මලක් වී යළි පිපෙන්නම් – 79

0
47

රඹුක්වැල්ල නිවසට ගිය සංකල්පනී  චාරුකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නුලාරා ඊයේ හදිසියේ රෝහල් ගත කළ බව පැවසූ නිසාය. සිය ජංගම දුරකථනය සංකල්පනීගේ අංකය සටහන් කරමින් නාදවද්දී චාරුක රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේ 

‘බබා ටිකක් නිදාගන්න…’ යැයි තම බිරිඳට පවසමින්ය. ඇය කයින් සේම මනසින්ද දුර්වලව ඇතැයි වෛද්‍යවරයා තීරණය කලේ අවසන් වෛද්‍ය වාර්තාවත් පැමිණියාට පසුවය. සෝමා පැවසූයේ ඇය ගෙවී ගිය දින කිහිපයේදීම හරි හැටි ආහාරයක් නොගත් බවය. 

“මට සමාවෙන්න චාරුක. ඔයාට තේජන හැම දෙයක්ම කියන්න ඇති. මට නුලාරව බලන්න ඕනේ.”

කිසිවක් නොකියමින් තත්ත්පර කිහිපයක් නිහඬව උන් චාරුක අවසන පැමිණෙන්නයැයි පැවසුවේය. සංකල්පනී ගැන ඒ සිතෙහි වූ පැහැදීම සම්පූර්ණයෙන්ම බැහැරව ගියේ ඊයේ පෙරේදාය. තේජන  පැවසූයේත් නුලාරාගේ සිතුවිලි මේ සා වෙනස් වන්නට පවා ඇය හේතුවක් වන්නට ඇතැයි කියාය. එහෙත් මෙවේලෙහි ඇයට පැමිණෙන්නට එපායැයි පවසන්නට තරම් සිතක් ඔහුට වූයේ නැත. යළිත් චාරුක රෝහල් කාමරයට පිවිසියේ විනාඩි කිහිපයක් කල්පනාබරව සිටියාට පසුවය. 

“කවුද කතා කළේ?…”

නුලාරා  ඇසුවේ මදක් ඉහලට එසවෙන්නට උත්සහ දරනා අතරේය.

“අම්මද…?”

ඔහු  යළිත් අසද්දී  චාරුක හිස වැනුවේ නැතැයි කියන්නටය. 

“අම්මත් මම එක්ක තරහා වෙලා…”

“දැන් බබා කිසිම කෙනෙක් ඔයා එක්ක තරහා වෙන්නේ නෑ. අම්මට මමයි කිව්වේ එන්න හදන්න එපා කියලා. තාත්තා චුට්ටක් හරි මේවා දැන ගත්තොත් ප්‍රශ්නයක්නේ බබා. හැම දෙයක් ගැනම හිතන්න එපැයි. සංකල්පනී කතා කළේ.”

“අනේ එයාට කොහොමද දන්නේ නෑ.”

“එයාට මොකද උනේ…?”

ඒක දිග කතාවක් චාරුක. මට වගේම එයාටත් එයාගේ ජීවිතේ ඒක තැනකදී වැරදුනා. හැබැයි ඒ තැනදී ඔයා තරම් ඉවසීමෙන් රන්දික දරාගෙන හිටියේ නෑ. එයාට ඒ වෙලාවේ උදව් කරන්න කවුරුවත් නැති උනාට එයා මේ වෙලාවේ මට ගොඩක් උදව් කළා.”

“ඒ කිව්වේ…”

“එයා හැම වෙලාවකම කිව්වා මගේ හිතේ තියෙන්නේ සැකයක් විතරයි කියලා. ඒ වගේම ඔයා වැඩ කරන ෆීල්ඩ් එක ගැන. ඔයාගේ අවිවේකී ජීවිතේ ගැන මීට වඩා හිතන්න කියලා කියලා හැම තිස්සෙම කිව්වා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අයට ගොඩක් දේවල් නොලැබෙද්දී, මිනිස්සු ඒ  නොලැබුණු  දේවල් වලට අඬා වැටෙද්දී හූල්ලද්දී  ලැබෙන දේවල් වලට  සතුටු වෙන්න කියලත් එයා මට නිතරම කිව්වා. ඒ වගේම මං ඔයාව කොච්චර අවිශ්වාස කලත් එයා තදින්ම ඔයාව විශ්වාස කළා.” 

“ඒ ඇයි.”

“බබා ලැබෙද්දි මං තියටර් එකට ගත්තහම ඔයා හැසිරුණු විදිහ ඔයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලන් ඉඳපු විදිහ ඔයා කලබල වුනු විදිහ ගැන එයා මට කිව්වා. එයා නිතරම ඇහුවා එහෙම මනුස්සයෙකුට ජීවිත දෙකක් තියෙන්න පුළුවන්ද කියලා.”

“ඉතිං ඇත්තටම ඇයි  ඔයා මාව අවිශ්වාස කළේ..?”

“ඒක වෙනම කතාවක්. සංකල්පනී මට එහෙම කියද්දී ධනුක නිතරම කෝල් කරල මට ඔයා ගැන කිව්වේ වැරදි විතරයි.” 

“ධනුක?”

“ඔව්…සංකල්පනී මට කතා කරලා ධනුක ගැන විස්තර කියන කල්ම මම ධනුකව විශ්වාස කරා චාරුක. මට ලැජ්ජයි. මං දැන් දන්නවා මට ජීවිතේ වැරැද්දුවේ ධනුක කියලා. හැබැයි දනුක එහෙම කතා කරල මට බොරු කේලම් කියන තත්වෙට එයාව පොළඹව ගත්තේ මම. මමයි කතා කරලා ධනුකට කිව්වේ ඔෆිස් එකේ වෙන හැම දෙයක්ම මට කියන්න කියලා. එයා හැම තිස්සේම කිව්වේ ඔයා මං ළගඳී රඟපානවා කියලා”

“ඔයාට කියන්න තරම් දෙයක් ඔෆිස් එකේ උනේ නෑ බබා. අපි හැමෝටම තිබුණේ හරි කාර්යය බහුල ජීවිත.”

“මට ඒක තේරෙන්නේ දැන්. අමායා ඔයාගේ  ඔෆිස් රූප් එකට ආවත් ඒ ආපු ගියපු වෙලාව පවා ධනුක මට කතා කරලා කියනවා. ඔයා මන්දස්මි එක්ක  එළියට ගියත්  මන්දස්මි ඔයාගේ ඔෆිස් රූම් එකට ආවත් ඒ ආව ගිය වෙලාවල් පවා කියනවා. සමහර ඔයාට කියන්න බැරි දේවල් පවා….මං ඒ වෙලාවේ හිතුවේ ධනුක මට හොඳ යාළුවෙක් කියලා.”

“සංකල්පනී මේ දේවල් දැනගෙන හිටියද?”

“නෑ….ධනුක මට නිතරම කිව්වා සංකල්පනී මේ දේවල් දැනගෙන හිටියත් ඔයාට කියන්න කැමති නෑ කියලා. ඒ ධනුකගේ ජොබ් එක නැති වෙයි කියලා බයට කියලා. ධනුක කිව්වා ජොබ් එක නැති උනත් කමක් නෑ මට මේ දේවල් ඔයා එක්ක නොකියා බෑ කියලා.  එයා මට ඔයා ගැන මේ දේවල් කියනවා කියලා සංකල්පනී දැනගත්තොත් ඒක එයාලගේ ජීවිතේ වලට පවා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලත් කිව්වා. ඒ වෙලාවේ මට හිතුනේ ගොඩක් මිනිස්සු වගේ සංකල්පනී  කරන්නෙත් වාසියට  ඇත්ත හංගලා ඔයාවයි මාවයි එකතු කරල තියන්න උත්සාහ කරන එක කියලා. මට තාමත් හිතා ගන්න බැරි ඇයි මං ඒ වැරදි දේවල් විතරක් අහන්න උත්සාහ කළේ කියලා. ඔයාගේ හොඳ, ඔයාගේ ආදරේ,  ඔයාගේ රැකවරණය ඇයි මට නොදැනුනේ කියලා.”

“ඇයි සංකල්පනී එයාගේ හස්බන්ඩ්ව දාල ධනුක එක්ක ආවෙ.” 

“ඒ දෙන්න අතර ඇතිවෙච්ච අපැහැදීමක් නිසා හරියට අපි අතර වගේ.”

නුලාරා තමා දැන උන් කතාව ඔහුට පැවසූයේ කෙටියෙන්ය. රෝහල් කාමරයේ දොරට කිසිවෙකු විසින් තට්ටු කළේ එවේලෙහිය. ධනුක ඇතුළට පැමිණෙන්නයැයි  පවසද්දීම කාමරයේ දොර විවර විය. මුලින්ම රෝහල් කාමරයට ඇතුළු වූයේ සංකල්පනීය. ඈ පිටුපස වූයේ නුලාරා ඇගේ සැමියායැයි පැවසූ රන්දික විය යුතුය. 

“රන්දිකත් ඔයා වගේ හරි උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක්. ඒත් සංකල්පනීට ඒ කාලේ රන්දික ගැන පැහැදීමක් තිබුනේ නෑ. ධනුක ගැන දැනගතපු ගමන්ම රන්දික ගිහිල්ලා සංකල්පනීව එක්කරගෙන ආවා. එදා තමයි මට සංකල්පනී කිව්වේ අපි නැවතුනේ අපිට සුදුසු අපිට හොඳම තැන කියලා. සංකල්පනී කිව්වා රන්දික  මට මේ දෙන ආදරේට ගෞරවයට වගේම චාරුක ඔයාට දෙන ආදරයට ගෞරවයට අපිට කරන්න පුළුවන් හොඳම දේ, එකම දේ එයාලව මානසිකව සතුටින් තියෙන එක තමයි කියලා.”

නුලාරා අවසනට පැවසූ ඒ වදන් යළිත් චාරුකට  සිහි වූයේ සංකල්පනී නුලාරාගේ හිස අතගාමින් ඈ දෙස  බලා සිටියදීය.

“හැම දෙයක්ම අඳුරු අතීතයක් කියලා හිතලා අපි අමතක කරලා දාමු. මං හැමදාම කිව්වා වගේ චාරුක කියන්නේ ඔයාට මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන මනුස්සයා. එහෙම අයට ජීවිත දෙකක් නෑ. පහුගිය දවස් ටිකේ කෑමක් බීමක් හරියට ගත්තේ නැතුව හිත හිතා ඔයාම විඳෙව්වා.”

නුලාරාගේ දෑස්මත්තේ යළිත් පැමිණ නතර වූයේ කඳුළකි. ඕ රන්දික දෙස බැලුවේ සිනහමුසුවය. ඒ මුහුණෙහි වූයේත් සිනහවකි. ඔහු ප්‍රියමනාප කඩවසම් පිරිමියෙකි. 

“හැබැයි චාරුක,  එහෙම උනේ නුලාරා ඔයාට ආදරේ වැඩි නිසා. ඒ නිසාම එයා හිටියේ කොයිම වෙලාවක හරි ඔයාව එයාට නැති වෙයි කියන බයෙන්. අපිට මේ ජීවිතයේ සමහර දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වැරදුන තැනකින්ම තමයි.”

යළිත් ඔහු එසේ පැවසූයේ චාරුක දෙසට හැරීගෙනය.

“මචං මෙයාලට කතා කරගන්න දීලා අපි යං එළියට…”

අවසන චාරුක රන්දික දෙසට හැරුනේ සිනහසෙමින්ය. ඒ වද්දී සංකල්පනී පිළිබඳව ඔහුගේ සිතෙහි වූ අපැහැදීම සම්පූර්ණයෙන්ම දුරුව තිබිණ. 

“අනේ සොරි චාරුක මට අඳුන්වල දෙන්න බැරි වුණා මේ…”

“මං දන්නව සංකල්පනී බබා මට හැම දෙයක්ම කිව්වා.”

රන්දිකත්  චාරුකත් ඔවුනොවුන්ව  හඳුනා ගත්තේ රෝහල් කාමරයෙන් පිටතට පැමිණියාට පසුවය. සැබවින්ම  ඔහු මහත්මා ගතිගුණ ඇති මිනිසෙකුයැයි චාරුක සිතුවේ නුලාරාගේ වදන් වලට පසුවය. එවන් මිතුරන් ජීවිත වලට ආශිර්වාදයකි. 

                                   ************

රහස් පොලිසිය ධනුක පිළිබඳව සෝදිසියෙන් සිටියේ චාරුකගේ පැමිණිල්ලෙන් පසුවය. කොහොමටත් දින කිහිපයක සිට ඔවුන්ගේ නිලධාරීන් කාර්යාලය තුළ පවා ගැවසෙමින් සැකයට තුඩු දෙන කාරණා පිළිබඳව විපරම් කළේය. එසේම සංගීත ප්‍රසංගය පවත්වන්නට සූදානමින් සිටින ශාලා ගැන පවා ඔවුන් උන්නේ විමසිල්ලේය. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණීමට නියමිත විදේශ සුපිරි තරු  සේම මාධ්‍ය කණ්ඩායම් වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට ඔවුන් බැඳී සිටියේය. ඒ අනුව ධනුකත් සේරසිංහත් රහසිගතව හමු වූ සැඳෑවක් ඔවුන්ගේ අවධානයට ලක්ව තිබිණ. ධනුක සුපුරුදු ලෙස කාර්යාලයට පැමිණියත් කිසිවෙකු ඔහුට වෙනසක් නොපෙන්වා සිටියේ රහස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මතය. 

“මේ කෙනාව අඳුනනවද…?”

සිවිල් ඇඳුමින් කාර්යාලයට පැමිණි රහස් පොලිස් නිලධාරියෙකු තේජනගෙන් ප්‍රශ්න කළේ ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූපයක් පෙන්වමින්ය. 

“මට ටිකක් දැකල පුරුදුයි එකපාරටම කල්පනාවට එන්නෙ නෑ. හැබැයි බිස්නස්මන්  කෙනෙක් කියලා ෂුවර්.”

“කලින් මෙයා වර්ණ ගෲප් එකත් එක්ක වැඩ කරලා තියෙනවා. කාලයක්ම ලංකාවෙන් පිට ඉඳලත් තියෙනවා. දැන් වැඩ කරන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකේ.”

“චාරුකගේ වයිෆ් ටිකක් අසනීප වෙලා හොස්පිට්ල් එකේ. චාරුක ඒක නිසා අද ඔෆිස් එකට ආවේ නැහැ. කලින් වර්ණ ගෘප් එකේ වැඩ කළා නම් අපේ සෙක්‍රට්‍රි නොදැන ඉන්න විදිහක් නෑ.”

ඒ අනුව දුරකථන ඇමතුමක් ඇයට ලබා දුන් තේජන ඇයව කාර්යාල කාමරයට කැඳවා සිටියේය. ඇයත් පැවසූයේ මේ හොඳින් දැක පුරුදු මුහුණක් බවය. ඉන් පසුව වට්ස්ඇප් මාර්ගයෙන් තමාගේ දුරකථනයට ගෙන්වාගත් සේයාරුව තාත්තාට යැව්වේ ඔහු වර්ණ ගෲප්  සමග සේවය කළේනම් ඒ තාත්තා සිටි කාලයේයැයි සිතුණු නිසාය. අවසන ඕ තාත්තාට දුරකතන ඇමතුමක් ලබාදී ඡායාරූපය බලන්න යැයි  පැවසුවාය.

යළිත් වරක් තාත්තා අමායාගේ  ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගද්දී රහස් පොලිස් නිලධාරියා පැවසූයේ ස්පීකර් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ලෙසය.

“පොඩි දූ  මං මේ මිනිහ දන්නවා. මේ තමයි සේරසිංහ. ඉස්සර ඔය මිනිහා අපේ රඹුක්වැල්ල මහත්තයගේ ගජ යාළුවෙක්. දෙන්න සල්ලි දාලා තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. අන්තිමට සේරසිංහට ඕන උනා මේ ඔක්කොම තනියම පාලනය කරන්න. යාළුවෙක් වුණාට සේරසිංහ කියන්නේ එකට ව්‍යාපාර කරන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. ඒ මිනිහා හරි අමුතු මිනිහෙක්. පස්සේ ලීගලි  එයාගේ ශෙයාර්ස් මේ කම්පැනි එකෙන් අයින් කරන්න රඹුක්වැල්ල මහත්තයා පියවර ගත්තා. අන්තිමට ඔය මිනිහා රඹුක්වැල්ල  මහත්තයාගේ පවුල කඩල දාන්නත් සෑහෙන්න උත්සාහ කළා. බිස්නස් වලින් රඹුක්වැල්ල මහත්තයව වට්ටන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගැහුවා. ඊට පස්සෙ කාලෙකදී ලංකාවෙන් ගියා. මට ඔය කවුරුහරි කිව්වා දැන්නං  ගාමන්ට් පැක්ටේරියක් කරනවා කියලා. ඇයි දුව මගෙන් ඒ මිනිහ ගැන අහන්නේ.”

“නෑ තාත්තා මේ අහම්බෙන් දැක්කා.  යාළුවෙක් කිව්වා ඉස්සර රඹුක්වැල්ල කම්පැනි එකේ වැඩ කරපු කෙනෙක් කියලා.”

“රඹුක්වැල්ල කම්පැනි  එකේ වැඩ කරපු එක්කෙනෙක් නෙමෙයි රඹුක්වැල්ල  කම්පැනි එක විනාශ කරන්න ආපු මනුස්සයෙක් ඔය.” 

රහස් පොලිස් නිලධාරියා තම දකුණතින් සංඥා කළේ දුරකථන ඇමතුම නිමා කරන ලෙසය. අවසන ඔහු කාර්යාලයෙන් නික්ම ගියේ සැකයට තුඩු දෙන හේතුවක් සොයා ගෙනය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here