කලුවර රෑ සඳක් වගේ – 62

0
130

ඉස්පිරිතාලේ ගඳට මම ඉස්සර ඉඳලම කැමති වුණේ නෑ.

 ඒත් මනුසත්ව ඇම්බියුලන්ස් එකෙන් දාගෙන ඇවිත්, රෝද කැරකෙන සද්දෙත් එක්ක ඒ පටු කොරිඩෝ දිගේ ට්‍රොලිය තල්ලු කරගෙන දුවද්දී මට ඒ ගඳ ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මනුසත්ව රතු එළියක් දැල්විච්ච බර යකඩ දොරවල් දෙකකින් ඇතුළට අරන් ගියාට පස්සේ, මම ඒ දොර ඉස්සරහා නිකම්ම නිකම් ගලක් වගේ තනි වුණා. මගේ ඇඟ පුරාම තිබුණේ මනුසත්ගේ දාඩියයි, බෙහෙත් ගඳයි එක්කහු වෙච්ච අමුතුම සුවඳක්. මම මගේ අත් දෙක දිහා බැලුවා. ඒ අත් දෙක වෙව්ලනවා. ඒත් ඒකට හේතුව බයද එහෙමත් නැත්තම් මම අද දවසටම මුකුත් කාලා නැති එකද කියන්න මම දැනගෙන උන්නෙ නෑ.

ඉස්පිරිතාලයක් කියන්නේ මහා පුදුම තැනක්. මෙතන තියෙන සුදු බිත්ති දහස් ගණනකගේ බලාපොරොත්තුයි, තවත් දහස් ගණනකගේ මරණාසන්න සුසුම්වලයි සාක්කි කාරයො. මම එතන තිබුණු පරණ ලී බංකුවක කෙළවරක වාඩි වුණේ ඇත්තටම මගෙ කකුල් පණ නැති වීගෙන එනවා වගේ දැනිච්ච හන්දා. සෙනඟ පිරිලා හිටියත් මට දැනුණේ මම විතරක් මේ ලෝකේ තනි වෙලා වගේ හැඟීමක්. ටික වෙලාවකින් නැන්දම්මායි, මන්දාරායි, භානුකීයි එතනට ආවා. තමන්ගෙ මනුස්සයා අසනීප වෙලා ඉද්දි තමන්ගෙ කියලා කෙනෙක්ව දකින්න ලැබෙන එක ගෑනියෙක්ගෙ හිතට මහ ලොකු වාරුවක් උනාට මට ඇත්තටම ඒ තුන් දෙනා දැක්කම හිතට මහ බරක් තව අලුතෙන් ඇඩ් උනා විතරයි. හරි නම් වෙන්නෝන මං ලඟින්  වාඩිවෙලා හිත සනසන වචනයක් දෙකක් කියන එක උනත්, මනුසත්ගෙ අම්මයි මන්දාරායි දෙන්නම කරේ මට ඇහෙන්නම ආයෙත් මගේ මූසලකම ගැන කියවන්න ගත්ත එක.

“දැන් සතුටු ඇතිනේ තමුසෙට? මගෙ පුතාගෙ ජීවිතේ විනාසම කරලා දැම්ම මූසලී!” මනුසත්ගෙ අම්මා එයාගේ හෑන්ඩ් බෑග් එක බංකුව උඩට විසි කළේ මාව හපා කන්න වගේ බලලා.

මම මුකුත් කිව්වේ නෑ. මම බලාගෙන හිටියේ නර්ස්ලා, දොස්තරලා ඒ මේ අත දුවන දිහා. සමහරු හිනාවෙලා කතා කරනවා, තවත් සමහරු අඬනවා. ඒ හැමෝම මැද්දේ මට දැනුනෙ මම මේ ඉන්නේ මගේ ජීවිතේ අමාරුම විභාගය ලියන හෝල් එකේ කියලා මට හිතුණා. මනුසත්ගේ ජීවිතේ බේරෙනවද නැද්ද කියන එකට වගේම, මගේ හෘද සාක්ෂියෙන් මට බේරෙන්න පුළුවන් වෙයිද නැද්ද කියන එකත් මං ඇත්තටම ඒ වෙලාවෙ කල්පනා කරා. පැය ගාණක් ගෙවිලා ගියේ ඒ විදියට. ICU එකේ දොර ඇරුණු හැම වෙලාවකම මගේ පපුව ගැස්සුණා. මම මනුසත්ගේ නීත්‍යානුකූල වයිෆ් වුණත්, “මනුසත් කියන පේශන්ට් ගෙ කවුද ඇවිල්ලා ඉන්නේ?” කියලා ඇහුවම මම නැගිටින්න කලින් නැන්දම්මා ඉස්සර වුණා. මම පැත්තකට උනේ ඒ හන්දා වුණා. මම දන්නවා, මේ ලේ නෑයෝ ඉස්සරහා මම තවමත් අයිතියක් නැති, නිකම්ම නිකම් දෙවැනි කසාදේ ගෑණි විතරයි කියලා.

“පේෂන්ට්ගේ කන්ඩිෂන් එක ක්‍රිටිකල්. හාර්ට් එක ගොඩක් වීක් වෙලා… අපි උපරිමය කරනවා,” දොස්තර කියන වචන මට ඇහුනෙ ඈතින් වගේ.

නැන්දම්මා විලාප තියන්න ගත්තෙ ඕන් ඔය වචනවලට. මන්දාරා තාත්තාගේ නම කිය කියා ඇඬුවා. ඒ හැමෝම මැද්දේ මම හිටියේ පුදුම නිහඬතාවයකින්. මට ඕන වුණේ නැහැ ඒ රඟපෑමට හවුල් වෙන්න. මම මනුසත්ට තවදුරටත් ආදරේ කළේ නැහැ, ඒක ඇත්ත. ඒත් මම ඒ මනුස්සයාගේ අසරණකමට ගොඩක් අනුකම්පා කළා. මම ඒ බංකුවේ වාඩි වෙලා මගේ අත් දෙක දිහා බලාගෙන හිටියෙ මනුසත් නැති ලෝකයක් අස්සෙ මට ලැබෙන තැන මොකද්ද කියන එක හිතාගන්න බැරි වෙච්ච හන්දා. මේ අත් දෙකෙන් මම මනුසත්ට සාත්තු කළා වගේම, මේ අත් දෙකෙන්ම මම මගේ සතුටත් අතෑරලා තිබුණා කියන එක මට තේරුනේ ඉස්පිරිතාලෙ ඒ බංකුව උඩ වාඩිවෙලා කල්පනා කර කර ඉද්දි.

“තාත්තිට මොනා හරි උනොත් මම මරාගෙන මැරෙනවා තාත්තිට මෙහෙම කරපු ඈයන්ව” කියලා මන්දාරා කියද්දි මං ජීවිතේ පලවෙනි වතාවට භානුකීගෙ රූපෙ වෙනුවට මන්දාරා ඇතුලෙන් දැක්කේ මනුසත්ගෙ අම්මව. ඔය වචන මනුසත්ගෙ අම්මගෙ කටෙන් එලියට ඇවිල්ල මන්දාරාගෙ හිත අස්සෙ පැලවෙච්ච ඒවා බව මට තේරුං ගන්න අමාරු උනේ නෑ.

“මමත් ලේසියෙන් අතාරින්නෙ  නෑ.හිතාගෙන ඇත්තෙ අපි පුතා නැති දවසක මේ හැමදේම ලේසියෙන් අතාරිවි කියලා වෙන්නැති” කියලා නැන්දම්මා කියද්දි මට ඇත්තටම බකස් ගාලා හිනා ගියා.

“තමන්ගෙ මනුස්සයා ඉස්පිරිතාලෙ ඇඳක් උඩ පත බෑවිලා ඉද්දි කොහොමද ළමයො තමුං ඔහොම හිනාවෙන්නෙ ඈ” කියලා ඒ මනුස්සයා මගෙන් අහද්දි මට ඇත්තටම ඒ ප්‍රශ්නෙම එයාගෙන් අහන්න තිබුණා නේද කියන එකත් කල්පනා උනා.

“හරි නම් මං අම්මගෙන් අහන්නොන දෙයක් නෙ අම්මා ඔය මගෙන් අහන්නෙ”

“මොකද්ද මොකද්ද ඒ කතාවෙ තේරුම?”

“ඒ කතාවෙ තේරුම තමයි මනුසත් තාම ඉන්නෙ ලෙඩ ඇඳේ. මං බලාගෙන ඉන්නෙ මනුසත් සනීප වෙනකම්. ඒ උනාට අම්මලා බලාගෙන ඉන්නෙ මේ මනුසත් මැරෙනකම් නෙ. අනේ මන්දන්නෙ නෑ ඔච්චර ආදරේ නම් අම්මලා කොහොමද මනුසත් ගැන ඒ විදියට හිතන්නෙවත් කියලා.  මම බලාගෙන ඉන්නේ ඒ මනුස්සයා කොහොම හරි මේ ඇඳෙන් නැගිටලා ආයෙත් ගෙදර එනකම්. ඒ වුණාට අම්මලා දැන්මම මනුසත් මැරුණා වගේ රඟපාන ගමන්, ඒ මනුස්සයා නැති දවසක දේපළ බෙදාගන්න හැටි ගැන කතා කරනවා. අනේ මන්දා අම්මේ, තමන්ගේම දරුවා ගැන ඔය වගේ මරණ බලාපොරොත්තු තියාගෙන ඉන්න එක අම්මා කෙනෙක්ට කොහොම දැනෙනවද කියලා මට නම් හිතාගන්නවත් බැහැ”

“අම්මා කම කරන හැටි ගැන මට කියලා දෙන්න එන්නෝන නෑ ඔය ළමයා. තමුන් හිතාගෙන ඉන්නෙ මම මගෙ දරුවට ආදරේ නැතුව මේවා කතා කරනව කියලද?”

“ආදරේ? ආදරේ කරන මිනිස්සු මරණෙ ගැන ප්ලෑන් ගහන්නේ නෑ අම්මේ. මන්දාරා මෙතන මරාගෙන මැරෙන කතා කියන්නේ අම්මා ඒ දරුවාගේ ඔළුවට වෛරෙ පුරවලා තියෙන හන්දා. මනුසත් මේ ඉස්පිරිතාලෙ ඇඳ උඩ ඉඳන් අමාරුවෙන් හරි ඇස් ඇරලා බැලුවොත්, එයාට පේන්නේ එයා සනීප වෙනකම් බලන් ඉන්න මාවද, නැත්නම් එයා මැරුණට පස්සේ කාර් එකයි ගෙදරයි සල්ලියි බෙදාගන්න බලන් ඉන්න අම්මලවද?”

ඇත්තටම මම ඒ වචන ටික කියද්දි මට දැනුණේ මහා ලොකු බරක් මගේ පපුවෙන් නිදහස් වුණා වගේ. ඒත් නැන්දම්මා ඒක ලෙහෙසියෙන් අතාරින්න නෙවි උන්නෙ. එයා මගේ දිහා බැලුවේ හරියට මම තැන බලලා ඇණේ ගැහුවා වගේ.

“තමුන් මොනවා දන්නවද දරුවෙක්ට තියෙන ආදරේ ගැන? තමුන්ට දරුවෙක් ඉන්නවද මේ වේදනාව දැනෙන්න? මගේ මනුසත්… මම කොච්චර හීන දැක්කද මගේ පුතා ගැන. ඒ සේරම විනාශ වුණේ තමුන්ගේ මූසලකම මේ ගෙදරට වැටුණු දවසේ ඉඳන්!” නැන්දම්මා ආයෙත් පරණ තැටියම වාදනය කරන්න ගත්තෙ හරියට මං කිව්ව දේවල් වලින් කුලප්පු වෙලා වගේ.

ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ නැන්දම්මා ගැන තරහකට වඩා ලොකු අනුකම්පාවක්.

“අම්මේ… දරුවෙක් නැති වුණාට මාත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්. එදාට වඩා අද අම්මා මේ මරණෙ ගැන බය වෙන්නේ මනුසත් ගැන තියෙන ආදරේට වඩා, ඒ ලැබෙන සල්ලි ටික නැති වෙයි කියන බයට නේද?මනුසත් නැති දවසක අම්මට දේපල හරි ඉතුරු වෙයි. ඒත් මට ඉතුරු වෙන්නේ තනිකම විතරයි නේද. එහෙම දැනගෙනත් මම මනුසත් වෙනුවෙන් මෙතන ඉන්නවා නම්, කවුද ඇත්තටම මනුසත්ට ආදරේ කරන්නේ කියලා අම්මා පොඩ්ඩක් හිතලා බලන්න.”

මන්දාරා මගේ දිහා බලන් හිටියේ නිකන් මම දිහා තරහකාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ. පවු… ඒ දරුවා දන්නේ නැහැනේ වැඩිහිටියො එයාගේ ඔළුවට කොච්චර වස පුරවලා තියෙනවද කියලා. ඒ හන්දා මම ඒ ළමයා දිහා තරහෙන් බැලුවෙ නෑ.

“තාත්ති… තාත්ති මැරෙන්නේ නැහැ!” මන්දාරා ඉකිගහන්න ගත්තෙ ඒ වෙලාවෙ.

“ඔව් මන්දාරා… තාත්තා මැරෙන්නේ නෑ. මම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකමයි. හැබැයි තාත්තා සනීප වෙලා ආවම, එයාට ආයෙත් පරණ ප්‍රශ්නවලට ෆේස් කරන්න ඉඩ දෙන්න එපා. අන්න ඒකයි දුවෙක් විදිහට ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ,” මම මන්දාරාගේ ඔළුව අතගාන්න හැදුවත් එයා අහකට වුණා

ඒ වෙලාවේ ICU එකේ දොර ඇරුණා. 

නර්ස් කෙනෙක් කලබලෙන් එළියට ඇවිත් දොස්තර කෙනෙක්ට කතා කරනවා මම දැක්කා. මගේ පපුව හෝස් ගාලා පත්තු වුණ එක සාධාරණයි. නැන්දම්මායි, මන්දාරායි දොර ළඟට දිව්වේ කලබලෙන්. ඒත් මම එතැනම නතර වුණා. මට දැනුණා මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා කියලා.

“මනුසත් කියන පේශන්ට්ගෙ වයිෆ් කවුද?” 

“මම… මම තමයි එයාගේ අම්මා!” නැන්දම්මා ඉස්සර වුණා.

“නැහැ, මම ඇහුවේ වයිෆ් කවුද කියලා. එයාට විතරයි දැනට ඇතුළට යන්න පුළුවන්”

මම නැන්දම්මා දිහා බැලුවා.

 ඒ මූණේ තිබුණේ මහා පරාජිත බවක්.

 මම හෙමින් ICU එක ඇතුළට ගියේ මගේ හදවතේ ගැස්ම මටම ඇහෙන තරම් හයියෙන් ගැහෙද්දි මනුසත් ඇස් ඇරලා මම දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ මම කවදාවත් දැකපු නැති මහා සැනසීමක්. 

තමන්ට ආදරේ කරන අය සල්ලි පස්සේ දුවද්දී, තමන්ට වෛර කරන්න ඕන ගෑණියෙක් තමන්ගේ පණ බේරගන්න සටන් කරනවා දැක්කම මනුසත්ට මොනවා හිතෙන්න ඇතිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here