5th Avenue – 08

0
81

සෙනසුරාදා දිනය සනිටුහන් කරමින් විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට හිරු උදා වෙමින් තිබිණි. පෙර දිනයේ ඉන් පිට වන විට අළුයම තුනට ආසන්න වී තිබුණද මේඝ උදෑසන දහය වන විට නැවත පැමිණියේ 5th Avenue සාමාජිකයන් පැමිණීමට නියමිතව තිබුණේ දහවල් දොළහට පමණ වන නිසාය.

” ඇයි උඹලා හැම වෙලාවෙම Shenoli ව defend කරන්නේ ? ” 

පෙර දිනයේ තමා රිහාන්ගෙන් ඇසූ පැනයට ඔහු සිනාසුනා මිස නිසි පිළිතුරක් දුන්නේ නැත. කණ්ඩායමේ වගකීම් තමාටත් වඩා උසුලන්නේ ශෙනෝලි බව සැබැ වුවත් සෑම විටම කැපී පෙනිය යුත්තේ තමා පමණක් බව මේඝ සිතුවේය. උදෑසන 10.30 වන විට ශෙනෝලි පැමිණෙන බව whatsapp පණිවිඩයක් ඔස්සේ දන්වා තිබුණු නිසා මේඝ ඇයට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට උනන්දු වූයේ නැත. 

එළිමහන් රංග පීඨය කාර්යබහුල බවින් පිරී ඉතිරි ගොස් තිබුනු අතර සංවිධායකවරු ඇතුළු බොහෝ පිරිසක් ඒ මේ අත යමින් ප්‍රසංගය අතරතුරදී කිසිදු අඩුපාඩුවක් නොවන්නට වග බලා ගනිමින් කටයුතු කරමින් සිටියහ.

ශෙනෝලි විහාර මහා දේවිය වෙත පැමිණියේ උදෑසන දහය පසුවී විනාඩි 25ක් ගත වන්නට මත්තෙන් ය. පසුගිය අවුරුදු දෙක පුරාවටම 5th Avenue සහභාගී වූ සෑම ප්‍රසංගයකටම පෙර දැනුනු උද්යෝගය ඒ මොහොතේදීත් ශෙනෝලි හට කිසිදු අඩුවක් නැතිව දැනෙමින් තිබිණි. සියල්ලෝම යුහුසුළුව තම රාජකාරී වල නියැලෙමින් සිටියේ සවස හතර වන විට ප්‍රේක්ෂකයන් වෙත ගේට්ටු විවෘත කිරීමට නියමිතව තිබූ බැවිනි.ඒ වන විට සියලු කටයුතු සිදු කර අවසන් කළ යුතුව තිබුණු නිසා සෑම කෙනෙකුම පාහේ බොහෝ කාර්ය බහුලව සිටියහ.

” ගුඩ්මෝනින් මේඝ ” 

ශෙනෝලි පුරුදු සිනහමුසු මුහුණින් යුතුව මේඝ අසලට පැමිණියේ තමා පැමිණි බව කාර්ය බහුල බව අතරේ ඔහු නොදුටු බැවිනි. මේඝ හිස හරවා ශෙනෝලි දෙස බලා මද සිනහවක් පමණක් පෑවා මිසක පෙරළා ඇයට සුභ උදෑසනක් පැතුවේ නැත.

” බෑන්ඩ් එකට ට්‍රාන්ස්පෝට් එක ඇරේන්ජ් කලාද ශෙනෝලි ? “

” ඔව්. කට්ටිය 12 වෙද්දි මෙතන ” 

ශෙනෝලි පිළිතුරු දුන්නේ විශ්වාසයෙනි. කිසිදු රාජකාරියක අඩු ලුහුඬුකම් පවතින්නට ඇය කිසිවිටෙකත් ඉඩ තැබුවේ නැත. අනෙක් අතට කවුරුන් හෝ විමසන්නට සියල්ල සොයා බලා ඉටු කිරීමේ පුරුද්දක්ද ඇය සතුව තිබුණි.

බලාපොරොත්තු වූවා සේම කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාම එළිමහන් රංග පීඨය වෙත පැමිණියේ දහවල් දොළහ වන විටය. සංවිධායකවරුන්ගේ සහ අනෙකුත් සේවකයන්ගේ සහාය ඇතිව 5th Avenue කණ්ඩායම සතු සංගීත භාණ්ඩ අවශ්‍ය ස්ථාන වල තබා ඒවා ස්ථාපිත කරන තුරු ශෙනෝලි එම කටයුත්තෙන් දෑස් ඉවතට නොගෙන උන්නාය.  නිල් පැහැ ඩෙනිම් කලිසමකට කලු පැහැ ස්කිනි වර්ගයේ ටීශර්ට් එකක් හැඳ කලු සපත්තු යුවළක්ද පැළඳ අව් කන්නාඩි යුවළක්ද දමාගෙන ඒ මේ අත යන කඩිසර ඇය වෙතින් දිස් වූයේ කෙලිලොල් බවකි. 

” අන්න අර හෙවනට වෙලා ඉන්න ශෙනෝලි. ඔයා කලු වෙයි ” 

අශේන් ගේ වචන විහිළුවක්ම බව සිතා ශෙනෝලි සිනහවක් පෑවේ කණ්ඩායමට සිටින එකම තරුණිය ලෙස ඔවැනි විහිලු වලට ලක් වීම ඒ වන විට ඇයට ඉතාම සාමාන්‍ය දෙයක් වී තිබුණු නිසාය.

” තව ටිකකින් sounds checking පටන් ගන්න පුලුවන් ” 

රිහාන් අව් කන්නාඩි යුවළ පැළඳ ගනිමින් සාමාජිකයන් සියලු දෙනාටම ඇසෙන සේ පැවසුවේ හිස්ව තිබෙන ප්‍රේක්ෂාගාරය දෙස බලන අතරේය.තවත් පැය කිහිපයකින් මෙය පිරී ඉතිරී යන නිසා එයට පෙර අවසාන පුහුණුවීම පැවැත්විය යුතු බැවින් සාමාජිකයන් සියලු දෙනාම තමන්ට නියමිත ස්ථාන වලට පැමිණ සූදානම් වූයේ උද්යෝගයනි.ඒ අතරතුරේදී ශෙනෝලි කොහෙන් හෝ සොයා ගත් වතුර බෝතල් කිහිපයක් ගෙන සෑම කෙනාටම එක බැගින් එකිනෙකා අසලට ගොස් තබා වේදිකාවේ පසෙකට වී බලා උන්නාය.

පැය එකහමාරක පමණ කාලයක් පැවති අවසාන පුහුණුවීම අවසන් කර සියලු දෙනාම පැමිණියේ සංගීත කණ්ඩායම වෙනුවෙන් වෙන් කර තිබුණු කාමරය වෙතය. ඒ වන විටත් එහි පැමිණ සිටි මේඝ දුරකථන ඇමතුමක හිඳිමින් දහවල් ආහාරය සඳහා සැන්විච් එකක් ආහාරයට ගනිමින් උන්නේය. අශේන් ඇතුළු අනෙක් සාමාජිකයන් සියලු දෙනාද ඔවුන් වෙනුවෙන් වෙන්කර තිබුණු සැන්විච් කිහිපය බෙදා ගෙන අසුන් වලට බර වූයේ එළිමහනේ පුහුණු වීම් සිදු කළ පසු ඇති වූ වෙහෙසකර බවිනි. 

සියල්ලෝම කතාබහේ යෙදෙමින් ආහාර ගනිමින් සිටියද ශෙනෝලි ඒ අතර නොසිටි බැවින් රිහාන් සැන්විච් දෙකක් අඩංගු පැකට් එකක් සහ අයිස් කෝපි බෝතලයක් රැගෙන පිටතට පැමිණියේය. වේදිකාව අසල සංවිධායකයෙකු සමග කතාබහ කරමින් මයික්‍රෆෝන දෙකක් අතැතිව සිටි ශෙනෝලිව රිහාන් දුටුවේ ඊළඟ නිමේෂයේදීය. පැය ගණනාවක් පුරාවටම එක් මොහොතකටවත් විවේකයක් නොගෙන වෙහෙස වන යුවතිය කෙරෙහි රිහාන් තුළ ඇති වූයේ අනුකම්පාවකි.

” ශෙනෝලි ” 

ශෙනෝලි හැරී බැලුවේ රිහාන් වෙතින් නික්මුණු උස් හඬටය. සංවිධායකවරයාට යමක් කියා ඔහු අතට මයික්‍රොෆෝන දෙක ලබා දුන් ශෙනෝලි අඩියට දෙකට රිහාන් වෙත පැමිණියාය.

” ඔයා කෑවෙ කොයි වෙලේද ? ” 

කිසිවක් පවසන්නටත් මත්තෙන් රිහාන් එසේ විමසූ පසුව ශෙනෝලි ව්‍යාකූල වී මොහොතක් බලා උන්නාය.

” මතක නෑ ” 

රිහාන් අත වූ සැන්විච් පැකට්ටුව සහ අයිස් කෝපි බෝතලය ශෙනෝලි වෙත දිගු කලේ තරවටු බැල්මක් ඇය වෙත හෙළමිනි.

” මං පස්සේ කන්නම් ” 

ශෙනෝලි පැවසුවේ ඇත්තටම තවත් බොහෝ වැඩ කටයුතු ඉතිරිව තිබෙන නිසාය.එකදු අඩුපාඩුවක් හෝ නොවන්නට සියල්ල සොයා බැලීමට ඉතිරිව ඇත්තේ තවත් පැයක පමණ කාලයක් නිසා ඇය උන්නේ කලබලයෙනි.

” දැන් ” 

රිහාන් ගේ හඬ එවර තරමක රුදු බවක් ගත් බැවින් ශෙනෝලි එයට අවනත වී ඔහු දිගු කල සැන්විච් සහ අයිස් කෝපි බෝතලය දෝතටම ගත්තාය.

” You sound like Megha.”

ශෙනෝලි මිමිනුවාය. ඒ ගැන තැකීමක් නොකළ රිහාන් නැවත හැරී වේදිකාව පිටුපස ඔවුන් වෙනුවෙන් වෙන්කළ කාමරයට යන්නට පියවර එසවූයේය.

සවස හතර වන විට ප්‍රේක්ෂකාගාරය බිඳෙන් බිඳ පිරී යන්නට පටන් ගත් බැවින් කණ්ඩායම් සාමාජිකයන් ප්‍රසංගය සඳහා සූදානම් වීම ආරම්භ කලෝය. පැය ගණනාවක් පුරාවට වේදිකාව මත සිටිය යුතු බැවින් සියලු දෙනාම සුව පහසු එහෙත් ප්‍රසංගයකට සුදුසු ඇඳුම් වලින් සැරසී වේදිකාවට ගොඩ වූයේ සවස හය වන විටය.

වේදිකාව ආලෝකයෙන් වර්ණවත් වූ අතර ප්‍රේක්ෂකාගාරය වෙත එල්ල වී තිබුණු ආලෝකය නිවී ගියේය. ඒ සමඟම වේදිකාව පිටුපස සිටි අශේන් උද්යෝගිමත් පියවර තබමින් වේදිකාවට පිවිසියේය.

” Good evening Colombo ” 

ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ විහාර මහා දේවී එළිමහන් රංග පීඨය පුරා රැව් පිළිරැව් දෙන්නට පටන් ගත් අතර තත්පර ගණනාවක් තුළදී 5th Avenue සංගීත කණ්ඩායමේ සංගීතයෙන් සුන්දර සන්ධ්‍යාවක් ආරම්භ විය.

” දෑත දරා ඇවිදින් ආදරයෙන්

මා වෙනුවෙන් හිඳිනා අයුරූ

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු “

අශේන්ගේ මියුරු හඬ සියල්ලන්වම ගෙන ගියේ ඔවුනොවුන්ට වෙන් වූ ලෝක වලටය. කණ්ඩායම් සාමාජිකයන්ද වරින් වර වේදිකාව මත ගායනා කළ ඔවුන්ගේ ගීත කිහිපයකින් අනතුරුව තවත් ගායකයන් කිහිප දෙනෙකුද මාරුවෙන් මාරුවට වේදිකාවට පිවිසි අතර ඔවුන් ඔවුන්ටම ආවේණික වූ ශෛලවලින් ගී ගයමින් ප්‍රේක්ෂකාගාරය තවත් පැය හතරක් පුරාවටම පිනවූහ.

වේදිකාව පිටුපස සිට ශෙනෝලි මේ සියල්ලක් දෙසම අවධානය යොමු කරමින් අඩුපාඩු සොයා බලමින් පැය ගණනාවක් පුරාවට තම රාජකාරියෙහි නිරතව උන්නාය.බලාපොරොත්තු වූ පරිදිම සියල්ලක්ම නිසි වේලාවන් ඇතුළත සිදුවී අවසානයේ එළඹියේ තවත් සාර්ථක ප්‍රසංගයක අවසානයය.

“Thank you, everyone! We love you and we are 5th Avenue !! ” 

අශේන් ප්‍රේක්ෂකාගාරය දෙසට විහිදුණු වේදිකාව මත ඒ මේ අත ඇවිදිමින් ප්‍රේක්ෂකයන් වෙත තම ආදරය ප්‍රකාශ කර අනතුරුව අවසාන ගීයද ගැයුවේය.

වේදිකාව මත වූ ආලෝකය නිවී ගිය අතර සාර්ථක ප්‍රසංගයක සතුට අත්විඳිමින් සියල්ලෝම වේදිකාවෙන් බැස පැමිණි අතර වශයෙන් ඇතුළු අනෙකුත් ගායක ගායිකාවන් සමඟ ඡායාරූප ගැනීමට ප්‍රේක්ෂකයන් එකා දෙන්නා පැමිණෙමින් සිටියහ.

” ශෙනෝලි. රිහාන් ව හම්බ වෙන්න එයාගෙ ෆෑන් කෙනෙක් ඉන්නවා ” 

සංවිධායක මණ්ඩලයේ තරුණයෙකු ශෙනෝලි වෙත පැමිණ පැවසූ අතර ශෙනෝලි ඒ දෙස බැලුවේ උනන්දු වෙනි. සුදු පැහැ ලිලී මල් පොකුරක් අතැතිව විසි වැනි විය පමණ පසු කරමින් සිටින, ලා නිල් පැහැ කෙටි ගවුමක් හැඳි යුවතියක් මදක් නුදුරින් සිටගෙන සිටිනු ඇය දුටුවේ අනතුරුවය.

“You’re here to meet Rihan?”

ශෙනෝලි සුහදශීලී සිනහවකින් යුතුව තරුණිය ඉදිරියේ නතර වී විමසුවේ රිහාන් මුණ ගැසීමට ප්‍රසංග වලදී තරුණියන් පැමිණීම සාමාන්‍ය දෙයක් වුවත් මල් කලබක් රැගෙන තරුණියක් පැමිණියේ ප්‍රථම වතාවට නිසාය.

“I just want to congratulate him.”

තරුණිය මදහසකින් යුතුව පිළිතුරු දුන් පසුව ශෙනෝලි වේදිකාව පිටුපස කණ්ඩායම් සාමාජිකයන් වෙනුවෙන් වෙන් කර තිබූ කාමරය වෙත පැමිණ සංවිධායකයකු සමග කතාබහ කරමින් සිටි රිහාන් ඇමතුවාය.

” ඔයාව හම්බ වෙන්න කෙනෙක් ඉන්නවා ” 

ශෙනෝලි පැවසූ පසුව රිහාන් ඉතා සාමාන්‍ය ලෙස කාමරයෙන් පිටතට පැමිණ වේදිකාව පිටුපසට අවතීර්ණ වූයේය. ශෙනෝලිද ඒ පසුපස පැමිණියේ තරුණිය සිටි දිශාව රිහාන් වෙත පෙන්වීමටය.

” අර ඉන්නේ ” 

සුදු පැහැ ලිලී මල් කළඹක් අත දරාගෙන සිටින යුවතිය වෙත නතර වූ රිහාන්ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ මොහොතකිනි. පිට කිරීමට වචනයක් හෝ ගලපා ගත නොහැකිව ඔහු බලා උන්නේ තරුණිය දෑතේ දරා උන් මල් කලඹ දෙසය.

පෙර දිනයේ තමා නමට නිවසට පැමිණි මල් කළඹ, අනතුරුව පැමිණි නිර්නාමික වට්සැප්  පණිවිඩය , දුරකථන ඇමතුම් එකින් එක රිහාන්ගේ මතකයට පැමිණෙන්නට විය.

” වෙනද වගේම ඔයා අදත් හොඳට perform  කළා “

තරුණිය මල් කළඹ රිහාන් වෙත දිගු කළේ සිනා මුසුව එසේ පවසමිනි.

” එතකොට ඔයා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here