5th Avenue – 34

0
77

” ඔයාට ශෙනෝලි ගැන මොකද හිතෙන්නේ? “

රිහාන් මොහොතක් බලා උන්නේ ශෙනෝලි පිළිබඳව ඉශිනි සමඟ කතා කිරීමට ඔහු තුළ කැමැත්තක් නොවූ බැවිනි. ඒ සඳහා විශේෂ හේතුවක් නොවුව ද තමා සහ ඉශිනි අතර මැදට ශෙනෝලි ගෙන ආ යුතු නැති බව පමණක් ඔහු සිතුවේය.අනෙක් අතට ඔහු ඒ පිළිබඳව උන්නේ ද අපහසුව මුසු හැඟීමකිනි. 

” ඇයි එකපාරටම එහෙම දෙයක් ඇහුවේ ? ” 

ඔහු අවසානයේ ඇසුවේ ඉශිනි ගේ පැනය මගහැරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට නොදෙමිනි. ඉශිනි ඔහුගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා සිටියාය. ඔහුගේ පිළිතුර තුළ තිබූ නොසන්සුන් බව ඇයට යන්තමින් වැටහුණු බැවින් ඇය ඒ ගැන තවදුරටත් අසන්නට උත්සාහ කළේ නැත.

” මුකුත් නෑ. මට මතක් වුණා නිකන්. එයා ඩිනර් වලට ආවෙත් නෑනේ. මේ, ඒක නෙමෙයි, හෙට festival එකනේ. ඔයාට හෙට උදේ ඉඳන් වැඩ ගොඩක් තියෙයි නේද ? ” 

ඉශිනි හදිසියේම කතාව වෙනතකට හැරවූයේ හිතාමතාය. සමහර සුන්දර අවස්ථා නැවත උදා නොවන බැවින් එවැනි අවස්ථාවක් උදාවී ඇති විටෙක එහි අඳුරු පැල්ලමක් සටහන් කර ගත යුතු නැතැයි ඇය යටි සිතින් සිතුවාය. රිහාන් කිසිදු ප්‍රශ්නයක් නොඅසා ඉශිනි සමඟ ඒ කතාවට එකතු වුවත් ඔහුගේ සිතේ තිබූ නොසන්සුන් බව සම්පූර්ණයෙන් පාහේ පහව ගියේ නැත.

එළඹුණු උදෑසනේ දී ශෙනෝලි වෙනදාට වඩා කලින් අවදි වූවාය. ගෙවී ගිය රාත්‍රියේ හරිහැටි නින්දක් නොලැබුණද, ඒ බව කිසිවෙකු හට වත් පෙන්වීමට ඇයට උවමනා වූයේ නැත. උදෑසන ආහාරය සඳහා පහත මාලයට යා යුතු වුවත් ඇය කාමරයේ වූ කළමනා වලින් කෝපි එකක් සකස් කරගෙන කාර්යබහුල දිනය සඳහා සූදානම් වෙමින් එය රස වින්දාය.උදෑසන ආහාරය වෙනුවට උණුසුම් කෝපි කෝප්පය පමණක් පානය කර අවසන් කළ ඇය, කණ්ණාඩිය ඉදිරිපිටට වී ඉන් පෙනෙන රුව දෙස බලාගෙන තවත් වරක් තමන්ටම මතක් කර ගත්තේ එළඹ ඇති දිනයේදී තමන්ගේ හැඟීම් ගැන නොසිතා රාජකාරියට පමණක් අවධානය යොමු කළ යුතු බවය. 

සංගීත උළෙලේ ආරම්භක දිනය අතිශය විශේෂ බැවින් එය සාර්ථක කර ගැනීම සඳහා ශෙනෝලි වෙත පැවරී තිබූ වගකීම් කිසිවක් අතපසු කිරීමට ඇයට හැකියාවක් තිබුණේ නැත. එබැවින් ඇය කාමරයෙන් පිටතට පැමිණ එය අගුලු ලා කණ්ඩායම පිටත්ව යාමට සූදානම් කර තිබූ වෑන් රථය වෙත ගියේ අනෙක් අය ඒ වෙත පැමිණෙන්නටත් පෙරමය.ඒ වනවිට ඒ අසලට පැමිණ සිටියේ කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙක් පමණක් නිසා ඇය වෑන් රථයට ගොඩවී තමාට හිමි වූ අසුනේ වාඩි වූයේද ඒ කිසිවෙකු සමඟ වැඩි කතාබහක් නොකරමිනි. 

ටික වේලාවකට පසු උදෑසන ආහාරය ගෙන අවසන් කළ අශේන්ද පැමිණ ඇය අසල වාඩි වූයේ ඇගේ මුහුණ දෙස හොඳින් බලනා අතර වාරයේය.

” ඔයා හොඳින්ද ශෙනෝ? “

ඇය ඔහු දෙස බලා මෘදු සිනහවක් පෑවාය.

” ඔව්. ඇයි?”

” නෑ, ඊයේ රෑ ඉඳන් ඔයා අපිත් එක්ක කන්න වත් ආවේ නෑනේ. ඔයා බ්‍රෙක්ෆස්ට් ගත්තෙත් නෑ නේද ? “

ශෙනෝලි මොහොතකට නිහඬ වූවාය. අනතුරුව අශේන්ගේ දෑස් මග හැර ජනේලයෙන් පිටත බලා සිටි ඇය අවසානයේ සාමාන්‍ය ලෙස පිළිතුරු දෙන්නට සිතා ගත්තාය.

” අද මට responsibilities ගොඩක් තියෙනවනේ අශේන්. ඊයේ ටිකක් rest එකක් ගන්න ඕනේ කියලා හිතුණා. අද වැඩ ගොඩක් තියෙන නිසා ඒවා හරියට manage කරගන්න ඕනේ නේ. උදේ නම් මම ආපහු ශෙඩූල්ස් ටික ටිකක් බැලුවා. බ්‍රෙක්ෆස්ට් ගත්තේ නැති උනාට මං රූම් එකේ ඉඳන් කොෆී එකක් බිව්වා “

අශේන් ඇගේ පිළිතුර අසා හිස වැනුවේය. ඇය සත්‍යය පවසනවාද නැද්ද යන්න ඔහුට සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි වුවද, තවදුරටත් ඇගෙන් ප්‍රශ්න අසන්නට ඔහු උත්සාහ කළේ නැත.

සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට පැමිණි පසු ශෙනෝලි නැවතත් තමන්ගේ හුරුපුරුදු ලෝකයට පැමිණියාය. වේදිකාව, ආලෝක පද්ධති, ශබ්ද පරීක්ෂණ, කණ්ඩායම් සාමාජිකයන්ගේ අවශ්‍යතා, සංවිධායකයන් සමඟ සාකච්ඡා කිරීම ඇතුළු කාරණා එකින් එක ඇගේ අවධානය සම්පූර්ණයෙන්ම ලබා ගත් බැවින්, හදවතට වේදනාවක් ගෙන දෙන හැඟීම් සඳහා ඉඩක් තැබීමට ඇය හිතාමතාම ඉඩ නොදී උන්නාය. රිහාන් පිළිබඳව සිතුවිලි කිහිප වතාවක් ඇගේ අවධානයට පැමිණියද, ඇය උවමනාවෙන්ම ඒ සිතුවිලි වළක්වා ගත්තාය. ශෙනෝලි ගේ පැහැදිලි වෙනස්කමක් ඒ වන විටත් රිහාන් විසින් නිරීක්ෂණය කර තිබුණද ඔහු හට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක්ම වූයේ නැත.

පෙර පුහුණු වීම් අවසන් වන විට සවස් යාමය එළඹෙමින් තිබුණි. සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට ඇතුළු වන ස්ථානය ක්‍රම ක්‍රමයෙන් ප්‍රේක්ෂකයන්ගෙන්  පිරෙන්නට පටන් ගත් අතර, වේදිකාව වටා වූ ආලෝකයන් ද එකින් එක දැල්වෙන්නට විය. මේඝ ගේ සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් වෙනුවෙන් කෙටි ආහාර වේලක් පමණක් සංවිධායකයන් සූදානම් කර තිබුණු අතර ඉන් පසුව සියලු දෙනාම ප්‍රසංගය සඳහා සූදානම් වෙන්නට යුහුසුළු වූහ.

ශෙනෝලිද අවසන් වරට සියල්ල පරීක්ෂා කරමින් වේදිකාවේද, ප්‍රේක්ෂකාගාර ගේ ද එහා මෙහා ගියේ ඉක්මන් පියවර තබමිනි.කිසිදු කාරණාවක අතපසුවීමක් හෝ අඩුපාඩුවක් සිදුවනු දැකීමට ඇයට උවමනා වූයේ නැත.

සංගීත උළෙල වෙනුවෙන් පැමිණ සිටි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගේට්ටු විවර වූ පසු ප්‍රේක්ෂකාගාරය බිඳෙන් බිඳ පිරී යන්නට පටන් ගත්තේ අතිශය උද්යෝගයෙනි. පෙර තිබූ වාතාවරණය වෙනස් කරමින් සංගීතය, කතාබහ සහ ආලෝකයන් අතර උළෙලේ සැබෑ ජීවය ආරම්භ වූයේ සවස හත පසු වන විටය.

ශෙනෝලි නැවත වරක් සංවිධායකවරුන් හා එක්වී සියල්ල නිවැරදිව සිදුවනවා දැයි පරීක්ෂා කර බැලුවාය. ඇගේ මුහුණේ පෙර දින රාත්‍රියේ කඳුළු සලකුණක්වත් නොතිබුණු අතර ඒ වෙනුවට තිබුණේ තම රාජකාරිය වෙනුවෙන් කැපවුණු තරුණියක තුළ ඇති උද්‍යෝගී බවක් සහ උනන්දුවකි.

ඉශිනි කණ්ඩායම් සාමාජිකයන් සමඟ ගැවසෙමින් වේදිකාව පිටුපසට වී උන්නේ ඇය වෙත කිසිවෙකුගේත් විරෝධයක් නොවූ නිසාය. ඉදිරි කාලයේදී ඇය සමග එක්ව කටයුතු කිරීමට තිබෙනා බැවින් මේඝ වුවද ඇය සමග සුහදශීලීව උන්නා මිස ඇගේ ආගමනය පිළිබඳව කිසිවක් පැවසුවේ නැත.

” ශෙනෝලි “

දුරකථන ඇමතුමකට පිළිතුරු දී අවසන් කර ශෙනෝලි අනෙක් පස හැරුනේ බලාපොරොත්තු නොවූ මොහොතක ඇසුණු රිහාන්ගේ හඬටය.

උදෑසන සිටම උවමනාවෙන් මගහරිමින් සිටි තරුණයා ශෙනෝලි ඉදිරියේ සිට ගෙන උන්නේ අනවසරයෙනි. ඇය විදුලි හී සැරයක් වැදුනාක් මෙන් එක තැනම නතර වී සිටිද්දී රිහාන් තවත් පියවරක් ශෙනෝලි දෙසට පැමිණ නතර වූයේය.

විශාල පරිශ්‍රයක් තුළ ඇති කලබලකාරී බව මොහොතකට අමතක කර දමමින් රිහාන් සහ ශෙනෝලි අතර පැවැතියේ දැඩි නිහඬතාවයකි.ඒ නිහඬතාවය තුළ වූයේ එකිනෙකාට කියා ගත නොහැකි වූ, හරිහැටි තෝරා බේරා ගත නොහැකි වූ හැඟීම් ගොන්නකි. ශෙනෝලි ඉදිරියට පැමිණ නතර වූවද තමා මේ ඇය වෙත තේරුම් කරන්නට සූදානම්ව පැමිණියේ කුමක්දැයි කියා වත් රිහාන් තුළ අවබෝධයක් වූයේ නැත. ශෙනෝලි හිතා මතාම තම දෑස් මඟ හැර හිඳීම පිළිබඳව දරා ගත නොහැකි හැඟීමක් පමණක් ඔහුව පෙළෙමින් තිබුණි. 

” ශෙනෝලි ඔයා ඊයේ රෑ.. “

රිහාන් තම හඬ අවදි කළත් උදෑසන සිටම ආයාසයෙන් පාලනය කරගෙන සිටි සිත කලබල කර ගැනීමට කිසිදු උවමනාවක් ශෙනෝලි තුළ නොවීය.

” රිහාන්, ඔයා stage එකට යන්න. හැමෝම ready වෙලා ඉන්නේ ” 

ශෙනෝලි වේදිකාව දෙස බැලූවාය. අශේන් හැරුණු කොට අන් සියලු දෙනාම උන්නේ වේදිකාව මතය. ඉශිනි ඒ ආසන්නයේ පෙනෙන්නට නොවූ බැවින් සමහර විට ප්‍රේක්ෂකාගාරය වෙත යන්නට ඇතැයි ශෙනෝලි අනුමාන කළාය.

” ශෙනෝලි, මම කියන්න හදන්නේ ” 

” පස්සේ කතා කරමු ” 

ශෙනෝලි කවරදාකටත් වඩා හිතුවක්කාර වී උන්නාය.නමුත් ඇය පිළිබඳව සහ ඇගේ ගති පැවතුම් පිළිබඳව හොඳින්ම දන්නා රිහාන් හට ඇය මේ ආකාරයට හැසිරෙන්නේ හිතාමතාම බව තේරුම් ගැනීමට අපහසු වූයේ නැත. 

” Shenol, aren’t you sending Rihan to stage? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here