රත්‍රී දොළහ කණිසමට ආසන්නය. රෙඩ් චිලී රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වූ දේහදාරී කඩවසම් තරුණයා එහි වූ මේසයක් අසල හිඳ ගෙන මත්පැන් වීදුරුවක් තොළ ගාමින් සිටියේය. ඝෝෂාකාරී සංගීතයත් , අඳුරු වාපිටාවේ දැල්වෙන පැහැදිලි නොවන නොයෙක් වර්ණ වල තද පැහැ ආලෝක ධාරාවනුත් අතරින්, බීමතින් මෙන්ම අසිහියෙන්ද කෑගසමින් , නටමින් සිටින තරුණ තරුණියන් අතරින් තම දෑස එහා මෙහා යවමින් සිටි දේහදාරියා ඒ අතරින් කිසිවෙකු හෝ සොයමින් සිටියේය .
සූක්ශම අපරාධ මෙහෙයවන දක්ෂ පොලිස් නිලධාරීයෙකු වූ මනුහස් විජේවර්ධන පොලිසිය අතර පමණක් නොව ඊට හාත්පසින්ම විරුද්ධ ක්ෂේත්‍ර වලද බොහෝ ප්‍රසිද්ධියක් උසුලාගෙන සිටියේය. ඒ නිසාම මෙහි ඇතුළු වූ මොහොතේ පටන්ම ඔහු වෙත දෑස් කිහිපයක්ම යොමු වී තිබුණේය . තමාගේ දෑස සමාජ ශාලාවේ සිටි පිරිස අතර සුපරික්ෂාකාරීව එහා මෙහා සැරිසරන්නේ යම් සේ ද ඒ ආකාරයෙන්ම විචක්ෂණශීලී දෑස කිහිපයක්ම තමා දෙසට යොමුවී ඇති බව හොඳින් තේරුම් ගෙන සිටි දේහදාරියා මත්පැන් වීදුරුව හිස් කර මේසය මතින් තබා හිඳ සිටි අසුනෙන් නැඟී සිටිමින් සමාජ ශාලාවේ දෙවන මහළ කරා තිබූ ලී තරප්පු පෙළ නඟින්නට පටන් ගත්තේය.
සිහින් උර පටි යෙදූ රත් පැහැ කෙටි ගවුමක් හැඳ සරාගී අන්දමින් තරප්පු පෙළ බැස එමින් සිටි තරුණියක් වහ වහා මනුහස් දෙසට ළං වූයේය.
” කොහෙද සර් මේ හති දාගෙන දුවන්නේ ? මාත් එක්ක යන්කෝ ඔය කලබලේ මං නිවලා ගන්නම්. “
රත් පැහැ ගැන්වූ දිගු නියපෙළක් සහිත දකුණතේ දබරැඟිල්ල මනුහස්ගේ පපුව මත තැබූ ඈ ඔහුගේ මුව අසලටම ළං වී පැවසුවේය.
” එන්නනං පුලුවන් . හැබැයි දැන් යන්නේ වෙන වැඩකට. ඔයාට කියන්න පුලුවන්ද ටැමීව මුණ ගැහෙන්නේ කොහොමද කියලා ?”
මනුහස්ද තරුණියගේ මුව දෙසට තවත් ළං වී පැවසූ අතර ඇගේ මුහුණ මඳක් අඳුරු වී ගොස් ඈ ක්ෂණිකව ඔහුගෙන් මෑතට වුණාය.
” එහෙම කෙනෙක් දන්නෑ..”
තරුණිය දෙස බලා කට කොනකින් සමච්චල් සිනහවක් නැඟූ මනුහස් ඈ පසු කර නැවතත් තරප්පු පෙළ නැඟ දෙවන මහළ කරා ගියේය.
” වෙයා ආ යූ ගොඉන්ග් බොස් ?”
ආරක්ෂක නිලධාරියෙකු සේ හැඳ පැළැඳගත් අඩි හයක් උසැති දේහදාරියාටත් වඩා උස මහත නයිජීරියානු ජාතිකයෙක් මනුහස්ගේ මඟ හරස් කරමින් ප්‍රශ්න කරමින් සිටියේය.
” අයි වෝන්ට් ටු මීට් ටැමී ”
” නෝ.. නෝ.. නෝ ටැමී හියර්..”
නයිජීරියානු ජාතිකයා කැඩුණු ඉංග්‍රීසියෙන් මෙන්ම දෑතින්ම නැත යනුවෙන් සංඥා කරමින් මනුහස්ව යළි හරවා යවන්නට උත්සාහ කළේය. නමුදු ඔහුව මායිම් නොකළ මනුහස් ඉදිරියට තවත් අඩි කිහිපයක් තැබුවද වහා අඩි තබා ඔහු පසු පස ආ නයිජීරියානු ආරක්ෂකයා මනුහස්ගේ උරහිසකට අතක් තැබුවේය.
” හේයි.. මෑන්.. අයි ටෝල්ඩ් යූ…”
තම උරහිස මත රැඳි අත දෙස කෝපාවිශ්ටව බැලූ මනුහස් වහා නයිජීරියානුවා වෙතට දෑස විතැන් කළේය. මනුහස්ගේ දෑසේ රැඳි අප්‍රමාණ කෝපය දුටු ඔහු වහා ඔහුගේ අතක් ඉවතට ගත් අතර එක් වරම පසෙක තිබූ දොරක් විවර කරමින් තවත් පුද්ගලයින් තිදෙනෙකු වහා එතැනට පැමිණියහ.
” මොකද මොකද මේ වෙන්නේ ?”
ඉන් එකෙකු ගෝරනාඩුවක් කරමින් වහා ඉදිරියට ආවේය.
” මොකද්ද ලොක්කා වෙන්නෝනේ ? “
ඔහු තව දුරටත් එසේ පවසමින් මනුහස් දෙසට හැරුණේය .
” මං ආවේ ටැමීව මීට් වෙන්න ”
මනුහස්ගේ කෝපාවිශ්ට දෑස ඉන්පසුව විතැන් වූයේ එකී පුද්ගලයා දෙසටය .
” ටැමී බොස් මෙහෙ නෑ. ලොක්කා ආපු විදිහටම ආපහු යන්න. “
ඔහුගේ ආඩම්බරකාර වචන මනුහස්ගේ සිතෙහි කෝපය තවත් වැඩි කිරීමට සමත් වූයේය.
” නැත්තන් එන්න කියනවා. මං අද මිනිහාව හම්බෙලාම තමා යන්නේ. “
මනුහස් දෙස සමච්චල් සිනහවක් නඟමින් බැලූ ඔහු ඉන් පසුව යළිත් නයිජීරියානුවා දෙසට හැරුණේය .
” මෙන්න මූව එළියට ඇදලා දානවා. “
ඔහුගේ වචනය පිට වූ සැණින් ඉදිරියට ආ නයිජීරියානුවා යළිත් වතාවක් මනුහස්ගේ උරහිස මතට අතක් තැබූ අතර එතෙක් සිතෙහි පැවති කෝපය දෙතුන් ගුණයකින් ඉහළ ගිය මනුහස් ක්ෂ්ණිකව හැරී නයිජීරියානුවාගේ අත අල්ලා පසුපසට ඇඹරුවේය . වේදනාවෙන් කෑගසන නයිජීරියානුවාගේ අත තව තවත් ඇඹරූ මනුහස් ඔහුගේ කෑගැසීම දැක සිනහවන්නට පටන් ගත්තේය.
” මං මනුහස් යකෝ. මනුහස් විජේවර්ධන. උඹ කවුද මගේ ඇඟට අතක් තියන්න. “
මනුහස් කෑගසන නයිජීරියානුවාගේ අත අතනොහැරම එසේ පැවසූ අතර එක් වරම පසුපසින් ඔහුගේ හිස මත තැබූ පිස්තෝලයක් නිසා ඔහු මඳකට සන්සුන් වී සෙමින් නයිජීරියානුවාගේ අත අත හැරියේය .
” තෝ මොකෙක් උනත් අපිට වැඩක් නෑ. මේක අපේ තැන. මෙතනට එන එක එක හු#$&& ට මෙතන නටන්න දෙන්න බෑ. “
පසුපස සිට මනුහස්ගේ හිසට පිස්තෝලයක් තද කරමින් සිටි පුද්ගලයා ඔහුගේ කනට ළං වී එසේ පැවසූ අතර නයිජීරියානුවා අත මිට මොළවා මනුහස්ගේ කම්මුලට පහරක් ගැසුවේය. එක් වරම මුහුණ අනෙක් පසට හැරවුණු මනුහස්ගේ දෙතොළින් ලේ බිඳු කිහිපයක් ගලා හැලෙන්නට පටන් ගත්තේය. යළිත් ක්ෂ්ණිකවම මනුහස්ගේ පසුපස සිටි කිසිවෙකු හෝ ඔහුගේ හිසට දරුණු පහරක් ගැසූ අතර ඒ කිසිවෙකුද කියා පසුපස හැරී බැලීමට ඉඩක් හෝ නොතැබූ තවත් අයෙක් යළි පා පහරක් මනුහස්ගේ කොන්දට එල්ල කළේය. ලේ බිඳු ගලන දෙතොළිනුත් , ඇදුම් කන හිසිනුත් සිටි මනුහස් වහා පය පැකිළී බිම වැටුණු අතර තවත් කිසිවෙකු විසින් යළිත් පා පහරක් ඔහුගේ යටි බඩ පෙදෙසට එල්ල කළේය . එවිටම ඔවුන් සියළු දෙනාම ඉදිරියේ තිබූ තවත් දොරක් විවර වූ අතර මනුහස්ගේ ගෙල පසුපසින් අල්ලා ගත් එක් පුද්ගලයෙක් ඔහුව එහි ඇතුළට තල්ලු කර දැමූවේය . රත් පැහැයෙන් වර්ණ ගැන්වූ සෝෆාවක් මත හිඳ සිටි කිසිවෙකුගේ හෝ ඉදිරියට ගොස් ඔහු ඇද වැටුණේය. මනුහස් වහා හිස ඔසවා ඉදිරිය දෙස බැලුවේද සෝෆාවේ හිඳ සිටි කාන්තාවක් වහා කෑගසමින් ඔහු ඉදිරියේ බිමට බරවුණේද එක වරමය …
” මනූ…! මනූ… !”
තවමත් ලේ බිඳු වෑහෙන දෙතොළින් සිටි මනුහස්ගේ මුහුණ දෝතින්ම අල්ලා ගත් නෙත්‍යා බය බිරාන්ත වී ඔහු අසලම බිම හිඳගෙන සිටියාය. ඊට සාපේක්ෂව සෝෆාවේ හිඳ සිටි පුද්ගලයාද කලබල වෙනු දුටු මනුහස් ඔහු දෙස හොඳින් බැලුවේය. උසින් අඩි පහක් හා අඟල් කිහිපයක් උස ඔහු සිරුරෙන් මඳක් තරබාරු මිනිසෙකු විය. දකුණතත් , ගෙලත් පුරාම නොයෙක් ආකාරයේ ටැටූ මඟින් ආවරණය කර තිබූ ඔහු එක් කනක කරඹු යුගළයක් පැළැඳ සිටියේය. මිලි තත්පරයකදී ඔහුගේ සම්පූර්ණ හැඩ රුව සිතට ගත් මනුහස් යළිත් වික්ශිප්තව තම දෙකම්මුල් අල්ලා බලා සිටින නෙත්‍යා දෙසට හිස හැරවුයේය. මොහොතක් ගත වන විට වික්ශිප්ත දෑස රෞද්‍ර කරමින් නැඟී සිටි ඈ මනුහස් පසු පස සිටගෙන සිටි එක් පුද්ගලයෙකුගේ කම්මුලකට අත දිග හැර අතුල් පහරක් එල්ල කර වේගයෙන් හුස්ම ඉහළ පහළ දැමුවාය.
කිසිදිනක නොදුටූ නෙත්‍යාගේ එම හැසිරීම කෙරෙහි පුදුමයෙන් බලා සිටි මනුහස් පොළොව මතින් නැඟිටීමට උත්සාහ දැරූ අතර වහා පහත් වූ නෙත්‍යා ඔහුට තමා අසල සෝෆාවෙන් හිඳ ගැනීමට උදව් කළාය. නෙත්‍යාගේ හැසිරීම වික්ශිප්ත දෑසින් බලා සිටි සෝෆාවේ හිඳ සිටි පුද්ගලයා ඉන් නැඟී සිට ඈ දෙසත් , මනුහස් දෙසත් බියෙන් බලා සිටියේය .
” නංගි දන්නවද මෙයාව .. ?”
” මේ මනූ.. ම… මනුහස් .. මනුහස් විජේවර්ධන. මේ කරන්නෙත් මල්දෙණිය ගෲප් එකේ වැඩක් තමා. ගෲප් එකේ කිව්වට අම්මගේ වැඩක්. අම්මගේ පර්සනල් වැඩක් “
නෙත්‍යාගේ ස්වරය උච්ච වී තිබුණේය . නෙත්‍යා පැවසූ දේ ඇසුණු සෝෆාවෙන් නැඟී සිටි පුද්ගලයාගේ මුහුණින් පුදුමය ඉවත් වී බියක් පෙන්නුම් කරන්නට පටන් ගත්තේය.
” මුං.. මුං එකෙක්වත් තියාගන්න බෑ. ඔක්කොම අයින් කරලා දාන්න. ඔක්කොම.. මේ දැන්ම.”
නෙත්‍යා දබරැඟිල්ල දිගු කොට මනුහස් පසුපස සිටි පිරිසට කෑ ගැසූ අතර , ඇගේ කෑගැසීමෙන් ඔවුන් සේම සෝෆාවේ හිඳ නැඟී සිටි පුද්ගලයාද තව දුරටත් කලබල වූහ.
” නංගි.. නංගි.. මේ අහන්නකෝ..”
” අනේ.. මැඩම් .. මැඩම් .. එහෙම කරන්නෙපා… !”
සියල්ලෝම ඇය ඉදිරියේ පිණ්සෙණ්ඩු වන්නට පටන් ගත් අතර කිසි දිනක නුදුටුව රුවැත්තියගේ වෙනස්ම පැති කඩක් දකිමින් සිටි මනුහස් දකුණතේ මහපටැඟිල්ලෙන් තම දෙතොළින් බේරී යන ලේ බිඳු පිසලමින් සෝෆාවට බර වී බලා සිටියේය.


