” ගුඩ් මොනින් මිස්ටර් විජේවර්ධන ! “
” ගුඩ් මෝනින් ..!”
දරාගත නොහැකි හිස රදය හමුවේ දුරකතනය කනේ තබා ගත් මනුහස් ඇමතුමේ සිටින්නේ කවුරුදැයි හෝ විපරම් නොකර ඇමතුමට පිළිතුරු බැන්ඳේය .
” මිස්ටර් විජේවර්ධන , මිස්ටර් විජේවර්ධනට අද පුලුවන් උමායා මෙන්ඩිස්ව මුණ ගැහෙන්න. වෙලාවක් දැනුම් දුන්නොත් මට පුලුවන් උමායාට ඒක කියන්න “
මනුහස් වහා දුරකතන තීරය දෙස බැලුවේය. එය මල්දෙණිය නිවසින් වූ අතර ඇමතුමට සම්බන්ධ වී සිටියේ වජිරා මල්දෙණියයි.
” ආ.. මිසිස් මල්දෙණිය මට පුලුවන් තව පැයකින් මිසිස් මෙන්ඩිස්ගේ ගෙදරට යන්න. ඒ එක්කම මට තව පොඩි උදව්වක් ඕනේ මිසිස් මල්දෙණිය “
එසේ පැවසූ මනුහස් නිදා සිටි ඉරියව්ව වෙනස් කරමින් යහන මත හිඳ ගත්තේය .
” කියන්න මිස්ටර් මල්දෙණිය.. මං කිව්වනේ මේ වැඩේට මගෙන් වෙන්න ඕනේ ඕනම උදව්වක් මං කරනවා. “
මනුහස් කට කොනකින් සිනහවක් නැඟුවේය.
” මිසිස් මල්දෙණිය , මිසිස් මෙන්ඩිස්ව මුණ ගැහෙන්න ගිහිල්ලා පොලීසියේ විදිහට ප්‍රශ්න කරන එක මට ලොකු දෙයක් නෙමෙයි. ඒත් මිසිස් මල්දෙණිය දිගින් දිගටම මේ සිද්ධියට සම්බන්ධ අයගේ ගෞරවයට හානි නොවී මේක විසඳන්න කියලා ඉල්ලපු නිසාම මං ඒක කරන්නෑ. මිනිස්සු තවත් මනුස්සයෙක් ඉස්සරහා දන්න කියන ඇත්ත හැමදේම එළියට දාන්නේ තැන් දෙකකදි විතරයි.
ඒ… එක්කෝ ඒ මනුස්සයව සෑහෙන්න බය කරන්න ඕනේ. නැත්තන් අදාල කෙනාට සෑහෙන්න හිතවත් වෙන්න ඕනේ. දැනට පළවෙනි ක්‍රමේට යන්න මගෙ අදහසක් නෑ. ඒ වගේම දෙවෙනි ක්‍රමේ ක්‍රියාත්මක කරන්න මං ඒ කෙනාගෙ හිතවතෙකුත් නෙමෙයි. ඒ නිසා මං කැමතියි මල්දෙණිය ෆැමිලි එකේ කවුරුහරි එතනට එනවනං. මොකද මේ හැමෝම එක්ක මල්දෙණිය පවුලේ අයට ලොකු හිතවත්කමක් තියනවා කියලා මං දන්නවා. “
” හොඳයි මිස්ටර් විජේවර්ධන.., මිස්ටර් විජේවර්ධනට වෙන්න ඕනේ කොහොමද ? ඒක ඒ විදිහට වෙයි. “
දුරකතන ඇමතුම විසන්ධි කළ මනුහස් නැවතත් කට කොනකින් සිනහවක් නැඟුවේය.
*******************************************
මෙන්ඩිස් නිවසේ ගේට්ටු ද්විත්වය මනුහස්ගේ ආගමනයත් සමඟම විවර වී ගියේය. විවර වූ ගේට්ටුවෙන් ඇතුළට ආ ඔහු මෝටර් රථයෙන් බැසීමට පෙරම ඔහුට පෙර එහි ළඟා වී තිබූ මල්දෙණිය පවුලේ මෝටර් රථයක් දුටු මනුහස් නිහඬවම තම මෝටර් රථයෙන් බිමට බැස්සේය .
” එන්න මහත්තයා..!”
මෝටර් රථයෙන් බිමට බසිනවාත් සමඟම නිවස ඉදිරිපිට සිටි පෙර දින මුණගැසුණු කාන්තාව මනුහස් ඉදිරියට ආවාය. ඇයට කිසිවක් නොපවසා නිවස තුළට ඇතුළු වන්නට වූ මනුහස්ගේ අවධානය නාද වන ජංගම දුරකතනයේ හඬින් බිඳී ගිය මුත් එය ගණනකට නොගත් ඔහු නිවසට ඇතුළු විය.
නිවසේ පසෙක ආලින්දයේ තිබූ සෝෆාවක නෙත්‍යා මල්දෙණිය සේම ටෙහාන් මෙන්ඩිස්ගේ බිරිඳ යැයි කිවහැකි කාන්තාවක් අසුන් ගෙන සිටි අතර ඔවුන් දෙදෙනා වහා මනුහස් දැක හිඳ සිටි තැනින් නැඟී සිටියහ. තමා බලාපොරොත්තු වූ අන්දමටම තමාගේ සැලසුම ක්‍රියාත්මක වී තිබීම මනුහස්ගේ හදවත තුළ ප්‍රීතියක් ඇති කළද ඔහු එය ආයාසයෙන් නොපෙන්වා ඉදිරියට අඩි තැබුවේය.
” ගුඩ් මෝනින් මිස්ටර් විජේවර්ධන …!”
නෙත්‍යා වචන හැසිරුවේ මඳක් අපහසුවෙන් බව මනුහස්ට වැටහී ගියේය.
” මේ ඉන්නේ ටෙහාන් මෙන්ඩිස්ගේ වයිෆ් . උමායා මෙන්ඩිස්. අක්කේ මේ ඉන්නේ මිස්ටර් විජේවර්ධන . “
” හෙලෝ… !”
උමායා මනුහස් වෙතට තම දකුණත දිගු කළ අතර මනුහස්ද පෙරළා ඇයට අතට අත දුන්නේය.
” ප්ලීස් සිට් මිස්ටර් විජේවර්ධන …, “
” තෑන්ක්ස්.. “
මනුහස් උමායා පෙන්වූ සෝෆාවට බර වූ අතර නැවත වතාවක් ඔහුගේ ජංගම දුරකතනය නාද දෙන්නට පටන් ගත්‍තේය.
” එක්ස්කියුස් මී…!”
එසේ පැවසූ ඔහු ජංගම දුරකතනය කනේ තබා ගත්තේය.
” කියන්න ෂියා..!”
මනුහස් යටැසින් නෙත්‍යා දෙස බැලූ අතර ඈ මුහුණ වෙනතකට යොමු කරගෙන සිටියාය.
” කියන්න කියන්නේ කොහෙද මනූ ඉන්නේ ?”
” ඇයි මොකද්ද ප්‍රශ්නේ ?”
” අද අපේ මීටින් එක. ලොකු සර් , දසනායක ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. හැමදාම වගේ ඔයා අදත් පරක්කුයි මනූ.. “
” අද මට එන්න වෙන්නෑ. ඒක රිපෝට් කරන්න “
” ඇයි ඒ ? ඔයා මොකක් හරි අසනීපෙකින්ද ?”
” නෑ .. මං මගේ පර්සනල් ගමනක් ඇවිත් ඉන්නේ “
” පර්සනල් ගමනක් කියන්නේ මොකද්ද ? අනික සචින්ද්‍රත් මෙහෙනේ. ? ඔයා කොහෙද ගියේ..?”
ෂියෝනාගේ ප්‍රශ්න කිරීම මනුහස්ට කරදරයක් ගෙන ආවේය.
” මං කසාද බඳින්න කෙල්ලෙක්ව බලන්න ආවා. දැන් තියන්නං. වැඩක ඉන්නේ.. “
එසේ පැවසූ මනුහස් ෂියෝනා තවත් කිසිවක් පැවසීමට පෙරම දුරකතන ඇමතුම විසන්ධි කොට එය ක්‍රියා විරහිත කළේය.
” සොරි මිසිස් මෙන්ඩිස්..”
” ඉට්ස් ඕකේ.. මිස්ටර් විජේවර්ධන ..”
තවත් යමක් කීමට පෙර පැමිණි නිවසේ සේවිකාව සෝෆාව අසල තිබූ ටීපෝව මතින් තේ බඳුනක් තැබුවේය. උමායා වහා තේ සැකසීමට උත්සාහ කළද එය වළක්වාලූ නෙත්‍යා හිඳ සිටි තැනින් මඳක් ඉදිරියට ආවාය.
” මං හදන්නං අක්කේ “
යළිත් සෝෆාවේ පසු පසට වූ උමායා ඉන් පසුව මනුහස් දෙසට හැරුණාය.
” මිස්ටර් විජේවර්ධන .., මීට කලිනුත් මාව මුණ ගැහෙන්න ඇවිත් තිබුණා. “
” ආ.. ඔව්.. මිසිස් මෙන්ඩිස් , මට මනුහස් කියලා කතා කරන්න. මට ඒක පහසුයි. “
උමායා ලෙංගතු සිනහකින් මනුහස් දෙස බැලුවාය.
” මටත් උමායා කිව්වනං ඇති . නම කියලා කතා කරන එක හිතට හොඳයි. “
මනුහස්ද පෙරළා ඈ දෙස බලා සිනාසුණේය. ගැණිය හැකි වූ ගැහැනු මායම් පිළිබඳව කොතෙක් කතා කළද පිරිමි මායම් ගැනීමට තබා සිතා ගැනීමටවත් නොහැකිය . මනුහස් නිතැතින්ම තමා ඉදිරියේ සිටිනා ඕනෑම කෙනෙකු වසඟයට ගැනීමට උපන් හපනෙක් බව දත් නෙත්‍යා යටි තොළ සපාගෙනම තේ සකසමින් සිටියාය.
“අපි පරක්කු නොකර අපේ වැඩේ ගැන කතා කරමු . මං හිතන්නේ මිසිස් මෙන්ඩිස් .. සොරි… උමායා දන්නවා මං මෙහෙ ආපු කාරණේ.. “
උමායා කිසිවක් නොපවසා ඔව් යැයි කීමට හිස සැලුවාය.
” අපි ඔක්කොම එක ක්ලාස් එකේ මනුහස්. ඒත් ටෙහානුයි මායි කසාද බඳින්න තරමට ළං වුණේ ඉස්කෝලෙන් අවුට් වෙලාත් අවුරුදු ගාණක් ගියාට පස්සේ. “
නෙත්‍යා සූදානම් කළ තේ කෝප්පයක් උමායා අතට දුන් අතර ඈ එය මනුහස් වෙතට දිගු කළාය. ඉන්පසුව නැවතත් නෙත්‍යා ලබා දුන් තේ කෝප්පයක් තමා අතෙහි තබා ගත්තාය.
මනුහස් සීරුවට තේ කෝප්පය තොළ ගෑවේය . ඉන් පසුව ඇඹුල් වී ගිය මුහුණින් උමායා දෙස බැලුවේය.
” ඇයි මනුහස් ..?”
මනුහස්ගේ මුහුණේ ඇඳී ගිය නෝක්කාඩුව වටහා ගත් උමායා කලබල වූවාය.
” සැන්ඩි නොදා ගල් අරක්කු වීදුරුවක් බිව්වා වගේ. “
උමායා වළක්වා ගත නොහැකි අයුරින් සිනහ නඟන්නට වූවාය. නෙත්‍යා රත් කරගත් දෑසින් මනුහස් දෙස බලා ඔරවා ඉවත බලා ගත්තාය.
උමායා සිනහව අතරින්ම තේ කෝප්පය මුවට ගෙන උගුරක් බී බැලුවාය.
” මට නං හොඳයි හැබැයි “
ඈ සිනහව අතරින්ම නෙත්‍යා දෙස බලා පැවසුවාය.
” උමායා ගල් අරක්කූ බීලා තියනවද ?”
” අපෝ නෑ.. “
” එහෙනං ඒක තමා “
උමායා තව දුරටත් සිනහ වූ අතර නෙත්‍යා හිස හරවා නිවසේ මුළුතැන්ගෙය දෙස බැලුවාය.
” ශාන්තී….! ශාන්තී…!”
” මැඩම්.. !”
සේවිකාව වහා නෙත්‍යාගේ හඬට දිව ආවාය.
” මේ මහත්තයට අළුත් තේකක් හදලා දෙන්න “
” නෑ.. නෑ.. ඕන්නෑ.. මට ගල් අරක්කු බීලා පුරුදුයි. “
උමායා නැවත වතාවක් සිනාසෙන්නට වූ අතර සේවිකාව තව දුරටත් එතැන නොරැඳී පිටව ගියාය.
” ඔයා නං මරු…”
උමායා සහමුලින්ම මනුහස්ගේ සැලැස්මට අනුගතවී සිටියාය . ඈ තව දුරටත් ඔහු පිටස්තරයෙකු සේ නොසැලකුවාය.
” හරි.. උමායා.. අපි නවත්තපු තැනින් කතා කරමු.. “
” ඕකේ.. “
ඈ ආයාසයෙන්ම සිනහව නවත්වාගනිමින් මනුහස් දෙසට හැරුණු අතර ඇගේ සිතේ මනුහස් කෙරෙහි පෙර තිබූ දුරස් බව සම්පූර්ණයෙන්ම දුරු වී තිබුණේය.
” එතකොට උමායා මැරි කරලා කොච්චර කල් වෙනවද ?”
” දැනට අවුරුදු දහයක්. ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ මං ජැපෑන් ගියා. මගේ අයියා හිටියේ එහේ. මං ජැපෑන් වල අවුරුදු දහයක් හිටියා. ඊට පස්සේ තාත්ති නැති උනාට පස්සේ අම්මි විතරක් නිසා මං ආයේ ගියේ නෑ. මෙහෙ මං කොස්මෙටික්ස් ශොප් එකක් පටන් ගත්තා. දැනට තියෙන්නේ ගල්කිස්සේ. තව ටික දවසකින් මං ශොප් එක කිරුළපනට ගේනවා. “
” ඔහ්… මං වෙලාවක එන්නං ෂියා එක්ක .”
මනුහස් එසේ පවසා තේ කෝප්පය තොළ ගාමින් නෙත්‍යා දෙස බැලූ අතර ඈ පෙර පරිදිම ඔහුගෙන් දුරකට දෑස විතැන් කරගෙන සිටියාය.


