“ලිහිණි… අම්මා කියන ඒවට හිත රිද්දගන්න වට්ටගන්න යන්න එපා. මනුසත් ඔයාට මේවා දුන්නේ එයාගේ හිතේ මේ හැමදේම භාරදෙන්න උන්න විශ්වාසවන්ත මනුස්සයා ඔයා විතරක් වෙච්ච හන්දා. මම දන්නවා එයාට ඕන වුණේ මේ දරුවෝ දෙන්නගේ අනාගතය ඔයාගේ පැත්තෙනුත් එයා තරම්ම පරිස්සම් වෙනවා දකින්නයි කියන එක. අනික මනුසත් කාටවත් අසාධාරනයක් කරලා නෑනෙ. අම්මට, දරුවන්ට වගේම වයිෆ් විදියට ඔයාටත් ලැබෙන්න ඕන හැමදේම දුන්න කෙනෙක්.ඔයාට නොදී ඔක්කොම අම්මට හෝ දරුවන්ට ලිව්වා නම් මැරිලවත් මනුසත්ට නිවනක් නැති වෙන්න තිබුණා. ඒක මනුසත් උනත් දැනගෙන ඉන්න ඇති.”
“ඒත් මට මේ දේවල් බරක්. මට ඕනේ නිදහස. මම කොහොමද මනුසත්ලගෙ අම්මා මට මෙච්චර වෛර කරද්දි ඒ දේවල් ඉවසා දරාගෙන මේ ගෙදර ඉන්නේ? මම මනුසත්ව මරගත්තෙ නෑ. මම අන්තිම වෙනකම් උත්සහ කරේ එයාව සනීප කරගන්න. අනික මං මේ කිසි දෙයක් කරේ මනුසත්ගෙන් අබ ඇටේක දෙයක් බලාපොරොත්තුවෙ නෙවි”
“ඉවසන්න ලිහිණි. ඔහොම තමයි ජීවිතේ. මිනිස්සු එක්ක ජීවත්වෙද්දි ඕවට හපන් ඒවට අපිට ෆේස් කරන්න වෙන්නෙ. මරණයකින් පස්සේ ඉතුරු වෙන පසුතැවීම් දරාගන්න මිනිස්සුන්ට කාලයක් යනවා. හැබැයි ඔයාගේ අතේ දැන් ලොකු වගකීමක් තියෙනවා. මනුසත්ගේ දේපළ විතරක් නෙවෙයි, මනුසත් ඔයා මත්තෙ තියපු ඒ විශ්වාසයත් දැන් ඔයාගේ වගකීමක්.”
භානුකීගේ වචනවලින් මගේ හිත ටිකක් සන්සුන් වුණ බව ඇත්ත. මට තීරණයක් ගන්න ඒ වචන ඇත්තටම ලොකු උදව්වක් වුණා. මම මනුසත්ගේ දේපළ අත්හරින්නේ නැහැ. හැබැයි මම ඒවා භුක්ති විඳින්නෙත් නැහැ. මම මනුසත් වෙනුවෙන් මගේ යුතුකම මරණයෙන් පස්සෙත් ඉටු කරන්න ඕනේ කියන තැනට මම ආවෙ අන්න ඒ විදියට.
එදා රෑ මම එක තප්පරේකට ඇහැ පියාගත්තෙ නෑ. මම කල්පනා කළේ මනුසත් ගැන. එයා මට මේ සේසතම ලියලා ගියේ මට ආදරේට වඩා, මගේ මනුස්සකම ගැන එයාට තිබුණ සහතිකය හින්දා නේද කියලා මට තේරුං ගියේ හෙමින් හෙමින් ඒක ගැන හිතද්දි. එයා දැනගෙන හිටියා එයාගේ අම්මගේ තණ්හාවයි, මන්දාරාගේ අහස්ගෙ නොමේරූකමයි ඉස්සරහා මේ දේපළ විනාස වෙලා යන්න පුළුවන් කියන එක. එයාට ඕන වුණේ මම හරහා ඒ දේවල් ආරක්ෂා කරන්න. ඒ වගේම එයා මට පොඩිවත් අසාධාරණයක් කරලා තිබ්බෙ නැති එක,කොටින්ම මං වගේ එයාව ගෙදර තනි කරලා දාලා ගිහින් වෙන මනුස්සයෙක් එක්ක කූඩු වෙන්න ප්ලැන් කරපු මං වගේ ගෑනියෙක් වෙනුවෙන්වත් මනුසත් අසාධාරණයක් කරලා නෑ කියන එක මගේ හිත සෑහෙන්න හොල්ලන්න හේතු වෙච්ච කාරණාවක් වුණා.
අන්න ඒ හන්දමයි මම මනුසත් වෙනුවෙන් මගේ යුතුකම එයාගේ මරණයෙන් පස්සෙත් ඉටු කරන්න ඕනේ කියන එක මට හිතුණා. මම මේ ගෙදරින් යනවා නම් යන්න ඕනේ හිඟන්නියක්, මනුසත්ව මරාගත්ත හැතිරියක් විදිහට නෙවෙයි, මනුසත්ගේ ගෞරවයත්, මගේ ආත්මගෞරවයත් දෙකම රැකගත්තු ගැහැනියක් විදිහට කියන එක මං කල්පනා කරේ අන්න ඒ හන්දා.
නැන්දම්මාගේ සාප කිරීම් පිරිච්ච ඒ ගෙදර බිත්ති අතර තවදුරටත් මට ඉන්න පුලුවන්කමක් කොහෙත්ම තිබුණේ නෑ. මගේ අම්මාගේ තණ්හාව පිරිච්ච ඒ බලපෑම්වලට මට යට වෙන්නත් පුළුවන්කමක් නැහැ. මට ඕනේ උනේ මගේම කියලා පුංචි ලෝකයක් හදාගන්න. මනුසත් මට දීපු ඒ විසාල සල්ලි දේපළ කන්දරාවෙන් මම එකම එක දෙයක් විතරක් ඉතුරු කරගන්න හිතුවා. ඒ මට ජීවත් වෙන්න පුංචි තැනක් ගන්න අවශ්‍ය කරන මුදල විතරක්.
අනිත් හැමදේම… ඒ මහා මන්දිරේ, යාන වාහන, ව්‍යාපාර… ඒ හැමදේම මම ආපහු මනුසත්ගේ ලේ නෑයන්ටම දෙන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඕනේ මනුසත් බලාපොරොත්තු වුණ විදිහටමයි. දරුවෝ දෙන්නා පාරට නොවැටෙන විදිහට, මන්දාරාගේත් අහස්ගේත් අනාගතය සුරක්ෂිත වෙන විදිහට ඒ නීතිමය කටයුතු සූදානම් කරන්න මම පහුවදාම ලෝයර්ට කතා කළා.
ඉන් පස්සෙ මගේ පපුවට දැනුණේ මහා සැහැල්ලුවක්. කාලාන්තරයක් තිස්සේ මගේ කර වටේ එතිලා තිබුණ ඒ නොපෙනෙන දම්වැල් එකින් එක බුරුල් වෙලා යනවා වගේ මට දැනුණා. මම ගෑනියෙක් විදිහට ගත්ත එක තීරණයක් මාව ජීවිතේ බොහෝ තැන්වලදී පල්ලෙහට ඇදලා දැම්මා. මාව මේ ගෙදර ඇතුලෙදි, මේ කසාදෙ ඇතුලෙදි දෙවැනි තැනට ඇදලා දැම්මා. ඒත් අද මම ගන්න මේ තීරණය මාව ආයෙත් මනුස්සයෙක් විදිහට පළමු තැනට උස්සලා තියාවි කියන එක ගැන ලොකු විශ්වාසයක් මගෙ හිතේ තිබුණා.
පහුවදා උදේම මම ලෝයර් ඉස්සරහා අත්සන් කළේ මගේ ජීවිතේ නිදහස් නිවහල්ම ලියවිල්ලට. මනුසත් මගේ නමට ලියපු ඒ ගෙවල් දොරවල්, ව්‍යාපාරික කොටස් වගේම අක්කර ගණනක වතුපිටි, මනුසත්ගෙ සල්ලි වලින් ලොකු කොටසක් මම ආපහු මන්දාරා සහ අහස්ගේ නමටම පැවරුවා. හැබැයි මම එක කොන්දේසියක් දැම්මා. ඒ තමයි ඒ දර්වො දෙන්නා ඇත්තටම යමක් කමක් තේරෙන වයසට එනකම් ඒ දේපළවල භාරකාරත්වය සහ තීන්දු තීරණ ගැනීමේ බලය භානුකීට පවරන්න ඕන කියන එක. මනුසත් ජීවත් වෙලා ඉන්න තාක්කල් ගොඩනගන්න, එක්කාසු කරන්න මහන්සි වෙච්ච කිසිම දෙයක් එයා නැති තැනකදි විනාස වෙනවා දකින්න මට ඕන වුණේ නෑ.
මම මගේ පෞද්ගලික පාවිච්චියට ඉතුරු කරගත්තේ මට ජීවත් වෙන්න පුංචි තැනක් ගන්න ඕන කරන සල්ලි ටික විතරයි. ඒක මනුසත් මට දීපු දේපළවලින් ඉතාම පුංචි ප්‍රමානයක්.. ඒත් මගේ ආත්ම ගෞරවය පරිස්සම් කරගෙන පාරට බහින්න ඒ ටික මට හොඳටම ප්‍රමාණවත් වුණා.
මම ඒ මහ මන්දිරයේ පඩිපෙළ බැහැගෙන ගෙදර මිදුලට ආවෙ ඇත්තටම කාලාන්තරේකට පස්සෙ හිත පුරා නිස්කලංක හුස්මක් ගන්න ගමන්. මනුසත්ගේ රූපෙ මගේ මතකයෙන් මැකිලා ගියේ නැහැ. මට මතක් වුනා මම පළවෙනි වතාවට මනුසත්ගෙ දෙවනි කසාදෙ වයිෆ් විදියට මේ ගෙදර දොරෙන් ඇතුළට ආව විදිය. එදා මනුසත් ගැන ලොකු තණ්හාවක් හිතේ තියාගෙන ගෙට ආව මම අද ඒ ගෙදර දොරෙන්ම පිටවෙන්නෙ මනුසත්වත් මනුසත්ගෙන් ලැබිච්ච කිසිම දෙයක්වත් නැති සාමාන්‍ය ඒත් හදවතින් බොහොම නිදහස් නිවහල් ගෑනියෙක් වගේ නේද කියන එක මට කල්පනා උනා. එදා “භානුකීට රිද්දන්න මනුසත්ව අයිති කරගත්තා” කියලා දිනපු චේතනාවකින් මං ගෙදරට ආව බවත් කාලයක් යද්දි ඒ නිසාම මං පරාදයි කියලා මං දුක් වෙච්ච බව ඇත්තක් උනාට අද මම මේ හිස් අතින් යන ගමන ඇතුළේ මම දන්නවා මම පරාජිත ගැහැනියක් නෙවෙයි කියලා.
මනුස්ස සම්බන්ධකම් කියන්නේ තියරිවලින් පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා මනුසත් එයාගේ මරණයෙන් මට උගන්නලා තිබුණා.
ඉස්සරහට මගේ ජීවිතේ මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ.
වෙන පිරිමියෙක් මාව ආපහු බාරගනීද, නැත්නම් මම තනිවම ජීවත් වෙයිද කියන එක මට ප්‍රශ්නයක් වුණේ නැහැ.
මොකද මම දැන් මටම ආදරේ කරන්න ඉගෙනගෙන ඉවරයි.
මම පාරට ඇවිත් ආපහු හැරිලා මනුසත්ගෙ ගේ දිහා බැලුවා.
මනුසත්ගේ මතකය එතැනම නවතීවි.
මම මගේ අලුත් ජීවිතය හොයාගෙන ඉස්සරහට යන්න අඩිය තිබ්බා.
පපුව පිරෙන්න හුස්මක් ගත්ත මට දැනුණේ මම දැන් ඇත්තටම නිදහස් ගැහැනියක් කියන එක විතරයි.
—————————————————————————————————————————–
කළුවර රෑ සඳක් වගේ කතාව අදින් අවසන් වෙනවා.
කොටස් 66 පුරාවට මාත් එක්ක මේ කතාවෙ දිගටම රැඳිලා උන්න ඔයාලට බොහොම ස්තුතියි. හැමදාමත් වගෙ ලස්සන, සමාජෙට පණිවිඩයක් දෙන්න පුළුවන් කතන්දර ලියන්න උදව් කරන කෞමදී අක්කවා මෙතනදිත් ආදරෙන් මතක් කරන්නෝන.
ඉතින් හැමදාම වගේ අපි ලියන කතා කියවලා, ඒවට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා මම.
අලුත් කතාවක් එක්ක ආයෙ හම්බෙනකම් සුබ ගමන්!


