5th Avenue – 30

0
245

ශෙනෝලි ගල් ගැසී මොහොතක් බලා උන්නේ තමාට අඩි කිහිපයක් නුදුරින් නවතා ඇති වාහනයට හේත්තු වී බලා ඉන්නා ඉශිනි දෙසය. කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ මොහොතක බලාපොරොත්තු නොවූ අයෙකු දකින්නට ලැබීමේ ශෙනෝලි වෙතින් දක්නට තිබිණි. ඉශිනි ඉදිරියට ආවේ සිනාසෙමිනි. තමන් ඉදිරියට මේ පැමිණෙමින් හිඳින්නේ පෙර දින රාත්‍රියේ රිහාන් ගේ මුහුණට අව්‍යාජ සිනහවක් ගෙන දුන් යුවතිය ය. රිහාන් ගේ හදවතෙහි කොහේදෝ කොනක් අරක් ගෙන හිඳිනා යුවතිය ය. ඇය රිහාන් වෙනුවෙන්ම සැතපුම් ගණනාවක දුර ගෙවා නුවර එළියට පැමිණ හිඳියි.

” හායි ශෙනෝලි ” 

ඉශිනි ශෙනෝලිව වැළඳ ගත්තේ ඇය තවදුරටත් පුදුමයෙන් බලා හිඳිද්දීය. ශෙනෝලි පියවි සිහියට පැමිණ ඇයව පිළිගත්තේ මවාගත් සිනහවකිනි.

” ඔයා… මෙහෙ ? තනියමද ආවේ ? ” 

ශෙනෝලි අවට පිළිබඳව විමසිලිමත් වෙමින් ඇසුවේ ඉශිනි සමග පැමිණියා යයි සිතිය හැකි කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි බැවිනි. 

” මං තනියම ආවේ.. රිහාන් ව බලන්න ” 

ඉශිනි පෑවේ උණුසුම් සිනහවකි. ඒ සිනහවෙහි වූයේ අතිශය බලාපොරොත්තු සහගත බවකි. ඇය මෙතරම් දුර ගෙවාගෙන රිහාන් වෙනුවෙන් පැමිණීමට හේතුවක් නොතිබෙනවා විය නොහැක. ශෙනෝලි තම පුදුමය සිනහවකට හරවා ගන්නට තවදුරටත් වෙර දැරුවේ ඉශිනි හට වෙනසක් නොපෙන්වා සිටිය යුතු බැවිනි.

” එයාලා ප්‍රැක්ටිස්. යන් ඇතුළට ” 

ශෙනෝලි තම වෙව්ලන දෙපා වලින් ඉස්සර වූවාය. නුහුරු නුපුරුදු පරිසරයකට හුරු වීමට සිතමින් ඉශිනි වටපිට බලන අතරේ ශෙනෝලි පසුපස පියවර තබා සංගීත උළෙල පැවැත්වීමට නියමිත පරිශ්‍රයට ඇතුළු වූවාය.

පරිශ්‍රය දෙදරමින් ඇසෙන සංගීත හඬ මධ්‍යයේ යුවතියන් දෙදෙනා ප්‍රේක්ෂකාගාරය අයිනේ ඇති කුඩා අවකාශයෙන් වේදිකාව අසලට පිවිසුනත් වේදිකාව මත සිටි කණ්ඩායම් සාමාජිකයන් කිසිවෙකුගේත් අවධානය ඔවුන් වෙත යොමු නොවූයේ ඔවුන් තම සම්පූර්ණ අවධානය පුහුණුවීම් වෙත යොමු කර තිබූ නිසාය. 

රිහාන් උන්නේ යුවතියන් දෙදෙනා සිටි ඉසව්වට පිටුපස හරවා ගෙනය. ශෙනෝලි ඔහු දෙස බලා නැවත වාරයක් ඉශිනි දෙස බැලුවේ එළඹෙන මොහොතේදී සිදුවන කිසිවකට කලබල වන්නට හෝ නොසන්සුන් වන්නට සිතන අතරවාරයේය. වේදිකාව මත තම බේස් ගිටාරය වාදනය කරමින් වෙනම ලොවක අතරමං වී හිඳින රිහාන් දුටු පසු ඉශිනි ගේ මුහුණේ ඉරියව් වේගයෙන් වෙනස් වන ආකාරයත්, එය සතුටින් ආලෝකමත් වන ආකාරයත් ශෙනෝලි පැහැදිලිවම දුටුවාය.

වේදිකාව පිටුපසින් වේදිකාවට අවතීර්ණ වීමට ඇති යකඩ පඩිපෙළ අසලට ඉශිනි ව කැටුව ගිය ශෙනෝලි ඒ ඔස්සේ වේදිකාවට අවතීර්ණ වන විටම ගීයක් ගයමින් හිඳි අශේන් හේ අවධානය ඔවුන් දෙදෙනා වෙතට යොමු විය. මයික්‍රෆෝනය පහත දැමූ ඔහූ පුදුමයෙන් ශෙනෝලි සහ ඉශිනි වෙතට පැමිණියේ සියලු දෙනාගේම අවධානයද ඒ වෙත යොමු කරමිනි.

” What a surprise ” 

අශේන් යුවතියන් දෙදෙනා අසලට පැමිණ නතර වෙද්දී ශෙනෝලි රිහාන් දෙස හැරි බැලුවේ ඉශිනි ගේ පැමිණීම දුටු විට ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේදැයි පැහැදිලිව දැකගන්නටය. පළමු වන තප්පරයේදී ඔහු පුදුමයට පත්වන ආකාරයත් අනතුරුව සතුටට පත්වන ආකාරයත් ශෙනෝලි ට මෙන්ම කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ටද දැක ගන්නට ලැබිනි.

අශේන් යමක් විමසා සිටින්නට පෙර තම බේස් ගිටාරය පසෙකින් තැබු රිහාන් අඩියට දෙකට පියවර තබා පැමිණ ඉශිනි අසල නතර වූයේය. ඔහුගේ පැමිණීම දුටු නිසා අශේන් කිසිවක් නොවීමසා නිහඩව බලා උන්නේ ඉශිනි ගේ පැමිණීමට හේතුව පැහැදිලිව අනුමාන කර ගත හැකි වූ හෙයිනි.

” ඔයා මෙහේ ? ” 

” Just for you ” 

ඉශිනි මදහසක් පෑවාය.ඇය පැමිණි කාරණාව බලාපොරොත්තු වූ ලෙසම සාර්ථක වූ බව රිහාන්ගේ මුහුණෙන් දක්නට තිබුණු නිසා ඇගේ පුදුම කිරීම ඇය තුළ අති විශාල සන්තෝසයක් බවට පරිවර්තනය වෙමින් තිබිණි.

ශෙනෝලි උන්නේ ඔවුන් දෙදෙනා තුළ වෙන් වෙන් වශයෙන් දක්නට ඇති හැඟීම්,සිනහවන් සහ වචනයට නොනඟන සිතිවිලි හඳුනා ගනිමිනි. ඊළඟ තත්පරයේදීම ඉවත බලා ගත් ශෙනෝලි රිහාන් සහ ඉශිනි හට ඉඩ තබා වේදිකාවේ අනෙක් කෙළවර එළඹෙන දිනයේ කාලසටහන නිරීක්ෂණය කරමින් සිටි මේඝ වෙත යන්නට පියවර එසවූවාය. අශේන් ද ඒ අනුව රිහාන් සහ ඉශිනි දෙතින් මෑත වූයේ ඇගේ පැමිණීම පැහැදිලිවම රිහාන් වෙනුවෙන් පමණක් බව තේරුම් ගෙනය.

සංවිධායකවරයකු හා කතාබහ කරමින් ලිපිගොනුවක් පරීක්ෂා කරමින් සිටි මේඝ ගෙන් එම ලිපිගොනු ඉල්ලා ගත් ශෙනෝලි ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට උත්සාහ තමාට අඩි ගණනාවක් ඈතින් හිඳින රිහාන් සහ ඉශිනි යන දෙදෙනා වෙත අවධානය යොමු වීම වළක්වා ගැනීමටය.

ඉශිනි ගේ අපැහැදිලි සිනාහඬ වරින් වර ඇසෙද්දී කඩා වැටෙන හදවතේ කැබලි එකලාසයක් කර ගන්නට ශෙනෝලි තවදුරටත් වෙහෙස වූයේ නැත. සිදුවන්නට නියමිතව තිබෙන්නේ එවැන්නක් නම් එය සිදුවීමට හැර බලා හිඳින්නට තීරණය කරමින් ශෙනෝලි මේඝ සමඟ වේදිකාවෙන් පිටවීමට ඇති අනෙක් පඩිපෙලෙන් බැස ප්‍රේක්ෂකාගාරයට අවතීර්ණ වූවාය.

” They look nice together ” 

ඉශිනි ගේ පැමිණීම පිළිබඳව මේඝ පුදුම වූයේ නැත.ඒ පෙර දිනයකදී සියල්ලන්ම ඉදිරියේ ඇය රිහාන් හට පමණක් මල් කලඹක් ලබා දී සුභ පැතීම නිසා යැයි සිතමින් ශෙනෝලි ඔහුට පිළිතුරක් නොදී සිනහවක් පමණක් පෑවාය.

කඩදාසි ගොන්න කෙළවරේ තබා ගෙන සිටි ශෙනෝලි ගේ ඇඟිලි තුඩු කඩදාසි වෙත තවත් තද වූයේ මේඝ ගේ වදන් වලින් බලාපොරොත්තු වූවාටත් වඩා රිදවුමක් ගෙන එමිනි. වේගයෙන් ගැහෙන හදවතත්, වේගයෙන් වැටෙන හුස්මත් පාලනය කර ගනිමින් ඇය සාමාන්‍ය සිනහවකින් ඒ වන තුරුත් වේදිකාව මත හිඳින රිහාන් සහ ඉශිනි දෙස බලා අනතුරුව මේඝ දෙස බැලුවාය.

” They do ” 

එවර ශෙනෝලි වෙතින් නික්මුණේ සන්සුන් වූ හඬකි.රිහාන් උදෑසන සිටියාටත් වඩා අතිශය සතුටුදායක බවකින් යුතුව ඉශිනි හා කතාබහේ යෙදී හුන් අතර කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ද වේදිකාව මත තැන තැන විසිරි විවේක ගනිමින් උන්නාහ.

ශෙනෝලි උන්නේ රිහාන් කෙරෙහි කෝපයකින් නොවේ. ඇත්ත වශයෙන්ම බැලූ කල ඔහු වදනකින් වත් තමා හට වරදක් සිදු කර නැත. ඉශිනි ද එසේමය. තෙවැන්නෙක් ලෙස බැලූ කල ඇය විසින් සිදු කර ඇත්තේ සුන්දර දෙයකි. ඇය රිහාන් වෙනුවෙන්ම කොළඹ සිට නුවරඑළිය බලා තනිව පැමිණ ඇත. එය පහසුවෙන් යුවතියක විසින් සිදු කරනා ආකාරයේ දෙයක් නොවේ. එවැන්නක් කිරීමට තරම් ඇය තුළ රිහාන් කෙරෙහි ඇති හැඟීම බලවත් සහ පිරිසිදු එකක් විය යුතුමය.

ශෙනෝලි තමා තුළ නැගෙමින් තිබුණු දිගු සුසුම මුදා හැර නැවත තම රාජකාරිය කෙරෙහි අවධානය යොමු කළාය. හෙට දිනය එළඹීමට පෙර තමා විසින් නිමා කළ යුතු කාර්යයන් බොහෝමයක් ඉතිරිව තිබේ.එසේ තිබියදී තම හදවතට ඉඩදී රාජකාරිය පසෙක දැමීම තමන් මෙතෙක් කල් රැක ගෙන ආ ගෞරවයට තමා විසින්ම හානි කර ගැනීමකි.

” Come on ශෙනෝලි ” 

ශෙනෝලි තමා වෙතම දිරි දී ගත්තාය.

රිහාන් උන්නේ උතුරා යන තරමේ සතුටකිනි.එහෙත් ඔහු එම සතුට වචන වලට පෙරළන්නට ඉක්මන් වූයේ නැත. පසුගිය දින කිහිපයේදීත්, ඊයේ රාත්‍රිය පුරාවටත් තමා සහ ඉශිනි අතර ගොඩනැගෙමින් පවතින බැඳීමට නමක් දෙන්නට තමා කල්පනා කරමින් සිටි මොහොතක ඇය තමන් වෙනුවෙන්ම මේ ආකාරයට නුවරඑළිය බලා පැමිණ සිටීම පිළිබඳව ඔහු උන්නේ උද්‍යෝගයෙනි.

ඉශිනි වසර ගණනාවක් පුරාවට තමා හඹා ආ බවත් , තමා කෙරෙහි සැලකිල්ලක් දැක්වූ බවත් දැන සිටියද ඇය තමා වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් සිදු කරනු ඇතැයි රිහාන් තුළ කුඩා හෝ බලාපොරොත්තුවක් තිබුණේම නැත. මේ මොහොතේදී තම හදවතේ පතුලකටම කිඳා බැස ඇත්තේ ඇය අනපේක්ෂිත ලෙස සිදු කළ ඒ කැපකිරීමය.

කිසිවෙකුත් විසින් තමා වෙනුවෙන් නොකල ඒ කැපකිරීමය. 

මීටත් වඩා යමක් තරුණියකගෙන් තමාට බලාපොරොත්තු විය හැකිද ? 

හිස් ප්‍රේක්ෂකාගාරයේ හරි මැද අසුන් ගෙන වේදිකාව මත සිටින තමා දෙස බලා හිඳින ඉශිනි දෙස බලාගෙන රිහාන් තවදුරටත් කල්පනා කළේය.ජීවිතයේ තමා වෙත තරුණියකගෙන් ලැබුණු විශාලම පුදුම කිරීම මෙයය. 

ඒ මොහොතේ දී රිහාන් හට උවමනා වූයේ හදවතේ නැගෙමින් පවතින හැඟීම් වලට නමක් දෙන්නටය. එය මේ යැයි කියා හඳුන්වන්නටය.

” She is the one ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here