙච්ච එකනෙ වුණේ”

දැන් ඔය ඔක්කොම පැත්තක තියලා මට එක දෙයක් ඇත්තම කියපන් ලිහිණි… 

උඹ මනමේ කුමාරි වගේ දෙපැත්තට වැනෙන්නේ නැතුව, හදවතට එකඟව කියපන්. උඹ මෙච්චර කල් මේ නටපු නාඩගම් අස්සේ, උඹ තිදස්ට හරි මනුසත්ට හරි… ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි සිරා ලව් කරාද කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here