බාත්රූම් එකේ දොර ඇරගෙන මම එළියට එද්දී උෂානි හිටියේ ඇඳ විට්ටමට හේත්තු වෙලා, හරියට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. මම දොර ඇරපු සද්දෙට ඒකි ගැස්සිලා මං දිහා බැලුවේ මගේ මූණෙන් මරණ දැන්වීමක් කියවන්න වගේ පුදුමාකාර බයකින්. මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා දැක්කම උෂානිගේ මූණ එකපාරටම සුදුමැලි වෙලා ගියා.
මම වචනයක්වත් කියන්න කලින් ඒකි ඇඳෙන් පැනලා දුවගෙන ආවේ මගේ අත් දෙකෙන් අල්ලගන්න, මාව බදාගන්න හිතාගෙන.
“ලිහිණි… අඬන්න එපා බං… අඬන්න එපා…” උෂානිගේ කටහඬ වෙව්ලනවා. ඒකි හිතුවේ මම අඬන්නේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පොසිටිව් වුණ හින්දා කියලා. “ඕන දෙයක් වෙච්චදෙන් බං. දැන් ඉතින් වෙලා ඉවරයිනේ. උඹ බය වෙන්න එපා, මම ඉන්නවනේ උඹත් එක්ක. අපි… අපි කොහොමහරි මේක මැනේජ් කරමු. මනුසත් පිළිගත්තේ නැතත් අපි කොහොමහරි මේ දරුවව හදාගමු බං. මම උඹව තනි කරන්නේ නෑ…මේ ලෝකේ තාත්තලා නැතුව දරුවෝ හදන පළවෙනි අම්මා උඹ නෙවෙයිනේ බං. ඔය මනුසත් කියන එකා වගකීමක් ගන්නේ නැති එකෙක් කියලා අපි කලින්ම දැනගෙන හිටියනේ. ඕකා නැති වුණා කියලා උඹට වැටෙන්න දෙන්නෙ නෑ මම. පඩියක් හම්බෙනවනෙ. එහෙම හරි අපි ඒ දරුවව හදමු. උඹට තියෙන්නේ දැන් හිත හයිය කරගන්න එක විතරයි. වැරදි කා අතින්වත් වෙනවා ලිහිණි, ඒත් වැරදි හදාගෙන ජීවත් වෙන එකයි වටින්නේ”
උෂානි එක දිගටම කියවගෙන ගියේ මාව සනසන්න හිතාගෙන. ඒකිගේ ඇස්වලත් කඳුළු පිරෙන්න අරගෙන තිබුණෙ මට වෙච්ච දේ ගැන කල්පනා කර කර. “අපි බලමු ලිහිණි, තිදස් වුණත් ඕක දැනගත්තම උඹව තනි කරන එකක් නෑ. ඌ මාර හොඳ එකානේ. අපි හෙමින් සැරේ මේ ප්‍රශ්නය විසඳගමු. උඹ ඔහොම අඬන්න එපා, දැන් ඇඬුවා කියලා වැඩක් නෑනේ…”
මම තව තවත් ඒකිව බදාගෙන ඉකිගැහුවා. මට හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි වුණා. උෂානි මාවත් බදාගෙන මගේ පිට අතගාන්න ගත්තේ හරියට මම මහා ලොකු අගාධයකට වැටිලා ඉන්නවා වගේ.
සමහර ගෑනුන්ට තමන් කසාද බැන්දට පස්සේ දරුවෙක් ලැබෙනකම් ඉවසීමක් නැහැ. හැම මාසෙකම ඒ දවස් කිට්ටු වෙද්දී ඒ අය තමන් කරපු මොකක් හරි වැඩක පේමන්ට් එකක් ලැබෙනකම් බලන් ඉන්න මිනිස්සු වගේ පුදුමාකාර නොඉවසිල්ලකින් බලන් ඉන්නවා. ඒත් කසාද නොබැඳපු ගෑනු, තමන්ගේ ඇඟ ඇතුළේ තවත් ජීවිතයක් පණ ගහනවා කියලා දැනෙද්දී ඒක දකින්නේ දේව ආශිර්වාදයක් විදිහට නෙවෙයි, හරියට තමන්ගේ මරණ වරෙන්තුව අතට ලැබුණා වගේ මහා මරණ බයකින්. කසාද බැඳලා, ඒත් අයිතිකාරයෙක් නැති දරුවෙක් තමන්ගේ කුස ඇතුළේ ඉන්නවාදෝ කියන සැකය එක්ක ඒ හතරැස් බාත්රූම් එක ඇතුළේ තනි වුණු මම හිටියේ පුදුමාකාර අපායක. ඒත් ඒ අමිහිරි තත්පර ගණනාවට පස්සේ ස්ට්‍රිප් එකේ මැවුණේ එකම එක රතු ඉරක් විතරයි කියලා දකිද්දී, මට දැනුණේ මුළු ලෝකෙම මගේ කර උඩින් බිමට අතෑරියා වගේ මහා සැහැල්ලුවක්. මේ ලෝකේ කිසිම කෙනෙක් එකම එක රතු ඉරක් දැකලා මම තරම් සැනසෙන්න නැතුව ඇති. ඒ ඉර මට කිව්වේ මම තවමත් නිදහස් කියලා විතරක් නෙවෙයි, මට මගේ වැරදි හදාගන්න දෙවැනි අවස්ථාවකුත් ලැබිලා තියෙනවා කියලා.
මම ඒ පුංචි ප්ලාස්ටික් කෑල්ල සින්ක් එක අයිනෙන් තියලා, බිත්තියට වාරු වෙලා හෙමින් හෙමින් හුස්ම ගත්තා. මගේ පෙනහළු ඇතුළට ඒ හුළඟ දැනුණේ හුස්මක් නෙවෙයි, හරියට අලුත් ජීවිතයක් වගේ. මනුසත් එක්ක ගත කරපු ඒ හැම සතුටක්ම තව පොඩ්ඩෙන් මගේ බෙල්ලට තොණ්ඩුවක් වෙන්න ගිය හැටි මතක් වෙද්දී මට මං ගැනම ඇතිවුණේ ලොකු අප්පිරියාවක්. මම මහා ලොකුවට තීරණ ගත්තට, ජීවිතේ තීරණාත්මකම ගණන් හිලව් බැලෙන්නේ මෙන්න මේ වගේ පුංචි රතු පාට ඉරක් ඉස්සරහා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. බාත්රූම් එකේ ටයිල් පොළොවට වැටිච්ච ඒ හඳ එළිය පවා එවෙලේ මට පෙනුණේ මට ආශිර්වාද කරන්න වැටුණ ආලෝකයක් වගේ. මම බේරුණා! මනුසත් මගේ ඇඟ ඇතුළේ ඉතුරු කරලා ගිය ඒ මූසල සෙවනැල්ලෙන් මම අන්තිම තත්පරේදි බේරුණා කියලා දැනෙද්දී මට දැනුණේ මම මරණය දොරකඩට ගිහින් ආපහු හැරිලා ආවා වගේ හැඟීමක්.
“නෑ උෂානි… ඒක නෙවෙයි බං…” මම අමාරුවෙන් වචන ගැටගහගත්තා.
“මොකක්ද නෑ කියන්නේ? ලිහිණි, ප්‍රශ්නෙට මුහුණ දියන් බං. අපි මේක කොහොමහරි ගොඩදාමු. උඹට මම ඉන්නවා…”
“නෑ බං… මම ප්‍රෙග්නන්ට් නෑ!” මම එකපාරටම ඒකිගේ උරහිසෙන් මූණ උස්සලා අරන් කෑගහලා වගේ කිව්වා. “බලපන්… ඒකේ තියෙන්නේ එක ඉරයි උෂානි. එකම එක ඉරයි! මම අඬන්නේ සතුටට බං. මම දරුවෙක් එක්ක තනිවෙන්න නොගිහින් බේරිච්ච සන්තෝසෙට”
උෂානි මගේ මූණ දිහා බැලුවේ හරියට මට පිස්සු හැදිලා වගේ. ඊටපස්සේ ඒකි වෙව්ලන අත් දෙකෙන් මගේ අතේ තිබුණ ස්ට්‍රිප් එක උදුරලා වගේ ගත්තා. ඒකේ තිබුණ තනි රතු ඉර දැක්කම උෂානිත් එකපාරටම මහා ලොකු හුස්මක් හෙළලා ඇඳ උඩටම ආයෙ වැටුණා. ඒකිගේ මූණේ තිබුණ අර මරණ බය වෙනුවට පුදුමාකාර සැනසීමක් මතු වුණා.
“යකෝ… උඹ නම් මහ මූසලියෙක් ලිහිණි” උෂානි හති දාන ගමන් මගේ තට්ටමකට පාරක් ගැහුවා. “මම හිතුවේ උඹ අඬන්නේ කෙලවෙලා හින්දා කියලා. මම මෙතන දරුවා හදන හැටිත් ප්ලෑන් කරලා ඉවරයි. උඹ මාව මරන්න හැදුවා බං ඒ ඇඬිල්ල අඬලා. යකෝ උඹ දන්නෙ නෑ මං කොච්චර බයෙන්ද උන්නෙ කියලා. මොක උනත් දරුවෙක් නෙ බං”
අපි දෙන්නම ඇඳ උඩ වාඩි වෙලා මහා වෙලාවක් අපි දෙන්නට දෙන්නා දිහා බලාගෙන හිටියා. මටයි උෂාණිටයි හිනාවක් ගියේ එකපාරටම වගේ. ඒ හිනාවයි කඳුළයි අතරේ මට දැනුණේ මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න ලැබුණ දෙවැනි අවස්ථාව මේක කියලා.
“යකෝ මගේ පපුව තාම ගැහෙනවා ලිහිණි,” උෂානි ඇඳ විට්ටමට ඔළුව ගහගෙන ඇස් පියාගත්තා. “මම හිතුවේ මනුසත් කරපු ජඩකම්වලට අන්තිමට උඹට විඳවන්න වුණා කියලා. මම මෙතන කල්පනා කර කර හිටියේ අරූට වොයිස් කට් එකක් දාලා කුණුහරුපෙන් බණින්න.”
මම හිනා වුණේ කඳුළු පිහදාන ගමන්. “මටත් බං. බාත්රූම් එක ඇතුළේ ඉද්දී මට මතක් වුණේ මනුසත් මාව රවට්ටපු හැටි විතරයි. ඌ මගේ ජීවිතේ විනාශ කළා කියලා දැනෙද්දී මට මනුසත් ගැන ඇතිවුණේ මහා තරහක් උෂානි. හැබැයි…” මම කතාව නතර කරලා තිදස් එවපු අර සුප් එක දිහා බැලුවා. “හැබැයි ඒ අස්සේ මට තිදස්ව මතක් වුණාම මට මං ගැනම ලැජ්ජ හිතුණා බං.”
“ලැජ්ජා වෙලා විතරක් මදි,” උෂානි ඇස් ඇරලා මං දිහා බැරෑරුම් විදිහට බැලුවා. “දැන්වත් බලපන් උඹ ඉස්සරහා ඉන්න නියම පිරිමියා කවුද කියලා. අරූ හැමෝටම පේන්න ලව් කරලා අන්තිමට උඹව ප්‍රශ්න ගොඩක දාලා මාරු වුණා. ඒත් තිදස්? ඌ උඹෙන් පලිය ගන්න තිබ්බ හැම අවස්ථාවකම කළේ උඹව රකින එක. අදත් උඹ ප්‍රෙග්නන්ට් කියලා රිසල්ට් එක ආවා නම්, උඹව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්ක යන්න සල්ලිත් ලෑස්ති කරලා ඌ මේ වෙලාවේ මට මැසේජ් කරනවා.”
“සිරාවටම?” මම ඇහුවේ පුදුමෙන්.
“ඔව් බං. ඌ මට කිව්වා ලිහිණිට මොනවා හරි වුණොත් මට කියන්න, මම ඕනම දේකට ඉන්නවා කියලා. ඌ දන්නවා ලිහිණි උඹ මේ දවස්වල හිටපු විදිහ. උඹේ ඇඟේ අමාරුවට වඩා හිතේ අමාරුව ඌට තේරුණා. පිරිමියෙක් මෙච්චර කෙයා කරනවා නම්, ඒක ආදරේ නෙවෙයි නම් වෙන මොකක්ද බං?”
“මට බයයි උෂානි. මම අච්චර දේවල් කියලා ඉද්දි මං ආයෙ එයාගෙ මූණ බලාගෙන තෑන්ක්ස් කියන්නේ කොහොමද? මම මොන වගේ ජාතිද තිදස්ට කිව්වෙ? මනුසත් හොඳයි කියලා ඌට පේන්න මම රඟපෑවා. ඒත් අන්තිමට මම අසරණ වුණාම මාව බේරගන්න ආවෙත් ඒ මනුස්සයා විතරයි”
“තිදස් උඹෙන් තෑන්ක්ස් බලාපොරොත්තු වෙන්නේ නෑ ලිහිණි, ඌ බලාපොරොත්තු වෙන්නේ උඹ සතුටින් ඉන්නවා දකින්න විතරයි. දැන්වත් ඔය හිතුවක්කාරකම අතහැරපන්. හෙට ඔෆිස් ගියාම ඌට තේරෙන්න දීපන් උඹේ හිතේ තියෙන දේ. වචනවලින් කියන්න ඕනේ නෑ, උඹේ ඇස්වලින් ඒක කියපන්.”
මම ඔළුව වැනුවා. මගේ හිතේ තිබුණ මහා කළු ගලක් දිය වෙලා ගියා වගේ දැනෙද්දි මම ආයෙ වතාවක් ඉතුරු වෙච්ච සුප් ටික දාලා තිබ්බ කප් එක අතට ගත්තා. ඒක තාම මද රස්නෙයි. ඒ රස්නය මගේ පපුව ඇතුළට දැනෙද්දී මට තේරුණා මනුසත් කියන්නේ මගේ ජීවිතේට ආව ලොකුම වැරැද්දක් කියලා. ඒ වගේම තිදස් කියන්නේ මම පස්සෙන් ගිහින් හරි රැකගන්න ඕනේ නිධානයක් කියලා.
“දැන් ඔය ටික බීලා නිදාගනින්,” උෂානි ඇඳෙන් නැගිටලා ලයිට් එක ඕෆ් කරන්න ගියා.
“හීනෙන්වත් මනුසත්ව දකින්න එපා. දැන් උඹ නිදහස්. හැබැයි මට එක පොරොන්දුවක් දීපන්.”
“මොකක්ද?”
“ආයෙත් කවදාවත් තිදස් වගේ මිනිහෙක්ගේ හිත රිද්දන්න එපා. එච්චරයි.”


