5th Avenue – 05

0
164

සියල්ලෝම නිහඬව බිය පත්ව බලා ඉන්නා ශෙනෝලි වෙත අවධානය යොමු කර බලා සිටියෝය.

” Love Beats කොන්සර්ට් එකේ ආටිස්ට් කෙනෙක්ව replace කරන්න වෙලා. ඕගනයිසින් කමිටි එක ඔයාට උදේ ඉඳන් කෝල් කරලා.කාටවත් ඔයාව කන්ටැක් කරගන්න බැරි වෙච්ච නිසා එයාලා මට කෝල් කරා ” 

මේඝ ගේ හඬ හමුවේ සම්පූර්ණ ස්ටුඩියෝවම පැවතියේ නිහඬතාවයක ගිලී ගෙනය.එය බලා හිඳින්නට බැරිම තැන අශේන් අඩියට දෙකට ඉදිරියට පැමිණ මේඝ සහ ශෙනෝලි ඉදිරියේ නැවතුනේය.

” මේඝ, calm down වෙලා ශෙනෝලිට කතා කරන්න දෙන්න.එයා කවදාවත් එයාගේ responsibilities මග අරින කෙනෙක් නෙවෙයි නේ. එයාට හේතුවක් ඇති ” 

මේඝ අශේන් දෙස බලා දෑත් බැඳ ගත්තේය. තමා මේ මොහොතේදී හඬ අවදි කළ යුතු දැයි නැද්දැයි සිතමින් රිහාන් බලා සිටියේ ගිටාරය ද පසෙකින් තබාය.

” හේතුව මොකක් වුණත් මෙතන හැමෝම එයා නිසා බලාගෙන හිටියා කියන එක වෙනස් වෙන්නේ නෑ අශේන් ” 

මේඝ ගේ ස්වරය තවත් උස් වූවා මිසක මදක් හෝ මෘදු වූයේ නැත.

” Im sorry ” 

ශෙනෝලි හඬ පිට කළාය. පැහැදිලි කිරීමක් හෝ තමා වෙනුවෙන් සිට ගැනීමක් ඒ හඬෙහි ගැබ් වූයේ නැත. ඇගේ මුහුණේ වූ ඉරියව් වල වෙනසක් වූයේද නැත. උර මත එල්ලාගෙන සිටි අත්බෑගයේ වූ ලැප්ටොප් පරිගණකය පිටතට ගත් ශෙනෝලි ස්ටූඩියෝවේ කෙළවරෙහි වූ හිස් අවකාශය වෙත ඇවිද ගියේ නිහඬවමය.

” අපිට තිබුණා එයා කියන දේ පොඩ්ඩක් අහන්න “

අශේන් මයික්‍රෆෝනය වෙත ලං වූයේ එසේ පවසමිනි

” ඒවට වෙලාවක් නෑ අශේන්. දැනටමත් අපේ වෙලාව ගොඩක් නාස්ති වෙලා තියෙන්නේ “

මේඝ දුරකථනය දෙස බලමින් විශාල දොර විවෘත කරගෙන පිටතට යන විටම අනෙක් සියල්ලෝම නැවත පුහුණුවීම් ආරම්භ කළෝය.එහෙත් මොහොතකට පෙර සිදු වූ සිදුවීම පිළිබඳව සියල්ලන්ගේම සිත්වල වූයේ නොසන්සිඳුනු කම්පාවකි.

ශෙනෝලි ඊමේල් පණිවිඩ දිගහැර Love Beats ප්‍රසංගයේ සංවිධායකවරු විසින් ඒවා තිබුණු විශේෂ පණිවිඩය විවෘත කර ඒ දෙස බලා උන්නේ හිස් හැඟීමකිනි.

පෞද්ගලික හේතුවක් මත සුප්‍රසිද්ධ ගායකයෙකුට ප්‍රසංගයට සහභාගී වීමට නොහැකි වන බැවින් ඔහු වෙනුවට වෙනත් අයෙකු ප්‍රසංගයට සම්බන්ධ කර ගැනීමට සංවිධායකවරු තීරණය කර ඇති බවත් , පුහුණුවීම් සඳහා ඔහු හට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමකුත් එම පණිවිඩයේ සඳහන් විය. 

සංගීත කණ්ඩායමේ කාල සටහන් ඇතුළත් ෆෝල්ඩරය දිගහැර ගත් ශෙනෝලි අදාළ ප්‍රශ්නය විසඳන්නට යුහුසුළු වෙමින් ප්‍රධාන සංවිධායකයා වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

” හෙලෝ. මම ශෙනෝලි ” 

ඇමතුමට සම්බන්ධ වූ ඇය අදාළ සංවිධායකයාට ඇහුම්කන් දෙමින් අවශ්‍ය දෑ සටහන් කර ගත්තාය.

” මට විනාඩි පහළොවක් දෙන්න “

ඇමතුම අවසන් කළ ශෙනෝලි සංගීත කණ්ඩායමේ සියලු සාමාජිකයන්ගේ කාලසටහන් සහ අනෙක් කාරණා ද සියල්ල නිරීක්ෂණය කරමින් සංගීත ප්‍රසංගයට සහභාගී වන නව ගායකයාට පුහුණුවීම් සහභාගී වීමට වේලාවක් සකස් කර ගත්තාය.අනතුරුව එය අදාල ගායකයා වෙත සහ සංවිධායක මණ්ඩලය වෙතට දැනුම් දුන්නාය.

ශෙනෝලි වාඩිවී හුන් තැනින් නැගිට්ටේ තවත් විනාඩි පහකට පමණ පසුවය. පෙර නොවූ සන්සුන් බවකින් කණ්ඩායම් සාමාජිකයන් වෙත ඇය පැමිණෙන විට මේඝ ද ඔවුන් අසල වාඩි වී පුහුණුවීම් දෙස බලා උන්නේය. පුහුණු වෙමින් උන් ගීයේ අවසාන කොටස ද අවසන් වූ පසු සියල්ලෝම පුහුණුවීම් නතර කර ශෙනෝලි දෙස බැලුවේ ඇය යමක් පවසන්නට බලා ඉන්නා බැව් දැනුනු බැවිනි.

” අද එකහමාරට ආකාශ් එනවා ඔයාලත් එක්ක ප්‍රැක්ටිස් වලට.තුන වෙනකං එයාගේ ප්‍රැක්ටිස් සෙෂන් එක යනවා. ඊට පස්සේ ආපහු පහ වෙනකං ඔයාලට ප්‍රැක්ටිස්. හරිනේ ? ” 

” So… it’s all sorted already? ” 

මේඝ විමසුවේ පුදුමයෙනි. ශෙනෝලි පැමිණ පැය භාගයක් වත් ගත වන්නට මත්තෙන් ප්‍රශ්නය විසඳී ඇත. තමා ශෙනෝලි වෙනුවෙන් ඒ සඳහා අවධානය යොමු නොකළේ එය ඉතා අමාරු කාර්යභාරයක් යැයි සිතමින්ය.එහෙත් ප්‍රමාද වී පැමිණි තරුණිය සුළු වේලාවක් ඇතුලත සියල්ල විසඳා ඇත.

මේඝ ගේ පැනයට පිළිතුරක් වශයෙන් ශෙනෝලි මද සිනහවක් පමණක් පා ස්ටූඩියෝවෙන් පිටතට පැමිණියේ දිග හුස්මක් ගන්නටය.උදෑසන අවදි වූ මොහොතේ පටන් තමා ගෙවූ සෑම නොසන්සුන් තත්පරයක්ම මදක් හෝ පහව යන්නේ දැන් ය. 

” කෙල්ල වැඩ්ඩා ” 

අශේන් සිනාසී පැවසුවත් කිසිවකු එයට කිසිවක් පැවසුවේ නැත. මේඝ උන්නේ සඟවා ගත් ලැජ්ජාවෙනි.තමාට විසඳා ගත නොහැකි ගැටලුව ශෙනෝලිගේ උර මත තබමින් ඇය පිට වරද පටවා බලා සිටියේ ඇය එයට පැටලෙනු දැකීමට වුවත් ඇත්තටම එවැන්නක් සිදු වූයේ නැත. සිදු වූයේ වෙනදා මෙන්ම ඇය එය විසඳා ගැනීමය.

ශෙනෝලි ස්ටූඩියෝවට පිවිසෙන කොරිඩෝවේ ඇති පුටුවක් මතට බර වී ඉදිරියෙන් පෙනෙන බිත්තිය දෙස බලා උන්නේ නිසොල්මනේය.වගකීම් සහ රාජකාරී ඉදිරියේ තමා ශක්තිමත් තරුණියක බව සැබෑය.එම ශක්තිමත් තරුණියව සෑම කෙනෙකුම සෑම මොහොතකම බලාපොරොත්තු වීම දැන් පැමිණ තිබෙන්නේ අවාසි සහගත තත්ත්වයකටය. මොහොතකට හෝ දුර්වල වීමට , එසේත් නැතිනම් මොහොතකට හෝ නතර වී වෙහෙස නිවා ගැනීමට තමාට හැකියාවක් ඇත්තේ නැත. බැලූ බැලූ අත තිබෙන්නේ වගකීම් මිස අන් කිසිවක් නොවේ. ශෙනෝලි තප්පර කිහිපයකට දෑස් තද කර ගත්තාය.

” ශෙනෝලි ” 

ශෙනෝලි තිගැස්සී දෑස් හැරියේ ඒ ප්‍රතාපවත් හඬ හමුවේය. ඇය ඉදිරියේ සිටගෙන ඇය දෙස ඍජුව බලා උන්නේ රොහාන් එදිරිසිංහය. ඔහු ස්ටූඩියෝව වෙත පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. ශෙනෝලි වාඩිවී හුන් තැනින් නැගී සිටියේ වරදක් සිදුවී ඇතැයි යන හැඟීමෙනි.

” ඇයි දරුවෝ මෙතන ? ” 

” අ… මේ ඇතුලෙ කට්ටිය ප්‍රැක්ටිස් කරනවා අංකල්.මං ටිකක් එළියට ආවා ” 

ශෙනෝලි සිනාසෙන්නේ ආයාසයෙන් බව රොහාන් හඳුනා ගත්තේ එක් මොහොතකිනි.ඒ ගැන නොවිමසාම ඔහු මඳ සිනහවකින් යුතුව ස්ටූඩියෝවේ දොර විවෘත කරගෙන එයට ඇතුළු වූයේය. 

පුහුණුවීම් වල නිරතවී හුන් තරුණයන් සියලු දෙනා නතර වූයේ රොහාන්ගේ අන්පේක්ශිත පැමිණීමෙනි.ඔහු පැමිණෙන බව අඩුම තරමේ ඔහුගේ පුත්‍රයා වූ රිහාන්වත් දැන උන්නේ නැත. ව්‍යාපාර වලදී හෝ රාජකාරී වලදී දැන හැදුනුම්කම් වලට මුල් තැන නොදෙන රොහාන් ස්ටූඩියෝවට පැමිණෙන සෑම අවස්ථාවකදීම පවා සියල්ලන්ටම සැලකුවේ එක සමාන ලෙසය. එම නිසා රිහාන් තම පියාගෙන් යමක් විමසන්නට හෝ ඉක්මන් නොවූයේය.

” මං මීටින් එකක් ඉවර වෙලා මේ පැත්තෙන් යන ගමන් හිටියේ. අද ප්‍රැක්ටිස් නිසා පොඩ්ඩක් බලලා යන්න ආවා ” 

රොහාන් හට සිනහවකින් සංග්‍රහ කළා මිස කිසිවෙකුත් කිසිවක් කියන්නට ගියේ නැත. ඒ තවත් ප්‍රශ්නාර්ථයක් ඔහුගේ මුහුණේ සටහන් වී තිබූ නිසාය.

” මෙතන මොකක් හරි වුණාද මං එන්න කලින් ?” 

අශේන් මේඝ ගේ මුහුණ දෙස බලා යමක් කියන්නට සූදානම් වෙද්දීම මේඝ ඔහු වළක්වන්නට මෙන් රොහාන් අසලට පැමිණ අන් අය දෙසද බලා හඬ අවදි කළේය.

” ශෙනෝලි අද පොඩ්ඩක් ලේට් උනා අංකල්.ඒකෙන් මෙතන වැඩ වගයක් එහෙ මෙහෙ වුණා ” 

” ඇයි මොකද්ද උනේ ? ” 

රොහාන් ආපිට විමසුවේ ශෙනෝලි කෙරෙහි උපන් කෝපයකින් නොවේ. ඒ ඇය රාජකාරියට කැපවෙන තරම අත්දැකීමෙන්ම දන්නා නිසා මෙන්ම ඒ කැපවීම ඇගේ ජාන තුළද පවතින නිසාය.

” මේ වීකෙන්ඩ් එකේ තියෙන කොන්සර්ට් එකේ ආටිස්ට් කෙනෙක්ව replace කරන්න වෙලා අංකල්. එයාගේ ප්‍රැක්ටිස් ටයිම් එක ශෙඩුල් කර ගන්න ඕගනයිසර්ස්ලා උදේ ඉඳන්ම ශෙනෝලිව කන්ටැක්ට් කර ගන්න ට්‍රයි කරලා.ශෙනෝලි ෆෝන් එක ආන්සර් කරෙත් නෑ. ආවෙත් පරක්කු වෙලා ” 

මේඝ එක හුස්මට කියා දැම්මේ රොහාන් ශෙනෝලිව ගෙන්වා අවවාදයක් හෝ ලබා දෙතැයි යන අරමුණෙනි. 

” එතකොට ඒ ප්‍රශ්නේ විසදුනාද ? “

” ඒක ශෙනෝලිම ඇවිල්ලා sort out කලා තාත්තා ” 

කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක රිහාන් පිටුපස සිට උස් හඬින් පිළිතුරු දුන්නේය. 

” ඒ වගේ දෙයක් උනහම ඒකට මැදිහත් වෙන්න ඔයාටත් responsibility එකක් තියෙනවා මේඝ. ඒකට ශෙනෝලි මෙතනට එනකම්ම ඉන්න ඕනේ නැහැ. බෑන්ඩ් එකේ හැම responsibility එකක්ම ඔයාටයි එයාටයි දෙන්නටම තියෙනවා.ඔය දෙන්නගේ responsibilities මොනවා උනත් මෙතන වෙන හැමදේම සම සමව ඔය දෙන්නම දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ වගේ ප්‍රශ්නයක් ආවම එක්කෙනෙක් නැතත් අනෙක් එක්කෙනාට ඒක විසඳන්න පුළුවන් වෙන්නේ “

මේඝ ගොළු වී බලා උන්නේ බලාපොරොත්තු නොවූ පිළිතුර හමුවේ කිසිවක් කියාගත නොහැකිවය. නමුත් ඒ පිළිතුර පිළිබඳව අන් සියලු දෙනාගේම යටි සිත් තුළ වූයේ සතුටකි.

” අනිත් එක.. ” 

රොහාන් නතර වූයේය.අනතුරුව සියල්ලන් දෙසම බලා දෑස් මේඝ මත නතර කර ගත්තේය.

” ඔයාලා හැමෝම එක ටීම් එකක්. ඒ ටීම් එක ඇතුලේ හැමෝම එක වගේ සතුටින් ඉන්න ඕනේ. හැමෝම අනිත් කෙනා වෙනුවෙන් පෙනී ඉන්නත් ඕනේ.ශෙනෝලිට පුලුවන් නම් ඔයාලා හැම කෙනා වෙනුවෙන්ම පෙනී ඉන්න, ඔයාලටත් ඒ හැඟීම එහෙමම එයා ගැන තියෙන්න ඕනේ. කවදාවත් කිසි දේකට පරක්කු වෙන්නේ නැති එයා අද පරක්කු වෙලා ආවේ මොන හේතුවකට වුනත්, ඔයාලා කාටවත් හැමදේම එයාගේ පිට පටවලා අත පිහිද ගන්න බෑ මීට පස්සේ ” 

රොහාන් පිට වූයේ සන්සුන්වය. එහෙත් මේඝ උන්නේ නොසන්සුන්වය.

” දැන් එතකොට සේරටම මමද වැරදි ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here