කලුවර රෑ සඳක් වගේ – 60

0
961

මනුසත්ට තවමත් ඇඳෙන් නැගිටලා සාලයටවත් යන්න පණක් තිබුණේ නැහැ. 

කාමරේ හතර මායිමට කොටු වෙලා ඉන්න එක මනුස්සයෙක්ට මොන තරම් වධයක්ද කියලා මම දැනගෙන හිටියා. ඒ නිසාම මම තීරණය කළා මනුසත්ට පේන්න බැරි ලෝකය එයාගේ හිත අස්සට කන් දෙක හරහා අරන් යන්න. 

ඇත්තටම මිනිහෙක්ට තමන්ගේම ශරීරය ඇතුළේ හිරකාරයෙක් වෙන්න සිද්ධ වෙනවා කියන්නේ මරණයටත් වඩා දරුණු දඬුවමක්. හැමදාම දකින්නේ එකම දර්ශනේ, එකම ජනේලයෙන් පේන අහසින් බිඳක් විතරයි. එළියේ ලෝකය එක රිදම් එකකට ගලාගෙන යනවා, මිනිස්සු හිනා වෙනවා, කුරුල්ලෝ ඉගිල්ලෙනවා, පාරේ වාහන සද්ද ඇහෙනවා. ඒත් ඒ කිසිම දේකට හවුල් වෙන්න බැරුව, පැත්තකට හැරෙන්නවත් තව කෙනෙක්ගේ උදව් ඕන වෙනකොට දැනෙන ඒ අසරණකම මිනිහෙක්ව ඇතුළතින් දිය කරලා දානවා. මනුසත් වගේ හැමදාම අණ පනත් දීපු, රජෙක් වගේ හිටපු මනුස්සයෙක්ට මේ නිහඬ බව දරාගන්න බැරි තරම් බරක් වෙන්න ඇති. තමන්ගේ නිදහස කියන එක තත්පරෙන් තත්පරේ තමන්ගෙන් ගිලිහෙනවා දැනෙද්දී, ඒ හිත ඇතුළේ ඇති වෙන්නේ මහා හිස්තැනක්. මම එයාගේ ඇඳ අයිනෙන් වාඩි වෙලා හැමදාම හවසට පොත් කියවන්න පටන් ගත්තේ අන්න ඒ නිසයි.

“මනුසත්… ප්‍රයිස් ඇන්ඩ් ප්‍රෙජුඩයිස් පොතේ අපි නවත්තපු තැනින්ම අද පටන් ගන්නම් හොඳේ” මම පොත දිගහරින ගමන් ඇහුවා.

මනුසත් හෙමින් ඔළුව හෙලෙව්වා. එයාගේ ඇස්වල තිබුණේ මහා බලාපොරොත්තුවක්. මම එයාට බෙහෙත් ටික බොන්න දීලා, කොට්ටේ ටිකක් උස් කරලා තියලා කියවන්න ගත්තා.

“I cannot fix on the hour, or the spot, or the look or the words, which laid the foundation. It is too long ago. I was in the middle before I knew that I had begun.” කියන Pride and Prejudice පොතේ Mr. Darcy කියන කොටස මං හීන් සැරේ කියාගෙන ගියා.මනුසත් මගේ දිහා බලාගෙන හිටියේ ඒ වචනවල තේරුම මගේ හදවත ඇතුළේ කොහොම ලියවිලා ඇත්ද කියලා කියවන්න උත්සාහ කරනවා වගේ.

“ඔයා…දන්න…ව…ද…ඒකේ…තේරුම?”

“ඒකේ තේරුම මනුසත්… සමහර වෙලාවට අපිට බැහැ අපේ ජීවිතේ ලොකුම වෙනස්කම් සිද්ධ වුණේ හරියටම මොන මොහොතකද, කොතැනකද කියලා කියන්න. මම ඔයාට ආදරේ කරන්න ගත්තෙත් අන්න ඒ වගේ. ඒක පටන් ගත්තේ කොයි වෙලාවෙද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම ඒ ගැන දැනගන්නකොටත් මම ඒ ආදරේ මැද අතරමං වෙලා හිටියේ. හරියට ඔයා මට රිද්දන්න පටන් ගත්තෙත්, මම ඒ වේදනාවට පුරුදු වුණෙත් මටත් නොදැනිම වුණා වගේම තමයි.

අපි දෙන්නා මුණගැහුණෙත් අන්න ඒ වගේ මනුසත්. අපි පටන් ගත්තේ කොහොමද, වැරදුණේ කොතැනකද කියලා අද අපිට හොයාගන්න බැහැ. ඒක ගොඩක් ඈත අතීතයක් වගේ දැනෙනවා. දැන් අපි ඉන්නේ ඒ කතාවේ මැද. ඒත් මම අද තේරුම් ගන්නවා, වැරදි වෙලාවක වැරදි විදියට පටන් ගත්තත්, අපේ මේ අවසානය මනුස්සකමෙන් ලස්සන කරගන්න අපිට පුළුවන් කියලා”

“ලිහිණි…” මනුසත් මගේ කියවීම අතරතුරේදී හීන් හඬින් කතා කලේ එයාගෙ වෙව්ලන කටහඬ කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරන ගමන්.

 “ඇයි… ඔයා… මට… මේ තරම්… හොඳට සල..සලකන්න්…නේ?”

මම කියවන එක නතර කරලා එයා දිහා බැලුවෙ ඒ වචන එක්ක.. එයාගේ ඇස් දෙක පිරිලා තිබුණේ පසුතැවීමෙන්. මම හෙමින් හිනා වුණා. ඒ හිනාව ඇතුළේ පරණ කේන්තියක්වත්, වෛරයක්වත් තිබුණේ නැහැ.

“මම ඔයාට හොඳ වෙන්නේ ඔයා මට කරපු දේවල් අමතක කරලා නෙවෙයි මනුසත්, ඔයා මට සෑහෙන හොඳින් සලකපු මනුස්සයෙක්. මට ඒක කවදාවත් අමතක කරන්න බෑ.” මම බොහොම සන්සුන්ව කිව්වා. “ඒත් මම තේරුම් ගත්තා, මනුස්සයෙක් වැටිලා ඉන්න වෙලාවක පරණ අකවුන්ට්ස් ක්ලෝස් කරන්න හදන එක මහා මෝඩ වැඩක් කියලා. අපි හැමෝම ජීවිතේ කොහේ හරි තැනකදී වරද්දගන්නවා. මට ඕනෙ නෑ ඔයාගේ වැරදිවල බර මගේ හිතේ පටවගෙන යන්න. මට ඕනේ මගේ හිත නිදහස් කරගන්න. ඔයත් එහෙමම හිතන්න මං කරපු වැරදිවල බර ඔයා ඔයාගෙ හිතේ පටවගෙන ඉන්න එපා”

“ඔයා… ගොඩක්… වෙනස්..වෙලා. ලිහිණි. මම… හිතුවේ… නැහැ… ඔයා… මේ තරම්… හයිය..මනුස්සයෙක්… කියලා.” මනුසත් අමාරුවෙන් වචන ගැළපුවා.

“හයිය වෙන්න වුණේ තත්වයන් එක්ක මනුසත්. ගෑනියෙක්ට තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ සන්තෝසෙට වඩා තමන්ගේ හෘද සාක්ෂිය වටිනවා කියලා දැනුණම. මම අද මෙතන ඉන්නේ මනුසත්ගේ වයිෆ් විදිහට නෙවෙයි. තවත් එක මනුස්සයෙක් විදිහට. ඔයාට ආයෙත් පණ ගහලා එන්න ලැබෙනවා දකින එක මට සැනසීමක්. ඒක මට මනුස්සකම ගැන ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩමක්.”

මම එයාගේ අත පිරිමදිමින් ආයෙත් පොත කියවන්න ගත්තෙ එහෙම කිව්වයින් පස්සෙ. මම කියවන හැම වචනයක්ම එයා හරිම ඕනෑකමකින් අහගෙන හිටියා. මම එයාට එයා මීට අවුරුදු ගානකට කලින් කියවලා තිබුන කතාව ආයෙ පාරක් අලුත් විදියකට කියවලා දෙද්දී මනුසත්ගේ මූණේ තිබුණේ අමුතුම සන්සුන් බවක්. එයාට ඕන වුණේ මම එයා ළඟින් ඉන්නවා දකින්න විතරයි කියලා මට තේරුණා.

“තිදස්…” මනුසත් එකපාරටම ඒ නම කිව්වෙ අන්න එහෙම මොහොතක. මගේ පපුව ගැස්සුණ බව ඇත්ත.

 “එයා… ඔයාට… ආදරෙයි… නේද?”

මම මොහොතක් නිහඬ වුණා. ඒ නම ඇහෙද්දී මගේ හිත ඇතුළේ පරණ තුවාලයක් ආයෙත් පෑරුණා වගේ දැනුණා. ඒත් මම කලබල වුණේ නැහැ.

“ඔව් මනුසත්. එයා මට ආදරෙයි. ඒත් ආදරේ කියන්නේ එකම දේ නෙවෙයි ජීවිතේ කියන්නේ. සමහර වෙලාවට අපිට ලැබෙන්න තියෙන ලොකුම දේවල් අතහරින්න වෙනවා, තව කෙනෙක් වෙනුවෙන් නේද” 

මනුසත් මගේ දිහා බැලුවේ හරියට අදහන්න බැරි කතාවක් කිව්ව කෙනෙක් දිහා බලනවා වගේ. මම එයාට රෑ බෙහෙත් ටික ලෑස්ති කරන ගමන් හිතුවා, ජීවිතේ කියන්නේ ඇත්තටම මාරම පරිවර්තනයක් කියලා. මම මේ නින්දා අපහාස, වේදනාවල් මැදින් ලබපු පන්නරය මාව වයසට වඩා පරිණත ගැහැනියක් කරලා ඉවරයි. 

“දැන් නිදාගන්න මනුසත්. හෙට අපි ආයෙත් පොත කියවමු.” මම ලයිට් එක ඕෆ් කරලා එළියට යන්න හැදුවා. එයා මගේ දිහා බලන් හිටියේ මහා කෘතගුණ පූර්වක බැල්මකින්. ඒ වෙලාවේ මට දැනුණේ මම මගේ ජීවිතේ ලොකුම සටන දිනලා ඉවරයි කියලා.

මම මනුසත්ගේ කොට්ටය ටිකක් උස් කරලා තියලා, එයාට වතුර උගුරක් පොවන ගමන් එයාගේ මූණ දිහා බැලුවා. ඒ මූණේ දැන් තියෙන්නේ ඉස්සර තිබුණ ඒ අහංකාර පෙනුම නෙවෙයි, තමන්ගේම වැරදිවලින් හෙම්බත් වුණු මනුස්සයෙක්ගේ පෙනුමක්.

“ලිහිණි… මට… හිතෙනවා… අපි… මුණගැහුණේ… නැත්නම්… හොඳයි කියලා,” මනුසත් හරිම හීන් හඬින් මිමිණුවා. එයා ඒක කිව්වේ මම එයාට කරදරයක් කියලා හිතලා නෙවෙයි, මට වෙච්ච අසාධාරණය ගැන හිතලා කියලා මට තේරුණා.

මම මනුසත්ගේ අත උඩින් මගේ අතක් තිබ්බා. මම ගැඹුරු හුස්මක් අරන් එයාගේ ඇස් දිහා බලාගෙන හිනා වුණා.

“එහෙම කියන්න එපා මනුසත්. මම දැන් හිතන්නේ අපි දෙන්නා කියන්නේ කවදාවත් මුණනොගැසී ඉන්න ඕනෑ දෙන්නෙක් නෙවෙයි. අපි කියන්නේ හරිම කාලෙදි මුණගැසුණේ නැති දෙන්නෙක් විතරයි. සමහර වෙලාවට ලෝකේ ඉන්න හොඳම මිනිස්සු දෙන්නෙක් වුණත් වැරදි වෙලාවකදී මුණගැහුණොත් ඒ දෙන්නා එකිනෙකාට විස සහිත මිනිස්සු දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේවත් මගේවත් වැරැද්දක් නෙවෙයි, ඒක කාලයේ වැරැද්දක්.”

මනුසත් මම දිහා පුදුමයෙන් වගේ බලන් හිටියා. මම කියපු දේ එයාට තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.

“අපි මුණගැහෙනකොට ඔයා හිටියේ ඔයාගේ පරණ බැඳීම්වලින් ඇතිවුණු තුවාලවලින් හෙම්බත් වෙලා. මම හිටියේ මගේම කියලා ලෝකයක් නැතුව අතරමං වෙලා. ඒ වගේ කාලෙකදී අපි එකතු වුණාම අපිට පුළුවන් වුණේ එකිනෙකාට රිද්දගන්න විතරයි. ආදරේ කරන්න නම් අපේ හිත් සුවපත් වෙලා තියෙන්න ඕනේ මනුසත්. අපි දෙන්නම එතනදී අසාර්ථක වුණා. ඒත් ඒ අසාර්ථකත්වය ඇතුළේ තමයි මම අද මේ ඉන්න ශක්තිමත් ගැහැනිය බවට පත් වුණේ.”

“ලිහිණි… මට… ඔයාව… තේරුම්… ගන්න… බැරි වුණා,” මනුසත් කිව්වෙ පසුතැවීමෙන්.

“ඒක දැන් ඉවරයි මනුසත්. ඔයාව මට මුණගැහුණේ මනුස්සයෙක් විදිහට මට මාවම පරීක්ෂා කරගන්න ලැබුණ ලොකුම විභාගය විදිහටයි. තිදස් එක්ක මම දකින හීනවලට වඩා, මේ වෙලාවේ මගේ හෘද සාක්ෂිය ඉස්සරහා මම කරන මේ කැපකිරීම මට වටිනවා. මොකද මම දැනගෙන හිටියා මම ඔයාව මෙහෙම දාලා ගියොත්, මම කොහේ ගියත් මගේ හිත ඇතුළේ වැරදිකාරයෙක් ජීවත් වෙයි කියලා. මට ඕනෙ වුණේ නෑ ඒ පව කරගහන්න. අපි මුණගැහුණේ වැරදි වෙලාවක වුණත්, ඒ මුණගැසීම තමයි මට ජීවිතේ නියම තේරුම ඉගැන්නුවේ.”

මනුසත් මුකුත් නොකිය මගේ අත තද කරලා අල්ලගත්තා. 

මම දැක්කා එයාගේ ඇස් කොණක කඳුළක් දිලිසෙනවා. මම හෙමින් නැගිටලා ජනේලය ළඟට ගියා. එළියේ අන්ධකා‍රෙ පැතිරෙන ගමන් තිබුණත්, මගේ හිත ඇතුළේ තිබුණේ මහා සැනසීමක්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here