කලුවර රෑ සඳක් වගේ – 65

0
276

ලෝයර්ගෙ කටහඬ සාලෙ පුරා දෝංකාර දුන්නේ මහා නිහඬතාවයක් මැද්දෙ.

 නැන්දම්මාත්, භානුකීත්, මන්දාරාත්, ඇස් අයාගෙන බලාගෙන හිටියේ තමන්ගේ නමට මොනවා ලියවිලා ඇද්ද කියන බලාපොරොත්තුවෙන් වගේ. අහස් නම් පුරුදු විදියට කිසිම කලබලයක් නැතුව සෙටියෙ වාඩිවෙලා උන්නේ. ඒ ළමයා උන්නෙ කොහොමත් හෝන්දු මාන්දු වෙලා වගේ. මේ වගේ තරුණ වයසකදි තාත්තා නැතිවෙනවා කියන බය ඒ ළමයව වහගෙනද කියලා මට හිතිච්ච වාර අනන්තයි ඒ ළමයව දකිද්දි. මම හිටියේ සාලේ කෙළවරක බිත්තියට හේත්තු වෙලා. මට ඕන වුණේ මේ හැම දෙයක්ම ඉක්මනට ඉවර වෙලා මගේ පාඩුවේ පාරට බහින්න විතරයි. ඒ ඇරෙන්න මේ ලීගල් ඩොකියුමන්ට්ස් වල මට මොනවද ලැබිලා තියෙන්නෙ කියලා දැනගන්න මට කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

“මිස්ටර් මනුසත්ගේ අන්තිම කැමැත්ත අනුව…” ලෝයර් තමන්ගෙ කණ්ණාඩිය නාහෙ උඩට කරගන්න ගමන් තමන්ගෙ අතේ තිබිච්ච ඒ  ලියකියවිලි කියවන්න ගත්තා.

“එයාගේ සියලුම ප්‍රධාන ආයෝජන, මේ මහ ගෙදර, සර්ගේ පෞද්ගලික බැංකු ඉතුරුම් වගේම එයාගේ නමින් තිබුණු අනිත් නිශ්චල දේපළ කීපයක්ම සර් ලියලා තියෙන්නේ… මිසිස් ලිහිණිගේ නමට.”

මුළු සාලෙම එකපාරටම ගල් ගැහුණා වගේ මට දැනුණෙ අන්න ඒ වචන එක්ක.

 මගේ කන් අඩි පැලෙන්න වගේ ඒ වචන ටික මගෙ කන් අස්සෙ, හිත අස්සෙ, ඔලුව ඇතුළේ කැරකුණා. මෙච්චර දවසක් මනුසත්ගේ ජීවිතේ දෙවැනි ගෑණි වෙලා, හැමෝගෙන්ම පන්නා දැමීම්වලටයි, නින්දාවටයි ලක් වෙච්ච මම, එක පෑන් පාරකින්, එක අත්සනකින් මේ මුළු මනුසත් ගොඩනගපු අධිරාජ්‍යයේ පළමු තැනට ඇවිත් තිබුණා. ඒක මට මාවම අදහාගන්න බැරි වෙච්ච සිද්දියක් කිව්වොත් හරියටම හරි. මනුසත්… මට රිද්දපු, මාව සැක කරපු ඒ මනුස්සයා, මම වෙනුවෙන් මෙච්චර ලොකු ආරක්ෂාවක් හදලා යයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. බොරු කියන්න ඕන නෑනෙ මට ඇත්තටම ඒ වෙලාවෙ ඕන උනා මනුසත්ව බදාගෙන අනේ මට සමාවෙන්න කියලා අඬන්න. මං කරපු මෝඩකං වලට, එයාට රිද්දුව ඒවට සමාව ඉල්ලන්න.

නැන්දම්මා පුටුවෙන් නැගිට්ටේ පිස්සියක් වගේ.

 “මොකක්? ඒක වෙන්න බැහැ! මිස්ට ගම්මන්පිල මොනවද මේ කියවන්නේ? මගේ පුතා එයාගේ අම්මවයි දරුවෝ දෙන්නවයි පාරට ඇදලා දාලා මේ මූසලීට ඔක්කොම ලියයි කියලා මම හිතන්නේ නැහැ. මේවා හොර ලියකියවිලි!” එයා කෑගැහුවේ ලෝයර්ගෙ අතේ තිබිච්ච ෆයිල් එක උදුරගන්න වගේ.

“පොඩ්ඩක් ඉවසන්න මිසිස් මංචනායක,” එච්චර කලබල මැද්දෙත් ලෝයර් උන්නෙ හරිම සන්සුන්ව. ඒ මනුස්සයා කියන දෙයක් උනත් හරි සන්සුන්ව කිව්වා. “සර් කාටවත් අසාධාරණයක් කරලා නැහැ. සර්ගෙ අම්මාගේ ඉදිරි ජීවිතයට අවශ්‍ය කරන මාසික දීමනාවකට සෑහෙන මුදලක් එයා වෙන් කරලා තියෙනවා. ඒ වගේම දරුවෝ දෙන්නා වෙනුවෙන් අධ්‍යාපන අරමුදලකුත්, මන්දාරා දුවගේ විවාහය වෙනුවෙන්  වෙනම තැන්පතුවකුත් සර් ලෑස්ති කරලා ඉවරයි. හැබැයි මේ නිවස සහ ප්‍රධාන ව්‍යාපාර පාලනය කිරීමේ අයිතිය සර් පවරලා තියෙන්නේ ලිහිණි මැඩම්ට විතරයි” කියලා ලෝයර් ආයෙ කියද්දි 

නැන්දම්මාගේ මූණ රතු වෙලා, වෙව්ලන්න ගත්තා. එයා මගේ දිහා බැලුවේ හරියට මම මනුසත්ව මරාගෙන දේපළ ලියාගත්තා වගේ මහා වෛරයකින්. මන්දාරා පුදුමයෙන් වගේම බයෙන් මගේ දිහා බලන් ඉද්දි, භානුකී විතරක් පුදුමාකාර නිහඬතාවයකින් බිම බලාගෙන හිටියා.

මගේ හිත ඇතුළේ ඇති වුණේ ජයග්‍රහණයක් නෙවෙයි, මහා බරක්. මනුසත් මට මේ දේපළ දුන්නේ මගේ ආරක්ෂාවට විතරක් නෙවෙයි, මේ පවුල ඇතුළේ මට ලැබුණු නින්දාවන්ට වන්දියක් විදිහටයි කියලා මට තේරුණා. මම මෙච්චර කාලයක් ආදරේ නැතිව මනුසත් ළඟ හිටියේ මනුස්සකමටයි කියලා ඒ මනුස්සයා දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් මනුසත් මේ කරපු වැඩෙන් මට ලැබුණේ දේපළවලට වඩා, මේ මිනිස්සුන්ගේ ඉවරයක් නැති වෛරයයි කියලා මට හිතුණා.

නීතිඥයා පිටවෙලා ගියාට පස්සේ සාලේ මැද ඇති වුණේ මහා මූසල නිහඬතාවයක්. ඒ නිහඬතාවය බිඳලා දැම්මේ නැන්දම්මාගේ දරුණු වචන. මනුසත්… මාව සැක කරපු, මට වචනවලින් පවා හිරිහැර කරපු ඒ මනුස්සයා, අන්තිමේදී එයාගේ මුළු සේසතම මගේ නමට ලියලා ගියේ ඇයි? මට ඒක ජයග්‍රහණයකට වඩා දැනුණේ දරාගන්න බැරි ලොකු ණයගැති බවක් විදිහට. මනුසත්… මාව සැක කරපු, මට වචනවලින් පවා හිරිහැර කරපු ඒ මනුස්සයා, අන්තිමේදී එයාගේ මුළු සේසතම මගේ නමට ලියලා ගියේ ඇයි? මට ඒක ජයග්‍රහණයකට වඩා දැනුණේ දරාගන්න බැරි ලොකු ණයගැති බවක් විදිහට.

“දැන් සතුටුයි නේද තමුසෙට? මගේ පුතාව රවට්ටගෙන, අහිංසක මූණක් දාගෙන ඉඳලා අන්තිමේදී ඔක්කොම ලියාගත්තා නේද? හිතාගෙන ඇති ලිහිණි… තමුසේ මේවයි වැජඹෙයි කියලා. මගේ පුතාව මරාගෙන කාපු තමුසෙට ඕවා කවදාවත් හරියන්නේ නැහැ. යාදෙන්නෙත් නැහැ”

මම මුකුත් කිව්වේ නැහැ. මම කබඩ් එක උඩ තියලා තිබුණ මල් මාලයක් දාපු මනුසත්ගේ පින්තූරෙ දිහා බැලුවා. ඒ පින්තූරේ ඉන්න මනුසත් මගේ දිහා බලලා හිනා වෙනවා වගේ මට දැනුණා. ඒ හිනාවේ තිබුණේ ‘ලිහිණි, දැන් මම ඔයාට හැමදේම දුන්නා, දැන් ඔයා නිදහස්’ කියන පණිවිඩයද? කියන එක නොහිත ඉන්න මට පුළුවන් වුණේ නෑ. ඒත් මේක නෙවෙයි නේද මම බලාපොරොත්තු වෙච්ච නිදහස කියන එකත් මට ඒ වෙලාවෙ මතක් වුණා. මේක මට මනුසත් එක්ක තියෙන බැඳීමක්. කවදාවත් නැති කරගන්න අමාරු නැති බැඳීමක්.

“අම්මේ… මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මට මේවා ඕනෙත් නැහැ,” මම හීන් හඬින් කිව්වේ මගේ ඇස්වලට කඳුළු පිරෙද්දී.

“අනේ මේ අපි දැන් ඕවා විශ්වාස කරාවි කියලද හිතන්නෙ? තමුන් මහලොකුවට කියෙව්වට බලාගෙන හිටියෙ මනුසත් සනීප වෙනකම් නෙවෙයි, මැරෙනකම් මේ සේසතම අයිති කරගන්න. මගේ පුතාව රවට්ටගෙන ඔක්කොම දේපළ ලියාගත්ත හැතිරි! මම මනුසත්ගේ අම්මා… මේ ගෙදරින් තමුසෙව පන්නලා මිසක් මම මැරිලා යන්නෙ නැහැ!”

නැන්දම්මාගේ ඒ දරුණු වචන මගේ හදවත පසාරු කරගෙන ගියා. මන්දාරාත් මගේ දිහා බැලුවේ හරිම අමුතු විදිහකට. ඒ ඇස්වල තිබුණේ ඔයා අපේ තාත්තිව රවට්ටලා අපේ දේවල් උදුරගත්තා කියන චෝදනාව. භානුකී විතරක් පුදුමාකාර විදිහට නිහඬව මේ හැමදේම බලන් හිටියා. එයා දන්නවා මනුසත් කියන්නේ කාටවත් ඕන විදිහට නටවන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි කියලා. එයා ඒ තීරණය ගන්න ඇත්තේ ගොඩක් හිතලා කියලා භානුකීට තේරෙන්න ඇති.

ඊට පස්සේ ගෙවුණු දවස් කිහිපය මගේ ජීවිතේ මම ගත කරපු අමාරුම කාලෙ කිව්වොතින් හරියටම හරි. ගෙදර හැම අස්සක් මුල්ලක් නෑරම මට ඇහුණේ නැන්දම්මාගේ සාප කිරීම්. මම කෑම මේසයට ගියත්, කුස්සියට ගියත් එයා මට ඇහෙන්න එක එක කතා කිව්වා. “පුතාගේ ලේ උරාගෙන බීපු මූසලී”, “දේපළ කෑදරකමේ ආපු හැතිරි” වගේ වචන මගේ කන් අඩි පුපුරවන්න හැදුවා. ඒ වගේම මේ ගේ දැන් මගේ කියන එක දැනගෙන උන්නත් නැන්දම්මා ගෙයින් එළියට අඩියක් තිබ්බෙ නෑ මොකෝ උන්දැ බයවෙන්න ඇති එහෙම උනොත් කොහොමත් මේ හැමදේම එයාලට අයිති වේවි කියලා.

මම මගේ කාමරේට වෙලා දොර වහගෙන හිටියා. මට මගේ අම්මගේ කෝල් එක මතක් වුණා. අම්මා දැන් සතුටින් ඇති. මනුසත් මැරුණා කියලා දැනගත්තම නෙවෙයි, මට දේපළ ලැබුණා කියලා දැනගත්තම අම්මා මහා ඉහළින් මට කතා කරාවි. මේ ලෝකේ මිනිස්සුන්ට ආදරේට වඩා ලොකු වුණේ සල්ලි විතරයි නේද කියලා මට හිතුණා.

මම මනුසත්ගේ ඇඳුම් අල්මාරිය ඇරලා බැලුවා. ඒ ඇඳුම්වල තාමත් මනුසත්ගේ සුවඳ තියෙනවා. මට මතක් වුණේ එයා අන්තිම මොහොතේ මගේ අත අල්ලගෙන කිව්පු “සමාවෙන්න” කියන වචනය.

 මනුසත්… ඔයා මේ දේපළ මගේ නමට ලිව්වේ මට ආදරේටද?

 නැත්නම් මම ඔයා වෙනුවෙන් කරපු කැපකිරීමට වන්දියක් විදිහටද? 

එහෙමත් නැත්නම් මාව මේ මඩ ගොහොරුවේ තනි කරලා මේ මිනිස්සුන්ගෙන් පලිගන්නද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here