5th Avenue – 07

0
1384

කාර්යබහුල දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගිය අතර ශෙනෝලි තම රාජකාරී කටයුතු වල වෙනදාටත් වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් නියැලුණේ පෙර දිනයක සිදු වූවා වැනි අතපසුවීමක් නැවත සිදු නොවන්නට වග බලා ගනිමිනි. අශේන් පෙරට වඩා තමා හා ලෙන්ගතු වීමට උත්සාහ දැරීම අතිශය සාමාන්‍ය යැයි සිතන්නට ඇය සෑම විටම උත්සාහ ගත්තාය.

සිකුරාදා දින හවස් වරුවේ දී 5th Avenue Studio වේදී පුහුණුවීම් ආරම්භ වූයේ සෙනසුරාදා රාත්‍රියේදී කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී Love Beats ප්‍රසංගය පවත්වන්නට නියමිතව තිබූ බැවිනි. මධ්‍යම රාත්‍රිය වනතුරු පුහුණුවීම් කරන්නට කණ්ඩායම් සාමාජිකයන් සියල්ලෝම සූදානම් වී සිටි බැවින් රාත්‍රී හතට පමණ මේඝ සමග පිටතට ගිය ශෙනෝලි සියල්ලන්ටම සුදුසු රාත්‍රී ආහාර වේලක් රැගෙන නැවත ස්ටුඩියෝව වෙත පැමිණියාය. 

” ශා.. කොත්තුව නම් රස පාටයි ” 

ඩ්‍රම්ස් වාදන ශිල්පියා වූ සිහින ශෙනෝලි විසින් ගෙන එන ලද කෑම පෙට්ටි කිහිපයෙන් එකක් ගෙන දිග හැරියේය.

” මේ මොනාද ? ” 

බෑගයේ තිබූ කෑම පෙට්ටි කිහිපය අතර වෙනත් බෑගයක බහාලන ලද ප්ලාස්ටික් පෙට්ටියක ඇසිරූ යමක් ප්ලාස්ටික් ගෑරප්පුවක් සමග විය. අශේන් එය පිටතට ගත්තේත් ශෙනෝලි හදිසියේ යමක් මතක් වූවා මෙන් ඉදිරියට පැමිණියේත් එක විටය.

” අයියෝ. ඕක රිහාන්ට ” 

ශෙනෝලි අශේන් ගේ අතේ වූ බෑගය ගත්තේ රිහාන් ඒ දෙසට පැමිණෙද්දීය.

” මොනාද ශෙනෝලි ? ” 

ශෙනෝලි කෑම පෙට්ටිය සහිත බෑගය රිහාන් වෙත දිගු කලේ රිහාන් ඇය අසලට පැමිණ නැවතුනු පසුවය.

” ඔයා ජිම් යන හින්දා මං හිතුවා ඔයා කොත්තු කන එකක් නෑ කියලා.එතන චිකන් සැලඩ් තිබ්බා. මං එකක් ඔයාට ගෙනාවා ” 

” තෑන්ක්ස් ශෙනෝලි ” 

රිහාන් ස්තූති පූර්වකව කෑම පෙට්ටිය දෝතින්ම ගත් අතර අශේන් එය නොදුටුවා සේ අනෙක් සගයන් සමග ආහාර ගැනීම ආරම්භ කළේය. ස්වභාවයෙන්ම රිහාන් අන් අයට වඩා වෙනස් බැවින් ඔහු වෙනම ආහාර ගැනීම සාමාජිකයන් හට අලුත් දෙයක් වූයේ නැත. 

සියල්ල සැලසුම් කර අවසානව තිබූ නිසා ශෙනෝලි හට ඉටු කිරීමට විශේෂ රාජකාරියක් තිබුනේ නැත. එම නිසා ඇය ස්ටූඩියෝවේ කෙලවරක හිඳ පුහුණු කෙරෙන ගීත ආසාවෙන් රස වින්දේ එවැනි අවස්ථාවක් ඇයට ලැබෙන්නේ කලාතුරකින් නිසාවෙනි. 

රාත්‍රී එකොළහට පමණ සාක්කුවේ තිබෙන ජංගම දුරකථනය නාද වෙනු දැනුණු බැවින් ඇමතුම පැමිණෙන්නේ මව ගෙන් විය හැකි යැයි සිතමින් රිහාන් දුරකථනය පිටතට ගත්තේ පුහුණුවීම් අතරතුර කෝපි පානය සඳහා ලැබුණු මද විවේකයේදීය. ඇමතුම පැමිණෙමින් තිබුණේ නොදන්නා අංකයකිනි.ඒ පෙර දිනයේදී තමා වෙත ලැබුනු මල් කලඹ පිළිබඳව පණිවිඩය ලැබුණු අංකයෙනි. රිහාන් මද වේලාවක් ඒ දෙස බලා හිඳ ඇමතුම නතර වන තෙක් සිටියේය. ඒ ඇසිල්ලෙහිම නැවතත් ජංගම දුරකථනය නාද වුවත් පුහුණුවීම් අතරතුරදී සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම දුරකථන ඇමතුමක් හැරුණු කොට වෙනත් පෞද්ගලික ඇමතුම් වලට පිළිතුරු නොදෙන නිසා රිහාන් ඇමතුමට පිළිතුරු නොදී උන්නේ උවමනාවෙනි.පසෙක සිටි ශෙනෝලි , නාද වන දුරකථනය අතේ තබාගෙන බලා හිඳින රිහාන්ව දුටුවේ අහම්බෙනි. 

වට්සැප් පණිවිඩයක් පැමිණි බවට ලැබුණු සංඥාව නිසා රිහාන් නැවත දුරකථනය වෙත අවධානය යොමු කළේය.

“I know you’re busy with tomorrow’s concert. I won’t disturb you for long. I just wanted to wish you all the best “

පෙර දිනයේ පණිවිඩය ලැබුණු අංකයෙන්ම පැමිණ තිබුණු පණිවිඩය දෙස රිහාන් මොහොතක් බලා උන්නේය. රිහාන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වන වේගය බලා හුන් ශෙනෝලි කෝපි කෝප්පය අවසන් කර ඔහු අසලට පැමිණ නැවතුනාය.

” රිහාන්? Are you alright ? ” 

සියල්ලන් කෙරෙහිම නිතර අවධානයෙන් පසු වන යුවතිය ක්ෂණයකින් තමා වෙනස් වූ ආකාරයද දකින්නට ඇතැයි සිතමින් රිහාන් මදහසක් පෑවේය.

” Yes I am. හැබැයි ටිකක් මහන්සියි ” 

අවසාන කෝපි උගුරත් අවසන් කළ රිහාන් ප්ලාස්ටික් කෝපි කෝප්පය පසෙකින් තබා ස්ටූඩියෝවේ පුහුණුවීම් කෙරෙන දිශාව වෙතට පියවර තැබුවේ තවමත් කුතුහලයෙන් තමා දෙස බලා සිටින ශෙනෝලි ගේ දෑස් උවමනාවෙන්ම මඟ හැර දමමිනි.

පුහුණුවීම් වල යෙදීමට සැලසුම් කර තිබුණේ මධ්‍යම රාත්‍රී 12 වනතුරු පමණක් නමුත් තවත් විනාඩි විස්සක් පමණ පුහුණුවීම් දීර්ඝ කෙරිණි.ඒ සියල්ල සර්ව සම්පූර්ණව අවසන් කළ යුතු බවට කණ්ඩායමේ සියල්ලෝම කතාබහ කරගෙන හුන් නිසාය. 

” මට තව එක සිංදුවක් හරි කියන්න කිව්වොත් අම්මපා මං බෑන්ඩ් එකෙන් අයින් වෙනවා ” 

අශේන් පැවසුවේ ජංගම දුරකථනය අතට ගෙන වේලාව පරීක්ෂා කරමිනි. සියල්ලෝම සිනාසෙමින් තම නිවෙස් වලට යාමට සූදානම් වූ අතර ශෙනෝලි ලැප්ටොප් පරිගණකය අත් බෑගයට දමා ගෙන සූදානම් වූයේ කුලී රථයක් ගෙන්වා ගැනීමටය. අනතුරුව රිහාන් හැරුණු කොට අන් තිදෙනාම පිටව ගියේ සියල්ලෝම උන්නේ දැඩි වෙහෙසකින් නිසාත් ප්‍රසංගයට පෙර ඉතා හොඳ විවේකයක් ලබාගත යුතු නිසාත්ය.

” ශෙනෝලි, අපි විහාර මහා දේවි එකට යන්න ඕනේ “

මේඝ පැවසුවේ විධානයක ස්වරයකිනි.ශෙනෝලි වහාම කුලී රථය අවලංගු කර දමා මේඝ අසලට පැමිණියේ ප්‍රශ්නාර්ථයක් සමඟය.

” දැන් ? ” 

” ඔව්.අපි එතන මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලලා හිටියොත් හොඳයි “

තම ගිටාරය සහිත බෑගය උරහිසේ එල්ලා ගත් රිහාන් ඉදිරියට පැමිණියේ වේලාව කුමක් වුවත් ශෙනෝලි කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මේඝ සමග ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට යන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

” හෙට උදේට යන්න පුලුවන් නේ මේඝ ? ” 

” අද කරන්න ඕන වැඩේ හෙටට කල් දාන්න බෑ රිහාන්. මතකනේ කලින් කොන්සර්ට් එක ? සවුන්ඩ්ස් ගන්න දෙයක් නෑ ” 

මේඝ හේතු කීවේය.ශෙනෝලි බලා උන්නේ තවත් ප්‍රමාද නොවන්නටය.

” ඒක අපේ fault එකක් නෙමෙයි නේ මේඝ ” 

” හැබැයි හැමෝම blame කරන්නේ බෑන්ඩ් එකට රිහාන්. හෙට මොනහරි අවුලක් උනොත් ඊළඟ දවසේ සෝෂල් මීඩියා වල බැනුම් අහන්න වෙන්නේ අපිට. අපිට එහෙම බ්ලැක් මාර්ක් එකක් ඕනෙද ? ” 

ශෙනෝලි අත දරාගෙන හුන් දුරකථනය සාක්කුවට දමා ගත්තෙ තමා ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට යාමට සූදානම් බව පෙන්වීමටය.

” Ok then . I ‘ ll come with you ” 

රිහාන් සූදානම් වූයේ මේඝ සමග පිටවන්නටය.එහෙත් එයට පෙර ඔහු රිහාන්ව නතර කර ගත්තේය.

” ඔයා රෙස්ට් කරන්න ඕන රිහාන්. හෙට පැය කීයක් නම් ඔයාට ස්ටේජ් එකේ හිටගෙන ඉන්න තියෙනවද මේ ගිටාර් එකත් උස්සගෙන? “

” මේඝ. ශෙනෝලි මේ මහ රෑ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔයත් එක්ක ඔය ගමනට පැයක් දෙකක් මට ඉන්න පුළුවන්. ” 

ශෙනෝලි උන්නේ මේ කතා බහ බලා සිටිය නොහැකි තැනකය. එක් අතකින් ආඩම්බරකාර තරුණයා තමන් වෙනුවෙන් පෙනී සිටින්නේය. අනෙක් අතට කණ්ඩායමේ කළමනාකාරවරයා ඔහු සමග වාදයක පැටලී සිටින්නේය.

” රිහාන්. මං යන්නම්. ඔයා ගෙදර ගිහින් රෙස්ට් කරන්න “

බලා සිටින්නට බැරිම තැන ශෙනෝලි හඬ අවදි කලේ මෘදු ලෙසය.එහෙත් රිහාන් එයට මෙල්ල වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

” ඔයා ගෙදර ඇරෙන්න වෙන කොහෙවත් යන්නේ නෑ ශෙනෝලි ” 

රිහාන් එවර කතා කළේ පෙරට වඩා පහත් ස්වරයකිනි. එයට අවනත වනවා හැරෙන්නට ශෙනෝලිට මෙන්ම මේඝට ද වෙන කළ හැකි දෙයක් වූයේ.

” “I swear මචන්. you’re the most stubborn bassist I’ve ever worked with.”

මේඝ වාහනයේ යතුර ගෙන ස්ටූඩියෝවේ දොර විවෘත කරගෙන පිටවූ අතර රිහාන් ඔහු පසුපසින් පියවර තැබුවේ ජයග්‍රාහී සිනහවක්ද මුහුණේ රඳවා ගෙනය. අනතුරුව ශෙනෝලි විදුලි පහන් නිවා දමා ස්ටූඩියෝවේ දොර අගුළු දමා මේඝ සහ රිහාන් පසුපසින් ගොඩනැගිල්ල පාමුලට පැමිණ නතර වූවාය.

” ඌබර් එකක් දාන්න ශෙනෝලි ” 

රිහාන් විධානයක ස්වරයකින් පැවසූ පසුව ශෙනෝලි නැවත දුරකථනය ගැන පසෙකට වූයේ කුලී රියක් ගෙන්වා ගැනීමටය. කෝපය සඟවාගෙන හුන් මේඝ, රිහාන් දෙසට හැරුනේ ඒ ඇසිල්ලේය.

” ඇයි උඹලා හැම වෙලාවෙම Shenoli ව defend කරන්නේ ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here