ගෑනු කියන්නේ පුදුම විදිහේ අවස්ථාවාදී ජාතියක් කියලා මම ඉස්සර භානුකී දිහා බලලා හිතුවා.
මනුසත්ගේ සල්ලිවලට, එයාගේ තත්ත්වයට ලොල් වෙලා භානුකී මගේ පවුල කැඩුවේ මාරම අවස්ථාවාදී විදිහට කියලා මම හැමෝටම දොස් කිව්වා. ඒත් භානුකීටත් වඩා මම දරුණු අවස්ථාවාදියෙක් කියන එක මට ඇත්තටම තේරුණේ උෂානී ඒ මරණීය ප්රශ්නය මගෙන් ඇහුවට පස්සේ. මම මෙච්චර කල් කළේ ආදරයක් නෙවෙයි, මගේ පැවැත්ම වෙනුවෙන් පිරිමින්ව පාවිච්චි කරපු එක විතරයි කියලා දැනෙද්දී මට මං ගැනම ඇතිවුණේ දරාගන්න බැරි අප්පිරියාවක්.
උෂානී ගියාට පස්සේ බෝඩිමේ කාමරේ සිවිලිම දිහා බලාගෙන මම පැය ගණනාවක් කල්පනා කළා. උෂානී ඇහුවේ ඇත්ත. මම කාටද ඇත්තටම ආදරේ කළේ? මනුසත්ටද? නැහැ, මම ආදරේ කළේ මනුසත් මට දීපු ඒ සුඛෝපභෝගී ජීවිතයටයි, සමාජයේ මට තිබුණ පිළිගැනීමටයි විතරයි නේද? එහෙනම් තිදස්ට? මම තිදස්ට ආදරේ කළා නම්, මට පුළුවන්ද එයාගේ හිත මේ විදිහට කෑලි කෑලිවලට කඩලා දාන්න? මම කළේ මගේ හිතේ තිබුණ හිස්තැන පුරවාගන්න තිදස්ව පාවිච්චි කරපු එක නේද?. තිදස් මගේ පස්සෙන් එනකොට, මගේ ඕනෑ එපාකම් හොයලා බලනකොට මට දැනුණේ මම මහා වටිනා ගෑනියෙක් කියන හැඟීම විතරයි. මම තිදස්ව පාවිච්චි කළේ මගේ ඊගෝ එක පෝෂණය කරගන්න විතරයි කියලා මට තේරුණා. ඒ වගේම වෙනදා වගේ මම මාව සාධාරණීකරණය කරගන්න මෙදා පාර ට්රයි කරේ නෑ. මොකෝ තවදුරටත් එහෙම කරන එකෙන් රැවටෙන්නෙ මම විතරයි කියන එක ඒ වෙද්දි මම තේරුම් අරගෙන උන්නා.
මම ඇඳ විට්ටමට හේත්තු වෙලා ඇස් පියාගත්තා. මගේ මතකයට ආවේ තිදස් එදා ඔෆිස් එකේදී මං දිහා බලපු ඒ බැල්ම. ඒ බැල්මේ තිබුණේ මහා ලොකු කළකිරීමක්. මං මනුසත්ගේ සල්ලිවලට ලෝභ වුණා වගේම, තිදස්ගේ තරුණකමටත් ලෝභ වුණා. මට ඕන වුණා තිදස්ව මගේ අතේ දුරින් තියාගන්න, හැබැයි එයාට කිසිම අයිතියක් නොදී. මම මනමේ කුමාරි වගේ දෙපැත්තට වැනුණා විතරක් නෙවෙයි, මගේ පහසුව වෙනුවෙන් මනුසත්ව වගේම තිදස්වත් පාවිච්චි කරලා තිබුණා.
ඇත්තටම මම මේ තරම් නරකද? මම මගෙන්ම ඇහුවෙ මටම මං ගැන ලැජ්ජ හිතිච්ච නිසා. මනුසත් මාව රිද්දනකොට මම හිතුවේ මම පව් කියලා. ඒත් තිදස්ව මම රිද්දපු විදිහ එක්ක බලද්දී, මං අන්තිමේ තිදස්ට කරෙත් මනුසත් මට කරපු දේ වගේම දෙයක් නෙවේද කියලා මට හිතුණා. පිරිමියෙක්ගේ ආත්ම ගරුත්වය කියන්නේ ඒ පිරිමියට පණටත් වඩා වටින දෙයක් කියලා උෂානී කියද්දී මම ඒක පිළිගන්න අකමැති වුණාට, දැන් මට ඒකේ බර දැනෙනවා. තිදස් ෂෙරින් එක්ක හිනා වෙන එකට මම ඊර්ෂ්යා කළේ තිදස්ව මට නැති වෙනවා කියන බයට නෙවෙයි, මට තිබුණ ඒ අවධානය නැති වෙනවා කියන බයට. ඒක නේද සැබෑ අවස්ථාවාදීකම?
එහෙම බැලුවම මාත් අර අවධානෙ හිඟාකන එකියක් නේද?
ඒ හිතුවිල්ල මගේ හදවත පහුරු ගාන්න ගත්තා කිව්වොතින් හරි. මම මෙච්චර කල් ලෝකෙට පෙන්නුවේ මම ස්වාධීන, ආත්ම ගරුත්වයක් තියෙන, වැදගත් පවුලක ගෑනියෙක් කියලා. හැබැයි ඇතුළාන්තයෙන් මම කරලා තියෙන්නේ මගේ හිස්තැන පුරවගන්න පිරිමි දෙන්නෙක්ව පාවිච්චි කරපු එක. මනුසත් මාව රූකඩයක් කළා කියලා මම කෑගැහුවට, මම තිදස්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නෙත් එයා මං ළඟ මට ඕන වෙලාවට නටන, මට ඕන වෙලාවට සයිලන්ට් වෙන රූකඩයක් වෙන එක නේද? මට ඕන වෙලාවට නටවන්න, මට පාලුව දැනෙනකොට ළඟින් තියාගන්න, හැබැයි කිසිම දවසක හදවතින් ඉඩක් දෙන්නේ නැති රූකඩයක්.
දැන් මම මොකද කරන්නේ? මට තියෙන ලොකුම ප්රශ්නෙ අන්න ඒක. මම ආයෙත් මනුසත් ගාවට යනවා කියන්නේ මම මගේ මරණ වරෙන්තුව මමම ලියාගන්නවා වගේ වැඩක්. ඒ මිනිහා භානුකී එක්ක සතුටින් ඉන්නවා ඇති. අනික භානුකී තාම එයාගෙ අලුත් මිනිහව කසාද බැන්දෙත් නැති එකේ භානුකීට ඕන නම් මනුසත් එක්ක ආයෙ ඉන්න එක අවුලක් නෑ. හැබැයි එහෙමයි කියලා මම තිදස් ළඟට යන්නේ කොහොමද? මම එයාට කරපු අපහාසෙන් පස්සේ, සමාවෙන්න කියලා වචනයක් කිව්ව පලියට තිදස්ගේ හිතේ මම ඇති කරපු ඒ තුවාලෙ සනීප වෙයිද? මම තිදස්ට ලං වෙන්න හදන හැම වාරයක්ම එයාට මතක් වෙන්නේ මම එයා හෑල්ලු කරපු හැටි විතරක් නෙවෙයිද? අනික ජීවිතෙ මුල් කාලෙදි හම්බෙලා, මනුසත්ව හම්බෙන්නත් කලින් මට කැමති කියලා දැනගෙන උන්න ඒ මනුස්සයව මනුසත් එක්ක ප්රශ්න ඇතිඋනයින් පස්සෙ ආයෙ ළං කරගන්න හදන්නෙම ප්රයෝජන ගන්න, මගේ අවස්ථාවාදීකම නිසා බව කාටවුනත් තේරෙනවා නේද?
“මට තිදස්ව ඕනෙද?”
“මට ආයෙ මනුසත් ළඟට යන්නෝනද?”
“මට ඇත්තටම ඕන මනුසත්ද තිදස් ද?” මම මගෙන්ම ඇහුවෙ අන්න ඒ හන්දා.
ඇත්තටම මට මේ දෙන්නාගෙන් කවුරු උනත් ඕනේ ආදරේටද, නැත්නම් මගේ මේ අසරණකම මකාගන්නද? මට තාමත් ඒකට පැහැදිලි උත්තරයක් තිබ්බෙ නැහැ. මම ආදරේ කරන්න දන්නවද කියලවත් මම දන්නේ නැහැ. මට දැනෙන්නේ මම මහා ලොකු වංකගිරියක අතරමං වෙලා වගේ. මම තිදස්ට මැසේජ් එකක් දාන්න ෆෝන් එක අතට ගත්තා. ‘තිදස්, මට ඔයා එක්ක කතා කරන්න ඕනේ’ කියලා ටයිප් කරලා ආයෙත් ඒක මැකුවා.
මම මනුසත්ගේ නම්බර් එක ඩයල් කරන්න ගිහිල්ලත් ඒ වගේම නතර වුණා. මම මොකක්ද මේ කරන්න හදන්නේ? තිදස් එක්ක ප්රශ්නයක් වුණ ගමන් මම ආයෙත් මනුසත්ව හොයනවා නේද? මම මෙච්චර දවසක් මනුසත්ගෙන් බේරෙන්න තිදස්ව පාවිච්චි කළා වගේම, දැන් තිදස් නැති වුණ පාලුව මකාගන්න ආයෙත් මනුසත්ගේ මතකයන් පාවිච්චි කරන්න හදනවා නේද කියලා මට හිතුණා. මම කොයි තරම් නම් හෑල්ලු වෙලාද? මනුසත් මට සලකපු විදිහ දැන දැනත්, මිනිහා මාව අතහැරලා භානුකී එක්ක ඉන්නවා කියලා දැන දැනත්, මම තාම ඒ මතක අස්සේ හිරවෙන්න හදනවා. ඒක හරියට මම මගේම මිනී වළ හාරගන්නවා වගේ වැඩක්. මම ඒ හිතුවිල්ල අමාරුවෙන් ඔළුවෙන් අයින් කරලා ෆෝන් එක ඇඳ උඩට විසි කළා. මනුසත්ට කෝල් එකක් ගත්තොත් මම ආයෙත් ඒ අගාධයටම වැටෙනවා කියලා මම දැනගෙන හිටියා.
මට ඕන වුණේ කාට හරි කියලා හිත නිදහස් කරගන්න.
ඒත් මට කවුද ඉන්නේ? උෂානී ගන්නෙ තිදස්ගෙ පැත්ත. අම්මා ඉන්නේ මනුසත්ගේ පැත්තේ. තිදස් මාව මගහරිනවා. මට හිතුණා මම මේ හැමදේම දාලා කොහේ හරි යන්න ඕනේ කියලා.
හැබැයි යන්නේ කොහෙටද?
මම කල්පනා කළේ මම මේ වෙනකම් ගත්ත හැම තීරණයක්ම වැරදියි කියලා. මම මනුසත් එක්ක යාළු වුණේ ආදරේට වඩා එයාගේ පෙනුමටයි සල්ලිවලටයි ස්ටේටස් එකටයි. මම තිදස් එක්ක ලං වුණේ මනුසත් මාව රිද්දපු පලිය ගන්න. මම හැමදාම කළේ රංගනයක්. මට දැන් ඕන වුණේ ඒ රංගනය නවත්තන්න. මට ඕන වුණා ඇත්තටම මම කවුද කියලා හොයාගන්න.
“උඹට රිදෙන්නේ උඹට තිබිච්ච අවධානය නැති වෙච්ච නිසා” කියලා උෂානී කිව්ව වචන මගේ කන් අඩිවල දෝංකාර දුන්නා.
ඒ සිතුවිලි අස්සේ මම දන්නෙම නැතුව නින්දට වැටුණේ මහා බරක් පපුව උඩ තියාගෙන.
හෙට දවස මගේ ජීවිතේ අලුත් පිටුවක් වෙයිද, නැත්නම් මම තවත් අගාධයකට වැටෙයිද කියලා මම දැනගෙන හිටියේ නැහැ.
මට ඕන වුණේ එකම එක දෙයයි. ඒ තිදස්ගේ ඇස් දෙක දිහා බලලා “සමාවෙන්න” කියලා කියන්න විතරයි.
ඒත් එහෙම කියන්නෙත් මම “හොඳ” මනුස්සයෙක් හන්දා නෙවි “අවස්ථාවාදීකම” හන්දා කියන එකත් මම දැනගෙන හිටියා.


