5th Avenue – 24

0
72

ඉශිනි පිළිතුරක් බලාපොරොත්තුවෙන් රිහාන් දෙස බලා උන්නාය.

” Yes of course. අපේ අම්මා ශෙනෝලි ව හොඳට දන්නවා අවුරුදු ගානක ඉඳලම “

” එහෙමද ? ” 

ඉශිනි සෙමෙන් ඉවත බලා ගත්තාය.ශෙනෝලි යනු සංගීත කණ්ඩායමට අතිශය වැදගත් අයෙක් බව තමා දන්නා කරුණකි. සියල්ලන් විශ්වාසය තබන්නේද, සියල්ලන් රඳා පවතින්නේද ඇය මතය. එය රිහාන්ටද පොදු කාරණාවක් වුවත් ඔහුගේ මවද ශෙනෝලි හට සමීප බව අසන්නට ලැබීම සියුම් රිදුමක් ගෙන එන්නකි.ඉශිනි එම සිතුවිල්ල ඉවත දමන්නට උත්සාහ දැරුවාය. වසර ගණනාවක් මුළුල්ලේ රිහාන් සහ ඔහුගේ පවුලේ අය ශෙනෝලිව දැන සිටීමෙන් ඔවුන් අතර සමීප සම්බන්ධතාවයක් ඇතැයි කියවෙන්නේ නැත.මෙය එතරම් සිතට ගත යුතු කාරණාවක් නොවුවත් එය සිතට වදදීම නවතා ගැනීමට ඉශිනි හට දැඩි ලෙස වුවමනා විය.

” ශෙනෝලි ගේ තාත්තා වැඩ කළේ අපේ තාත්තා ගාව “

ඉශිනිගේ නිහඬ බවට හේතුව ඉවෙන් මෙන් තේරුම් ගත් රිහාන් හඬ අවදි කළේ තමා සහ ඉශිනි අතර පවතින්නේ කුමන ආකාරයේ සම්බන්ධතාවයක් වුවත් එහි සැක සංකා තිබිය යුතු නැතැයි සිතමිනි.

” දැන් එයාගේ තාත්තා වැඩ කරන්නේ නැද්ද එතකොට ?”

රිහාන් සුසුමක් හෙළුවේය.ශෙනෝලි ගේ දෙමව්පියන්ගේ හදිසි මරණය තම පවුල මෙන්ම, පියාගේ ආයතනයද කම්පාවට පත් කළ ඒ අඳුරු දිනයන් ඔහුගේ සිතට නැවත එක් කළේ ශෝකයකි.

” ශෙනෝලි ගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති උනා.මං හිතන්නේ දැන් අවුරුදු දෙකකට වැඩියි “

ඉශිනි පුදුමයෙන් විවර වූ මුව දෑතින් වසා ගත්තාය. කිසි සේත්ම අසන්නට බලාපොරොත්තු නොවූ අතීත පුවත ඇයවද කම්පාවට පත් කරමින් තිබිණි.

” ඒක අපේ ෆැමිලි එකට වගේම, තාත්තගෙ කම්පනි එකටත් ලොකු disaster එකක් වගේ ඉශිනි. පවුලේ එකම ළමයා විදියට ශෙනෝලි ඒක කොහොම දරා ගත්තද කියන්න අදටත් අපි දන්නේ නෑ. තාත්තා එයාට ඔය ජොබ් එක දුන්නෙත් තාත්තට හිටපු විශ්වාසවන්තම සේවකයා ශෙනෝලි ගේ තාත්තා නිසා. අනිත් එක කාගේ වුණත් දරුවෙක් තනි වෙනව දකින්න අපේ තාත්තට ඕන වුණේ නැහැ. එයාට ඕන උනේ ශෙනෝලි ලස්සනට ජීවත් වෙනවා දකින්න. ඒක එයා මේ වෙද්දිත් තාත්තට ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. අපිට පේනවට වඩා අපි හිතනවට වඩා ලොකු බරක් එයා බෑන්ඩ් එක ඇතුලේ අදිනවා. “

ඉශිනි තුළ මොහොතකට පෙර වූ සැක සංකා බොහොමයක් පලා යමින් තිබිණි. එහෙත් රිහාන් ශෙනෝලි පිළිබඳව මේ තරම් පැහැදීමකින් සහ අනුකම්පාවකින් යුතුව කතා කරනු දැකීමට ඉශිනි හට තවදුරටත් වුවමනා වූයේ නැත.

” ඔයාට එයා ගැන මොකක්ම හරි ඩවුට් එකක් තියෙනවා නම් ඒක මෙතන මේ වෙලාවෙදිම අයින් කරගන්න ඉශිනි. ශෙනෝලි කියන්නේ කාටවත් කරදරයක් වැරැද්දක් කරන්නෙ නැති අහිංසක ගෑණු ළමයෙක් “

ඉශිනි ගොළු වී රිහාන් දෙස බලා උන්නේ ඔහු තමාට කියන්නට තවත් යමක් ඉතිරි නොකල බැවිනි. ඕනෑම බැඳීමක් මතට සැකයක සෙවනැල්ලක් හෝ වැටුණු විට එහි වටිනාකම සිඳී යන බව ඉශිනි හට අමුතුවෙන් කියා දිය යුතුව තිබුණේ නැත. තමාගේ සිත කියවා ගත්තාක් මෙන් රිහාන් කරුණු පැවසුවේ තමා කෙරෙහි අපැහැදීමෙන්දැයි ඉශිනි තුළ පැන නැගුනේ දෙගිඩියාවකි.

” මං එහෙම හිතලා ඇහුවේ නෑ රිහාන් “

” ඔයා මෙතනට වෙන කෙනෙක් ඇදලා ගන්නවා කියන්නෙම අපි දෙන්නට ගමනක් නෑ කියන එක “

ඉශිනි පුදුම වී රිහාන් දෙස බැලුවාය. 

” ඒ කියන්නේ වෙන කෙනෙක් නැත්තං අපිට ගමනක් තියෙනවා කියන එකද රිහාන් ? “

ඉශිනි ගේ බැල්මෙහි තිබුණේ බලාපොරොත්තු සහගත බවකි.ඇය ඇසූ පැනයට එකඟ වූ බවක් රිහාන්ගේ දෑසෙහි ද දක්නට තිබුණු අතර  වසර ගණනාවකින් කිසිදු තරුණියක් නිසා නොසෙල්වුනු රිහාන් ගේ හදවත කියාගත නොහැකි හේතුවකට ඉශිනි ඉදිරියේ දියවී යමින් තිබිණි.

උදෑසන ආහාරයෙන් පසුව සාලයේ සෝෆාව මතින් වාඩි වූ ශෙනෝලි රාජකාරි දුරකථනය අතට ගෙන සංගීත කණ්ඩායමේ වට්සැප් ගෲප් එක වෙතට යොමු වී එහිවූ පණිවිඩ කියවන්නට පටන් ගත්තාය. සියලු දෙනාම පාහේ උදෑසන සිටම ශෙනෝලි ගේ සුව දුක් විමසා තිබුණු අතර අවශ්‍ය යමක් වේ නම් දැනුම් දෙන ලෙසද පවසා තිබිණි.

” Rihan bought food for me “

ශෙනෝලි එවදන් ටයිප් කර යැවූ පසු සියල්ලෝම ඔහුව අගය කරමින් පිළිතුරු පණිවිඩ එවීම ආරම්භ කළෝය.ශෙනෝලි සිනාමුසු මුහුණින් යුතුව ඒ දෙස බලා සිටි අතර රිහාන් වෙතින්ද කොයි මොහොතේ හෝ පිළිතුරු පණිවිඩයක් එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇය අන් අයගේ පණිවිඩ දෙස බලා උන්නාය.

” Now Shenoli has a personal food delivery service “

අශේන් විසින් එවා තිබුණු පිළිතුරු පණිවිඩය කියවූ ශෙනෝලි හඬ නගා සිනාසුනාය. නිහඬ බවෙන් ගිලී තිබුණු ඇගේ නිවස මොහොතකට ඉන් මිදුණු අතර ශෙනෝලි කණ්ඩායම් සාමාජිකයන් විසින් එවන ලද පිළිතුරු පණිවිඩ නැවත නැවත කියවමින් සිනාසෙමින් උන්නාය.

එහෙත් ඇයගේ සිට තදින්ම බලාපොරොත්තු වූයේ රිහාන්ගෙන් කෙටි පණිවිඩයකි. ඔහු සියල්ලන්ගේම පණිවිඩ කියවූ බවට සලකුණු දක්නට තිබුණු නමුත් ඔහුගෙන් එකදු පිළිතුරු පණිවිඩයක් හෝ පැමිණියේ නැත.

ශෙනෝලි බොහෝ වේලාවක් අන් අයගේ පණිවිඩ වලින් අලුත් වන දුරකථන තිරය දෙස බලා උන්නාය. සමහරවිට රිහාන් මේ මොහොතේ කාර්යබහුල වී හිඳිනවා විය හැකිය. බොහෝ වේලාවක් බලා උන්නද රිහාන්ගෙන් පිළිතුරු පණිවිඩයක් නොවූයෙන් ශෙනෝලි දුරකථනය පසෙකින් තැබුවාය.

අනතුරුව ඇගේ දෑස් යොමු වූයේ නුදුරින් පෙනෙන කෑම මේසය මත ඇති රිහාන් විසින් ගෙන එන ලද දහවල් කෑම පෙට්ටිය සහ තමා විසින් වේවැල් කූඩයක් මත ඇතිවූ ඔහු විසින් ගෙන එන ලද පලතුරු වෙතයි.ඔහු පොරොන්දු වූවා සේම උදෑසනම තමා වෙත බලාපොරොත්තු වූවාටත් වඩා ආහාර සහ අනෙකුත් දෑ ගෙන එන්නට ඇත්තේ ඉතා සාමාන්‍ය උදවු කිරීමක් ලෙස යැයි නොසිතා ඉන්නට ශෙනෝලි උත්සාහ කළාය. ඔහුගේ සිත තුළ තමා කෙරෙහි විශේෂ හැගීමක් නොමැති නම් මේ ආකාරයට තමා වෙනුවෙන් පැමිණීමට ඇති හේතුව කුමක්දැයි ඇය නැවත නැවතත් කල්පනා කළාය.

උදෑසන දී පිටව යාමෙන් පසුව ඔහු කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් වත් නොදුන්නේ ඔහුට මෙය තවත් එක් සාමාන්‍ය සිදුවීමක් නිසා බැව් සිතමින් සිතට දැනෙන ශෝකී භාවය ශෙනෝලි පාලනය කර ගත්තාය.එහෙත් වැඩි වේලාවක් එසේ සිටින්නට නොහැකි වූ තැන ඇය නැවත දුරකථනය අතට ගෙන පරීක්ෂා කළ ද ඇයට ඇති වූයේ බලාපොරොත්තු සුන් වූ හැඟීමක් පමණි.

ශෙනෝලි ගේ පෞද්ගලික දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණි බවට සංඥාවක් නිකුත්විණි. ඇය රාජකාරී දුරකථනය පසෙකලා වහාම පෞද්ගලික දුරකථනය අතට ගත්තේ අනිවාර්යෙන්ම එම කෙටි පණිවිඩය රිහාන්ගෙන් විය යුතු යැයි අනුමාන කරමිනි.

” You alive ? “

පණිවිඩය පැමිණ තිබූයේ අශේන් ගෙනි.ශෙනෝලි එය දෙස තප්පර කිහිපයක් බලා හිඳ කීපෑඩය මත ඇඟිලි තුඩු තැබුවේ අලස බවිනි.

” Unfortunately “

එසැණින්ම අනෙක් පසෙන් අශේන් යමක් ටයිප් කරන බව පෙනෙන්නට තිබිණි.

” Good. We need our coordinator “

ශෙනෝලි ආයාසයෙන් යුතුව සිනාසී පිළිතුරක් නොයවා බලා උන්නාය. එසැණින්ම නැවතත් අශේන් විසින් ඡායාරූපයක් එවූයෙන් ශෙනෝලි එය බාගත වනතුරු බලා හිඳ විවර කලාය.

ඡායාරූපයේ උන්නේ ශෙනෝලිය.එය දැක ඇය පුදුම වූයේ එය දින ගණනාවකට පෙර පැවැති Love Beats ප්‍රසංගයට සූදානම් වන මොහොතේ තමා කාර්යබහුල වී උන් අවස්ථාවක දුරින් හිඳ ලබාගත් ඡායාරූපයක් බැවිනි.

” When did you take this? “

ශෙනෝලි අශේන් වෙත පිළිතුරු යැව්වේ පුදුමයෙනි. ප්‍රසංග වලදී ඡායාරූප ශිල්පීන් විසින් ලබාගන්නා මෙවැනි ඡායාරූප බොහෝමයක් තමා වෙත ලැබී ඇති නමුත් කෙනෙකු විසින් ජංගම දුරකථනයකින් ලබා ගන්නා මෙවැනි ඡායාරූපයක් තමා වෙත ලැබුණේ ප්‍රථම වතාවටය.

” I have many talents ” 

ශෙනෝලි නැවතත් තනිව සිනාසුනේ අශේන් විසින් මෙවැනි දඩබ්බරකම් බොහෝවිට සංගීත කණ්ඩායමේ සියලු දෙනා සිදු කරන බැවිනි.

එහෙත්,

අශේන් හට එය තවත් එක් දඩබ්බරකමක් පමණක් නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here