” පල්ලෙහා ලන්ච් රෙඩි කියන්න මං ඔයාට කෝල් කරා. ඔයාගේ ලයින් එක බිසී නිසා මං රූම් එක ලගට ආවේ ”
ශෙනෝලි විවෘත කළ කාමරයේ දොර ඉදිරියේ පෙනී සිටියේ රිහාන් ය. නොසන්සුන් වී සිටි ඇය මොහොතකට හෝ යථා තත්ත්වයට පත් වූයේ ඔහුව දුටු පසුවය.
” Is everything alright ? ”
රිහාන් ශෙනෝලි ගේ මුහුණේ වූ ඉරියව් නිරීක්ෂණය කරමින් ඇසුවේ ඇයගේ හදවතේ තිබූ නොසන්සුන් බව මුහුණෙන් මනාව නිරූපණය වෙමින් තිබූ බැවිනි.
” Yes, මං ටිකකින් එන්නම් රිහාන් “
ශෙනෝලි පිළිතුරු දුන්නේ සන්සුන් වන්නට උත්සාහ කරමිනි. එහෙත් වසර ගණනාවක් පුරාවට ඇයව හොඳින්ම හඳුනන රිහාන් හට සැඟවිය හැකි දෙයක් වූයේ නැත.
” You were calling someone ? “
රිහාන් ශෙනෝලි අත වූ දුරකථනය දෙස බැලුවේ ඒ වන විටත් එහි තිරය දැල්වෙමින් තිබුණු බැවිනි. ඔහු එසේ විමසූ පසුව ශෙනෝලි දුරකථනය දෙස බලා එය පහතට කර ගත්තාය.
” අශේන්ට ”
රිහාන්ගේ මුහුණෙහි වූ ඉරියව් වෙනස් වූයේ ක්ෂණයකිනි.
” එයා ෆොටෝ එකක් පෝස්ට් කරලා.There are lots of comments ”
” මොන කමෙන්ට්ස් ද ? ”
ශෙනෝලි නැවත මුහුණු පොතෙහි අශේන් විසින් පළ කරන ලද ඡායාරූපය වෙත පිවිසී දුරකථනය රිහාන් වෙත දිගු කලාය.කිසිවක් නොදැන සිටි ඔහු දුරකථනය අතට ගත්තේ කුතුහලයෙනි.
රිහාන් ඡායාරූපය දෙස තප්පර කිහිපයක් බලා හිඳ ඒ වන විටත් එයට පළවෙමින් තිබුණු ප්‍රතිචාර කියවාගෙන ගියේය. බොහෝ දෑ විනිශ්චය කිරීමට ඉක්මන් වන බොහෝ පිරිසකගේ විවිධාකාර වූ ප්‍රතිචාර සියයක් පමණ එම ඡායාරූපයට යටින් පළ වී තිබිණි.
” They are just fans ”
රිහාන් උත්සාහ කළේ ඒ වන විටත් නොසන්සුන් වී සිටි ශෙනෝලි ව සන්සුන් කිරීමට සහ එය සාමාන්‍ය දෙයක් බව ඇය හට ඒත්තු ගැන්වීමටය. එහෙත් ශෙනෝලි තුල වූ නොසන්සුන් බව මදක් වත් පහව ගියේ නැත.
” I know. ඒත් සමහර අය නැති දෙයක් පෙන්නන්න හදනවා ”
රිහාන් ශෙනෝලි ගේ දුරකථනය ඇය වෙත පෑවේ සෘජු බැල්මක් හෙළමිනි.
” ඔයාව පොඩ්ඩක්වත් නොදන්න මිනිස්සුන්ට ඔයා ඔයාව explain කරන්න යන්න ඕනේ නැහැ ශෙනෝලි ”
මොහොතකට දෙදෙනා අතර වූයේ නිහඬියාවකි. රිහාන් පවසන්නේ සත්‍යයක් වුවත් මෙවන් දෙයක් තමාට සිදු වූයේ ප්‍රථම වතාවටය. එයට මුහුණ දෙන්නේ කෙසේදැයි කියාවත් තමා තුළ අදහසක් ඇත්තේ නැත. සමහරවිට අශේන් විසින් මේ සිතා මතා සිදු කරන්නට ඇත.එසේත් නොමැති නම් ඔහු දුර දිග නොසිතන්නට ඇත.
” පල්ලෙහට එන්න.කට්ටිය ලන්ච් ගන්න බලාගෙන ඉන්නවා “
රිහාන් යන්නට හැරුනේය.එහෙත් ශෙනෝලි ඉක්මන් වූවාය.
” රිහාන් ”
රිහාන් ඉදිරියට තැබූ පය ආපස්සට ගෙන ශෙනෝලි දෙස බලා නතර වූයේය.
” ඔයාට හිතෙන්නේ නැද්ද අශේන් මේක ඩිලීට් කරන්න ඕනේ කියලා ? ”
රිහාන් මොහොතකට නිහඬව බලා උන්නේය. ශෙනෝලි මේ පෙනී හිඳින්නට උත්සාහ කරන්නේ ඇගේම ආත්ම ගරුත්වය වෙනුවෙනි.එක් අතකට එහි වරදක් ඇත්තේද නැත.
” ඔයා ඒක එයාගෙන් ඇහුවනම් හොඳයි ”
” එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ “
ශෙනෝලි පිළිතුරු දුන්නේ අපැහැදීමෙනි. අවුල් වාතාවරණයක් ඇති කර කිසිවක් නොවූවා සේ අශේන් හිඳින්නේ කෙසේදැයි ඇය උන්නේ සිතාගත නොහැකිවය.
” මං හිතන්නේ එයා පල්ලෙහා ”
රිහාන් පිටව ගියේ නැවතත් ශෙනෝලි හට දහවල් ආහාරය වෙනුවෙන් පැමිණෙන්නැයි නැවත වතාවක් මතක් කර දෙමිනි. තවත් මඳ වේලාවක් කාමරයේ දොරටුව අසල සිට ගෙන රිහාන්ගේ නික්ම යාමෙන් හිස්ව ගිය කොරිඩෝව දෙස බලා සිටි ශෙනෝලි කාමරයේ දොර වසා දමා කොරිඩෝව දිගේ පියවර තබා විදුලි සෝපානයට ගොඩ වූවාය.
සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ සංවිධායකවරුන් වෙනුවෙන් දහවල් ආහාරය සූදානම් කර තිබූ අවකාශයේ වූයේ නිදහස් බවකි. එහි වූ දිගු මේසය සුදු පැහැ ලිලී මල් වලින් සරසා තිබුණු අතර එය එම අවකාශයට එකතු කර තිබුණේ සන්සුන් සුන්දරත්වයකි. එම මේසයේ කෙළවරක අශේන් කිසිවක් නොවූ පරිද්දෙන් සංවිධායකවරයෙකු සමග කතාබහ කරමින් සිටියේ සිනාසෙමිනි.
ශෙනෝලි ගේ පැමිණීම දුටු අශේන් අසුනෙන් නැගිට ඇය වෙත පැමිණියේ ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන්ය.
” මෙයා නං හොඳට රෙස්ට් කරලා වගේ “
” මං ඔයාට ගොඩක් සැරයක් කෝල් කරා අශේන් “
අශේන් හදිසියේ යමක් මතක් වූවා මෙන් සාක්කුවේ තිබුණු ජංගම දුරකථනය අතට ගෙන පරික්ෂා කළේය.
” ආ ඒක සයිලන්ට් කරලා ”
අශේන් සැහැල්ලුවෙන් සිනාසුණු නමුත් ශෙනෝලි එම සිනාවට එකතු නොවී මේසය වෙත ගොස් අසුන් ගත්තේ මේඝට යාබදවය.
දහවල් ආහාරය ඉතා රසවත් එකක් වූ අතර ඉන් පසු ප්‍රධාන සංවිධායකයා විසින් සියලු දෙනාටම ඉදිරි සැලසුම් පිළිබඳව සුළු පැහැදිලි කිරීමක් කළේය. එය ඉතා මිත්‍රශීලී කතාබහක් ලෙස අවසන් වූයේ නුවරඑළියට පැමිණීමට නියමිත අනෙකුත් ගායක ගායිකාවන් සමග ඇති හමුවීම් පිළිබඳවත්, ශබ්ද පරීක්ෂණ කටයුතු පිළිබඳවත් සහ පෙර පුහුණුවීම් පිළිබඳවත් සිහිපත් කිරීම් කිහිපයකින්ම පසුවය.
පසු දින උදෑසනේ දී 5th Avenue සංගීත කණ්ඩායමට ඔවුන්ගේ ප්‍රථම පුහුණුවීම පැවැත්විය හැකි බව දැනුම් දීමෙන් අනතුරුව සංවිධායකවරුන් පිටව ගියේ රාත්‍රී ආහාරයේදී නැවත ඔවුන් මුණගැසීමට පැමිණෙන බවට පොරොන්දු වෙමිනි.
ශෙනෝලි සුපුරුදු පරිදි සියලු දේ පිළිබඳව සොයා බලමින් ඇගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමට යුහුසුළු වූයේ අශේන් සම්බන්ධ කාරණාව මතකයෙන් ඈත් කර තැබීමට උත්සාහ දරමින් ය.
මේ සියලු කතාබහ අතරතුර අශේන් වරින් වර ජංගම දුරකථනය දෙස අවධානය යොමු කරන ආකාරය ශෙනෝලි පැහැදිලිවම දුටුවාය. සමාජ මාධ්‍ය තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳව දැනටමත් ඔහු දැනුවත් වී ඇති බව තේරුම් ගන්නට ඇයට අපහසු වූයේ නැත. ශෙනෝලි සන්සුන් වන්නට වෙර දරන ආකාරය දුටු රිහාන් හට ඇය පිළිබඳව ඇති වෙමින් තිබුයේ අතිශය අනුකම්පාවකි. ශෙනෝලි යනු පටු මානසිකත්වයක් ඇති යුවතියක් නොවූවත් ඇය තම ආත්ම ගරුත්වය පිළිබඳව බොහෝ දුරට සිතන්නියක් බව රිහාන් තේරුම් ගනිමින් උන්නේය.
සංවිධායකවරුන් පිටව ගිය පසුව කණ්ඩායම් සාමාජිකයන් හට කතාබහ කිරීමට බොහෝ දෑ ඉතිරි වී තිබිණි. ඉදිරි කටයුතු පිළිබඳව මේඝ ඔවුන් වෙත විස්තර කරමින් පසු වූ අතර ශෙනෝලි දුරකථනය අතට ගෙන ඒ වන විටත් යාවත්කාලීන වෙමින් තිබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කිහිපයක් නැවත කියෙව්වාය. කිසිවක් සිදු නොවූ පරිද්දෙන් අශේන් මේඝ ගේ කතාවට ඇහුම්කන් දෙමින් සිටින්නේ කෙසේ දැයි සිතාගත නොහැකිව ශෙනෝලි බලා උන්නේ අවස්ථාවක් පැමිණෙන තුරුය.
එම අවස්ථාව ඇය හට උදා වූයේ තවත් පැය භාගයකට පමණ පසුවය. එකිනෙකා තැන් තැන් වලට විසිරී තම කතාබහ වල නිරත වෙද්දී ශෙනෝලි අශේන් වෙත පැමිණ නතර වූයේ හැකිතාක් සන්සුන් වන බවට තමාටම පොරොන්දු වෙමිනි.
” අශේන් ”
අශේන් තම අත වූ ජංගම දුරකථනය සාක්කුවට දමා ගෙන සිනාමුසු මුහුණින් ශෙනෝලි දෙස බැලුවාය.
” We need to talk ”
ශෙනෝලි ගේ හඬ සෘජු වී තිබිණි. එය ඇගේ සාමාන්‍ය රාජකාරීමය ස්වරයටත් වඩා එහා ගිය රළු බවට මෙහා වූ ස්වරයක් විය.
” About what ? ”
කිසිවක් සංකීර්ණ කර ගැනීමට හෝ සිත් බිඳීමක් ඇති කර ගැනීමට ශෙනෝලි හට උවමනා වූයේ නැත. ඇය හිස හරවා අවට බැලුවේ කිසිවෙකුත් තමා හා අශේන් වෙත අවධානය යොමු කර සිටිනවාදැයි සැක හැර දැන ගැනීමටය. අශේන් දුරදිග නොබලා කළ ක්‍රියාවක් නිසා අවම වශයෙන් ඔහු හෝ අපහසුතාවයට පත්විය යුතු නැතැයි ශෙනෝලි සිතුවාය.
” ඔයා සෝශල් මීඩියා දාපු ෆොටෝ එක ගැන, ඒකට වැටිලා තියෙන කමෙන්ට්ස් ගැන ”
අශේන් සිනාසුනු අතර ශෙනෝලි තවදුරටත් ඉවසිලි වන්තව බලා සිටියාය.
” Ashen this is not a joke anymore “
ශෙනෝලි හැකි තාක් තම හඬ පාලනය කර ගන්නට උත්සාහ දරමින් පැවසුවේ නැවත වරක් වටපිට බලන අතරේය.
” ඕක එච්චර ලොකුවට හිතන්න එපා ශෙනෝලි. මිනිස්සු කොහොමත් හැමදේම ලොකු කර ගන්නවනේ සෝශල් මීඩියා වල “
ශෙනෝලි තවදුරටත් බලා උන්නාය. තම නමට කැළලක් ඇති වේ යැයි බියක් එම බැල්මෙහි නොඅඩුවම තිබිණි.
” ඔයාට ඕනෙ නම් මං ඒක අයින් කරන්නම්.හැබැයි ඉතින් දැනටමත් කට්ටිය ස්ක්‍රීන් ෂොට්ස් අරගෙන ඇති “
අශේන් දුරකථනය අතට ගත්තේ එය තවත් එක් සාමාන්‍ය සිදුවීමක් බව ඇඟවීමටය. ශෙනෝලි උන්නේ සිදුවෙමින් පවතින දේවල් පිළිබඳව දෙගිඩියාවෙනි.එක් අතකට රිහාන් පැවසූ ආකාරයට තමන්ව නොදන්නා පුද්ගලයන්ට තමා පිළිබඳව පැහැදිලි කිරීම් කළ යුතු නැත.
” අයින් කරන්නද ? ”


