කලුවර රෑ සඳක් වගේ – 51

0
659

ඔෆිස් එක ඇතුළේ ඒසී එක වැඩි කරලා තිබුණට මට දැනුණේ මගේ ඇඟ ඇතුළෙන් ගිනි ගන්නවා වගේ. තිදස් මගේ පැත්තවත් බලන්නේ නැතුව ෂෙරින් එක්ක කියවන විහිළුවලට මහා හයියෙන් හිනා වෙද්දී, ඒ හිනා සද්දේ මගේ පපුවට වැදුණේ හීනි කටුවලින් අනිනවා වගේ. තිදස් මට රිද්දන්නම හිනා වෙනවා කියලා මම හිතන්න හැදුවත්, ඇත්තටම එයා ෂෙරින් එක්ක ඉද්දී මාර සැහැල්ලුවෙන් ඉන්නවා කියලා මට තේරුණා. ඒ සැහැල්ලුව දකිද්දී මට මං ගැනම දැනුණේ මහා පරාදවෙච්ච හැඟීමක්.

මගේ ඔළුව දෙපැත්තෙන් කවුරු හරි මිටියකින් ගහනවා වගේ ඇදුම් කන්න ගත්තෙ ඔන්න ඔය මල විකාර දිහා බලාගෙන ඉද්දි තමයි. ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දී අකුරු ඔක්කොම එකට පැටලෙනවා වගේ මට පෙනුනෙ. ඒ එක්කම මට මහ ලොකුවටම වමනෙ යන්නත් වගේ ආවා. මට තවත් මෙතන ඉන්න බැහැ කියලා දැනුණට මොකෝ ඇත්තටම සීට් එකෙන් නැගිටලා මට වතුර ටිකක් බොන්න බොට්ල් එක පුරවගන්න යන්න තරංවත් ඇඟට පණක් තිබ්බෙ නෑ.. 

මගේ පෙනීම ටිකෙන් ටික බොඳ වෙලා යනවා වගේ මට දැනුණා. ඒසී හුළඟ මගේ ඇඟේ වදිද්දී දැනුණේ හිරිගඩු පිපෙන සීතලක් නෙවෙයි, හරියට පිහියකින් හම උඩින් අඳිනවා වගේ දරාගන්න බැරි වේදනාවක්. මම මගේ පෑන අතට ගන්න හැදුවත් ඇඟිලි වෙවුලනවා. මට මාව පාලනය කරගන්න බැරි බව දැනෙද්දී මම අමාරුවෙන් ඩෙස්ක් එක උඩට ඔළුව තියාගත්තා. කවුරු හරි මං දිහා බලයිද කියන බයට වඩා, ඒ වෙලාවේ මට දැනුණ ඒ පණ නැති ගතිය මාව කන්ට්‍රෝල් කරගෙන තිබුණා.

ඇස් දෙක පියාගත්තම මුළු ඔෆිස් එකම රවුමට කැරකෙනවා වගේ මට දැනෙ. මගේ කන් අඩි ඇතුළෙන් මොකක්දෝ හෝස් ගාන සද්දයක් ඇහෙනවා. ඒ අස්සේ තිදස්ගේ හිනා වෙන සද්දෙයි, ෂෙරින් කච බච ගගා මොකක්දෝ කියවන සද්දයයි මට ඇහුණේ හීනයකින් වගේ. මම මගේ අතක් ඔළුව උඩින් තියාගෙන තද කරගත්තා. මට දැනුණේ මගේ මොළය රත් වෙලා ඇතුළෙන් පිපිරෙන්න යනවා වගේ. ඇඟිලි තුඩුවල ඉඳන් පයට වෙනකම්ම මහා බරක් දැනෙද්දී, මම යන්තම් හුස්ම ගත්තේ කටින්.

“ලිහිණි… ඔයාට අමාරුයිද?”

කවුරු හරි ඇහුවා වගේ මට දැනුණත් ඇස් ඇරලා බලන්නවත් හයියක්වත්, ඇඟට පණක්වත් තිබ්බේ නැහැ. මම හිතුවේ මම දැන් මෙතනම කලන්තෙ දාලා වැටෙයි කියලා. මගේ ඇඟ ඇතුළේ ලේ වෙනුවට ගින්දර දුවනවා වගේ මට දැනෙන්නේ. ඒ එක්කම පපුවේ මැද හරියෙන් ආපු අමුතුම තිගැස්මක් මාව තවත් බය කළා. මට ඕන වුණේ නැහැ මේ හැමෝම ඉස්සරහා අසරණ වෙන්න. විශේෂයෙන්ම තිදස් ඉස්සරහා. මම දත් මිටි කාගෙන අමාරුවෙන් ඔළුව ඉස්සුවෙ අන්න ඒ හන්දා.

ඩෙස්ක් එක උඩ තිබුණු වතුර බෝතලේ දිහා මම බැලුවේ මහා පිපාසෙකින්. ඒකේ තිබුණේ අන්තිම වතුර උගුරු දෙක තුන විතරයි. ඒ ටික බොන්න බෝතලේ අතට ගන්න හදනකොට මගේ අත පණ නැති වෙලා බෝතලේ මේසෙ උඩම පෙරළුණා. වාසනාවකට ඒකේ මූඩිය වහලා තිබුණ හින්දා වතුර හැලුනේ නැහැ. 

මට ඕන උනේ මගේ කියන කෙනෙක්ට කෝල් එකක් දීලා අනේ මාව මෙතනින් එක්කරගෙන යන්න කියලා කියන්න. එහෙම හිතාගෙන මම උෂානීට කතා කරන්න ෆෝන් එක අතට ගත්තත් ඇඟිලිවලින් ස්ක්‍රීන් එක අන්ලොක් කරගන්නවත් පුළුවන්කමක් මට තිබ්බෙ නෑ. මගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් කම්මුල් දිගේ පෙරලිලා ගියේ මටත් නොදැනීමයි. ඇඟ රිදෙනවා කියලා මම හිතුවට ඒත් ඇත්තටම මට රිදෙන්නේ ඇඟට වඩා හිතට නේද කියලා මට තේරුනේ නැත්තෙ නෑ. මම මෙච්චර අමාරුවෙන් ඉද්දීත්, අඩි කිහිපයක් එහා පැත්තේ ඉන්න තිදස්ට ඒක දැනෙන්නේ නැද්ද? නැත්නම් එයා දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවද කොහොමත් එයා දැන් මාව ගණන් ගන්නෙ නැති හන්දා?

ඇඟේ අමාරුව අස්සෙ මේ වගේ මල විකාර හිතෙද්දි මට තවදුරටත් මෙතන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. මම අමාරුවෙන් හති දදා බෑග් එක අතට ගත්තා. කොහොම හරි මේ මර උගුලෙන් එළියට යන්න ඕනේ කියලා විතරයි මට එවෙලෙ හිතුණේ. මම අත් දෙකෙන් මේසෙට බර දීලා හෙමින් නැගිට්ටා. මගේ කකුල් දෙක පණ නැති වෙලා වගේ වෙව්ලනවා. මම බිත්තියට අත තිය තියා හිමින් ලිෆ්ට් එක පැත්තට ඇවිදගෙන ගියේ හරියට ඔන්න දැන් පණ යයි වගේ දැනෙද්දී.

ත්‍රීවීල් එකක නැගලා බෝඩිමට එනකම්ම මම හිටියේ ඇස් දෙක පියාගෙන. බෝඩිමට ඇවිත් කාමරේට වැදිච්ච ගමන් මම කළේ දොර වහලා ලයිට් එක නිවපු එක.  ලයිට් එක, එළීය, සද්ද බද්ද මැද්දෙ මගේ ඔලුව තව තව කැරකෙනවා වගේත් උදේට කාපුව බඩ අස්සෙ කැලතිලා උගුර දිගේ ගින්දරක් වගේ ආපහු එළියට එන්න දඟලනවා කියලත් විතරයි මට හිතුණෙ. හීල්ස් දෙකවත් ගලවගන්න පණක් නැතුව මම ඇඳට වැටුණේ මගේ මුළු ලෝකෙම කරකැවෙනවා වගේ දැනෙද්දී. ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකට විසි කරපු මම හිතුවේ චුට්ටක් හරි නිදාගත්තොත් මේ අමාරුවෙන් මට ගැලවෙන්න පුළුවන් වේවි කියලා.

ඒත් මම ඇඳට වැටිලා පැය භාගයක් යන්න කලින් බෝඩිමේ දොර ඇරෙන සද්දේ මට ඇහුණා. කවුරු හරි දුවගෙන එන සද්දයක් කාමරේ ගාව නතර වුණා. මම හිතන්නත් කලින් මගේ කාමරේ දොර බෝස් ගාලා ඇරුණා.

“ලිහිණි! මොකෝ වුණේ බං?”

ඒ උෂානිගේ කටහඬ. ඒකි මේ වෙලාවේ මෙහේ මොනවා කරනවද කියලා ලෙඩ අස්සෙත් මට කල්පනා නොකර ඉන්න වගේම මට නොහිත ඉන්න බැරි වුණා. උෂානි අන්ධකාර බෝඩිං කාමරේ අස්සෙ මාව හොයන්න වගේ තමයි එකපාරටම ලයිට් එක දැම්මෙ. මගේ ඇස් දෙක නිලංකාර වෙලා ගියා ඒ එකපාර ආව එළියට.

“අසනීපයක් නං කියන්නෙපාය බං. කලබල වෙනවනෙ. ඇයි බං මැසේජ් එකක්වත් නැතුව මෙහෙම උඹ බෝඩිමට දුවගෙන ආවේ? හදිසියේ හරි මගකදි කලන්තයක් හරි දැම්මා නං මොකද කරන්නෙ” කියලා අහන ගමන් තමයි උෂානි මගේ ගාවින් වාඩි වෙලා මගේ නළලට අත තිබ්බෙ. “යකෝ ලිහිණි… උඹව ගිනි ගන්නවා නේ බං! මේ තරම් උණක් තියාගෙනද උඹ ඔෆිස් ගියේ? ඒ අස්සෙ තනියෙන් ආපහු බෝඩිමට ආවෙ”

මම උණ විකාරයෙන් වගේ උෂානි දිහා බැලුවා. කොච්චර අසනීප මැද්දෙ උනත්  අහන්න මගේ හිතේ තිබුණේ එකම එක ප්‍රශ්නයයි.

“උඹ… උඹ කොහොමද බං මම මෙහේ ඉන්නවා කියලා දන්නේ? මම කාටවත්ම කිව්වේ නෑනේ මට අමාරුයි කියලා. එච් ආර් එකට විතරයි මං කිව්වෙ”

මං අහපු දෙයින් උෂානි එකපාරටම නිරුත්තර වුණා. ඒකි මගේ ඇස් මගාරින්න ට්‍රයි කරනවා කියලා මට තේරුණා.

“තිදස් නේද උඹට කිව්වේ?” මම කෙළින්ම ඇහුවෙ වෙන කොහොමටවත් උෂානිට මේක දැනගන්න විදියක් නෑ කියලා මම දන්න නිසා. .

උෂානි මගේ ඇස් මඟහැරලා එයාගේ බෑග් එක ඇඳ උඩින් තිබ්බෙ සමහරවිට තිදසුයි මමයි අතරෙ මෙහෙම සීතල යුද්ධයක් තියෙනවා කියලා දැන දැනම තාම ඒකි තිදස් එක්ක යාලුකම් පවත්වන එක මම වරදක් විදියට දැකලා ජජ් කරාවි කියලා බයෙන් වෙන්න ඇති. මම බලාගෙන හිටියේ ඒකිගේ මූණේ වෙනස් වෙන ඉරියව් දිහා. ඒත් එක්කම උෂානි මගේ ළඟින් වාඩි වෙලා මගේ අතක් තද කරලා අල්ලගත්තා. ඒකිගේ අත් මාර සීතලයි. නැත්නම් මගේ ඇඟ රත් වෙලා තියෙන හන්දා එයාගේ අත් සීතලට දැනෙනවා ඇති.

“දැන් කවුරු කිව්වත් ඒක වැඩක් නෑ නේද බං? මට ඉස්සෙල්ලා කියපංකො උඹට තියෙන ඔය අමාරුව මොකක්ද කියලා?” උෂානී ඇහුවේ හරිම බැරෑරුම් කට හඬකින්.

මම මගේ මූණ අත් දෙකෙන්ම වහගත්තා. ඇඟ ඇතුළෙන් මතු වෙන ඒ අප්‍රාණික ගතිය ආයෙත් මාව වට කරගන්නවා වගේ දැනුණා. මම ලොකු හුස්මක් අරන් අමාරුවෙන් කතා කළා.

“දන්නේ නෑ බං… උදේ ඉඳලම මට මාරම අමාරුයි. ඔළුව කැක්කුමකුයි, ඒ එක්කම පපුව හාරගෙන එන වමනේ ගතියකුයි ආවා. මම මාර අමාරුවෙන් හිටියේ බං ඔෆිස් එකේ. ඇස් දෙක ඇරලා ස්ක්‍රීන් එක දිහා බලන්නවත් බෑ. ඔළුව උස්සගෙන ඉන්නම බැරි තැන තමයි මම කාටවත් නොකියා ආවේ.”

මම කියවගෙන ගියේ හති දාන ගමන්. මට දැනුණේ මගේ පපුව ඇතුළේ මොකක්දෝ ගැටයක් ගැහිලා වගේ. වමනේ ගතිය තාම එහෙමමයි. කටට කෙළ උනනවා වගේ දැනෙද්දී මම උෂානිගේ උරහිසට ඔළුව තියාගත්තා.

“උඹට වෙන මොකුත් අමුත්තක් දැනෙන්නේ නැද්ද ලිහිණි? මම කිව්වේ… ඇඟට දැනෙන මේ අප්‍රාණික ගතියත් එක්ක, කෑම අරුචිය වගේ දේවල්?” උෂානීගේ කටහඬේ තිබුණේ මම බලාපොරොත්තු නොවිච්ච සැකයක්.

මම මොහොතකට නිහඬ වුණා. මගේ කල්පනාව දුවන්න ගත්තේ අතීතෙට. මනුසත් එක්ක ගෙවිච්ච දවස් වලට. මට එකපාරටම දැනුණේ මගේ මුළු ලෝකෙම නතර වෙල වගේ. මගේ හදවත බයෙන් දඩ දඩ ගාන සද්දෙ මටම ඇහෙන්න ගත්තා.

උෂානි මගේ මූණ නිකටෙන් අල්ලලා උස්සලා එයාගේ ඇස් දෙක මැද්දට මාව ගත්තා. ඒ බැල්මේ තිබුණේ මහා බරක්. ඒකිගේ මූණේ තිබුණේ මම දකින්න අකමැතිම ජාතියේ පෙනුමක්.

“උඹේ ඩේට්ස් වල මොකක් හරි වෙනසක් වුණාද මේ දවස්වල?”

මම ගල් ගැහුණා. මට දැනුණේ මගේ ඇඟේ ලේ ඔක්කොම එකපාරටම ගල් වෙලා ගියා වගේ. මම උෂානි දිහා බලන් හිටියේ උත්තරයක් දීගන්න බැරුව. ඒත් මගේ සයිලන්ස් එක ඇතුළේ උෂානිට ඕන කරන උත්තරේ තිබුණා නේද කියලා මට නොතේරුණා නෙවෙයි. උෂානි මගේ අත තවත් තද කරලා මිරිකුවා.

“මං හිතන දේමද ලිහිණි උඹටත් හිතෙන්නේ? උඹේ මේ අමාරුව… මේක නිකන්ම උණක් නෙවෙයි කියලා?”

මගේ හිතේ තිබුණේ මහා ලොකු බයක්. මේක කොහොමවත් වෙන්න බැරි දෙයක් කියලා මගේ හිත කෑගැහුවට, මගේ ඇඟ මට දෙන සංඥා ඊට වඩා වෙනස් නේද කියලා මට ඒ වෙලාවේ තේරුම් යන්න ගත්තා. 

මනුසත්… තිදස්… මම මේ දෙන්නම පාවිච්චි කළා කියලා හිතුවට, ඇත්තටම දෛවය මාව කැත විදියට පාවිච්චි කරලා ඉවරයි නේද? කියලා මට හිතුණෙ එවෙලෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here