BE SILENT – 50

0
3108

” සර් තාම ප්‍රශ්න කිරීම් වල සර්. ඔව් සර්.. හරි සර්.. මං කියන්නං . බොහොම ස්තූතියි සර්..!” 

ඉහල නිලධාරීන්ගෙන් එක දිගට මනුහස් වෙත ගලා එන පැසසුම් එකින් එකට පිළිතුරු සපයමින් සචින්ද්‍ර පොලිස් ස්ථානයේ ආපනශාලාව වෙත පිය නැඟුවේය. 

” ආ සචින්ද්‍ර සර්.. ! , දැන් අපිව පේන්නෙත් නෑ නේද ?” 

ආපනශාලාවේ එතෙක් සිටි කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සචින්ද්‍රව දැක ඇනුම්පද කියූහ.

” ඇස් පේන්නැති ලෙඩක් නං මට තාම නෑ..”

සචින්ද්‍රද විහිළුවෙන් විහිළුවට පිළිතුරු දුන්නේය. 

” නෑ.. නෑ.. ඉතිං සචින්ද්‍ර සර්ලා දැන් ආස්‍රය කරන්නේ ලොකු ලොකු අයවනේ.. ඒකයි අපි එහෙම කිව්වේ ” 

” මේකයි ප්‍රශ්නේ. ඔය හරස් පද ප්‍රෙහේලිකා විසඳන්න පුලුවන් අපේ සර් හිටියනං. මට නං ඕවා තේරෙන්නෙම නෑ. ඒ නිසා තේරෙන විදිහට කියන්නකෝ..”

මනුහස් අතට ගත් තේ කෝප්පය රැගෙන කාන්තා නිලධාරිනියන් දෙදෙනා ඉදිරියෙන් හිඳ ගත්තේය. 

” ෂියෝනා මිස් අපිට කිව්වා අනුරාධපුරේ ගිහින් වෙච්ච සීන් ඔක්කොම. බලන් ගියාම අපේ ලොකු සර්ත් අල්ලන්නෙම ලොකු ලොකු අතු. මෙච්චර මේ අපි ඉන්නවා ගිහින් ඇඟේ හැප්පුණත් හැරිලාවත් බලනවද ?” 

එක් නිලධාරිනියක් එසේ පැවසූ අතර දෙදෙනාම එකට එක් වී නැවතත් මහ හඬින් සිනාසුණහ . කිසිවක් නොවැටහුණු සචින්ද්‍ර මුව ඇද කර තේ කෝප්පය ළං කර ගත්තේය.

” මට නං මෙලෝ දෙයක් තේරෙන්නෑ..”

” අර මයන් මල්දෙණියගේ වයිෆ්..”

නිලධාරිනියන් දෙදෙනා විසල් ඕපාදූපයකට ප්‍රවිශ්ට වී සිටියහ.

” ඔව්.. ඉතිං.. ?” 

” අනුරාධපුරේ ගිය වෙලේ අපේ සර් හිටියේ එයා එක්කලු නේද ?” 

සචින්ද්‍ර මුවට ළං කළ තේ කෝප්පය යළි වහා මේසය මතින් තැබුවේය.

” මොකක් ? කවුද එහෙම එකක් කිව්වේ ?” 

කාන්තා නිලධාරිනියන් විසල් කරගත් නෙත් වලින් සචින්ද්‍ර දෙස බලා සිටියහ. 

” ආ… ! මුළු ස්ටාෆ් එකම ඔය කතාව දන්නවා. අද උදේ මල්දෙණිය ගෙදට්ට ගියාම මිස් ෂියෝනා ඒ ගෑනි ලඟටම ගිහිල්ලා රෙදි ගැලෙව්වා සර්ලා එන්න කලින්. ලැජ්ජ නැද්ද අප්පා.. බලන් ගියාම මේ සල්ලිකාරයෝ ඔක්කොම එකයි. මිනිස්සුන්ට වඩා හපන් උන්ගේ ගෑනු. දවසට දෙකට දැකපු මිනිස්සු එක්ක කාමර අස්සේ යනවද ? ෂියෝනා මිස් නං හැබැයි මූණටම කිව්වා අපි නං ඔය වගේ ගෑනුන්ට ගරු නම්බු දීලා කතා කරන්නෑ.. උන්ට කතා කරන්නේ වෙනම නම් වලින් කියලා . අනික සර් දන්නවද ඔච්චර දෙයක් හොයාගත්තට පස්සෙත් මයන් මල්දෙණියගේ අම්මව ඇරෙස්ට් කරන්න කිව්වට අපේ සර් මල්දෙණිය ගෙදට්ට යන්න කලින්ම කිව්වලුනේ නෙත්‍යා මල්දෙණියට වචනෙකින්වත් හානියක් වෙන්න බෑ කියලා. මිස් ෂියෝනාට තද වෙලා තියෙන්නේ ඒකට. “

” ෂියෝනා මිස් මිසිස් මල්දෙණියට මොනවද කිව්වේ ?” 

” අම්මෝ… අමතන්න ඕනේ හොඳ පදෙන්ම ඇමතුවා..”

කාන්තා නිලධාරියන් දෙදෙනා නැවත වතාවක් මහ හඬින් සිනාසුණහ . 

” මිස් අමල්කා … ! මං ඇහුවේ මිස් ෂියෝනා මොනවද මිසිස් මල්දෙණියට කිව්වේ කියලා ?” 

සචින්ද්‍රගේ හඬ පෙරට වඩා උස් විය. එහි තැවරී තිබූ කෝපය මනාව දැනුණු කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා වික්ශිප්තව මුහුණට මුහුණ බලා ගත්හ. 

” මේ.. මේ.. සචින්ද්‍ර සර්…” 

” මං ඇහුවේ මොනාද කිව්වේ කියලා ?” 

සචින්ද්‍රගේ හඬට තව දුරටත් බිරන්තට්ටු වූ පොලිස් නිලධාරිනියන් දෙදෙනා සෙමින් සෙමින් කාන්තා පොලිස් නිලධාරිනියන් හා නෙත්‍යා මල්දෙණිය අතර වූ කතාබහ ඔහුට පැවසූහ. ඉව වහා ගිය කෝපයෙන් හිඳ සිටි අසුන වේගයෙන් පසුපසට තල්ලු කර දැමූ සචින්ද්‍ර නැඟී සිට නැවත වතාවක් මේසයට අතක් තබා ඔවුන් දෙදෙනා වෙතට බර වූයේය. 

” ලැජ්ජ නැද්ද මිස් අමල්කා , ආ.. මිස් සෞම්‍යා ?  අම්මපා ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැද්ද ? තමුන්ලත් ගෑනු නේද ?  සර්යි ඒ මනුස්සයයි කොතන , කොහොම , කොයි විදිහට හිටියත් තමුන්ලට තියන රුදාව මොකද්ද ? තමුන්ලා ඇස් දෙකට ඒක දැක්කද ? කොහෙවත් ඉන්න අහිංසක ගෑනියෙක්ට පදයක් හදන්නේ රෙදි ඇඳගෙනද ? චික්.. මටම ලැජ්ජයි.. තමුන්ලා වගේ ගෑනු එක්ක එකට වැඩ කරන්න වෙන එකට. පුලුවන් තරම් සර්ට ලයින් දාලා දාලා ඒක කර ගන්න බැරි උනාම තියන ඉරිසියාවයි , තරහයි පිට කරගන්න කොහෙවත් ඉන්න අහිංසක ගෑනියෙක් පටල ගත්තා. තමුන්ලා විතරක් නෙමෙයි මිස් ෂියෝනා කරලා තියෙන්නෙත් ඒක. මං මේ ගැන ලොකු සර්ට කම්ප්ලේන් කරනවා. “

” අනේ.. අනේ.. සචින්ද්‍ර සර්.. අපි නෙමෙයි මිස් ෂියෝනා තමා..”

එවර සචින්ද්‍ර ඉදිරියේ පිණ්සෙණ්ඩු වූ කාන්තා නිලධාරිනියන් දෙදෙනා හිඳ සිටි අසුන් වලින් නැඟිට ඔහුව නතර කරන්නට උත්සාහ දැරූහ. 

” සෝ.. සොරි.. තමුන්ලගේ තියන මේ ජරා ගති කම්ප්ලේන් කරන්නම ඕන ඒවා.. “

” අනේ.. සර්.. අනේ..!” 

කෙතරම් ඇවිටිලි කළද ඔවුන්ව මායිම් නොකළ සචින්ද්‍ර වේගයෙන් ආපනශාලාවෙන් පිටතට අඩි තැබුවේය. 

හදවතින් නැඟෙන කෝපය බොහෝ ආයාසයෙන් දරා ගනු ලැබූ ඔහු මනුහස්ගේ නිල කාමරය වෙත යනවිට දවස පුරාම වෙහෙසව සිටි මනුහස් එක් අතකින් ජංගම දුරකතනය කනේ තබා ඇමතුමක් ගනිමින්ද අනෙක් අතින් වතුර බෝතලයක්ද අතැතිව සිටිනු දුටුවේය . සචින්ද්‍ර වහා වේලාව බැලුවේය. රාත්‍රී හත පසු වී මිනිත්තු දහයකුත් ගෙවී අවසන්ය. තම ඉහල නිලධාරියා දවල් බත් පත  හෝ තවමත් නොගත් බව මතකයට නැඟුණු ඔහු සුසුමක් හෙළා මනුහස්ගේ නිල කාමරය තුළට ඇතුළු වූයේය. 

” සර්…!” 

දිගින් දිගටම කිසිවෙකුට හෝ ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි මනුහස් අඳුරු වූ මුහුණින් සචින්ද්‍ර දෙස බැලුවේය. දහවලෙහි තිබූ ජයග්‍රාහී පෙනුම ඔහුගේ උවනින් දුරුවී ගොස් තිබුණේය. 

” ෆෝන් එක ඕෆ් බං “

මනුහස් පරාජිත බැල්මකින් සචින්ද්‍ර දෙස බලා පැවසුවේය. 

” නෙත්‍යා අක්කගෙද ?” 

” ආ..?” 

” සොරි සර්.. රාදිගේ කටේ තියෙන්නෙම අක්කනේ. මටත් හදිස්සියට කියවුණා. “

” ඒකට කමක් නෑ බං. මං දැන් උඹට එපා කිව්වේ නෑනේ ? “

” මොකද්ද සර් කේස් එක ?” 

” ෆෝන් එක ඕෆ් බං . උදේ ගෙදට්ට ගිය වෙලාවෙදිත් මං මඟ ඇරලා ආවේ නිකන් බොරුවට එයාට අනවශ්‍ය කතන්දරයක් ඇහෙන්න දෙන්න ඕන නැති නිසා. එතන වෙච්ච කලබලේ අස්සේ මං කතා කරන්න ගියානං එයාට එයාව කන්ට්‍රෝල් නැති වෙනවා. මං නිකන් හරි කතා කළා නං එහෙම මගේ ඇඟේ එල්ලිලා අඬයි. ඊට පස්සේ එතන හිටපු අර මීඩියා කාරයෝ ටික ඕක අල්ලන් දඟලයි. දැක්කනේ මයන්ගේ මරණෙන් පස්සෙත් කොච්චර කතන්දර අහගත්තද කියලා. ස්ටේශන් එකට ඇවිල්ලා කෝල් එකක් දෙන්න කියලා හිටියත් මට ඒකත් බැරි උනා. ශුවර් එකට සෑහෙන්න බය වෙලා ඇත්‍තේ. “

මනුහස් හදවතින් නැඟී එන පසුතැවිල්ලකින් එසේ පැවසූ අතර ඔවුන් මල්දෙණිය නිවසට යෑමට පෙර සිදු වූ ඇති සිදුවීම ඔහු හමුවේ තබන්නේ කෙසේ දැයි සිතමින් සචින්ද්‍ර කල් මැරුවේය. 

” ගෙදට්ට කතා කරලා බැලුවේ නැද්ද සර්..?” 

” නර්මදාට කතා කළා. නර්මදා උදේ පොලීසියේ ඉඳලා ගෙදර ගියාම ගෙදර ඉඳලත් නෑ..”

” මැඩම් ගෙදර නෑ කියන්නේ කොහේ ගිහිල්ලද ?” 

” ඒක තමයි බං , මට හිතාගන්න බෑ. අඩුම යන තැනක් මැසේජ් එකක් වත් දාලා නෑ. සමහරවිට මාත් එක්ක තරහින් ඇත්තේ. එයා තරහ උනාම ඔක්කොටම හපන්. කොච්චි කරලා වගේ. මං දන්නැද්ද ?  ඊට පස්සේ යාළු කරගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. “

සචින්ද්‍රගේ හදවත දැවුණේය. ඒ ආරංචියක් නොමැති නෙත්‍යා නිසා නොව වසර ගණනක් මුළුල්ලේ එකට රාජකාරී කළ තම ඉහල නිලධාරියා තම ප්‍රේමවන්තිය පිළිබඳව මේ තරම්ම විවෘත වූයේ ප්‍රථම වතාවටය. ජීවිතයේ පළමු වතාවට සචින්ද්‍ර හට මනුහස් පිළිබඳව අනුකම්පාවක් දැනුණේය. ප්‍රේමය එලෙසය. ඕනෑම සද්දන්තයෙකු හීලෑ මුව පොව්වෙක් කරන්නේ එකී ප්‍රේමයමය . එහි සත්‍යතාවය හොඳින්ම තේරුම්ගෙන සිටි සචින්ද්‍ර  හට ෂියෝනා හා කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනා සමඟ දරා ගත නොහැකි කෝපයක් හට ගත්තේය. 

” අර මැඩම්ගේ යාළුවගෙන් අහන්නකෝ සර්.., “

” ජාන්වීගෙන්ද ?” 

” ඔව් සර්..”

” ජාන්විගේ අප්පච්චිව ඊයේ හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා. ජාන්වී ඊයේ හවසම  කැන්ඩි ගියා බං. ඒ යද්දි කියලා ගියේ. “

ස්ථීර වශයෙන්ම නෙත්‍යා මෙලෙස මනුහස්ව මඟ හැර දමා ගොස් ඇත්තේ උදෑසන පොලිස් නිලධාරිනියන් විසින් කරනු ලැබූ අපහාස  දරා ගනු නොහැකිව බව සචින්ද්‍රට වැටහුණේය. මනුහස් සිතනවාට වඩා මේ වනවිට නෙත්‍යා සිටින්නේ කළකිරීමකින් විය හැකිය. අද උදෑසන සිදු වූ කලබලය සුළු පටු එකක් නොවේය . පොලිස් නිලධාරීන් නිවසට කඩා වැද එතැන යුධ පිටියක් කළහ. නැන්දණිය අත් අඩංගුවට ගෙන ඇත. මේ මොහොතේ නෙත්‍යා සමඟ කිසිවෙකුත් නොමැත. ඈ සියල්ලම තනිවම දරාගත යුතුය . ඒ සියල්ලට අමතරව ෂියෝනා විසින් සිදු කර ඇති පිළිකුල් සහගත දෙය ඈ තවත් බොහෝ අසරණ කරන්නටද ඇත. එසේ නම් මෙය ඉතා බරපතල කාරණයකි. මේ මොහොත වන විට නෙත්‍යා ඇත්‍තේ බරපතල මානසික පීඩනයකින්ය. මනුහස් සිතනවාට වඩා කාරණය බරපතලය . නමුදු ඔහුට මෙය තේරුම් කරන මඟක් සචින්ද්‍රට සොයා ගැනීමටද නොහැකි වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here