5th Avenue – 06

0
130

නොසන්සුන්ව හිඳී මේඝව සන්සුන් කිරීම සඳහා කිසිවෙකුත් වෙර දැරුවේ නැත. පුහුණුවීම් සඳහා කාර්යබහුල වූ 5th Avenue ස්ටූඩියෝව නිදහස ලැබුවේ සවස පහත් පසුවූ පසුය. එතෙක් සියල්ලෝම විවේක කාලයක් ලබා ගත්තේ හෝ දහවල් ආහාරය සඳහා පමණකි.ශෙනෝලි නිහඬවම තම රාජකාරියේ ඉතිරි කොටස් සම්පූර්ණ කරමින් ස්ටූඩියෝවේ කෙළවරෙහි වූ නිදහස් අවකාශයේ කාලය ගත කළ අතර ඇයට බාධා කිරීම සඳහා කිසිවෙකුත් පැමිණියේද නැත.

” ශෙනෝ, මං ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරන් යන්නද ? “

සියලු වැඩ අවසන් කර ස්ටූඩියෝවේ විදුලි බල්බ නිවා දමන ශෙනෝලි අසලට පැමිණ අශේන් එසේ විමසුවත් ඇය එයට උනන්දු වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

” මට යන්න පුළුවන් අශේන්.මෙතන ඉඳලා මහ දුරක් නෑනේ ” 

” ඒ නිසා තමයි ඉතින් මට ඔයාව ලේසියෙන්ම ඩ්‍රොප් කරන් යන්න පුළුවන් ” 

ශෙනෝලි ස්ටූඩියෝවෙන් පිටතට පැමිණි අතර අශේන්ද ඇය පසුපස පැමිණ කොරිඩෝවේ නතර වූයේය. ශෙනෝලි සුවිසල් දොර අගුළු ලා යතුර අත් බෑගයට දමා ගෙන ඇය වෙනුවෙන් පැමිණෙමින් තිබුණු ත්‍රී රෝද රථය කොහේදැයි පිරික්සා බලන්නට දුරකථනය අතට ගත්තාය.ස්ටූඩියෝව පිහිටි ගොඩනැගිල්ල පාමුල ත්‍රී රෝද රථය නවතා ඇති බවට ලකුණක් එහි සටහන් වී තිබිණි.

” මගේ ඌබර් එක ඇවිල්ලා.ගුඩ් නයිට් අශේන්” 

ශෙනෝලි මදහස් පා පඩිපෙල බැස එද්දි අශේන් එතනම නතර වී බලා උන්නේ පරාජිත හැඟීමෙනි. රටේ ප්‍රසිද්ධ ගායකයකු වූ තමාට තරුණියන්ගෙන් ලැබෙන්නේ අසීමිත වූ ආකර්ෂණයකි. තමා අතිශය සාමාන්‍ය ගමනක් ගියද කතා කිරීමට සහ ඡායාරූප ගැනීමට පැමිණෙන අයද බොහෝය.තමා ජනප්‍රිය පුද්ගලයකු වීමට පෙර සිටි මිතුරියන් පවා දැන් තමා හමුවන්නට බොහෝ උත්සාහ දරන්නේය.එසේ තිබියදී ශෙනෝලිට තවමත් තමා සාමාන්‍ය තරුණයකු පමණක් වීම පුදුමයට කරුණකි.

රිහාන් නිවසට පැමිණෙන විට සවස හයයි තිහ පසුවී තිබිණි. ගෙමිදුලේ පියාගේ වාහනය පෙනෙන්නට නොතිබුණු බැවින් ඔහු තවමත් නිවසට පැමිණ නැතැයි අනුමාන කරමින් වාහනයෙන් බැස ගත් රිහාන් නිවසට ඇතුළු වූයේ වෙහෙසකර බවිනි.

තම පුතුගේ වාහනයේ හඬ ඇසුණු බැවින් ශ්‍යාමලී එදිරිසිංහ නිවසේ ප්‍රධාන දොර අබියසට පැමිණියේ සුදු පැහැ ලිලී මල් වලින් සපිරි තරමක් විශාල මල් කළඹක්ද අතැතිවය.

” මේ මොකද අම්මා මේ ? ” 

රිහාන් පුදුමයෙන් විමසූ අතර ශ්‍යාමලීගේ මුහුණේ පිරී තිබූයේ ප්‍රබෝධමත් සිනහවකි.

” ඒක ඉතිං අහන්න ඕන මේක එවපු කෙනාගෙන්ම තමයි පුතා ” 

රිහාන් මල් කළඹ අතට ගෙන ඒ මේ අත හරවා බැලූවත් එය එවන ලද කෙනෙකුගේ නමක් හෝ කාඩ් පතක් හෝ දක්නට නොවීය. 

” කාඩ් එකක්වත් නෑනේ අම්මා.කවුද දන්නෙ නෑ එව්වේ ” 

රිහාන් තවදුරටත් මල් කළඹ තුළ පරීක්ෂා කර බැලුවේ කාඩ් පතක් ඒ මල් අතර හෝ තිබේ යයි බලාපොරොත්තුවෙනි.

” සමහරවිට අමතක වෙන්න ඇති පුතා “

” අමතක උනාද, එහෙම නැත්නම් එව්ව කෙනාව මං දැනගන්න ඕනේ නැති නිසාද දන්නෙ නෑ ” 

රිහාන් මල් කළඹ ගෙන තරප්පු පේළිය නැග ඉහළ මාලයට පිවිසෙන තෙක් ශ්‍යාමලි බලා උන්නාය. නිදන කාමරයේ දොර විවෘත කරගෙන එයට ඇතුළු වූ රිහාන් විශාල මල් කළඹ නිදන යහන අසල ඇති කුඩා කබඩ් එක මතින් තබා ඒ දෙස බලා හිඳ යහන ඉදිරිපිට ඇති සැප පහසු පුටුවෙන් වාඩිවී සාක්කුවේ වූ ජංගම දුරකථනය අතට ගත්තේය.

පුහුණුවීම් පැවැත්වෙන වේලාවට සහ ප්‍රසංග වෙනුවෙන් කාර්යබහුල වී ඇති වේලාවන් වලදී දුරකථනය වෙත ප්‍රමුඛතාවය නොදෙන රිහාන් දහවල සිට පැමිණ ඇති whatsapp පණිවිඩ පරීක්ෂා කිරීම ආරම්භ කළේය. මගහැරුණු පණිවිඩ ගණනාවක්ම පැමිණ තිබූ අතර ඒවා එකින් එක කියවා බලද්දී නොදන්නා අංකයකින් පැමිණ ඇති පණිවිඩයක් වෙත රිහාන් ගේ අවධානය යොමු වූයේ ඊළඟ නිමේෂයේදීය.

” The flowers are just a small way of saying I appreciate you. I hope you like them.”

නොදන්නා අංකයකින් පැමිණ ඇති පණිවිඩය දෙස රිහාන් විනාඩියකටත් වඩා කාලයක් බලා උන්නේ කුතුහලයෙනි. තමා බේස් ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස කණ්ඩායමේ කටයුතු කළත් ප්‍රසංග වලදී ගීත ගායනා කිරීමත්, තමාගේම ගීත කිහිපයක් එළි දක්වා තිබීමත් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වීමත් නිසා තෑගි බෝග ලැබීම සාමාන්‍ය දෙයක් වුවත් මෙලෙස නිර්නාමික ආකාරයෙන් මල් කළඹක් හෝ ලැබුණේ ප්‍රථම වතාවටය.

ඊළඟ තත්පරයේදී රිහාන් වහාම පණිවිඩය පැමිණ තිබුණු දුරකථන අංකය පරීක්ෂා කර බැලුවේය.එහෙත් එහි ඡායාරූපයක් හෝ ඇතුළත් කර නොතිබීම නිසා පණිවිඩය එවන ලද්දේ කවුරුන් දැයි යන වග රිහාන්ට තවදුරටත් කුතුහලයක්ම විය.

හදිසියේ සිතට ආ සිතුවිල්ලක් මත රිහාන් එම අංකය අමතා අනෙක් පස සිටින්නා ඇමතුමට සම්බන්ධ වනතෙක් බලා උන්නේය.බලාපොරොත්තු නිෂ්ඵල කරමින් කිසිවෙකුත් ඇමතුමට සම්බන්ධ නොවීම නිසා තවත් දෙවරක් පමණ එම අංකය ඇමතූ රිහාන් මල් කළඹ එවන ලද්දේ කවුරුන්දැයි සොයා ගැනීමේ අදහස අතහැර දැම්මේය.

අශේන් උන්නේ සමකාලීන මිත්‍රයෙකු සමඟ ඔහුට අයත් නිවාස සංකීර්ණයකට වී මධුවිත තොල ගාමිනි. සවස සිදුවූ සිදුවීම ඔහුව සම්පූර්ණයෙන්ම වියවුලට පත් කර තිබිණි.

” වෙන කෙල්ලෙක්ට මං ඔහොම වාහනේ යන්න කතා කරා නම් උන් එන්නේ පැනගෙන.ඒකට බලපන්කෝ මේ කෙල්ල.ආසාවකටවත් තාම එක දවසක් වත් මට ශෙනෝව කාර් එකට නග්ග ගන්න බැරි උනානේ බං ” 

අශේන් මත්පැන් බිඳක් තොල ගා අනතුරුව ඉදිරියෙහි තබා තිබූ පීරිසියෙහි වූ සෝසේජස් කැබැල්ලක් ගෙන මූවෙහි රුවා ගත්තේය. 

” හැම කෙල්ලම එක වගේ නෑ කියන එකට හොඳම උදාහරණයක් තමයි බං ඔය කෙල්ල “

අශේන්ගේ මිතුරා වූ ශෙහාන් පිළිතුරු දුන්නේ සිනහවකිනි. තම හැකියාව සහ ජනප්‍රියත්වය අයුතු ලෙස භාවිතා නොකළ අශේන් මේ ආකාරයට තරුණියක පිළිබඳව පවසන්නේ බොහෝ කාලයකට පසුවය. නමුත් තමන් එසේ නොවේ යැයි ශෙහාන් සිතුවේ ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වූ පසුව තමා තරුණියන් බොහෝමයක් ඇසුරු කලේ තමා සතු වූ කඩවසම් බව සහ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් නිසාය. 

” රොහාන් අංකලුත් හැම වෙලාවෙම ශෙනෝගේ පැත්ත ගන්න එකේ මට එයාට වැඩිය approach කරන්නත් බෑ බං. ” 

අශේන් උන්නේ සිත රිදවා ගෙනය. උදෑසනදී මේඝ සමග සිදුවූ සිදුවීමේදී පවා තමා ශෙනෝලි ගේ පස ගෙන කතා කිරීමට උත්සාහ කළද ඇය ඒ පිළිබඳව හෝ තැකීමක් කලේ නැත. තරුණියක මේ තරමටම ස්වාධීන විය හැකිදැයි අශේන් නැවත නැවත සිතුවේ ශෙනෝලිට ලං වීම උදෙසා ඇගේ කුමක් හෝ දුර්වලතාවයක් සොයා ගත යුතු යැයි අරමුණු කර ගනිමිනි.

” අම්ම තාත්තත් නැති ඔය වගේ කෙල්ලෙකුට මුළු ලෝකෙම එක්ක හරි හැප්පෙන්න පුළුවන් බන්. අනිත් එක තමයි ඒ වගේ කෙල්ලෙකුට ස්ට්‍රෝං වෙනව ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැති නිසා උන් කාලෙත් එක්ක ඕන දේකට ඔට්ටු වෙන්න පුළුවන් සයිස් එකට හැදෙනවා.ඔය ශෙනෝලිට වෙලා තියෙන්නෙත් ඒක ” 

ශෙහාන් තවදුරටත් එසේ පැවසුවත් අශේන් එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. ශෙනෝලිගේ ජීවිතයේ කුඩා හෝ ඉඩකඩක් තමා සතු කර ගැනීමට අවස්ථාවක් ලැබෙතැයි ඔහු තුළ බලාපොරොත්තුවක් ඇති වෙමින් තිබිණි.

” උඹගේ පස්සෙන් එන කෙල්ලෝ ඕන තරං ඉන්නවනේ. ඒ එක්කෙනෙක් දෙන්නෙක් ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරපන්. එතකොට ශෙනෝලිට ඒ ගැන පොඩි හරි ජෙලසි එකක් එනවා නම් උඹට පොඩි හරි චාන්ස් එකක් තියෙන්න බැරි නෑ ” 

තමාට එවැන්නක් කිරීම ඉතා පහසුය. වර්තමානයේ ජනප්‍රියම තලයේ සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායකයා වන තමාගේ සිත දිනා ගැනීමට තරුණියන් අනන්ත අප්‍රමාණව සිටියදී තම සිත ගිය තරුණිය දිනා ගැනීමට එවැනි තරුණියක් භාවිතා කිරීමෙහි වරදක් නැතැයි අශේන් අවසානයෙදී සිතා ගත්තේය.

” උඹට රිහාන් ගැන මොකද හිතෙන්නේ? ” 

අශේන්ගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ ෂෙහාන් ඇසූ ඒ පැනයෙනි.

” ඇයි උඹ එහෙම ඇහුවේ ? ” 

” ඔය බෑන්ඩ් එකේ උඹත් එක්ක කරට කර ඉන්නේ රිහාන් නේ. ඒකයි ” 

ෂෙහාන් පවසන්නේ සැබෑවකි. රිහාන් තමාටත් වඩා කඩවසම්ය.දේහධාරීය. ආඩම්බරය. තමා සහ රිහාන් ගත් කළ ඉදිරියෙන් සිටින්නේ රිහාන් බවට කිසිදු තර්කයක් නොවේ.

” ඌ කෙල්ලෝ ගණන් ගන්න එකෙක් නෙවෙයි බං. ඌට හරි යන කෙල්ලෙක් මවල ගන්න ඕනේ. මට ඌත් එක්ක ගේමක් නැහැ ” 

” හරි දැන් උඹ මේ ශෙනෝලි ගැන හිතන්නේ කවද හරි ඒකිව මැරි කරන්නම හිතාගෙනද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here