මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 8

0
31

මතින්ද්‍රයි මන්දස්මිතයි ඩුබායි යන්න ඇති.

උන් දෙන්නා එහෙම සවාරියේ ගිහින් තිබුණේ මාව මේ කාමරයක් අස්සෙ පණ පිටින් වළලලා දාලා. සති දෙකක්… මුළු සති දෙකක්ම මම හිටියේ ෆෝන් එක දිහා බලන්නත් බයෙන්. හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකම තිබුණේ උන්ගේ වෙඩින් එකේ ෆොටෝ. එක පෝස්ට් එකක තිබුණා “ලංකාවේ ලස්සනම කපල් එක” කියලා. මම ඒක දකිද්දී මට හිනා ගියා. 

මං ඒත් හිතෙන් හිතුවා “ලස්සන කපල් එක වෙන්නැති අම්මගෙ රෙද්ද” කියලා. අනික් අතට මටම හිතුනා මං වගේ අඩි පහකටත් වඩා කොට ඩයල් එකක් මතින්ද්‍ර වගේ උසම උස මනුස්සයෙක්ගෙ එහා පැත්තෙන් හිටගෙන උන්නා නම් එයා මන්දස්මිතා එක්ක ගත්ත වෙඩින් ෆොටෝ එක තරම් ඒක ලස්සන වේවිද කියලත්.

“ඕක වහල දාපං බං. කොච්චරවත් ඕක දිහා බලාගෙන උන්නා කියලා ඔය වෙච්ච දේ ආපස්සට හැරෙන්නෙ නෑනෙ නේද” කියලා රුවිනි මගේ අතින් ෆෝන් එක උදුරගන්න හැදුවෙ අන්න ඒ විදියට මං උන් දෙන්නගෙ වෙඩින් ෆොටෝස් දිහාවට.

“මට බලන්න දීපන් රුවිනි… මට දැනගන්න ඉඩ දීපන් මම කොච්චර මෝඩද කියලා. මම අවුරුදු දෙකක් පණ දීලා වගේ ආදරේ කරපු මිනිහා, මට මැණික කියලා කතා කරපු මිනිහා… අද මුළු රටක් ඉස්සරහා කියනවා මම එයාගේ කාලය නාස්ති කරපු කෙනෙක් විතරයිලු. මන්දස්මිතා ළඟ තියෙන අර ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක මට නැති එකද දන්නේ නෑ මාව ටයිම් වේස්ට් එකක් කළේ.” මම කිව්වේ වෙව්ලන කටහඬකින්. මගේ ඇස් දෙක තිබුණේ ෆෝන් ස්ක්‍රීන් එකට ඇලිලා. මන්දස්මිතාගේ ඒ වයින් ග්ලාස් ශරීරෙයි, හොඳට මේන්ටේන් කරපු දිළිසෙන හමයි මාව තවත් පුංචි කරලා පෙන්නුවෙ.

“මතින්ද්‍ර කියන්නේ අමු තිරිසනෙක් මේඝා. ඌ කියපු පලියට උඹේ ආදරේ ටයිම් වේස්ට් එකක් වෙන්නේ නෑ. ඌට දැන් සල්ලි, ලෙවල් එක, ප්‍රසිද්ධිය ඔළුවට ගහලා තියෙන්නේ. බලපන් ඔය ප්ලාස්ටික් බෝනික්කිගෙ ලස්සන නැතිවෙච්ච දවසට ඔය මිනිහා ඕකිවත් අත අරින්නෙ නැද්ද කියලා” 

“එකාතකින් බලද්දි ඌ ඇත්තනෙ බං කිව්වේ. මන්දස්මිතාට තියෙන ඒ ලෙවල් එක මට නෑනේ. මම මන්දස්මිතා වගේ මෝස්තරකාරියක් නෙවෙයි. මම කරේ ඌට උයලා දීපු එකයි, ඌගේ වැඩ වලට රෑ එළිවෙනකම් ස්ක්‍රිප්ට් ලියලා දීපු එකයි ස්ට්‍රැටජි හදලා දීපු එකයි විතරයි. ඌට ඒක මදි ඇති. වටිනකමක් තිබ්බා නම් කියටවත් මාව මේ විදියට විසික්කරලා දාන්නෙ නෑ නේද?” කියලා රුවිනිගෙන් අහද්දි මට මතක් වුණේ මම මතින්ද්‍ර මන්දස්මිතාව බඳින්න යන්නෙ කියලා හොඳම දැන දැනත් මම එයාගෙන් ආදරේ හිඟා කකා පස්සෙන් ගිය විදිය.

“අනේ මට මෙහෙම කරන්න එපා ඉන්ද්‍ර. මන්දස්මිතා මට වඩා ලස්සන ඇති. ඒත් ඔයා හිතනවද එයාට පුළුවන් කියලා කවදාවත් මං කරනවා වගේ ඔයාට ආදරේ කරන්න.

“අනේ මාව දාලා යන්න එපා ඉන්ද්‍ර. ප්ලීස් මට මෙහෙම කරන්න එපා. ඇයි ඔයා දැන් මට ඉස්සර වගේ මැසේජ් කරන්නෙ නැත්තෙ? ඔයා දන්නවද ඉන්ද්‍ර මම ඉස්සර වගේම බලාගෙන ඉන්නෙ ඔයා මට උදේම ගුඩ් මෝනින් කියලා මැසේජ් එකක් දානකම්. මං ඇස් රිදෙනකම් බලාගෙන ඉන්නවා ඉන්ද්‍ර. ඇයි ඉන්ද්‍ර මාව මේ විදියට අමතක කරේ?” කියලා මැසේජ් සීයක් විතර යවලා ඉන්ද්‍ර ඒ කිසිම මැසේජ් එකකට රිප්ලයි කරන්නෙ නැති උනාම මම සෑහෙන හිත රිද්දගත්තා. මට ඕන උනා මතින්ද්‍රගෙ කමිසෙන් ඇදලා අරගෙන, ඒ බෙල්ලෙ එල්ලිලා එයාව හූරන්න. හූරලා හූරලා අහන්න “ඇයි මිනිහෝ මට එහෙම කරේ” කියලා. ඒ උනාට එයාගෙ පැත්තෙන් කිසිම රිප්ලයි එකක් නැති තැන් මම හිත සෑහෙන්න රිද්දගත්තා.

“මං ඔයාට ආදරෙයි ඉන්ද්‍ර. මට හරි පාලුයි ඔයා මට කතා නොකර්න හන්දා. අයෑම් සොරි මං මෙහෙම කියන එක වැරදි ඇති. ඔයාට තරහත් ඇති මං මෙහෙම කියනවට. ඒ උනාට ඔයා මට කියන්න එහෙම නැතුව වෙන කොහොමද ආදරේ කරන්නෙ. මං ඔයාට කතා කරන එක විතරනෙ කරන්නෙත්.

ඔයා එක්ස්ප්ලේන් කරන්නෝන නෑ මට ඇයි ඔයා මෙච්චර දවසක් මට කතා කරේ නැත්තෙ කියලා.

එහෙම ඔයා කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවානම් ඒක වැරදි 

මෙහෙම දෙයක් හොඳයි වෙච්ච එක මට තේරුං ගන්න 

ඔයා මුකුත් එක්ස්ප්ලේන් කරන්න ඕන නැ. ඒත් මට ආයෙ කතා කරන්න.

මං දන්නවා ඔයා බිසී කියන එක

ඔයා එක්ස්ප්ලේන් කරොත් ඔයා මට ආදරේ කරාවි කියලා මං බලාපොරොත්තු වෙනව

මට හිත හදාගන්න බැරිවෙයි කවදාවත්

 මං ටිකක් නිදාගන්නවා.

 මට ටිකක් සනීප නෑ. මාත් එක්ක තරහා වෙන් එපා

මට සමාව දෙන්න අන්තිම වතාවට” කියල හරිම බොළඳ විදියට, අනුකම්පං උපාදාය විදියට මම එයාට මැසේජස් යැව්වා. ඒත් ඒ කිසිම මැසේජ් එකකට මට මතින්ද්‍ර රිප්ලයි කරේ නෑ. එයා උන්නෙ මං කියලා කෙනෙක් මේ ලෝකෙ නැති ගාණට මන්දස්මිතාගෙ ආදරේ අස්සෙ කිමිදෙන ගමන්.

මතින්ද්‍ර මගේ මැසේජ් එකක්වත් කියෙව්වද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒත් මම පිස්සියෙක් වගේ හැම තප්පරේම ඒ චැට් එක චෙක් කළා. ඒ යවපු මැසේජ් ටික ආයෙ කියවද්දී මටම හිතුණේ මම මාරම පහත් විදියට එයා ඉස්සරහා දණ ගහලා තියෙනවා නේද කියලා. ඒත් ඒ වෙලාවේ මට මගේ ආත්මගරුත්වයට වඩා මතින්ද්‍රව ඕන වෙලා තිබුණා.

“දැක්කද අද දාලා තිබුණ අලුත්ම ෆොටෝ එක? උන් දෙන්නා ඩුබායි වල අහස උසට තියෙන හෝටලයක බැල්කනි එකේ ඉඳන් වයින් බොනවා.උඹ මෙහේ නිකන් නයා නැතිවෙච්ච අහිකුණ්ඨකයා වගේ අඬ අඬ ඉන්නවා” කියලා රුවිනි දන්නේ නැතුව කියවගෙන ගියත් එකපාරටම මගේ මූණ දැකලා කතාව නතර කළා.

“සොරි මේඝා… මං උඹට හර්ට් කරන්න හිතාගෙන නෙවෙයි කිව්වෙ…”

“නෑ උඹ කිව්ව දේ ඇත්තනෙ. මතින්ද්‍රට ඕන වුණෙත් ඒ වගේ ලෝකෙට පෙන්වන්න පුළුවන් ගෑනියෙක්වනෙ. මං මොකෙද්ද බං මන්දස්මිතා එක්ක බලද්දි.” මම කිව්වේ මගේ හිරිවැටිච්ච හිත තව පාරගන්න ගමන්.

“එහෙම කියන්න එපා බං. උඹට නොපෙනුනාට උඹව වටින මිනිස්සු මේ ලෝකෙ තව ඇති. මතින්ද්‍රගෙන් මනින්න එපා හැමදේම”

“වටිනවා? වටිනවා නම් මතින්ද්‍ර මට මෙහෙම කරාවිද? මම නිකන්ම නිකන් සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් විතරයි දැන්. මතින්ද්‍ර මාව පාවිච්චි කරලා, එයාගේ අමාරුම කාලේ මගේ කර උඩින් නැගලා උඩට ගිහින්, අන්තිමේදී මාව කුණු කූඩෙට විසි කරපු එක නෙවිද උනේ?

මම කොහොමද  මිනිස්සුන්ගේ මූණ බලන්නේ? ඔෆිස් එකේ හැමෝම දන්නවා මමයි මතින්ද්‍රයි අතර තිබ්බ අෆෙයාර් එක. අපේ ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු දන්නවා දැන් මන්දස්මිතා ව එයා මැරි කරාම මං කෝමද ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ? අන්තිමෙ එයා හැමදේම ලබාගෙන මට හැමදේම නැති කරලා මට මිනිස්සුන්ට මූණ දෙන්න බැරි ලෙවල් එකකට මාව අරගෙන ආව එක නේද කරේ”

“කවුරු හිනා වුණත් උඹට මොකද? උඹ වැරද්දක් කළේ නෑනේ. උඹ කළේ ආදරේ කරපු එක. රවට්ටපු එකා තමයි ලැජ්ජ වෙන්න ඕනේ. උඹ හෙට ඉඳලා ආය ලස්සනට ඇඳලා ඔෆිස් වරෙංකො. මතින්ද්‍ර කියන්නේ උඹේ ජීවිතේ අවසානය නෙවෙයිනෙ මේඝා. ඒක එක පාඩමක් විතරයි.”

“මට බෑ… මට හෙට නෙවි මට ආයෙ කවදාවත් ඔෆිස් යන්න බෑ. මට මාවම අප්පිරියයි. මට පිස්සු හැදේවි කියලා මට බයයි බං. මීට වඩා හොඳයි මම මැරුනා නම්.”

මම කොට්ටේ අස්සේ මූණ ඔබාගෙන මහ හයියෙන් අඬන්න ගත්තෙ ඇත්තටම මට ඒ ෆීලින්ග්ස් දරාගන්න අමාරු වෙච්ච හන්දා. ඩිප්‍රෙෂන් කියන්නේ අඬන එක විතරක් නෙවෙයි, මුළු ලෝකයම තමන්ට හතුරුයි කියලා හිතෙන එක. 

මට ඕන වුණේ මේ හැමදේම නතර කරලා දාන්න. 

මට ඕන වුණේ මතින්ද්‍රට මං ගැන දුක හිතෙන තරමට මාව නැති වෙලා යන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here