මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 5

0
3

මතින්ද්‍ර ගියාට පස්සේ මගේ ලෝකේ ඉර පායන එක නැවතුණා වගේ මට දැනුණේ.

දවල්ද රෑද කියලා මම දැනගත්තේ නැහැ. මම කළේ ජනෙල් රෙදි පවා තද කරලා වහලා, කාමරේ අස්සට වෙලා කල්පනා කර කර උන්න එක. ඇත්තටම මම කල්පනා කරනවටත් වඩා කරේ ඔහේ කොහෙ හරි කෙළවරක් දිහාව බලාගෙන උන්න එක. වෙනදා ඉර එළියට මාර විදියට ආදරේ කරපු මම දැන් උන්නෙ අන්ධකාරෙ තමයි මාව පරිස්සම් කරන්නෙ කියලා හිතාගෙන. එළියට ගියොත් මිනිස්සු මගේ මූණ බලලා මොකද වුණේ? කියලා අහයි කියන බයට මම ඇඳ අස්සේ ගුලි වුණා. මගේ ඇඟට පණක් තිබුණේ නැහැ. දත් ටික මැදගන්න, මූණ සෝදගන්න වගේ පොඩි වැඩක් කරන්නත් මට පැය ගණන් හිත හදාගන්න වුණා. අන්තිමට ඒකත් නොකර මම ආයෙත් කොට්ටේ අස්සේ මූණ ඔබාගත්තා. මට දැනුණේ මගේ මුළු ඇඟම මහා බර කළු ගලක් වගේ ඇඳට තද වෙලා තියෙනවා කියලා.

“මේඝා… මේඝා දොර ඇරපන්! උඹ කී දවසක් දැන් මේ විදියට හැංගිලා ඉන්න හිතාගෙන ඉන්නේ?”

රුවිනිගේ කටහඬ ඇහුණේ හරියට හීනයක් වගේ. ඔෆිස් එකේ මට උන්න හොඳම යාළුවා වෙච්ච රුවිනි මාව හොයාගෙන ඇනෙක්ස් එකට ආවේ මම සතියක් තිස්සේ ඔෆිස් එකට ගියේ නැති හන්දා. මතින්ද්‍ර එක්ක බ්‍රේක් අප් වීම නිසා මට දැන් පිස්සු වගේ කියලා එච් ආර් එකට ඇත්ත කියන්න බැරි හන්දා මම  “අසනීපයි” කියලා වට්සැප් මැසේජ් එකක් විතරක් දාලා මම ලෝකෙන්ම හැංගුණා වගේ දෙයක් තමයි කරේ.

රුවිනිට ගේ ඇතුළට එන්න දොර අරින්න මම ගියෙත් ඇත්තටම සොම්බි කෙනෙක් වගේ. මම උන්නෙ කිසිම හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ.

රුවිනි ගෙට ඇතුළු වුණේ පුදුමාකාර කලබලේකින්. සාලේ මැද තිබුණ එකම එක ජනේලෙක රෙද්දවත් මම ඇරලා තිබුණේ නැහැ. මුළු ගේම මළ ගෙයක් වගේ අන්ධකාරයි, ඒ වගේම මූසලයි. සතියක් තිස්සේ වහලා තිබුණ හින්දා ගේ ඇතුළේ තිබුණේ මාරම පුස් ගඳක්. රුවිනි මගේ දිහා බැලුවේ හරියට අඳුරගන්න බැරි පිටස්තරයෙක් දිහා බලනවා වගේ.

“දෙවියනේ මේඝා… බලපං උඹේ හැටි! මේ මොන අපායකද උඹ මේ ඉන්නේ?” රුවිනි කෑගහගෙනම ගිහින් ජනෙල් රෙදි ටික එකපාරටම ඇදලා ඇරියෙ අලුත් හුලඟටයි, ඉර එළියටයි ගේ අස්සට කාන්දු වෙන්න ඉඩ දෙන්න වගේ.

දොර රෙද්ද අස්සෙන් කාන්දු වුණ ඒ තද ඉර එළිය මගේ ඇස් දෙකට වැදුණේ හරියට මාව පණපිටින් පුච්චලා දාන්න වගේ. මම අත් දෙකෙන් මූණ වහගෙන ආයෙත් ඇඳ උඩට වැටුණෙ ඇත්තටම මට ඒක දරාගන්න අමාරු වෙච්ච හන්දා.

 “අනේ ඕක වහලා දාපං රුවිනි. මගෙ ඇස් නිකන් පිච්චිලා යනවා වගේ මට ඉන්න දීපන් තනියම.” මම ගොත ගගහ කිව්වේ හරියට අවුරුදු ගණනාවකින් කාටවත් කතා නොකරපු මනුස්සයෙක් වගේ.

“තනියම ඉඳලා උඹට පිස්සු හදවගන්නද? බලපන් මේ හැටි… කොණ්ඩේ ගැට ගැහිලා ගැහිලා පිස්සියෙක් වගේ, ඇස් වටේ කළු වෙලා, ඇඳගෙන ඉන්න හඬු ඇඳුම බලපං. උඹ හිතනවද මතින්ද්‍රයා උඹ මේ විදියට මැරිලා ඉන්නවා දැක්කම ඇවිත් උඹව බදාගනියි කියලා? නෑ ‍යකෝ, ඌ දැනටම මන්දස්මිතා එක්ක ලස්සනට හිනාවෙවී ස්ටෝරි දාලා අන්න. උඹ මෙතන මැරි මැරි ඉපදෙන එක ඌට ගානක්වත් නැහැ. උඹ තව උටම පුදාගෙන ඉඳපං ගොං ගෑනි”

ඒ නම් ඇහෙද්දි, ඒ වචන ඇහෙද්දි මට ඇත්තටම ඕන උනේ මහ හයියෙන් අඬන්න උනාට මට ඇඬුණෙ නෑ. ඇඬුනා නම් එකාතකින් එකක්. කඳුළු විදියට හරි වේදනාව දිය කරලා අරින්න තිබ්බනෙ. ඒත් මට අඬන්න උවමනාව තිබ්බට මගෙ ඇඟෙන් මට ඒකට පොඩ්ඩක්වත් සපෝට් එකක් දුන්නෙ නෑ.

 “මට මතින්ද්‍රව ඕන නෑ, මට මාවත් ඕනේ නැහැ. මට ඕන මෙහෙම ඉන්න. කවුරුත් එන්නෙ නැතුව මට තනියෙන් මෙහෙම ඉන්න දෙන්න.”

“තනියෙන් ඉන්න? තනියෙන් ඉන්න දෙන්න තිබ්බා උඹ හරි සිහි කල්පනාවකින් නම් ඉන්නෙ. එහෙම නැතුව, රස්සාවටත් එන්නෙ නැතුව. ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැතුව මෙහෙම පිස්සියෙක් වගේ ඉද්දි තනියෙන් දාලා යන්න පුළුවන්ද?. ඔය මිනිහා එක්ක පැටලෙද්දිම මං කිව්වා. ඒ යකා අර ගෑනි එක්ක යාලුයි කියල කට කතා පැතිරෙද්දිත් මං කිව්වා ඕක දැන්වත් නතර කරපං කියලා. ඇහුවෙ නෑනෙ මං කියන දේ. මහ ලොකු ප්‍රේමවන්තයව විශ්වාස කරං හිටියෙ. අන්තිමේ දැන් මේ මේ වැටිලා ඉන්නේ මාරම ලොකු වළක. එව්වට තල්ලු කරලා දාපු උන් අරහෙ ආතල් එකේ ඉන්නවා. උඹ ඔෆිස් එකට එන්නේ නැති හන්දා එච් ආර් එකෙන් මට කතා කළා. උඹ හිතනවද තව සතියක් මෙහෙම හිටියොත් උඹට ජොබ් එක ඉතුරු වෙයි කියලා? මේ මාසේ කේ පී අයි එකත් මිස් වුණා. යාළුවා විදියට මොනවා හරි කියලා ඒ ඒ වෙලාවට ශේප් කළාට, මට හැමදාම එහෙම කරන්න නෑනෙ නේද?.”

රුවිනි එක දිගට මට බැනගෙන බැනගෙන යද්දී මට දැනුණේ මගේ ඔළුව ඇතුළේ ඉඳන් කවුරුහරි එක දිගට බෙරයක් ගහනවා වගේ. ඒ හැම වචනයක්ම මගේ කන් අඩි පසාරු කරගෙන ගිහින් මොළේ කොහේ හරි හිර වෙනවා වගේ මට දැනුනෙ. මම හිටියේ හරියට වීදුරු කූඩුවක් ඇතුළේ හිරවෙලා වගේ. රුවිනිගේ කට හෙලවෙනවා පෙනුණට, මට ඒ සද්ද ඇහුණේ හරිම ඈතින්. මගේ හිතේ තිබුණේ එකම එක හිස්බවක් විතරයි. ඒ හිස්බව කොයි තරම් බරද කියලා දැනගෙන උන්නෙ මම විතරයි.

රුවිනි මගේ උරහිසෙන් අල්ලලා හොලවනවා මට දැනෙනවා. ඒත් මට දැනෙන්නේ මගේ ඇඟ ඇතුළේ මම නෑ වගේ. හරියට මම මගේම ශරීරයෙන් අඩියක් පස්සට ගිහින්, වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ අමුතු හිරිවැටිච්ච ගතියක් එතන තිබුණෙ. රුවිනි ජනෙල් රෙදි ඇද්දම කාමරේට කඩා වැදිච්ච ඒ ඉර එළිය මගේ ඇස් දෙක පසාරු කරගෙන ගියේ මගෙ ආත්මෙට රිද්දගෙන. ඒ එළිය මට පෙනුණේ මාව ලෝකෙට නිරාවරණය කරන, මගේ අසරණකම හැමෝටම පෙන්නන්න හදන හතුරෙක් වගේ. මම ආයෙත් ඇඳට වැටිලා මූණ වහගත්තේ ඒ එළියෙන් බේරෙන්න නෙවෙයි, මට මාවම පේන එක දරාගන්න බැරි හන්දා.

මගේ ඔළුව ඇතුළේ තුබ්බෙ එකම දේ රීප්ලේ වෙන ගමන්.

මතින්ද්‍ර එදා දොර වහගෙන ගිය සද්දේ… ඒක හරියට මගේ මුළු ජීවිතේම සීල් කරලා දැම්මා වගේ සද්දයක්. ඊට පස්සේ ආපු මේ සතිය කවද්ද මේ දවල්ද රෑද කියලා මම දැනගෙන හිටියේ නෑ. බඩගින්නක් දැනුණෙත් නෑ. හැබැයි පපුව මැද මොකක් හරි මහ ලොකු කළු ගලක් පටවලා තියෙනවා වගේ මාරම බරක් දැනුණා. හුස්ම ගන්නත් මහන්සි වෙන්න ඕනේ කියලා මම දැනගත්තේ එදායින් පස්සෙ. නිකන්ම හුස්ම ටිකක් ගන්න එකත් මට මාර අමාරු වැඩක් වගේ දැනුණෙ.

මම මගෙන්ම අහගත්තා මම ඇයි මේ තරම් වැටුණේ කියලා. මම ඉස්සර කොයිතරං නම් සන්තෝසෙන්ද උන්නෙ? ඒත් දැන් මට මාවම මතක නෑ. මතින්ද්‍ර නැති ලෝකේ මම කියන කෙනාට කිසිම වටිනාකමක් නෑ කියලා මගේ හිත මටම කොඳුරනවා මට ඇහෙනවා. මන්දස්මිතාගේ ඒ ලස්සන ඇඟ, එයාගේ ඒ ක්ලාස් එක ඉස්සරහා මම නිකන්ම නිකන් පරණ වෙච්ච, වැඩකට නැති රෙදි කෑල්ලක් වගේ මට දැනෙන්නේ.

මට හිතෙනවා කාටවත්ම නොකියා කොහේ හරි ඈතකට යන්න. එහෙම නැත්නම් මේ ඇඳ උඩටම වෙලා හැංගිලා ඉන්න. රුවිනි මාව එළියට ඇදගෙන යන්න දඟලද්දි මම අඩියක් පස්සට තියන්න හැදුවේ බයට. එළියේ ඉන්න මිනිස්සු මගේ මූණ බලලා මගේ හිත ඇතුළේ තියෙන මේ කුණාටුව අඳුරගනියි කියලා මට බයයි. මම හිතුවේ මම හයියයි කියලා ඒත් අද මම දන්නවා මම හුලඟට අහුවෙච්ච පුළුන් රොදක් වගේ ඔහේ එහෙට මෙහෙට පාවි පාවි ඉන්න කිසි ඵලක් නැති ජීවිතයක් කියලා.

එහෙම ජීවිතයක් හුස්ම ගන්නෝනද?

මට මගෙන් අහන්න ඉතුරු වෙලා තිබ්බෙ ඒ ප්‍රශ්නෙ විතරයි.

 මන්දස්මිතා මගේ හිනාව විතරක් නෙවෙයි, මට මාවත් නැති කරලා තිබුණා.

 මම දැන් ඉන්නේ මගේම ජීවිතේ අගන්තුකයෙක් වෙලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here