5th Avenue – 10

0
62

ශෙනෝලි නිවසට ඇතුළු වී දොර වසා දමා එයට පිටුපා බිම වාඩිවී ශෝකයෙන් දෑස් පියා ගත් අතර පුරා අවුරුදු දෙකක් පුරාවට සිදු වූවා මෙන් සුපුරුදු පරිදි ඇගේ නිවස ඇයව පිළිගන්නා ලද්දේ නොවෙනස් නිහඬතාවයකිනි. බොහෝ වේලාවක් එසේ වාඩි වී සිටි ශෙනෝලි අත බැඳ සිටි ඔරලෝසුවේ සටහන් වෙලාව දෙස බැලුවාය. අලුයම තුනයි තිහ ලෙස එහි සටහන් වී තිබුණු බැවින් ඇය වාඩි වී හුන් තැනින් නැගී සිට නිදන කාමරයට පැමිණ බෑගය පසෙකින් තබා කණ්නාඩි මේසය ඉදිරිපිටට පැමිණ එය මතින් ජංගම දුරකථන දෙක තබා කණ්නාඩිය ඉදිරියේ නතර වී උන්නාය. 

” මට මහන්සියි ” 

ටික වේලාවකට පෙර තමා රිහාන්ට ලබා දුන්නේ එවැනි පිළිතුරක් වුවත් ඔහු එයින් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

” ඒක හරිම ලේසි උත්තරයක් ” 

රිහාන් තමාගෙන් වෙනත් පිළිතුරක් බලාපොරොත්තු වූවද එවැන්නක් ලබා දීමට නොනැවතී තමා වෑන් රථයට නැග පිටත්ව ඒම කෙතරම් හොඳ දැයි ශෙනෝලිට දැනුනේ අසුනට හිස හේත්තු කර ගත් පසු පියා ගත් දෑස් වලින් පිට පනින්නට වෙර දැරූ කඳුළු සිහිපත් වන විටය.

ශෙනෝලි මුළුතැන්ගෙය වෙත පැමිණ ශීතකරණය විවෘත කර අයිස් වතුර බෝතලයක් පිටතට ගෙන ඉන් බිඳක් පානය කළාය.සීතල වතුර බිඳෙන් බිඳ ඇගේ හදවතෙහි වූ බර තරමක් දුරට සැහැල්ලු කල අතර අනතුරුව ගෙවී අවසන් වූ සන්ධ්‍යාවෙහි බොහෝ දෑ එකින් එක ඇගේ සිතට ගලා ඒමට පටන් ගත්තේය.

අති සාර්ථක සංගීත ප්‍රසංගයක් 

පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකාගාරයක් 

වේදිකාව පිටුපස වූ සතුටුදායක සැමරීම් 

අනතුරුව 

සුදු ලිලී මල් කලඹක් රැගෙන පැමිණි නන්නාඳුනන යුවතියක් !

ශෙනෝලිගේ සිතුවිලි නැවත ශෝකයෙන් බර වීමට ගත වූයේ තප්පර තුන හතරකි. 

5th Avenue සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ දා පටන් තමා විවිධාකාරයේ ප්‍රේක්ෂකයන් දැක ඇත. සමහරු කණ්ඩායම් සාමාජිකයන් සමඟ ඡායාරූප ගැනීමටද, ඔවුන්ට තෑගි ලබා දීමට ද,ඔවුන් සමග කතාබහ කිරීමටද පැමිණෙති. එය සංගීත කණ්ඩායමක් සමග ගෙවෙන ජීවිතයේ අතිශය සාමාන්‍ය කොටසකි.

නමුත්, හදිසියේ පැමිණි තරුණියක පමණක් තමාගේ සිත මේ තරම් තදින් රිදවන්නේ ඇයි දැයි ශෙනෝලි තවදුරටත් කල්පනා කළාය.

බොහෝ වේලාවක් ස්නානය කර පැමිණ නිදන යහනට වැටුනද නින්ද ශෙනෝලි කරා පැමිණියේ නැත. ඇය කණ්නාඩි මේසය මත වූ රාජකාරී ජංගම දුරකථනය රැගෙන නැවත යහනට පැමිණ බ්ලැන්කට්ටුව තුළට ගුලි වූවාය.

පිළිතුරු නොයවන ලද පණිවිඩ වලින් රාජකාරී දුරකථනය පිරී තිබිණි. අනුග්‍රාහක භවතුන්ට ප්‍රසංගයේ ඡායාරූප අවශ්‍ය වූ අතර තවත් සංවිධායක මණ්ඩලයකට එළඹෙන මාසයේ සංගීත කණ්ඩායමට නිදහස් දින මොනවාදැයි දැන ගැනීමට අවශ්‍ය බව සටහන් පණිවිඩ ඇතුළු පණිවිඩ කිහිපයක්ම එහි විය.උදෑසන දී එම පණිවිඩ වලට පිළිතුරු යවන්නට සිතා ගෙන ශෙනෝලි දුරකථනය පසෙකින් තබා නැවත දෑස් පියා ගත්තාය. 

සියල්ලෝම තම කාර්යයන් සමග කාර්යබහුල වෙද්දී බොහෝ වේලාවට තමන් නියමිත වේලාවට ආහාර ලබා ගත්තා දැයි කියා හෝ විමසන්නට නතර වී උන්නේ රිහාන් පමණකි. සෑම විටම සියලු දෙයක්ම නිසි ලෙස කළමනාකරණය කර ගන්නා බැවින් තමා තුළ සිටිනා ශක්තිමත් තරුණියව සියලු දෙනා බලාපොරොත්තු වුවත් රිහාන් පමණක් තමා පිළිබඳව සොයා බලන්නට උනන්දු වූයේය. රිහාන් එය සිතා මතා සිදු කළා දැයි එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත සිදු කළා දැයි දන්නේ ඔහුම පමණක් බැවින් එය සාමාන්‍යය කරුණාවන්ත වීමක් පමණක් යැයි සිතමින් ශෙනෝලි දෑස් පියා ගත්තාය.

ප්‍රසංගයකට පසුදින සාමාන්‍යයෙන් කිසිදු වැඩ කටයුත්තක් යොදා නොගන්නා විවේකී දිනයක් වන බැවින් සංගීත කණ්ඩායමේ සියලු දෙනාම උදෑසන වරුවේ තම නිවෙස් වලට වී විවේකී සුවයෙන් පසු වූහ.එහෙත් රාත්‍රී හතට රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීමට නියමිතව තිබූ බැවින් ඊට පැය දෙකකට පමණ පෙර එහි යාම සඳහා ශෙනෝලි විසින් සුපුරුදු පරිදි ප්‍රවාහන සේවයක් සූදානම් කර ගෙන සියලු දෙනාවම කැටුව යාමට සැලසුම් කරගෙන තිබිණි.

බලාපොරොත්තු වූ පරිදිම හවස පහ වන විට බම්බලපිටියේ පිහිටි වර්ණ ටීවී මැදිරි සංකීර්ණයට පැමිණීමට 5th Avenue කණ්ඩායමට හැකියාව ලැබිණි. වෑන් රථයෙන් බැසගත් සියලු දෙනා මේඝ පෙරදැරිව අදාල ගොඩනැගිල්ලට ඇතුළු වූ පසු පිළිගැනීමේ නිලධාරිනිය විසින් ඔවුන්ව පිළිගත්තේ අතිශය උණුසුම් ආකාරයෙනි.

පිළිගැනීමේ නිලධාරිනිය ලබා දුන් දුරකථන ඇමතුමකට පසුව නිෂ්පාදන කණ්ඩායමේ සහායිකාවක් පැමිණ 5th Avenue කණ්ඩායම පිළිගෙන ඔවුන් සමග විදුලි සෝපානයට ඇතුළු වී තෙවන මහලේ පිහිටි මැදිරිය කරා ඔවුන්ව කැටුව ආහ.

සවස හතට පැවැත්වෙන සජීවී වැඩසටහන සඳහා සියල්ල සූදානම් වෙමින් තිබිණි. අනතුරුව නිෂ්පාදන සහායිකාව විසින් ඔවුන්ව කැටුව යන ලද්දේ වේශ නිරූපණ අංශය වෙතයි.

” මට නම් මේකප් ඕන්නෑ. දුටුවන් සිත් වශී කරන ලස්සනක් නේ මට තියෙන්නේ ” 

සියල්ලන්ගේම මුවගට සිනහ නංවමින් අශේන් එසේ පවසන අතරේ විශාල කණ්ණාඩිය ඉදිරියේ අසුන් ගත්තේය. අනතුරුව විනාඩි තිහක පමණ කාලයක් කණ්ඩායම් සාමාජිකයන් පස් දෙනාගේ හිසකෙස් සැකසීම ආදිය සිදු කෙරුණු අතර අනතුරුව ඔවුන් සියලු දෙනාම නැවත මැදිරිය කරා කැටුව ආවේ ද නිෂ්පාදන සහායිකාව විසිනි.

වැඩසටහන මෙහෙයවන නව පරපුරේ නිවේදිකාවද ඒ වන විට මැදිරියට පැමිණ 5th Avenue සාමාජිකයන්ගෙන් තොරතුරු විමසමින් වැඩසටහන සඳහා අවශ්‍ය කරුණු එක් රැස් කර ගනිමින් වැඩසටහන සඳහා පෙර සූදානම සකස් කර ගනිමින් උන්නාය. ඒ අතරතුර මේඝ ද වර්ණ TV රූපවාහිනී නාලිකාවේ සේවය කරන ඔහුගේ හිතවතෙකු සමග සතුටු සාමිච්චියේ යෙදී සිටින අතරතුර ශෙනෝලි ද එහි සේවය කරන තවත් අයෙකු සමග කතාබහේ යෙදෙමින් කාලය ගත කලාය.

වැඩසටහන අතරතුර ගායනා කිරීමට නියමිත ගීත පුහුණු වෙමින් තවත් විනාඩි විස්සක් පමණ ගත විය. වැඩසටහන ආරම්භ වීමට තවත් සුළු වේලාවක් පමණක් ඉතිරිව තිබෙන බැවින් එයට පෙර සියලු දෙනාම කෝපි පානය කර සූදානම් වූයේ යුහුසුළුවය.රිහාන් හැරුණු කොට අන් සියලු දෙනාම සිනාසෙමින් විහිළු තහළු කරමින් නිෂ්පාදන කණ්ඩායම සමග ගැවසෙද්දී සුපුරුදු ආඩම්බර බවින් යුතුව රිහාන් තම අසුනට වී දුරකථනය එහා මෙහා කරමින් හුන් අතර ශෙනෝලි හැකිතාක් ඔහු දෙස නොබලා ඔහුව මග හරිමින් හිඳින්නට දැඩි වෙහෙසක් ගත්තාය. 

” තාරකා ආවේ නෑ නේද තාම ? ” 

නිෂ්පාදන සහායිකාව පැමිණ වටපිට බලමින් කැමරා ශිල්පියෙකුගෙන් විමසූ අතර ඒ අනුව කැමරා ශිල්පියාද විමසිල්ලෙන් වටපිට බැලුවේය.

” නෑ නේද ? කවදාවත් නැතුව එයා පරක්කුයි. කෝල් එකක් දීලා බැලුවද මදාරා ? ” 

මදාරා නැමති නිෂ්පාදන අංශයේ තරුණිය දුරකථනය ගෙන කිහිප වරක් යමෙක් ඇමතූ නමුත් එහා පසින් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

” කවුද තාරකා කියන්නේ ? ” 

මේඝ කැමරා ශිල්පියා ගෙන් විමසා සිටියේ වැඩසටහන් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනකු ඇය පිළිබඳව විමසිලිමත් වන්නට පටන් ගත් බැවිනි. 

” අපේ ප්‍රෝගෑම් ප්‍රඩියුසර්. කවදාවත් නැතුව එයා පරක්කුයි.වෙනදට ඔක්කොටම කලින් ඔෆිස් එකට එන්නේ එයා ” 

වැඩසටහන ආරම්භ වීමට ඉතිරිව තිබූයේ විනාඩි පහළවක කාලයක් පමණක් නිසා සියල්ලෝම තමන්ට නියමිත ස්ථාන වල සිට සූදානම් වූහ.වේශ නිරූපණ ශිල්පිනිය පැමිණ අවසාන වරට නිවේදිකාවගේ හිස කෙස් අතින් සකස් කර මෑත් වූ අතර මේඝ සහ ශෙනෝලි කැමරා ශිල්පීන් පිටුපසට වී සජීවී වැඩසටහනට සූදානම් වන තම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙස ආඩම්බර දෑස් වලින් යුතුව බලා සිටියහ.

තවත් විනාඩි කිහිපයකින් මැදිරියේ දොර විවෘත වූ අතර උස් අඩි පාවහන් යුවලක් පැළඳ කළු පැහැ කලිසමක් සහ සුදු පැහැ අත්දිග බ්ලවුසයක් හැඳි යුවතියක් මැදිරියට ඇතුළු වූවාය. සියල්ලෝම ඇය දෙස හැරී බැලූ අතර රිහාන්ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ද ශෙනෝලි තිගැස්සුනේද එම තරුණිය පැමිණ සිනාමුසු මුහුණින් යුතුව ශෙනෝලි අසල නතර වී ඇයට අතට අත දීම සඳහා අත දිගු කළ විටය.

” හායි “

තරුණිය දිගු කල අත වෙත ශෙනෝලිගේ අතද දිගු වූයේ නිරායාසයෙනි. ඇය රිහාන් දෙස හැරී බලා ආයාසයෙන් යුතුව සිනහවක් මුහුණට නගා ගත්තාය.

” ඔයා.. මෙහෙ ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here