5th Avenue – 48

0
180

මධ්‍යම රාත්‍රිය පසුවී ගොස් පැයකටත් ආසන්න වී තිබූ බැවින් ගෝල් ෆේස් පිටිය වෙනදාට වඩා නිහඬව පැවතුණි. දිවා කාලයේ මිනිසුන්ගෙන් පිරී ඉතිරෙන මුහුදු තීරය අසල ඒ වන විට ඉතිරිව තැනින් උන්නේ කිහිපදෙනෙකු පමණක් වූ අතර, දුරින් ඇසුණු මුහුදු රළවල හඬ හැරෙන්නට අවට පරිසරය පුරා පැතිර තිබුණේ නිස්කලංක බවකි. රිහාන් සහ ඉශිනි කිසිදු කතාබහකින් තොරව මුහුද පෙනෙන මානයේ වූ බැම්ම අසලට පැමිණ එහි වාඩි වූයේද ඒ නිහඬ බව අතරේමය. 

ඔවුන් දෙදෙනාම ඉදිරියෙන් පෙනෙන මුහුද දෙස බලා උන්නද දෙදෙනාගේම සිත් වල කිසිදු නිහඬ බවක් පැවතියේ නැත.පැයකට පමණ පෙර සිදුවූ සිදුවීම දෙදෙනාගේම සිත් වලට එකිනෙකට වෙනස් ආකාරයකින් බරක් එකතු කොට තිබුණු අතර ඒ පිළිබඳව බොහෝ දුර කතා කළ යුතු බවද දෙනාම දැන උන්හ.

රිහාන් දෑත් එකිනෙක මත තබාගෙන මුහුද දෙස බලා උන්නේය. සාමාන්‍යයෙන් කිසිදු අවස්ථාවක් හමුවේ ඉක්මනින් හැඟීම් පෙන්වීමට පුරුදු වී නොසිටි ඔහුගේ මුහුණේ එදින තිබුණේ වෙනදාට වඩා බැරෑරුම් ස්වභාවයකි. ඉශිනි ඔහු අසලින් වාඩිවී  නිහඬව උන්නද , ඒ නිහඬතාවය තුළ ඇයගේ සිතේ ඇති බිය, කෝපය සහ තමන් අතින් සිදුවූ දේ පිළිබඳව ඇති නොසන්සුන් බව ඔහුට තේරුම් ගත හැකි වූයේය . එපමණක් නොව ඇය තමන්ට ආදරය කරන බවත්, තමන්ව අහිමි කරගැනීමට ඇය තුළ යම් බියක් ඇති බවත් රිහාන් හොදාකාරවම දැන උන්නේය. එහෙත් ඒ සියල්ල තේරුම් ගත් පමණින් සිදුවූ දෙය නොසලකා හැරීමට ද ඔහුට හැකි වූයේ නැත.

” අද වෙච්ච දේ නිසා ඔයා මාත් එක්ක අවුලෙන් ඉන්න එපා රිහාන් ” 

නිහඬතාවය බිඳ දමමින් ඉශිනි අවසානයේ පැවසුවාය. ඇගේ හඬෙහි තිබුණේ තමන් අතින් සිදුවූ දේ පිළිබඳව තරමක පසුතැවීමක් වුවද, ඒ පසුතැවීම යට තවමත් තමන්ගේ හැසිරීම සාධාරණ බවට සිතිවිල්ලක්ද සැඟවී තිබුණි. රිහාන් ඇය දෙස හැරී බැලුවේ කිසිවක් නොකියාය. ඒ බැල්ම හමුවේ ඉශිනි මොහොතකට නතර වූයේ ඔහුගේ ඇස්වල තිබූ කලකිරීම පැහැදිලිව දුටු නිසාය.

” මං ඉන්නේ අවුලෙන්ද නැද්ද කියන එක ගැන නෙමෙයි ඉශිනි.අද උන දේ ගැන කතා කරන්නයි ඕනේ මට “

“මං දන්නවා “

“ඔයාට මං කියන දේ තේරෙන්න ඕනේ. ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තරහා යන්න පුළුවන්. ඔයාට jealousy එකක් ඇතිවෙන්නත් පුළුවන්. ඒක ගැන මං ඔයාට දොස් කියන්නෑ “

රිහාන් එසේ පැවසූ පසු නැවතත් මොහොතක් නිහඬ වූයේ පවසන්නට අවශ්‍යව ඇති දේ වචන වලට පෙරලීම පිළිබඳව සිතමිනි. ඔහුට ඉශිනිගේ හැඟීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වූයේ නැත.තමන් වේදිකාවක සිටින විට තරුණියන් කෑගසමින් තමන්ට ප්‍රතිචාර දැක්වීම, තමන්ගේ ජනප්‍රියත්වය සමඟ ඒ ආකර්ෂණය පැමිණීම ඔහුට අලුත් දෙයක් නොවූ අතර තමන් වෙත තිබෙන ඒ ආකර්ෂණය පිළිබඳව නොදන්නා කෙනෙකුද නොවූ බැවින් ඒ පිළිබඳව තමන් තුළ තිබෙන ආඩම්බරය පිළිබඳව රිහාන් කල්පනා කළේය.නමුත් ඒ සියල්ල ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ තිබෙන කොටසක් ලෙස පිළිගැනීමටත්, එය නිසා තමන්ගේ සම්බන්ධතාවය ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකරගන්නා තැනකට ගෙන යාමටත් ඔහුට කිසිසේත්ම අවශ්‍ය වූයේ නැත.

“මං දන්නවා ඔයාට ගෑනු ළමයි ගොඩක් කැමතියි කියලා “

ඉශිනි මඳ හඬින් පැවසුවේ පවතින නිහඬතාවය තවදුරටත් දරා ගැනීමට නොහැකි තැනය.

“ඒක මං ඔයා එක්ක යාළු වෙන්න කලින් ඉඳන්ම දැනගෙන හිටියා. ඔයාට මේ වගේ attention එක ලැබෙන එක මට අලුත් දෙයක් නෙමෙයි රිහාන් “

“එහෙනම් ?”

“ඒත් දැනගෙන ඉන්න එකයි, ඒ දේවල් තමන් ඉස්සරහා වෙද්දි ඒවා දරාගන්න එකයි දෙකක් රිහාන්.”

අවසන් වචන කිහිපය සමඟම ඉශිනිගේ හඬ මඳින් මඳ බිඳී ගිය අතර ඇය මුහුද දෙස බලා උන්නේ රිහාන්ගේ දෑස් දෙස බැලීමට නොහැකි වූ නිසාය. තමන්ගේ ආදරය තුළ සැඟවී තිබෙන  ඒ කුඩා බිය පිළිබඳව ඇය කිසිදා ඔහුට සෘජුව පවසා නොතිබුණත් රිහාන් කෙරෙහි තරුණියන් තුළ ඇති ආකර්ෂණය සහ අවධානය දකින සෑම අවස්ථාවකම තමන්ට නොදැනුවත්වම හිතේ ඇතිවන අනාරක්ෂිත  හැඟීම ඇය විසින්ම යටපත් කරගෙන තිබුණි. එය තමන්ගේ දුර්වලකමක් යැයි සිතා ඒ පිළිබඳව කිසිවිටෙකත් කතා නොකළද,ප්‍රසංගය අතරතුරේදී සිදුවූ සිදුවීම ඒ හැඟීම පිටතට රැගෙන විත් තිබිණි.

රිහාන් ඇය දෙස බලා උන්නේය.ඉශිනිගේ කතාව අසා ඇය තමන්ව අහිමි කර ගැනීමට බියෙන් සිටින බව ඔහුට දැනුනු අතර එම බිය ඔහුට සම්පූර්ණයෙන්ම අසාධාරණ දෙයක් ලෙස පෙනුනේ ද නැත. තමන්ගේ වෘත්තිය තුළ තමන් කෙරෙහි ලැබෙන අවධානය පිළිබඳව ඔහු දන්නා බැවින්, තමන් සමඟ සිටින කෙනෙකුට ඇතැම් අවස්ථාවල එය අපහසු විය හැකි බව ඔහු ඒ වන විටත් තේරුම් ගෙන උන්නේය.එහෙත් ඔහුගේ සිතේ තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඒ හැඟීම තිබීම නොව, ඒ හැඟීම පාලනය කරගැනීමට නොහැකි වූ නිමේෂයන් වලදී සිදුවන සිදුවීම්ය.

“ඉශිනි, ඔයාට මං ගැන insecure වෙන්න හේතුවක් තියෙනවා කියලා මං කියන්නෑ. මං වටේ ගෑනු ළමයි ඉන්නවා. මට attention එක ලැබෙනවා. ඒක මං දන්නවා “

රිහාන් සෙමින් පැවසුවේය.

“හැබැයි ඒ හැම attention එකක්ම මං accept කරනවා කියලා එකක් මෙතන කොහෙත්ම නෑ”

ඉශිනි ඔහු දෙස බැලුවාය.

“මං ඔයාට ඒක ගැන කවදාවත් සැක කරන්න දෙයක් දීලා තියෙනවද?”

ඇය කිසිවක් නොකියා හිස මඳක් පහත් කර රිහාන් දෙස බැලුවේ පසුතැවීමෙනි.

“නෑ “

“එහෙනම් මං ඔයාට කියන්නෙ ඔයා මං ගැන බය වෙන්න ඕනෙ නෑ. මං වෙන කෙනෙක් එක්ක යන්න හිතාගෙනවත්, ඔයාට හොරෙන් තව අය එක්ක පොඩි පොඩි දේවල් තියාගන්න බලාගෙනවත් ඔයා එක්ක මේ relationship එකේ ඉන්නෙ නෑ. මං කෙනෙක්ව මගේ ජීවිතේට ලං කර ගත්තොත් ඒ කෙනා වෙනුවෙන් මං ඉන්නවා.I think it ‘s my responsibility !”

රිහාන්ගේ හඬේ තිබුණේ පෙර තිබූ දැඩි බවට වඩා වෙනස් වූ ස්ථාවර බවකි. ඔහු උන්නේ තමන්ගේ වචන පිළිබඳව විශ්වාසයෙන් වූ අතර ඉශිනිට ඔහුගෙන් අවශ්‍ය වූයේද ඒ වචනමය. ඔහු තමන්ට ආදරය කරන බව දැන උන්නද , ඔහුගේ ලෝකය තුළ තමන්ට හිමිවන ස්ථානය පිළිබඳව සම්පූර්ණ විශ්වාසයක් ඉශිනි තුළ ගොඩනැගී නොතිබුණු අතර එය ආදරය පිළිබඳව ගැටලුවක් නොව ඔහුගේ ලෝකය විශාල ලෙස හැඟෙන නිසා බැව් ඇය තවදුරටත් සිතුවාය.

” අද මගේ අතින් උන දේ වැරදියි කියලා ඔයා තාම කියනවද ? “

ඉශිනි ඇසුවේ දෙගිඩියාවෙනි.

“ඔව්.”

රිහාන් වෙතින් එම පිළිතුර නික්මුනේ කිසිදු පැකිලීමකින් තොරවය.

“ඔයා එහෙම කියන්නෙ මං ඔයාට ආදරේ නෑ කියලා හිතලද?” 

“නෑ. ඒක ඔයා මට ආදරේ කරන එකත් එක්ක සම්බන්ධ නෑ.”

රිහාන් මඳක් ඉශිනි දෙසට හැරුණේය.

“ඔයා මට ආදරේ කරන එක මං දන්නවා. ඒක මට දැනෙනවා. ඒත් මං ඔයාට ආදරේ කරනවා කියලා මගේ profession එක ගැන මට තියෙන වගකීම නැති වෙන්නේ නැහැ ” 

ඒ වචන ඉශිනිගේ සිතට දැනුනේ තරමක් ගැඹුරු ලෙසය.ප්‍රසංගය අතර මැද සිදුවූ සිදුවීමෙන් පසුව ඔහු තමන්ව බාධාවක් ලෙස දකිනවාද යන බියක් ඇය තුළ ඇතිවෙමින් තිබුණි.ඉශිනි ගේ දෑස් මදක් තෙත්වුණත් ඇය එය ඔහුට නොපෙන්වා මුහුද දෙසම බලා උන්නාය

“මං ඔයාව මගේ life එකේ problem එකක් විදිහට දකින්නෙ නෑ ඉශිනි.”

රිහාන් ඇයගේ නිහඬතාවය හඳුනාගෙන මෙන් පැවසුවේය.

“හැබැයි ඔයා මගේ life එකේ ඉන්නවා නම්, මගේ විදිහත් තේරුම් ගන්න ඕනේ. මං stage එකේ ඉන්නකොට මට cheer කරන කෙනෙක්ව මං නවත්තන්න යන්නෑ. මං ඒකට react කරන්නෙත් නෑ. ඒක ඔයාට දරාගන්න අමාරු නම්, අපි ඒ ගැන කතා කරමු. හැබැයි හැමෝම ඉස්සරහ ඔයා ඒ මිනිස්සුත් එක්ක මේ වගේ ගැටෙන්න ගියොත් ඒක මට විතරක් නෙමෙයි, ඔයාටත් බලපානවා.”

ඉශිනි ඔහු දෙස බලා හුන් අතර ඔහු පවසන දේ වැටහුණු බවක් ඇයගේ මුහුණෙන් පෙනුණද, ඇය තුළ වූ අනාරක්ෂිත හැඟීම්  සම්පූර්ණයෙන්ම නැතිවී තිබුණේ නැත.

“මං අද එයාට එහෙම කියපු එක ගැන regret කරනවා.”

ඉශිනි අවසානයේ පැවසුවාය.

“ඒත් මට හිතෙන්නෙ මං ඔයා වෙනුවෙන් කතා කරනවා කියලා.  කෙල්ලෙක් වගේ නම කිය කිය කෑගහන එක, එහෙම හැසිරෙන එක බලන් ඉන්න මට බැරි වුණා.”

“මං ඒක තේරුම් ගන්නවා.හැබැයි මං වෙනුවෙන් ඉන්න එකයි, මං වෙනුවෙන් මගේ image එක control කරන්න යන එකයි දෙකක් ඉශිනි.”

ඒ වචනවලින් පසුව නැවතත් ඔවුන් දෙදෙනා අතර ඇති වූයේ දැඩි නිහඬතාවයකි. මුහුදේ රළ ,බැම්මට පහළින් පැමිණ බිඳී යන හඬ පමණක් ඔවුන් අතර ඉතිරි වී තිබුණු අතර රිහාන්ට තමන් කතා කරන සෑම වචනයක්ම ඉශිනිගේ හදවතට බරක් විය හැකි බව දැන උන්නත් මේ පිළිබඳව තවදුරටත් නිහඬව සිටීමෙන් ඉදිරියේදී මෙවැනි අවස්ථාවන් නැවත ඇතිවිය හැකි බවද ඔහු දැන උන්නේය. තමන් වසර ගණනාවක් වෙහෙස වී ගොඩ නගාගත් වෘත්තීය ගෞරවය ඔහුට පහසුවෙන් අත්හැරිය හැකි වූයේ නැත . ඒ සියල්ල අතරේ තම ජීවිතයට ඉශිනිව තෝරා ගත් පසු ඇයව රැක ගැනීමටත්, ඇයට විශ්වාසයක් ලබා දීමටත් තමන් වෙත වගකීමක් ඇති බවද ඔහු පිළිගත්තේය. 

ඉශිනි හෙමින් ඔහු දෙසට හැරුණාය. රිහාන්ගේ වචන වලින් යම් සිත් රිදීමක් ඇතිවුණද, ඒ සෑම වචනයක්ම ඔහු තමාව ඔහුගේ ජීවිතයෙන් ඉවත් කිරීමට නොව, තමා හා ඇති සම්බන්ධය තවදුරටත් රැකගැනීම උදෙසා බව ඇයට දැනෙමින් තිබිණි. එහෙත් ඇගේ සිතේ සැඟවී තිබූ එකම බිය තවමත් එලෙසම පැවතුණු අතර ඇය රිහාන් දෙස බලා මොහොතක් නිහඬව උන්නාය. අනතුරුව ඇගේ හඬ ඉතා සෙමෙන් පිටවූයේ බොහෝ දුර සිතා බලාය.

“මට ළංවෙලා ඔයා කරගත්තේ මෝඩකමක් කියලා ඔයාට දැන් හිතෙනවද රිහාන්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here