කලුවර රෑ සඳක් වගේ – 52

0
51

බෝඩිමේ ඇඳ උඩ ගුලි වෙලා උන්න මට මුළු ලෝකෙම එපා වෙලා වගේ තිබුණේ. උණ ගතිය චුට්ටක් අඩු වුණාට, අර වමනේ ගතියයි, ඇඟට දැනෙන මහා තෙහෙට්ටුවයි තවම එහෙමමයි. ඒ අස්සේ මගේ හිත ඇතුළේ තියෙන බය මාව හපලා කනවා වගේ මට දැනුනෙ. මම ඇස් පියාගෙන ඉද්දී දොර ඇරගෙන උෂානි කාමරේට ආවේ ලොකු පාර්සල් වගයකුත් අරගෙන.

“මෙන්න මේ ජූස් එකයි, සුප් එකයි දැන්ම බීපන් ලිහිණි. නැත්තං අන්තිමේ උඹ නොකාම ඉඳීවි අප්පිරියයි වමනෙ යනවයි කිය කිය. ගියාට කමක් නෑ යන්න හරි මොනා හරි කාපං.” උෂානි ඇඳ අයිනෙන් ඒ ටික තියන ගමන් කිව්වා.

“උඹට කොහෙන්ද බං මේවා ගන්න වෙලාවක්? මොකටද ගත්තෙ අනික මම කිව්වනේ මට මොකුත් එපා කියලා.” මම හීන් හඬින් කිව්වෙ මට ඇත්තටම කිසිම දෙයක් කන්න කිසිම පිරියක් තිබුණෙ නැති හන්දා.

උෂානි මං දිහා බලලා කින්ඩියට වගේ හිනාවක් දැම්මා. ඊටපස්සේ ඒකිගේ ෆෝන් එක අරගෙන මගේ මූණ ඉස්සරහට ඇල්ලුවා. ඒකේ තිබුණේ තිදස්ගෙන් ආපු මැසේජ් වැලක්. “ ජූස් එක දුන්නද?”, “සුප් එක බොන්න දුන්නද?, “ඩොක්ටර් කෙනෙක් ගාවට එක්ක යන්න මම සල්ලි එව්වා, අඩුවක් වුණොත් කියන්න”  කියලා තිදස් එක දිගටම උෂානිගෙන් මගේ විස්තර අහලා තිබ්බ බව ඒ මැසේජ් කියෙව්ව මට නොතේරුණා නෙවෙයි.

“උඹලා දෙන්නම කරන්නේ උගුරට හොරා බේත් බොන එකනේ බං! මට නම් දැන් මේක වදයක්.” උෂානි ඇඳ විට්ටමට හේත්තු වෙලා අත් දෙක බැඳගත්තට මොකෝ ඒකිගෙ වචනවල තිබ්බෙ තරහක් නෙවි පොඩි කිණ්ඩියක් එක්ක මික්ස් වෙච්ච යාලු නොමනාපයක්.

“අරූ ඔෆිස් එකේ වැඩ අස්සේ විනාඩි දහයෙන් දහයට මට මැසේජ් කරනවා උඹේ විස්තර අහලා. මේවා ඔක්කොම ඌ එවපුවා. තිදස් කියන්නේ මට සල්ලි එවලා උගේ නම කියන්න එපා, මං දුන්නා වගේ දීපන් කියලා. ඒත් මට බෑ බං මේ බොරුව දිගටම කරන්න. කැමති නම් කැමති කියලා කියන්න එපාය බං, අපිව මෙතන තෝල්කයා කරගන්නේ නැතුව.”

මම සද්ද නැතුවම ඒ කෑම පාර්සල් දිහා බලාගෙන හිටියෙ ඇත්තටම මට උෂානිගෙ වචනවලට කියන්න දෙයක් තිබ්බෙ නැති හන්දා. මගේ පපුව ඇතුළෙන් මහා ලොකු බරක් අයින් වුණා වගේ දැනුණත්, ඒ එක්කම මහා ලොකු ලැජ්ජාවක් මාව වට කරගත්තා. මම තිදස්ව හැල්ලු කළා, එයා පෑගුවා, එයාට හැමෝම ඉස්සරහා නින්දා කළා. ඒත් එයා තාමත් මගේ අසනීප ගැන පවා හොයලා බලනවා. හැබැයි එය මගේ ඉස්සරහට එන්නේ නැහැ. එයා දන්නවා මම එයාව දකිද්දී ආයෙත් මගේ ඊගෝ එක ඉස්සරහට දාගන්න බව. ගෑනුන්ගේ මායම් ගැන ලෝකේ ඕනෑතරම් කතා හැදුණට, පිරිමින්ගේ මායම් ඊට වඩා හරි ගැඹුරුයි කියලා මට හිතුණේ එවෙලේ. තිදස් මේ කරන්නේ අමුතුම විදිහක මායමක්. ඒක මාව රවට්ටන්න කරන එකක් නෙවෙයි, මාව දිනාගන්න කරන එකක්. තමන්ට දහසකුත් අපහාස කරපු ගෑනියෙක් වෙනුවෙන් හොර රහසේම කෑම බීම, බෙහෙත් හේත් යවලා, ඒක තමන් කළා කියලා නොකියා ඉන්න තරම් එයා ඒ මායම ලස්සනට කරනවා.

“තිදස් තාම උඹට ආදරෙයි ලිහිණි. ඌ කෙයා කරනවා. ඌ මට කතා කරලා කිව්වා ලිහිණිව අද හවසම ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න කියලා. ඌට බයයි උඹට තියෙන්නේ නිකන්ම උණක් නෙවෙයි වයිරස් එකක් කියලා. මට ඉතින් කියන්න හිතුනා ඒ වයිරස් එකේ නම තිදස් කියලා.”

උෂානි ඒක හිනාවෙලා කිව්වට මොකෝ එයා නිකන්ම උණක් නෙවෙයි කියද්දී මම ආයෙත් තිගැස්සුණා. තිදස් ඒක කිව්වේ මනුස්සකමටද, නැත්නම් උෂානි වගේම එයාටත් මේ සිම්ප්ටම්ස් ගැන සැකයක් තියෙන හන්දද කියලා නොහිත ඉන්න මට පුළුවන් උනේ නෑ. මගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් කම්මුල දිගේ පෙරළුණේ මටත් නොදැනීමයි.

“උඹට ඌව මගහරින්න පුළුවන් ඇති ලිහිණි. හැබැයි ඌ උඹව මගහරින්නේ නෑ. ඌට එහෙම කරන්න බෑ. ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනෙ බං. උඹ හිතන් ඉන්නේ උඹ ඔෆිස් එකේදී ඌට රිද්දුවම, හැමෝම ඉස්සරහා ඌව චොර කරලා දැම්ම ඌ උඹට වෛර කරයි කියලා නේද? ඒත් බලපන්, උඹ හොරෙක් වගේ බෝඩිමට පැනලා එද්දීත් ඌ ඒක දැක්කා. උඹ වතුර උගුරක් බොන්න බැරුව සීට් එකේ ඔළුව ගහන් ඉද්දීත් ඌ ඒක දැක්කා. ඌ මට මැසේජ් කරලා කියනවා ලිහිණි ඉන්නේ හොඳ සිහියකින් නෙවෙයි, පොඩ්ඩක් ගිහින් බලපන් කියලා. මේ ජූස් එකේ ඉඳන් සුප් එක වෙනකම් ඌ මට සල්ලි එව්වේ ඌට උඹව මගහරින්න බැරි හන්දා ලිහිණි. ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනේ බං. ඒක ඇත්ත. උඹට පුළුවන් වෙයි තිදස්ව දැක්කේ නෑ වගේ ඉන්න. හැබැයි තිදස්ගේ හිතේ තියෙන ඒ පපුවේ ගින්දර හංගන්න ඌට බෑ. ඌ ඒක හංගන්න හදන්නේ මෙන්න මේ වගේ සයිලන්ට් විදිහට. ඌ දන්නවා උඹේ හැටි. උඹ ආයෙත් ඌට වචනයකින් හරි රිද්දයි කියලා ඌ බය ඇති. ඒකයි ඌ ඉස්සරහට එන්නේ නැතුව මාව ඉස්සරහට දාලා උඹව පරිස්සම් කරන්නේ. පිරිමියෙක් මෙහෙම කරනවා කියන්නේ බං, ඒක අර මනුසත් පෙන්නපු සෝබන ආදරේට වඩා දහස් වාරයක් වටිනවා.ඌ උඹට කෙයා කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවකින් නෙවෙයි ලිහිණි. උඹ ඌට ආයෙත් ආදරේ කරයි කියලා හිතාගෙනත් නෙවෙයි. ඌ ඒක කරන්නේ ඌට උඹව තනි කරන්න බැරි හන්දා. උඹ මොන වැරැද්ද කළත්, කාත් එක්ක හිටියත්, අන්තිමට උඹ අසරණ වුණු තැන ඌ ඉන්නවා. ඒක තමයි ඌ කරන ලොකුම මායම. ඌ දන්නවා උඹ ඌව මගහරිනවා කියලා, හැබැයි ඌට ඒක කරන්න බෑ. මොකද ඌ උඹව උගේ පණ වගේ රකිනවා.”

උෂානි කාමරෙන් එළියට ගියේ මට තනියම හිතන්න ඉඩ දීලා. මම අර සුප් එක අතට ගත්තා. ඒක තාමත් රස්නෙයි. හරියට තිදස්ගේ හදවතේ මම වෙනුවෙන් තියෙන ඒ උණුහුම වගේමයි. මම ඒ සුප් උගුරක් බීවේ මගේ පපුවේ තියෙන බය අස්සේ තිදස් ගැන ඇතිවුණු පුදුමාකාර ගෞරවයක් එක්ක. ඒත් ඒ එක්කම මගේ හිත මගෙන් ඇහුවා, “උඹ ඇත්තටම ප්‍රෙග්නන්ට් නම්, මේ ආදරේ ඊටපස්සෙත් මෙහෙමම තියෙයිද?” කියලා.

මට ඒ ගැන හිතන්නවත් බය හිතුණා. විනාඩි පහක් දහයක් යන්න ඇති, උෂානි ආයෙත් කාමරේට ආවේ මහා බරක් හිතේ තියාගෙන වගේ. ඒකි මගේ ඇඳ අයිනෙන් වාඩි වෙලා මගේ අතක් තද කරලා අල්ලගත්තා.

“ලිහිණි… අපි තවදුරටත් මේක හැංගි හැංගි කරලා වැඩක් නෑ බං,” උෂානි මගේ මූණ දිහාම බලාගෙන කිව්වා. “උඹේ මූණ බලපන්, නිකන් කලු වෙලා වගේ. උඹේ මේ අමාරුව නිකන්ම උණක් නෙවෙයි කියලා දැන් උඹටත් හිතෙනවා නේද?”

මම උත්තරයක් නොදී බිම බලාගත්තා. කතා කරන්න ගියොත් මට ඇඬෙයි කියලා මම දන්නවා.

“ලිහිණි, මට ඇත්ත කියපන්… උඹ අන්තිමට ඩේට්ස් වුණේ කවදද බං?”

ඒ ප්‍රශ්නෙට මම එකපාරටම ගල් වුණා. මම මගේ ඇඟිලිවලින් දවස් ගණන් කරන්න හැදුවා. මනුසත් එක්ක ගෙවුණු ඒ දවස්, ඊටපස්සේ වෙච්ච දේවල්… මගේ ඔළුව එකපාරටම මහා විකාරයක පැටලුණා. මම ගණන් හැදුවා. එක දවසක්… දවස් දහයක්… දෙයියනේ, දැන් සති දෙකකටත් වඩා පහු වෙලා!

“දැන් සති දෙකක් විතර ඇති බං…” මම යන්තම් මිමිනුවා. මගේ කටහඬ වෙව්ලනවා මටම ඇහුණා. “මම හිතුවේ මේ ඔෆිස් එකේ තියෙන ස්ට්‍රෙස් එක හන්දා වෙන්න ඇති කියලා උෂානි. ඇත්තටම මම හිතුවේ ඒකයි.”

“ස්ට්‍රෙස් එකට ඔහොම ඇඟ ඇතුළෙන් කැලතිලා වමනෙ යන්නේ නෑනෙ ලිහිණි. උෂානිගේ කටහඬේ තිබුණේ තරහකට වඩා මහා ලොකු අනුකම්පාවක්. “උඹයි මනුසතුයි අතරේ… උඹලා කිසිම දෙයක් පාවිච්චි කළේ නැද්ද බං?”

මම මූණ අත් දෙකෙන් වහගත්තෙ මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව. 

“දැන් අඬලා වැඩක් නෑ. අපි මේක දැන්ම චෙක් කරලා බලමු,” උෂානි ඇඳෙන් නැගිට්ටා. “මම දැන්ම ගිහින් ෆාමසියෙන් ස්ට්‍රිප් එකක් අරන් එන්නම්. උඹ ඔහොම හිටපන්. තවදුරටත් මේක මගෑරලා වැඩක් නෑනෙ”

“එපා උෂානි… මට බයයි බං! ඕක පොසිටිව් වුණොත් මම මොකද කරන්නේ? මම කොහොමද තිදස්ගේ මූණ බලන්නේ? ඌ මට මේ තරම් කෙයා කරද්දී මම ඌට කියන්නේ කොහොමද මම මනුසත්ගේ දරුවෙක් බඩේ තියාගෙන ඉන්නවා කියලා?” මම ඇඳ උඩ ගුලි වෙලා ඉකිගහන්න ගත්තා.

“උඹ තිදස් ගැන පස්සේ හිතපන් ලිහිණි. ඉස්සෙල්ලාම බලපන් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම විනාඩි දහයෙන් එන්නම්.”

උෂානි කාමරෙන් එළියට ගියාට පස්සේ මම ඒ අඩ අඳුරේ තනි වුණා. මගේ ඇඟ ඇතුළෙන් අමුතුම සීතලක් දැනෙන්න ගත්තා. මම මගේ බඩ උඩින් අතක් තියාගත්තා. ඒ ඇතුළේ ඇත්තටම ජීවිතයක් පණ ගහනවාද? මම හුස්ම ගත්තෙත් මහා බරකින්. විනාඩි පහ දහය මට දැනුණේ අවුරුදු ගානක් වගේ.

පැය භාගයකට විතර පස්සේ උෂානි ආයෙත් කාමරේට ආවේ මහා හති දාගෙන. ඒකිගේ අතේ තිබුණ ෆාමසි බෑග් එක මගේ දිහාට දිගු කළා. ඒකිගේ අත් වෙව්ලනවා මම දැක්කා.

“මෙන්න. දැන්ම ගිහින් බලපන්. මම මෙතන ඉන්නම්.”

මම වෙව්ලන අත් දෙකෙන් ඒ පොඩි පැකට් එක අතට ගත්තා. මගේ කකුල් පණ නැති වෙලා වගේ දැනුණත්, මම අමාරුවෙන් ඇඳෙන් බැහැලා බාත්රූම් එක දිහාවට ඇවිදගෙන ගියා. බාත්රූම් එකේ දොර වහගත්තට පස්සේ මම මොහොතක් ඒ දොරට හේත්තු වෙලා හිටියේ පපුව අල්ලගෙන. උණ ගතියට වඩා මහා ලොකු වේදනාවකින් මගේ හදවත ගැහෙන්න ගත්තා. බාත්රූම් එකේ තියෙන පුංචි ජනේලයෙන් එන හඳ එළිය ටයිල් පොළොව උඩට වැටිලා තිබුණේ මූසල විදිහට. මගේ අතේ තිබුණ ඒ පොඩි ප්ලාස්ටික් කෑල්ල මට දැනුණේ කිලෝ ගාණක බරක් වගේ.

මම වෙව්ලන ඇඟිලිවලින් ඒ පැකට් එක කැඩුවා. ඒ ඇතුළේ තිබුණේ හරිම පුංචි සුදු පාට පටියක්. මගේ මුළු අනාගතයම, මගේ ආත්ම ගරුත්වය, තිදස්ගේ ආදරය… මේ හැමදේම තීරණය වෙන්න යන්නේ ඔය පුංචි ඉරි කෑල්ලකින් නේද කියලා හිතෙද්දී මට ආයෙ පාරක් වමනේට වගේ ආවා.

“දෙයියනේ… මට මෙහෙම දෙයක් කරන්න එපා… මට මෙහෙම දෙයක් කරන්න එපා…”

මම මටම මිමිනුවේ හරියට මන්තරයක් වගේ. මම හිතුවා මම හරිම ස්මාර්ට් කියලා. මනුසත් එක්ක ගත කරපු ඒ දවස්වල මට මේ ගැන පොඩ්ඩක්වත් බයක් දැනුණේ නැත්තේ මගේ තිබුණ මෝඩ ආත්ම විශ්වාසය හන්දා. තිදස් ළඟ ඉද්දී මට මේ ගැන මතක් වුණේ නැත්තේ එයා මාව මහා ඉහළින් තියලා කෙයා කරපු හන්දා. ඒත් දැන් මම තනි වෙලා. මේ හතරැස් බාත්රූම් එක ඇතුළේ මමයි, මගේ හෘද සාක්ෂියයි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.

මම ඒ දේ කරලා, ස්ට්‍රිප් එක සින්ක් එක අයිනෙන් තිබ්බා. මට ඒ දිහා බලන්න බයයි. මම ඇස් දෙක තද කරලා පියාගෙන බිත්තියට ඔළුව තියාගත්තා. මේක පොසිටිව් උනොත්? තිදස් මේ ඇත්ත දැනගත්තොත්? එයා මට වෛර කරයිද? නැත්නම් එයා මං ගැන පිළිකුල් කරයිද? මනුසත්ගේ දරුවෙක් මගේ බඩේ ඉන්නවා කියලා දැනගත්තම තිදස්ට මොනවා හිතෙයිද? මනුසත් පිළිගනීවිද මේ දරුවා මනුසත්ගෙ කියලා? ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩක් මගෙ ඔලුව අස්සෙ කැලති කැලති තිබුණා.

මම හිමින් හිමින් ඇස් ඇරියෙ විනාඩි ගානකට පස්සෙ.

මගේ පෙනීම බොඳ වෙලා තිබුණේ කඳුළුවලින්. මම ඇස් පිහදාගෙන අර ස්ට්‍රිප් එක දිහා බැලුවා. මුලින්ම එක රතු පාට ඉරක් මැවුණා. මම හුස්ම අල්ලගෙන බලාගෙන හිටියා. තත්පර ගණන් විනාඩි ගණන් වගේ මට දැනුණෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here