” සර්.. ! සර් දැන් කොහෙද යන්නේ ?”
මනුහස් පසුපසින් දිව ආ සචින්ද්‍ර වහා ඔහුව නතර කර ගත්තේය. සචින්ද්‍රගේ පැනයට පිළිතුරක් දීමට උත්සාහ නොගත් මනුහස් නැවතත් ජාන්වී හට දුරකතන ඇමතුමක් ලබා ගත්තේය.
” ජාන්වී.. ! ජාන්වී ..! නෙත්‍යා කෝ ? මට කියන්න එයා ඔහේ ඉන්නවා නේද ?”
මනුහස්ගේ කටහඬ බොහෝ වේදනාබරය. ආයාචනාත්මකය. ජාන්වීට විසල් සුසුමක් හෙළුණාය.
” ඉන්නවා මනූ.. අඬලා අඬලා දැන් නං හොඳටම නින්ද ගිහින්. “
මනුහස්ට මහා විසල් සැනසුම් සුසුමක් පිට වුණේය.
” ජාන්වී මං දැන් එනවා… “
” දැන් .. ? මේ රෑ ? මනූ දැන් අටටත් කිට්ටුයි. ? අනික මෙහෙට හවස ඉඳන් එක දිගට මහ වැස්ස. “
” මට ඒවා ප්‍රශ්නයක් නෑ ජාන්වී.. , ඔයා නෙත්‍යාට කියන්නෙපා මං එනවා කියලා. Please take care of her till I come. I’ll come as soon as possible. “
මනුහස් දුරකතනය විසන්ධි කොට දමා සචින්ද්‍ර දෙස බැලුවේය.
” මං හෙට උදේට එනවා. “
” ඕකේ සර්…!”
මනුහස් වහා සචින්ද්‍රට සමු දී මෝටර් රථය වෙතට දිව ගියේය.
*********************************************
ජාන්වී නෙත්‍යාගේ නිදන කාමරයට හිස පොවා බැලුවාය. ඇද විට්ටමට හිස තබා ගෙන සිටි ඈ විසල් කල්පනාවකය. වරින් වර හූල්ලමින්ද , නාසය උඩට අදිමින්ද නෙත්‍යා ඔහේ එක දිගට ඉවත බලා සිටියාය.
සුසුමක් හෙළූ ජාන්වී නැවත පහත මහළට අඩි තැබුවාය.
සැදෑවේ ආරම්භ කරන ලද වර්ෂාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වූවා මිස අඩු වීමක් නොවුණේය. ළඟ ළඟම අකුණු කොටන හඬ ද ඇසුණේය. ජාන්වීගේ හදවතෙහි නෙත්‍යා පිළිබඳව සේම මනුහස් පිළිබඳවද අනුකම්පාවක් හට ගත්තේය. ඈ ඔරලෝසුව දෙස බැලුවාය. රාත්‍රී එකොළහ පසුවී මිනිත්තු කිහිපයක්ම ගෙවී ගොස් ය. මහ වර්ෂාව මධ්‍යයේ ඔහු තවමත් මහ මඟ ඇතිය. මීට වසර දොළහකට පමණ පෙර උසස් අධ්‍යාපන ආයතනයේදී හිටි හැටියේම නෙත්‍යා අතුරුදන් වී ගිය කළද ඔහු හැසිරුණු ආකාරය ඈට හොඳින් මතකය. දින ගණනක් නෙත්‍යාගේ නිවස අසල හොර ගල් ඇහිළූ සැටිත් , තමාව ඉස්සර කරගෙන විටින් විට නෙත්‍යාගේ නිවසට ඇමතුම් ගැනීමට උත්සාහ කළ සැටිත් ඇයට හොඳින් මතකය. අදද එලෙසමය. හිතුවක්කාරයාගේ කිසිදු වෙනසක් නොමැත . එසේ නොවුණානං මේ වර්ෂාවේ රාත්‍රී යාමයේ ඔහු මෙලෙස දුරු කතර ගෙවා පැමිණෙන්නේ නැත. නිවස අද්දරටම ආ මෝටර් රථයක හඬක් ඇසුණු ජාන්වී කල්පනාව පසෙක තබා වහා ඉදිරි ද්වාරය විවර කළාය.
” මනූ…!”
” නෙත්‍යා කෝ ජාන්වී..?”
මෝටර් රථයේ සිට බැස ආ ඔහු හුස්මක් හෝ ගැනීමට පමා නොවුණේය .
” උඩ ඉන්නවා. “
” ගෙදර කවුද ඉන්නේ ? “
” කවුරුත් නෑ.. උඩට යන්න. නෙත්‍යා රූම් එකේ ඉන්නවා. “
ජාන්වීගෙන් ඉඩ ලද ඇසිල්ලේම මනුහස් වහා තරප්පු පෙළ නඟිමින් උඩු මහළේ නෙත්‍යා සිටි නිදන කාමරය වෙත දිව ගියේය.
” සුදු බෝලේ…!”
එක් වරම කාමරය තුළට කඩා වැදුණු තරුණයා දුටු නෙත්‍යා වහා තිගැස්සී ගියාය. ඔහු වහා ඈ හිඳ සිටි යහන අසලට ගොස් දෙදණ බිම තබා ඇගේ පය පාමුල හිඳ දණ ගසා ගනිමින් ඇගේ අතකින් අල්ලා ගත්‍තේය. නෙත්‍යා වහා ඔහුගේ අත ගසා දමා ඉවත බලමින් කොපුල් පුරා ගලා හැළුණු කඳුළු පිස දැමුවාය.
” අතාරින්න මාව..”
ඈ සෙමින් නමුත් ස්ථීරසාරව පැවසුවාය.
” අනේ.. රත්තරං.. ! මේ අහන්නකෝ. සමාවෙන්න මැණිකේ. මේ දේවල් මෙච්චර ලොකුවට වෙයි කියලා මං හිතුවේ නෑ. එහෙම උනානං මං ඔයාව ඊයේ අපේ ගෙදර නවත්තලා යන්නේ. මං දන්නවා ඔයා ගොඩක් ශොක් වෙන්නැති. ඒ වෙලාවෙදි ඔයාව මඟ ඇරලා ගියේ එතන මීඩියාකාරයොත් හිටපු නිසා ළමයෝ. ඊලඟට ඒකෙන් පස්සෙත් නම කැත වෙන්නේ ඔයාගෙනේ ?”
” මගෙ නම කැත වෙන එක ගැන හිතුවානං ඇයි අර ගෑනුන්ට මං ගැන බොරු කිව්වේ ? ඔයාට එතනදි මගෙ නම කැත වෙයි කියලා හිතුන්නැද්ද මිස්ටර් විජේවර්ධන ?”
” දෙයියනේ.. මැණික මේ අහන්නකෝ… ! අනුරාධපුරේ යන්නේ මං විතරක් කිව්වට ටීම් එකක්ම එහෙ ගියා. සචින්ද්‍ර , ෂියෝනා මේ හැමෝම. නිශාදි පීරිස්ව මීට් වෙන්න යන්නේ කියලා කිව්වට අපි ගියේ වෙනම වැඩකට. එදා මං ඔයාගේ රූම් එකට එන්න කලින් අපි සපුගොඩව ඇරෙස්ට් කළා. ඌ තමයි ඔක්කොම එළියට දැම්මේ. මයන්ගේ කාලකන්නි වැඩ ගැන ඌ තමයි එළියට දැම්මේ. මයන් ලඟ හිටපු කාලේ ඇතුළත ඔයා කොච්චර දුකක් විඳින්නැද්ද කියලා මට මං ගැනම තරහ හිතුණු නිසයි ඔයාගේ රූම් එකට ආවේ. මට සමාවෙන්න මැණික. මං හිතුවේ නෑ ෂියෝනා ඒ තරම් කැත කතාවක් ඔයාට කියයි කියලා. දෙයියනේ.. රත්තරං මේ අහන්නකෝ…”
බිම තබා ගත් දෙදණින් තවත් මඳක් ඉදිරියට ආ මනුහස් දෝතින්ම නෙත්‍යාගේ උවන තමා වෙතට හරවා ගත්තේය.
” මං .. මං මොකද්ද කරන්න ඕනේ ? මං .. මං ෂියෝනාට කෑගහලා එන්න ආවේ . ඔයා.. ඔයා කියනවනං මං ජොබ් එකෙනුත් අයින් වෙන්නං. මේ අහන්න සුදු නෝනා.. ! තරහා වෙන්න එපා. මට තවත් ඉවසන්න බෑ. මාත් එක්ක කතා නොකර ඉන්නෙපා. මට දරා ගන්න බෑ.. ඔයා කියන්න. මොකද්ද මං කරන්න ඕනේ ? මයන් හිටියා නැතා ඌ දැන් මුළු ලෝකෙටම මැරිච්ච මිනිහෙක්. හෙට .. හෙට උදෙන්ම අපි කසාද බඳිමු. ඔයාට මතකද අප්පච්චි ඊයේ එද්දි කිව්වා දෙයියෝ එකම චාන්ස් එක මිනිහෙක්ට ලේසියෙන් දෙපාරක් දෙන්නෑ කියලා ? පළවෙනි පාර මං ඒක නැති කර ගත්තා. දෙවෙනි පාරත් මට ඒක නැති කර ගන්න බෑ. අපි හෙට උදෙන්ම කසාද බඳිමු. ඊට පස්සේ මාත් එක්ක ස්ටේශන් එකටම යං. මං කියන්නං ඔයා දැන් මිසිස් මල්දෙණිය නෙමෙයි මිසිස් විජේවර්ධන කියලා. අහන්නකෝ සුදු නෝනා.. හැමෝටම කියන්නං .අනේ.. ඔහොම ඉන්නෙපා. කතා නොකර ඉන්නෙපා.. . I can’t lose you darling… not for the 2nd time… No darling… Plz… I need u sudu nona.. “
මනුහස්ගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා වැටුණේය. දඩබ්බරයා බොහෝ සෙයින් හැඟීම්බර වී තිබුණේය. ඔහුගේ ඇතුළාන්තයේ සිටි මාන්නක්කාර පොලිස් නිලධාරියා කොහේ හෝ පළා ගොස් සිටියේය . නෙත්‍යාගේ දෑසින්ද කඳුළු පේළියක් කඩා වැටුණු අතර එය මායිම් නොකළ ඈ සෙමින් අත ඔසවා ඔහුගේ කොපුලක ඇති කඳුළු බිඳුව පිසදා දැමුවාය.
” මනූ…!”
” සමාවෙන්න රත්තරනේ.. මට…”
” මෙහෙ එන්න. බිම ඉඳගෙන හිටියා ඇති. “
නෙත්‍යා ඔහුගේ අතින් අල්ලාගෙන ඔහු යහන මත වාඩි කරවා ගත්තාය.
” මේ මහ රෑ , මේ වැස්සේ මෙච්චර දුරක් ඇයි ආවේ ?”
” ඇයි මාව දාලා ආවේ ? කොච්චර බය හිතුණද කියලා දන්නවද ? ආ ..?”
මනුහස් පහත් වී ඇගේ උරහිස මතින් ඔහුගේ හිස තබා ගත්‍තේය .
” මට බය හිතුණා මනූ… , කරන්න ඕන දේවල් මොනාද කියලා මං දැනන් හිටියේ නෑ. මේ අහන්න. “
ඔහු සෙමින් හිස ඔසවා ඈ දෙස බැලුවේය.
“ම්ම්ම්.?”
” මාව යූස් වෙලා නේද ?”
ඔහු වහා හිස ඔසවා නැවතත් ඇගේ කොපුලක් මත අත තැබුවේය .
” හේයි.. එහෙම එකක් නෑ.. එහෙම හිතන්න එපා..”
” එක දිගට එක දිගට කෝල්ස් එනවා මනූ.. මිනිස්සුන්ට කියන්න ඕනේ මොනවද කියලා මට තේරෙන්නෑ. දෙන්න ඕනේ උත්තර මොනවද කියලා මට තේරෙන්නෑ. මං අම්මා ගැන විශ්වාස කරන් හිටපු දේවල් වැරදියි නේද ? එයා ගෙස්ට් හවුස් එකේ වෙච්ච හැමදේම දැනගෙන ඉඳලා. එකම ගෙදර ඉඳලත් මං ජීවත් වෙලා තියෙන්නේ කිසිම දෙයක් ඇහෙන්නැති , පේන්නැති ගෑනියෙක් වගේ නේද මනූ..?”
මනුහස් දිගු සුසුමක් හෙළුවේය. ඉන්පසු ඇගේ කොපුල මත වූ ඔහුගේ මහපටැඟිල්ලෙන් ඇගේ කොපුල සියුම්ව පිරි මැද්දේය.
” හැමදේම දැන් වෙලා ඉවරනේ මැණික. ඒ දේවල් ගැන ආයේ ආයේ හිතන්න එපා. “
” එයාලා මේකට ඔයාව ගාව ගත්තෙත් මං නිසා වෙන්නැති මනූ. මෙච්චර දේවල් ප්ලෑන් කරන්න පුලුවන් අය ඔයා ගැන , මං ගැන නොදැන ඉඳී කියලා හිතනවද ? එයාලා මං ලව්ව ඔයාවත් යූස් කරවන්න බලන්න ඇති. අනික.. මයන් ජීවතුන් අතර ඉන්නවා කියලා අම්මා දන්නවා ඇති මනූ.. මට .. මට තේරෙන්නෑ.. මං හැමතැනදිම හැසිරිලා තියෙන්නේ පොඩි එකෙක් වගේ. මං.. මං….”
මනුහස් ඇගේ මුව මත තම දබරැඟිල්ල තැබුවේය.
” දැන් ඇති..”
” මනූ.. !”
” වෙච්ච හැමදේම වෙලා ඉවරයි. ඔයා ආයේ මල්දෙණිය ගෙදට්ට යන්නෑ. වෙච්ච දේවල් වලට දුක් වෙවී ඉන්න අපිට කාලයක් නෑ සුදු නෝනා.. , මේ මොහොතේ ජීවත් වෙන්න. හෙට කරන දේ ගැන විතරක් හිතන්න. අපිට මඟ ඇරුණේ දවසක් දෙකක් නෙමෙයි. අවුරුදු ගාණක්. අපි දැන් ජීවත් වෙන්න ඕනේ සුදු බෝලේ . ඔයාටයි , මටයි කරන්න දේවල් ගොඩාක් තියනවා. කතා කරන්න දේවල් ගොඩාක් තියනවා. ඒ හැම එකකම ඉන්න ඕනේ , හැම තැනකම ඉන්න ඕනේ අපි දෙන්නා විතරයි. “
” මනූ…!”
ඔහු සෙමින් සෙමින් ඇගේ උවනට තවත් ළං වූ අතර ඈ සෙමින් දෑස පියා ගත්තාය.


