කලුවර රෑ සඳක් වගේ – 59

0
1052

“ලිහිණි… අයි… අයි…ඇම්… සොරි…” එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් කඩාගෙන වැටුණා. “මං… ඔයාට… ගොඩක්… රිද්දුවා…භා…භානු…ක්…කී”

මනුසත් හෙමින් සැරේ සිහිය ලබන්න පටන් ගත්තත්, එයාගේ කටහඬ තාමත් තිබුණේ හරිම දුර්වල තැනක. එයා මගේ දිහා බලන් හිටියේ හරියට ලෝකෙ ලොකුම වැරැද්ද කරපු මිනිහෙක් විදියට. මම එයාගේ ඇඳ අයිනෙන් වාඩි වෙලා එයාගේ සීතල වෙච්ච අතක් පිරිමදිද්දී, එයා මගේ ඇස් දෙක දිහාම බලාගෙන වචන අමුණන්න හැදුවා.

මම ගැඹුරු හුස්මක් ගත්තා. මනුසත්ගේ ඒ සොරි එක ඇතුළේ කොච්චර දේවල් හැංගිලා තිබුණත්, මගේ හිතේ තිබුණ වෛරය දැන් දියවෙලා ගිහින් කියන එක මම දැනගෙන උන්නා. මම හෙමින් හිනා වුනේ අන්න ඒ හන්දා.

ඇත්තටම මනුසත්ට සාත්තු සප්පායම් කරන්න පටන් ගත්ත ඒ මොහොතේ ඉඳන්ම මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි, ඇත්තටම ආදරේ කරපු හිතකින් අපිට කොච්චර උත්සාහ කළත් වෛර කරන්න බැහැ කියන එක. ඒ කාලේ අපි දහස් වාරයක් එපා කිව්වත්, දහස් වාරයක් අතහැරලා යන්න හැදුවත්, ඒ ආදරේ කරපු මතකයන් කොහේ හරි හිතේ කොණක හැංගිලා තියෙනවා. ඒකයි අද මට මෙච්චර දේවල් වෙලත් මේ මිනිහව අතහරින්න බැරි වුණේ.

මම ගැඹුරු හුස්මක් අරන් හෙමින් හිනා වුණා. “සොරි කියන්න එපා මනුසත්. දැන් ඒවගෙන් ඇති වැඩක් නෑ,” මම හීන් හඬින් කිව්වා. “මිනිස්සුන්ට වරදින්නේ මිනිස්සු නිසාමයි. ඔයා මට රිද්දුවා තමයි, ඒත් ඒ රිදුම් අස්සෙන් මම මාවම හොයාගත්තා. අනික ඔයා විතරක් නෙවි මට රිද්දුවෙ. මමත් ඔයාට රිද්දලා ඇතිනෙ ගොඩක් තැන්වල. සමහර වෙලාවට අපේ ජීවිතේට එන ලොකුම කුණාටු එන්නේ අපිව විනාස කරන්න නෙවෙයි මනුසත්, අපි කවදාවත් දැකපු නැති අලුත් පාරවල් අපිට පෙන්නන්න.”

මනුසත් මම දිහා පුදුමයෙන් වගේ බලන් හිටියෙ මම කලින් හිටපු, හැමදේකටම බය වුණ, පොඩි දේටත් ඇඬුව ලිහිණි නෙවෙයි කියලා එයාට තේරිච්ච නිසා වෙන්නැති.

“ලිහිණි… ඔයා… මට… වෛර… කරන්නේ… නැද්ද?” 

“වෛරය කියන්නේ මනුසත්, අපි තව කෙනෙක්ට දෙන්න හදන විසක් අපිම බොනවා වගේ වැඩක්. මම ඒ විස බීලා මගේ හිත නරක් කරගන්න කැමති නෑ. ඔයා කරපු දේවල් ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති.මම කරපු දේවල් මගේ හිත දන්නවා. මම මෙතන ඉන්නේ ඔයාගේ බිරිඳ විදිහට නෙවෙයි මනුසත්, තවත් එක මනුස්සයෙක් විදිහට විතරයි. වැටුණු මිනිහෙක්ට අත දෙන්න ආගමක්, ජාතියක් විතරක් නෙවෙයි, පරණ තරහක්වත් ඕන නෑ. ඒක තමයි මනුස්සකම.”

මම එයාට වතුර උගුරක් පොවන්න හදද්දී එයා මගේ අතින් තද කරලා අල්ලගත්තා. “ඔයා… මාරම… වෙනස්… වෙලා…” එයා මිමිණුවා.

“වෙනස් වෙන්නම ඕන මනුසත්. එකම තැන පල්වෙන වතුර කුණු වෙනවා. ගලාගෙන යන වතුර තමයි පිරිසිදු. මම දැන් ඒ ගලාගෙන යන වතුරක් වගේ. අතීතය මම එතනම ඉතුරු කරලා ආවා. ඔයා මට කරපු හැම නරකක්ම මම අමතක කළේ මගේ සැනසීම වෙනුවෙන් මිසක් ඔයා වෙනුවෙන් නෙවෙයි. මොකද මට ඕන නෑ මගේ ඉතිරි ජීවිතේ පුරාම ඔයා දුන්න වේදනාවල් කර තියාගෙන පීඩා විඳින්න. මම දැන් නිදහස් මනුසත්. ඔයා තාම හිරවෙලා හිටියට, මම මගේ හිත ඇතුළෙන් නිදහස් වෙලා ගොඩක් කල්.”

මනුසත් සයිලන්ට් වුණේ ඒ වචන එක්ක. එයාගේ ඇස්වල තිබුණේ පසුතැවීමක් වුණත්, මගේ හිතේ තිබුණේ මහා බරක්. මම මනුසත්ගේ ජීවිතේ බේරගන්න සටන් කරද්දී, මට පණ වගේ ආදරේ කරපු තිදස් මගෙන් ඈත් වෙනවා කියලා මම දැනගෙන උන්නා. ඒත් මට මේ මනුස්සකම අතහරින්න ඒක හේතුවක් උනේ නෑ. සමහර වෙලාවට තව කෙනෙක්ට දේවල් දෙන්න අපිට ලැබෙන්න තියෙන දේවල් අපිට නැති කරගන්න වෙනවා කියලා මම හිතුවා.

සමහර වෙලාවට ජීවිතේ අපිට උගන්වන්නේ අපි අකමැතිම පාඩම්, අපි වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් වෙන් කරලා.

මනුසත් ගෙදර ආවට පස්සේ භානුකී මනුසත්ව බලන්න එන එක නවත්තන්න කිසිම හේතුවක්වත්, උවමනාවක්වත් මට තිබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් එයා එන එක මට ලොකු සහනයක් වුණා. මොකද මනුසත්ගේ අතීතයයි, එයාගේ දරුවන්ගේ අම්මයි විදිහට එයාට මනුසත් ගැන අයිතියක් තියෙනවා කියලා මම පිළිගත්තා. ඒත් මනුසත්ගේ අම්මා, ඒ කියන්නේ මගේ නැන්දම්මා ගෙදරට කඩා වැදුණේ මම හිතපු නැති විදිහකට.

ඒ මනුස්සයා එන එන හැම වතාවකම කරේ මගෙ හිත රිද්දන්න කටයුතු කරන එක. ඒත් ඉස්සර වගේ ඒ වචන වලට හිත රිද්දගන්නවත්, ඒ මනුස්සය දිහා තරහෙන් බලන්නවත් මට හේතුවක් කාරණාවක් තිබ්බෙ නෑ.

“නොගැලපෙන ගෑනු කියන්නේ පිරිමින්ගේ ජීවිතවලට සාපයක් ලිහිණි. කොහොමත් ඔය දෙවැනි කසාද කියන ඒවා කවදාවත් හරියන දේවල් නෙවෙයි” කියන ගමන් මං හදලා දුන්න තේකෙන් උගුරක් බිව්ව මනුසත්ගෙ අම්මා දිහාව ඇත්තටම මම කලින් වගේ තරහෙන් බැලුවෙ නෑ.මං ඔහේ ඒව අහගෙන උන්න විතරයි.   මම කාමරේ ඇතුළේ මනුසත්ගේ ඇඳ ඇතිරිලි හදන ගමන් ඒ නින්දිත කතාවලට කන් දීගෙන හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.

“බලන්නකෝ භානුකී අන්තිමේ මගේ රත්තරන් පුතාට වෙච්ච දේ. රජෙක් වගේ හිටපු මනුසත් අද මෙහෙම ඇට සැකිල්ලක් වෙලා ඇඳේ වැටිලා ඉන්නේ මේ සාපයක් ගෙදෙට්ට කඩං වැදිච්ච හන්දනෙ.” නැන්දම්මා හයියෙන් හුස්මක් අරන් කියවනවා මට ඇහුණා. “මම එදත් කිව්වා මනුසත්ට, ඔය කසාදෙ කරගන්න එපා කියලා. ඇහුවෙ නෑ. අන්තිමේ උනේ තමන්ට තමන්ව වාරු නැතුව ඇඳකට වැටිච්ච එක”

භානුකී මොකුත් නොකියා නිහඬව ඉන්නවා ඇති කියලා මට හිතුණා. ඒත් නැන්දම්මා උන්නෙ එයාගෙ කතාව නම් නතර කරගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි.

“දැන් ඔය කරන්නෙත් තනිකරම රඟපෑමක්නෙ. අපිට නොතේරෙනවා කියලා වෙන්නැති හිතේ ඇත්තෙ. අපෙ පුතාගෙ පයට පෑගුණ දූවිල්ලක් තරම්වත් මේ ගෙදරට වටින්නේ නැති ගෑනියක් දැන් මෙතන ඇවිත් මගේ පුතාගේ කැත කුණු අදින්නේ මහ ලොකු පත්තිනි අම්මා වගේ. මම නොදන්නවායෑ ඔය කාගෙ කාගෙත් හිතේ තියෙන කුහකකම. මනුසත් පණ ඇද ඇද ඉද්දී, මූසල ගෑනියෙක් වගේ ආයෙත් මේ ගෙදරට පය තිබ්බේ නිකම්ම නෙවෙයි. මගේ පුතා මැරිලා යනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ. එතකොටනේ මේ රජ මාලිගාව වගේ තියෙන දේපල ටික, බැංකු පොත් වල තියෙන සල්ලි ටික නීත්‍යානුකූලව ලියාගන්න පුළුවන් වෙන්නේ. දැන්ම ඉඳලා රංගනේ. කසාද බඳින්නෙම ඕව බලාගෙන කියලා මං ඒ කාලෙම අපෙ එකාට කිව්වා. කොහෙද ඇහුවෙ නෑනෙ”

“ඕවා දැන් කතා කරලා වැඩක් නෑනෙ අම්මෙ. මේ වෙලාවෙ අපි බලන්න ඕන මනුසත්ව සනීප කරගන්න නෙ. අනික මං හිතන්නෙ නෑ ලිහිණි කීයටවත් එහෙම දේවල් බලාපොරොත්තු…”

“ඔයා මොනවද ළමයො ඔය පොඩි කෙල්ලො ගැන දන්නෙ? ඔයාලා මේ කොච්චර වැදගත් පවුල්වල ළමයිද? මෙයාලා මේ එහෙම නෙවිනෙ. කාගෙ හරි ඇඟේ තුත්තිරි ඇටේ වගේ ඇලිලා ගොඩ යන්න බලාගෙන ඉන්න ජාතිය.

විශේශෙන්ම ඔය දෙවැනි කසාදෙට එන ගෑනුන්ගේ හිතේ තියෙන්නේ පිරිමියෙක් ගැන තියෙන ආදරයක් නෙවෙයි, උන්ට ඕන කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න පටවගන්න පුළුවන් පරණ කරත්තයක් විතරයි. 

මනුසත් ඇස් පියවපු ගමන් මේ සේරම දේපල ටික නිරායාසයෙන්ම තමුසෙට අයිති වෙනවා නේද? අන්න ඒ හීනෙට තමයි ඔය සාත්තු සප්පායම් කරන්නේ. සාපයක් දුවේ… පිරිමින්ගේ ජීවිතවලට සාපයක් ඔය වගේ නොගැලපෙන ගෑනු!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here