BE SILENT – 33

0
746

මනුහස් නැවත වතාවක් ජායාරූපය දෙස හොඳින් බැලුවේය . එහි පිරිමි ළමුන් හය දෙනෙකු සහ ගැහැනු ළමුන් තුන්දෙනෙකු සිටියහ. ඉතා කෙළිලොල් මුහුණු වලින් ජායාරූපයට පෙනී සිටි සියල්ලෝම අවම වශයෙන් අවුරුදු දාසයක් , දාහතක් පමණ වන්නට ඇතැයි මනුහස් අනුමාන කළේය.

” උමායාට පුලුවන්ද මේකේ ඉන්න අය අඳුරගන්න. “

” පුලුවන් …”

ඈ එසේ පවසමින් මනුහස් අසලට ළං වූවාය. 

” මේ ඉන්නේ ටෙහාන්. මේ ඉන්නේ මයන් . මේ මෙතන ඉන්නේ ක්‍රිශාන්.  මෙතන මේ ඉඳගෙන ඉන්නේ ජෙසී. එයාගෙ නම ජෙසිකා. අපි කිව්වේ ජෙසී කියලා. එතකොට මෙතන මේ ක්‍රිශාන්ට එහා පැත්තෙන් ඉන්නේ  නදීල්. නදීල් කියන්නේ මිනිස්ටර් සේනක පළිහවඩනගේ පුතා. එතකොට මේ ඉන්නේ ටැමී. ටැමීගේ නම ජේඩ් තෝමස්. තෝමස් කියන එක තමා අපි ශෝට් කරලා ටැමී කියලා කිව්වේ. මෙතන මේ ඉඳගෙන ඉන්නේ ඇමැන්ඩ්‍රායි , අයේෂායි එතකොට මේ රෙඩ් කලර් කැප් එකක් දාන් ඉන්නේ අසංග. “

“අසංග සුදේශ් ?” 

” ඔව්.. අසංග සුදේශ් තමා. “

” ඒ කියන්නේ දැනට නැතිඋනු පස් දෙනාම මේ ෆොටෝ එකෙත් ඉන්නවා. “

මනුහස් පැවසූ දෙයින් තිගැස්සුණු උමායා නැවතත් ජායාරූපය දෙස මොහොතක් බලා සිටියේය. 

” ඔව් .. ඔයා හරි.. ඒ පස් දෙනාම මෙතන ඉන්නවා. “

ඈ හිස ඔසවා මනුහස් දෙස බලා පුදුමයෙන් මෙන් පැවසුවාය .

” මේ බලන්න…, “

උමායා ටීපෝව මත තැබූ ඇල්බමය පෙරළන්නට වූ අතර නෙත්‍යාද හෙමිහිට ඈ අසලට විත් ඇල්බමයට හිස එබුවාය . 

උමායා ඇල්බමය දෙතුන් වතාවක් පෙරළා එක් ජායාරූපයක් අසල නැවතුණාය. 

” මේ ඉන්නේ අපේ මුළු ක්ලාස් එකේම හිටපු අය “

මනුහස් මෙන්ම නෙත්‍යාද ඒ ජායාරූපය දෙස විමසිල්ලෙන් බලා සිටියහ.

” මේ.. මේ ටික බලන්න.. “

ඈ තවත් දෙතුන් වරක් ඇල්බමයේ පිටු පෙරළා තවත් තැනක නතර වූවාය. 

” මේ නම දෙනාගෙන් මේ ඉන්න බෝයිස්ලා ටික ඉස්සර ඉඳන්ම හොඳම යාලුවෝ. ඇමැන්ඩ්‍රාත් ඒ දවස්වල ඉඳලම හිටියේ බෝයිස්ලා එක්ක. මොකද එයා හරි හිතුවක්කාර ළමයෙක්. එයාට අපි වගේ එක තැන ඉඳගෙන ඉන්න බැරි එකක් තිබ්බා. එයාට ඕන උනෙත් කොල්ලො වගේ එහෙ මෙහෙ දුව දුව ඉන්න. ඉතිං ඇමැන්ඩ්‍රාත් ගොඩක් වෙලාවට හිටියේ මේ සෙට් එකත් එක්ක. එතකොට ජෙසී. ජෙසීත් එහෙමයි. ඉගෙනගන්න වැඩ වලට උනන්දුවක් තිබ්බෙම නෑ. ටෙහාන් කොච්චර ඉගෙනගත්තත් එයා එයාගේ යාලුවො අතෑරියේ නෑ. මයන් උනත් හැමෝටම වැඩිය ටෙහාන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි හිටියා. ගොඩක් වෙලාවට මයන්ගේ ගෙදරිනුත් මයන්ට බනින්නේ ටෙහාන් වගේ වෙන්න කියලා . ඔව් … මට හොඳට මතකයි ඒවා. ඒත් … තාත්තලගෙන් ආපු බිස්නස් එක තියෙද්දි මයන් ඉගෙනගන්න එච්චර උනන්දු උනෙත් නෑ. ඉගෙනගන්න දේවල් මඟ ඇරියට මයන්ට ඕනෙම දෙයක් ගාණට තිතට ප්ලෑන් කරන්න පුලුවන් . 

ගෙදරින් බනින වෙලාවට මයන් ඉස්සර කියනවා මං ඉගෙනගන්නේ මොකටද ? මටත් එක්කම ඉගෙනගන්න මගෙ හොඳම යාලුවා ඉද්දි කියලා ටෙහාන්ට. ඉස්සර ටෙහාන් කියනවා මයන් ඩිග්‍රි ගත්තේ නැති උනාට අද වෙද්දි මල්දෙණිය ගෲප් එක මෙච්චර ලොකු තැනකට ආවේ මයන්ගේ ඒ ප්ලෑනින් නිසා කියලා. ඉස්කෝලෙන් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා මෙතන ඉන්න නදීල්ට අයේෂා එක්ක එෆෙයාර් එකක් තිබ්බා. මං හිතන්නේ මේ නම දෙනා සම්පූර්ණ උනේ එතනදි. “

” එතකොට උමායා මේ නම දෙනාගෙන් ඉතුරු හතර දෙනා ලංකාවේ ඉන්නවද ?” 

” ජෙසී ඇරෙන්න අනිත් තුන් දෙනා ඉන්නවා. ජෙසී දැනට ඉන්නේ කැනඩා වල. නදීල් නං පොලිටික්ස් කරනවා. ටැමී නං හැම හැමතැනම. අයේෂා ගැන නං මං ලොකුවට දන්නෑ. ආ.. අපේ ක්ලාස් එකේ වට්ස්ඇප් ගෲප් එකක් තියනවා එතන ඉන්නවා ක්ලාස් එකේ හිටපු අයගෙන් විසි දෙකක් විතර. ගොඩක් අය රටේ නෑ. සමහරු හොයාගන්න නෑ. ඔය ගෲප් එක උනත් හැදුණේ ටෙහාන්ගෙයි , ක්‍රිශාන්ගෙයි මරණ වලින් පස්සේ. “

මනුහස් මොහොතක් කල්පනා කර නැවත උමායා දෙසට හැරුණේය. 

” වට්ස්ඇප් ගෲප් එක මෑතකදි හැදුණා කියන්නේ එයාලා මීට කලින් සම්බන්ධකන් පැවැත්තුවෙ කොහොමද ?” 

” නෑ.. නෑ.. මං කිව්වේ මනුහස් , මේ නම දෙනා ඇරුණම ක්ලාස් එකේ හිටපු ගොඩක් අය අවුරුදු ගාණකින් අඳුරගත්තේ ඒ ගෲප් එකෙන්. මේ නම දෙනා නං මං දන්න තරමින් ඉස්කෝලෙන් අවුට් උනු දා ඉඳලා අද මේ වෙනකනුත් හොඳ යාලුවෝ වගේ හිටියා. අපි මැරි කරපු අලුත අපිට හනිමූන් ටුවර් එකක් ගිෆ්ට් කළා මයන්. මට මතක විදිහට රටවල් පහකට. අපි දෙන්නා මාස තුනක් විතර හැමතැනම ඇවිද්දා. එතකොට ක්‍රිශාන්ගේ ගෙස්ට් හවුස් එක ඕපන් කරන්නත් මයන් සෑහෙන්න උදව් කරලා තියනවා. ඇමැන්ඩ්‍රාට උනත් එහෙමයි. ඇමැන්ඩ්‍රාට නං සෑහෙන්න ප්‍රශ්න තිබුණා. වතාවක් ඇමැන්ඩ්‍රා ඩ්‍රග්ස් අරන් ඉද්දි මොකක් හරි පොලිස් කේස් එකක් වෙලා ටෙහානුයි , මයනුයි තමයි මොනාහරි කරලා ඇමැන්ඩ්‍රාව ඒකෙන් බේරගත්තේ . ඇමැන්ඩ්‍රා ඩ්‍රග්ස් යූස් කරනවා කියලා ටෙහාන්ට කියලා තිබ්බේ ටැමී. ටැමීට නිතරම කල්බ්ස් වලදි ඇමැන්ඩ්‍රාව මීට් වෙලා තිබ්බා . “

” ඔය ටැමී කියන කෙනාව කොහෙන්ද හම්බෙන්න පුලුවන් ?” 

” ඒක නං හරියටම කියන්න බෑ මනුහස්. ටැමී ඉස්කෝලේ යන කාලේ වත් ටැමී හිටියේ කොහෙද කියන්න අපි හරියට දැනන් හිටියේ නෑ. ටැමී පුංචි කාලෙමයි එයාගේ අම්මයි , තාත්‍තයි ඩිවෝස් වෙලා තිබුණේ. ටැමී හිටියේ තැනින් තැන. කාලෙකට අම්මා ලඟ. කාලෙකට තාත්තා ලඟ. කොයි තරං සල්ලි තිබ්බත් ඒ මිනිස්සු දෙන්නත් ගෙයක් දොරක් හදාගෙන පිළිවෙළකට ජීවත් උනේ නෑ. හැමතැනම රෙන්ට් එකට හිටියේ. අද ඉන්නේ තැනක . හෙට ඉන්නේ තව තැනක. ටැමීට අම්මගෙනුයි , තාත්තගෙනුයි ලැබුණේ සල්ලි විතරයි . අපේ ඉස්කෝලේ ඒ කාලේ හිටපු පේරන්ට්ස්ලා සල්ලි විතරක් නෙමෙයි වැදගත්කමත් හරි ලොකුවට බැලුවා. ඒවා නං මහ පිස්සු වැඩ. හැමෝම හැංගිලා කරපු දේවල් ටැමීගේ අම්මයි , තාත්තයි එළි පිට කළා. තමන්ගේ නම සවුත්තු වෙයි කියලවත් එයාලා පුතා ගැන හරියට බැලුවේ නෑ. 

හැබැයි ඕක අපේ ඉස්කෝලේ හිටපු සමහර පේරන්ට්ස්ලට දිරෙව්වේ නෑ. සල්ලි තිබ්බට කිසි වැදගත්කමක් නෑ කියන එක එයාලා ගොඩාක් තැන් වල ටැමීගේ ෆැමිලි එක සම්බන්ධයෙන් කියලා තිබ්බා. කට්ටියකට ඕන උනේ ටැමීව ඉස්කෝලෙන් අයින් කරන්න. හැබැයි ඒක හිතුව තරම් ලේසි උනේ නෑ. මොකද එතකොට හිටපු ප්‍රින්සිපල් සර් ටැමීගේ දුරින් නෑයෙක් උනා. ඒ වගේම මයන්ගේ අම්මා. මල්දෙණියලා තමයි ඒ දවස්වල ඉස්කෝලේ බර ගොඩාක් කරට අරන් කළේ. මල්දෙණිය ගෲප් එකෙන් ඉස්කෝලෙට සෑහෙන්න වියදම් කළා. මයන් දිගින් දිගටම ඒ දවස්වල අම්මගෙන් ඉල්ලලා තිබ්බා ටැමීව ඉස්කෝලෙන් අස් කරන්න එපා කියලා. මොකද ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක මොකක් උනත් ටැමී කියන්නේ හිත හොඳ කොල්ලෙක්. මයන් නැති උනු වෙලාවේ ටැමී සෑහෙන්න ශොක් වෙලා හිටියේ. මට හොඳට මතකයි ෆියුනරල් එක ඉවර වෙලා ටැමී සෑහෙන්න ඇඬුවා. “

උමායා එසේ පවසා නෙත්‍යා දෙස බැලුවාය . ඈ බොහෝ දුර කල්පනාවක ගැලී හිස බිමට බර කරගෙන සිටියාය .

” ඔය හැමෝම හරි හොඳ අය මනුහස්. කවුරුවත් වැරදියට ජීවත් වෙලා හිටපු අය නෙමෙයි. මට මතකයි මයන් ටෙහාන්ටයි , මටයි කතා කරලා නෙත්‍යා ගැන කිව්ව විදිහ. මචං.. මට බෝල ගෙඩියක් වගේ බෝනික්කෙක් හම්බුණා. මං ඒක අරගෙනම තමයි ආපහු කොළඹ එන්නේ. “

උමායා එසේ පවසමින් නෙත්‍යා දෙස බැලුවාය. ඈ හිස ඔසවා උමායා දෙස බලා ආයාසයෙන් සිනහවක් නැඟූ අතර යටැසින් මනුහස් දෙස බැලුවාය. ඔහු කට කොනකින් සමච්චල් සිනහවක් පා හිඳ සිටි සෝෆාවෙන් නැඟී සිටියේය  . 

” දන්නෙම නැතුව වෙලාව ගොඩක් ගියා උමායා. මං හෙඩ් ඔෆිස් යන්නත් ඕනේ. ඔයාට පුලුවන් නං මට ඔය ටැමීව මීට් වෙන්න පුලුවන් ක්‍රමයක් හදලා දෙන්න. “

” ඕකේ මනුහස්. මං ට්‍රයි කරන්නං “

” ගොඩාක් ස්තූතියි උමායා සපෝර්ට් එකට. මං ඇත්‍තටම මෙච්චර සපෝර්ට් එකක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ආවේ  “

” මමත් හිතුවේ නෑ මනුහස් ඉස්සරහා මට මෙච්චර ඕපන් වෙන්න ලැබෙයි කියලා. පරණ යාලුවෙක් මීට් උනා වගේ . “

උමායා එසේ පවසා සිනහ වූවාය. 

” මං ගිහින් එන්නං උමායා. මගෙ නම්බර් එක මිසිස් මල්දෙණිය ලඟ ඇති .”

මනුහස් අතේ තිබූ අව් කණ්ණාඩිය පැළැඳ ගන්නා අතරතුර නෙත්‍යා දෙස බලා එසේ පැවසූ අතර උමායාද නෙත්‍යා දෙස බැලුවාය . අව් කණ්ණාඩිය දෑසේ පළඳගන්නා මිලි තත්පරයේදී කිසිදු වග විභාගයකින් තොරව මනුහස් එක් වරම තමා දෙසට යා වුණු නෙත්‍යාගේ දෑස දෙස බලා ඇසක් ඉඟි මැරුවේය . කිසිදු මොහොතක එවැන්නක් බලාපොරොත්තු නොවූ නෙත්‍යා තිගැස්සී ගිය අතර අතේ තිබූ ජංගම දුරකතනයද ගිලිහී බිම වැටුණේය . මඳ සිනහවක් නැඟූ මනුහස් නිවසින් පිටතට අඩි තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here