කලුවර රෑ සඳක් වගේ – 63

0
903

ICU එක ඇතුළේ තිබුණේ මහා මූසල නිහඬතාවයක්.

 මැෂින්වලින් ආව බීප් සද්දේ විතරක් ඒ නිහඬතාවය බිඳලා දැම්මා. මම හෙමින් මනුසත්ගේ ඇඳ ළඟට ගියා. එයා අමාරුවෙන් ඇස් ඇරලා මම දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති මහා සැනසීමක් වගේම ලොකු සමාව අයැදීමක්. මම එයාගේ සීතල වෙච්ච අතක් හෙමින් අල්ලගත්තෙ එයාව කම්ෆර්ට් කරන්න ව්ගැඑ.

“ලි…හි…ණි…” එයා හරිම හීන් හඬින් මගේ නම කිව්වා. කිව්වා නෙවි ඇත්තටම කියන්න උත්සහ කරා. මම මගේ කන එයාගේ තොල් ළඟට ලං කලේ එයා කියන දෙයක්, එයා මතුරන දෙයක් මට හරියට අහගන්න.

“මට… ස…මාවෙන්න… ඔයාට… රිද්දුවට. ඔයා… හරිම… හොඳ… ගෑනියක්.”

ඒක තමයි මනුසත් මට කියපු අවසාන වචන ටික. 

ඒ වචන ටිකත් එක්කම එයාගේ අතේ තිබුණු මගේ අතට දැනුණ හයිය හෙමින් බුරුල් වෙලා ගියා. මැෂින් එකේ රිදම් එක එකම එක ඉරක් වෙලා දිගටම ඇදෙද්දී මට තේරුණා මනුසත් මාව මේ ලෝකේ තනියම දාලා ගිහින් කියලා. මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණේ මනුසත්ට තිබුණු ආදරේකට වඩා, මේ මනුස්සයා තමන්ගේ ජීවිතේ අන්තිම කාලේ විඳපු වේදනාව ගැන මතක් වෙලා. ගෑනු කී දෙනෙක් වටේ හිටියත් වැඩක් නෑ, මිනිහෙක්ට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ හිතේ සන්තෝසෙන් ඉන්න බැරි නම් ඒ ජීවිතෙන් ඇති පලේ මොකක්ද කියලා මට ඒ වෙලාවේ තදින්ම හිතුණා.

මම එළියට එද්දී නැන්දම්මායි මන්දාරායි දොර ළඟ බලාගෙන හිටියෙ මං මොන ජාතියේ පණිවිඩයක් අරගෙන ඒවිද කියලා දැනගන්න වගේ. මගේ මූණ දැක්කම එයාලා මම වචනෙන් කිව්වෙ නැති හැමදේම තේරුං ගන්න ඇති. මන්දාරාගේ විලාපෙ ඉස්පිරිතාලෙ  කොරිඩෝව පුරා දෝංකාර දුන්නා. මම ඒ සේරම මැද්දේ අයිනකට වෙලා බිත්තියට හේත්තු වුණා. මට දැනුණේ මහා හිස් බවක්. කොච්චර වටේ සද්ද බද්ද තිබුණත් එවෙලෙ මම උන්නෙ ඒ කිසිම දෙයක් ඇහෙන්නෙ නැතුව වගේ.

පැය කිහිපයකට පස්සේ මනුසත්ගේ බොඩි එක මෝචරියට අරන් ගියා. එතැනින් පස්සේ දවස් ගෙවුණේ කොහොමද කියලා මටවත් නිච්චියක් තිබුණේ නැහැ. ගෙදරක මරණයක් තියෙනවා කියන්නේ ඇත්තටම මනුස්සයෙක්ට කාලය ගෙවෙනවා කියලා නොදැනෙන කාලයක්. මරණේ වැඩ, පින්කමේ වැඩ, හත් දවසේ දානයේ වැඩ… මේ හැමදේම අස්සේ අපි හැමෝම හිටියේ ලොකු වේදනාවක, තිගැස්මක.

නිතරම අඬා වැලපෙන මන්දාරායි, මූණේ තිබුණ අහංකාරකම දියවෙලා ගිය මනුසත්ගේ අම්මයි දිහා බලද්දී මට දැනුණේ මහා අමුතුම පාලුවක්. ඒ අස්සේ තාත්තාගේ මරණේ ආරංචි වෙලා ලංකාවට ආපු අහස් පවා හිටියේ හොඳටම බය වෙලා, තිගැස්සිලා. මනුසත්ගේ මරණය ඒ හැමෝම ඇතුළෙන් හෙල්ලිලා යන්න හේතුවෙලා තිබුනා. ඒත් මනුසත්ගේ ජීවිතේ හිටපු ගැහැනු දෙන්නා විදිහට, මමයි භානුකීයි ඒ හැමදේම මැද්දේ එකා වගේ මහන්සි වෙලා වැඩ කළා.

එදා රෑ හත් දවසේ දානෙට කලින් දවසේ, අපි දෙන්නා කුස්සියේ වැඩ අස්සේ පොඩි වෙලාවක් අරන් වාඩි වුණේ ඇත්තටම පාන් කියාගන්න බැරු තරං අපි දෙන්නම මහන්සිවෙලා උන්න හන්දා. භානුකී හෙමින් ඇවිත් මගේ ළඟින් වාඩි වෙලා මගේ අතක් පිරිමැද්දා.

“ලිහිණි… මට ඔයාට දෙයක් කියන්න ඕනේ. “ඔයා උනත් හිතනවා ඇති මනුසත් ඔයාව යූස් කළා කියලා. ඒත් ඒක බොරුවක්. මනුසත් ඔයාව බැන්දේ ඇත්තටම ඔයාට තිබුණු හැඟීමකින්. එයාට ඕන වුණා ඔයාව රැකගන්න. ඒත් එයා ඒක ප්‍රකාශ කරන්න දන්නේ නැති, තමන්ගේ හිතේ තියෙන දේ කියන්න බැරි මුරණ්ඩු මිනිහෙක්.මනුසත් ගැන අවුරුදු විස්සක් විතර එයාව කසාද බැන්දලා උන්න මං ඇරෙන්න වෙන කවුද ලිහිණි දන්නෙ. මනුසත් කියන්නෙ කොච්චර හිත අස්සෙ ආදරේ තියාගෙන උන්න මනුස්සයෙක් උනත් ඒක එළියට හරි විදියට පිට කරගන්න නොදන්න මනුස්සයෙක්.

කැම්පස් එකේදි දේශන දෙන විදියටම හැමදේම හරිම ප්‍රොෆෙශනල් විදියට මේන්ටේන් කරන්න මැනේජ් කරන්න බලාගෙන උන්න මනුස්සයෙක්. මනුසත් කවදාවත් දැනගෙන උන්නෙ නෑ එයාගෙ පොත්වල කියන විදියට තියරටිකලි ඔය මනුස්ස සම්බන්ධකම් මැනේජ් කරන්න බැරි විත්තිය”

මම පුදුමයෙන් භානුකී දිහා බැලුවෙ ඇත්තටම භානුකී මේ මට, මේ එයාගෙ කලින් කසාදෙ මනුස්සයගෙ දෙවනි ගෑනි වෙච්ච මට එහෙම කියන්නෙ ඇයි කියලා හිතාගන්න බැරි වෙච්ච හන්දා.

“මම මනුසත්ගෙන් ඩිවෝස් වුණේ මනුසත් නරක හින්දා නෙවෙයි ලිහිණි. මගේ හිතේ වෙන කෙනෙක් හිටපු හින්දා. මනුසත්ව කසාද බඳින්න කලින් මට රහල් එක්ක ලොකු සීරියස් අෆෙයාර් එකක් තිබ්බා. ඒත් රහල්ට එතකොට සල්ලි තිබුණේ නැති හින්දා අපේ අම්මලා මාව බලෙන්ම මනුසත්ට දුන්නා. දරුවෝ දෙන්නෙක් හම්බුණාට පස්සෙත් මට රහල්ව අමතක කරන්න බැරි වුණා. ආයෙත් රහල්ව හම්බුණාම මම මනුසත්ව දාලා ගියා. මමයි මනුසත්ට වැරදි කළේ ලිහිණි, මනුසත් නෙවෙයි.”

භානුකී කියන කතාව මට අදහාගන්න බැරි වෙච්ච එකක්. මොකද මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මනුසත් කියන්නේ ගෑනියෙක්ට ආදරේ කරන්න දන්නේ නැති රළු මිනිහෙක් කියලා. ඒත් අන්තිමේදි බලද්දි මනුසත් කියන්නෙ ගැනුන්ගෙන් ආදරේ හිඟාකෑවෙ නැතත් බලාපොරොත්තු වෙච්ච මිනිහෙක්.

“මනුසත් ඔයාට රිද්දුවේ එයාගේ හිතේ තිබුණු ඒ තුවාලෙ හින්ද වෙන්නැති. එයා බයවෙන්න ඇති එයාට ඔයාවත් නැතිවෙයි කියලා. මම කරපු දේ තව කෙනෙක් කරයි කියලා එයා බය වෙන්න ඇති. ඒ බය තමයි සැකයක් විදිහට එළියට එන්න ඇත්තෙ. ඔයා තරුණ ළමේක් හන්දා එලියට යද්දි, යාලුවො ආස්‍රය කරනවා දකිද්දී එයාට මාව මතක් වෙන්න ඇති. ලිහිණි… අපි දෙන්නම මනුසත්ට සාධාරණයක් කළේ නෑ. මම එයාට ආදරේ නොකර ඉඳියා.  ඔයා එයාව බැන්දෙ එයාට හැබෑවටම ආදරේ කරනවට වඩා ඒ සිටුවේශන් එක ඇතුලෙ එයාට අනුකම්පා කරපු හන්දා. ඒ මනුස්සයා මැරුණේ ඒ හිස්තැන මැද තනි වෙලා. මං මේ ඔයාට වරදක් කියනවා කියලා හිතන්නෙපා. අපි දෙන්නම වැරදි ලිහිණි. මනුසතුත් වැරදි. අපි එයාව වගේම එයා අපිවත් තේරුං අරගෙන තිබ්බෙ නෑ කවදාවත්”

භානුකීගේ වචන මගේ හදවත පසාරු කරගෙන ගියා. ඇත්ත… මනුසත් පව්කාරයෙක් නෙවෙයි, එයා වැරදි මිනිස්සු අතරේ අතරමං වෙච්ච අසරණයෙක් විතරයි. මම මගේ අත් දෙක දිහා බැලුවා. දැන් මම නිදහස්. ඒත් ඒ නිදහස ඇතුළේ තියෙන්නේ මහා ලොකු වරදකාරී හැඟීමක්.

භානුකී කුස්සියේ බංකුව උඩ වාඩි වෙලා ඒ කරපු පාපොච්චාරණයෙන් පස්සේ මට දැනුණේ මුළු ලෝකයම මගේ ඉස්සරහා කඩාවැටුණා වගේ හැඟීමක්. අපි හැමෝම ජීවත් වෙන්නේ ලොකු රංගනයක නේද කියලා මට හිතුණා. මනුසත් නපුරු වුණේ, මනුසත් සැක කළේ එයාගේ හිතේ තිබුණ ආදරේ මදි කමට නෙවෙයි, එයා ආදරේ කරපු ගැහැනියගෙන් ලැබුණු දරුණු පාවාදීම දරාගන්න බැරුවයි. එයා මාව රැකගන්න හැදුවේ තවත් පරාජයක් දරාගන්න බැරි හින්දයි. ඒත් ඒක තේරුම් ගන්න මම ගොඩක් පරක්කු වුණා.

ඇත්තටම සමහර මිනිස්සුන්ට ආදරේ ලබන්න මරණය වෙනකම්ම ඉන්න වෙනවා නේද කියලා මට හිතුණේ මනුසත්ගේ මිණිය දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ මූණුවල තිබුණ ඒ බොරු සෝකෙ දකිද්දී. මනුසත් ජීවත් වෙලා ඉද්දී එයාට දොස් කියපු, එයාගේ දේපළවලට මාන බලපු, එයාගේ හිත රිද්දපු හැමෝම අද සුදු ඇඳගෙන ඇවිත් එයා වෙනුවෙන් කඳුළු හලනවා. ඒත් ඒ කඳුළුවල මනුසත්ට දැනෙන්න ආදරයක් තිබුණේ නැහැ. 

ආදරේ ලබන්න මනුස්සයෙක් මැරෙන්නම ඕනද?

 එයාගේ අගය තේරෙන්න එයා මේ ලෝකෙන් සදහටම සමුගන්නම ඕනද?

මම මනුසත්ගේ මිණිය ළඟ ඉඳගෙන හිටපු ඒ දිග රාත්‍රීන්වල මට තේරුණ එකම දේ තමයි, මරණය කියන්නේ මහා නිහඬ ගුරුවරයෙක් කියන එක.

 මනුසත් මැරුණට පස්සේ එයාගේ හැම වරදක්ම අහිංසක වැරදි බවට පත් වුණා. එයා මට චෝදනා කරපු, බැනපු ඒ මතකයන් පවා අද අනුකම්පාවෙන් වැහිලා ගිහින්. අපි මිනිස්සුන්ට ජීවත්වෙලා ඉද්දී ආදරේ කරන්න ලෝබයි. අපි හුඟක් වෙලාවට ආදරේ කරන්න පටන් ගන්නේ ඒ මනුස්සයා ආයේ කවදාවත් ඇස් ඇරලා බලන්නේ නැහැ කියලා තහවුරු වුණාට පස්සෙ. මනුසත්ට ඕන වුණේ මහා ලොකු දෙයක් නෙවෙයි, තමන්ව තේරුම් ගන්න පුළුවන් එක හදවතක් විතරයි. ඒත් එයාට අන්තිමේ නොලැබිලා තියෙන්නෙත් ඒක.

අපේ ආත්මයන් දෙකම මනුසත්ට පාවාදීමක් කළා කියන එක අද මට තදින්ම දැනෙනවා. මනුසත්ට සැබෑ ආදරය ලැබුණේ මරණ මංචකයේදී විතරයි. මම මනුසත්ගේ අත අල්ලගෙන හිටපු ඒ අවසාන මොහොතේ මගේ හිතේ තිබුණේ ආදරේට වඩා ලොකු වගකීමක්. ඒත් මනුසත් ඒකත් භාරගත්තේ මහා ඉහළින්.

මරණය කියන්නේ අවසානයක් නෙවෙයි, ඒක මහා ලොකු පශ්චත්තාපයක ආරම්භයක්. 

මනුසත් නැති ලෝකේ මම දැන් නිදහස්.

 ඒත් ඒ නිදහස ඇතුළේ තියෙන්නේ කියාගන්න බැරි බරක්. 

මම ආයෙ ජීවිතේ මොන විදියට ඉස්සරහට ගියත්, මගේ හිතේ කොණක හැමදාම මනුසත්ගේ ඒ අසරණ බැල්ම ඉතුරු වේවි. මිනිස්සු ආදරේ කරන්න ඉගෙන ගන්න ඕනේ මරණය ළඟට එනකම් ඉන්නේ නැතුවයි. ජීවත්ව ඉන්න එක මොහොතක් ආදරෙන් ඉන්න එක, මැරුණට පස්සේ දෙන දාන මානවලට වඩා දහස් වාරයක් වටිනවා. මනුසත් අපිට ඒ පාඩම ඉගැන්නුවේ තමන්ගේ ජීවිතේම පූජා කරලයි. 

අද මේ සුදු කොඩි පිරුණු ගෙදර ඇතුළේ මම විතරක් නෙවෙයි, ආදරයත් මිය ගිහින් කියලා මට දැනෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here