“මේඝා… ඔයා දන්නවද, සමහර වෙලාවට අපේ ජීවිතේ අපි හදපු හීන මාලිගා කඩලා වැටෙන්නේ අපිව පාරට ඇදලා දාන්න බලාගෙන නෙවෙයි. ඒ නටබුන් අස්සේ හැංගිලා තියෙන අපේ ඇත්තම හයිය අපිට මුණගස්වන්න. ඔයා හිතනවා ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් ඔයාව දාලා ගියේ ඔයාගේ අඩුපාඩුවක් නිසා කියලා. ඒත් අද ඒ වෙනුවෙන් දුක් වෙන ඔයාම තව අවුරුදු කීපෙකින් සන්තෝස වෙන්න පුළුවන් අතීතෙ මෙහෙම දෙයක් උන එක මට කොච්චර ලොකු හොඳක්ද කරේ කියලා” කවුන්සලර් කියද්දිත් මං උන්නෙ ඔහේ ගොනෙක් වගේ ඒ මනුස්සයා දිහා කිසිම ඉමෝශන් එකක් නැති මූනකින් එක එල්ලේ බලාගෙන.
ඒ මනුස්සයා ඒ වචන ටික කියද්දී මට හිතුණේ මගේ ඔළුව ඇතුළේ මොකක් හරි හයියෙන් පිපිරුවා වගේ. මම හිටියේ පුටුවේ කොනකට වෙලා මගේ ඇඟිලි හූරගන්න ගමන්. ඒ ඇඟිලි හීරිල්ල කියන්නෙ මට ලොකු සන්තොසයක් ඇති කරපු දෙයක්. ඇඟිලි තුවාල වෙලා තියෙද්දි මට දැනුනෙ මතින්ද්ර හන්දා මගේ හිතේ ඇතිවෙච්ච තුවාලෙ මම රිදෙන හන්දා කසනවා වගේ. හිත කසාගන්න බැරි හන්දා තමයි මම මගේ ඇඟිලි එහෙම හූරන්න පටන් ගත්තෙ. ඒ හීරිල්ල හින්දමද මන්දා මගේ අත් නිකන් තිබ්බෙ පූසෙක් එක්ක රණ්ඩුවකට ගියපු මනුස්සයෙක් වගේ තැනින් තැන හීරිලා රතු වෙලා. කවුන්සලර් කිව්ව විදියට මට තියෙන්නෙ ඩිප්රෙශන්. ඩිප්රෙෂන් කියන්නේ හරිම අමුතු දෙයක්. ඒක අපේ හිත ඇතුළෙම හතුරෙක් හදලා දෙනවා. ඒ හතුරා හැම තිස්සෙම මගේ කනට කොඳුරනවා “රුවිනිත් මේ හදන්නේ උඹව මෙතනට ගෙනත් පිස්සියෙක් කියලා ලෝකෙට පෙන්නන්න” කියලා. මට කාවවත් විශ්වාස කරන්න හිතුණේ නැත්තෙ අන්න ඒ හන්දා. මට පෙනුණේ හැමෝම මට රිද්දන්න හදනවා වගේ.
කවුන්සලර් මගේ තුවාල වෙච්ච ඇඟිලි දිහා බලාගෙන හිටිය හන්දා තමයි මම ඇඟිලි හූරන එක නතර කරගත්තෙ. එයා මන්දස්මිතා ගැනවත්, මතින්ද්ර ගැනවත් දන්නේ නැහැ. එයා දන්නේ මම ආදරේ කරපු කෙනා මාව දාලා ගිය එකෙන් මම මානසිකව වැටිලා ඉන්නවා කියන එක විතරයි.
මාව දාලා ගියේ තව එක බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් නෙවෙයි මගේ මතින්ද්ර කියලා මට එයාට කියන්න උවමනා උනත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ. හිත තාම උන්නෙ මතින්ද්රගෙ පැත්තෙ. මතින්ද්ර ගැන කල්පනා කරන වාරයක් පාසා “ඇයි මතින්ද්ර මට මෙහෙම කරේ?” කියලා හිත කොච්චර මතින්ද්රට දෝසාරෝපනේ කරත් වෙන කෙනෙක් ඉස්සරහා මගේ මතින්ද්රට බණින්න, වෙන කෙනෙක්ට එයාට බණීන්න දෙන්න මට උවමනා උනේ නෑ. මට ඕන උනේ මතින්ද්රව පරිස්සම් කරන්න. ඒවා ආරංචි වෙලා, “මන්දස්මිතා කවදාවත් මං වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරන එකක් නෑ” කියලා හිතලා මතින්ද්ර මං ගැන අනුකම්පා කරලා හරි ආයෙ ඒවි කියලා තමයි මං බලාපොරොත්තු වුනේ. ඇත්තටම මට දැන් ඕන උනේ මතින්ද්ර මන්දස්මිතා ඉද්දි හරි මාවත් තෝරගන්නවට.
“එයාට තිබ්බ මාව සම්පූර්ණෙන්ම අතාරින්නෙ නැතුව මාවත් තියාගන්න” කියලා මාවම පල්ලෙහට ඇදලා දාගෙන හිතන තැනකට ඇත්තටම මතින්ද්ර මගෙන් වෙන් වෙච්ච වේදනාව මාව පත් කරලා තිබුණා.
“මේඝා… ඇයි ඔයා තවමත් තමන්ටම වෛර කරන්නේ?” කවුන්සලර් ඇහුවේ හරිම සන්සුන් විදිහට. මම ඒ මනුස්සයාගේ ඇස් මගඇරලා බිම බලාගත්තා. බිම තිබුණ ටයිල් කැටේක ඉරක් දිහා මම ඇහිපිය නොහෙළා බලාගෙන හිටියා.
“මම මට වෛර කරන්නේ නැහැ. මට ඕනේ මගේ මතින්ද්රව විතරයි. එයා මන්දස්මිතා ළඟ ඉන්නවා ඇති. ඒත්… ඒත් මට ඕනේ එයා මාවත් අතනොඇර ඉන්න එක විතරයි. මට එච්චරටම එයාව ඕනේ.” මගේ කටහඬ වෙව්ලන්න ගත්තා. මට මාවම අප්පිරියා හිතුණා ඒ වචන කියද්දී. කොහොමද මම මෙච්චර පහත් තැනකට වැටුණේ? එයා මගේ ජීවිතේම විනාශ කරලා තියෙද්දිත්, මම තවමත් මතින්ද්රගෙන් අනුකම්පාව හිඟාකනවා නේද කියන එක ඇත්තටම මට තප්පරේකට හිතුණා. ඒත් මම උවමනාවෙන්ම ඒ හිතුවිල්ල ඔලුවෙන් අහක් කරගත්තෙ මට මතින්ද්රව එච්චර ලේසියෙන් ජීවිතෙන් අයින් කරගන්න පුළුවන්කමක් තිබුණෙ නැති හන්දා.
“ඔයා හිතනවා නේද එයා ඔයාව තියාගත්තා නම් ඔයා සන්තෝසෙන් ඉඳියි කියලා? ඔයාට ඕනේ එයාගෙ ආදරේද? අනුකම්පාවද?” එයා ආයෙත් ඇහුවා.
“මට වැඩක් නැහැ ඒක මොකක් වුණත්. මට තනියම ඉන්න බයයි. මට තනියෙන් ඉන්න පුරුදු නෑ. මංමේ අවුරුදු ගානම හිටියෙ එයා එක්ක. මට දැනෙන්නේ මම වීදුරු කුප්පියක් අස්සෙ හිරවෙලා හුස්ම ගන්න බැරුව ඉන්නවා වගේ. මතින්ද්ර ළඟ විතරයි මට හුස්ම ගන්න පුළුවන් වුණේ. දැන් මට හුස්ම හිරවෙනවා… මට මැරෙන්න හිතෙනවා.” මම දත් මිටි කාගෙන කිව්වා.
“මරණය කියන්නේ මහා ලොකු නිදහසක් කියලා ඔයාට හිතෙනවා නේද? ඒත් ඒක නෙවෙයි ඇත්ත.”
“එහෙනම් මොකද්ද ඇත්ත?”
“ඔයා හිතනවද ඔයා දැන් ඉන්න ස්වරූපෙන් ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් දැක්කත් ඔයාව එයා ආයෙ තෝර ගනීවි කියලා? තෝර ගත්තත් ඒ ආදරේ හින්දා වෙයි කියලා”
“එයා මාව මොන විදියට තෝරගත්තත් මට කමක් නෑ. මට එයාව ඕනේ.මොන විදියකින් හරි. මං මං මැරෙයි එයා නැතුව. එයා නැතුව ජීවත්වෙනවට වඩා මට ලේසි මැරෙන එක” මම මුරණ්ඩු විදිහට කිව්වා.
“ඒක තමයි ඔයාගේ අසනීපේ මේඝා. ඔයා හිතනවා ඔයාට පවතින්න තව කෙනෙක්ගේ ඇපෘවල් එක ඕනේ කියලා. රුවිනි ඔයාව මෙතනට එක්කන් ආවේ ඔයා හිතන විදියට ඔයාට පිස්සු නිසා නෙවෙයි, ඔයාගේ ඇතුළේ ඉන්න අර හිනාවෙච්ච කෙල්ලව ආයෙත් ඔයාට හොයාගන්න උදව් කරන්න.”
“රුවිනිත් හිතන්නේ මට පිස්සු කියලා තමයි. හැමෝම මට රිද්දන්න හදන්නේ. ඔයත් මේ හදන්නේ මගේ මතින්ද්රව මගෙන් ඈත් කරන්න නේද?” මම එකපාරටම පුටුවෙන් නැගිට්ටෙ එහෙම අහගෙන. මට මාරම කේන්තියක් ආවෙ කවුන්සලර් එක්ක. මට හිතුණේ මේ ලෝකේ හැමෝම එකතු වෙලා මගේ මතින්ද්රව මගෙන් උදුරගන්න කුමන්ත්රණය කරනවා කියලා.
“ඉඳගන්න මේඝා… කලබල වෙන්න එපා.” කවුන්සලර් හරිම සන්සුන්ව කිව්වා.
“බෑ! මට යන්න ඕනේ. මට කාගෙවත් උදව් එපා. මම මෙහෙමම මැරිලා යන්නම්. එතකොටවත් ඔයාල හැමෝටම මං ගැන දුක හිතෙයිනේ.” මම දොර පැත්තට දිව්වෙ එහෙම කියාගෙන.
මම දොර ඇරගෙන එළියට එද්දී රුවිනි කලබල වෙලා එයා ඉඳගෙන උන්න තැනින් නැගිට්ටා. “මේඝා! මොකද වුණේ? ඇයි මේ අඬන්නේ?”
“උඹටත් ඕනේ මාව පිස්සියෙක් කරන්න නේද? අතෑරපන් මාව!” මම රුවිනිගේ අත ගසලා දාලා පාරට දිව්වා. මම පාර දිගේ දුවගෙන ගියේ හරියට මට පිස්සු හැදිලා වගේ. රුවිනි පස්සෙන් පන්නගෙන එන සද්දේ ඇහුණත් මම නැවතුණේ නැහැ. මට පෙනුණේ පාරේ යන හැම මනුස්සයෙක්ම මගේ දිහා බලලා හිනාවෙනවා වගේ. මට ඇහුණා මගේ ඔළුව ඇතුළේ ඉඳන් මන්දස්මිතා මහ හයියෙන් හිනාවෙන සද්දේ.
“උඹ පරාදයි මේඝා… උඹ හැමදාම පරාදයි.” ඒ සද්දේ මගේ කන් අඩි පුපුරවන්න හැදුවා.
ඩිප්රෙෂන් කියන්නේ අඳුරු වළක් නෙවෙයි, ඒක තමන්වම පණපිටින් පුච්චන ගින්දරක්.
ඒ ගින්දර අස්සේ මම දිය වෙවී හිටියේ මතින්ද්රගේ එකම එක අනුකම්පා සහගත බැල්මක් බලාපොරොත්තුවෙන්.
මම දන්නවා මම මේ කරන්නේ විනාශයක් කියලා, ඒත් මගේ ඔලුව මට කියන්නේ මම කරන්නේ හරි දේ කියලා විතරයි.
ඇත්තටම මට ඕන වුණේ මම විඳවන හැටි මතින්ද්රට පෙනිලා, එයාට මං ගැන ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙනවට. ඒ අනුකම්පාවෙන් හරි මාව බදාගෙන “අනේ මේඝා, මට සමා වෙන්න” කියලා කියනවා අහන්න මම මාරම කෑදරකමකින් හිටියේ. මගේ ආත්මගරුත්වයට වඩා මට ඒක ලොකු දෙයක් වුණා.


