5th Avenue – 68

0
62

ශෙනෝලි බැංකුවේ කටයුතු අවසන් කර ගෙන ස්ටුඩියෝවට පැමිණෙන විට උදෑසන එකොළහයි තිහ පමණ විය. ස්ටුඩියෝව පිහිටි ගොඩනැගිල්ලේ පඩිපෙළ නැඟ විත් එහි දොර ළඟ නතර වූ ඇය මොහොතක් කල්පනා  කල අතර ස්ටූඩියෝවට ඇතුළු වූ පසු රිහාන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි ඇයට හිතාගත හැකි වූයේ නැත. 

” එදා ස්ටුඩියෝ එකේදී ඔයා මාව neglect කරලා ගියාට පස්සේ මම යාළුවෙක්ගේ restaurant එකකට ගියා drink එකක් දාන්න. ඒ වෙලාවේ රිහාන් තමයි ආවේ මාව ගෙදර එක්කගෙනන යන්න. මං හිතන්නේ ඒ වෙලාවේ මං එහාට කිව්වා ඔයා එයා ගැන හිතාගෙන ඉන්න දේ “

අශේන් පවසන ආකාරයට ඔහු හා තමා අතර සිදුවීම සිදුවූයේ දින ගණනාවකට පෙරය.එදින රාත්‍රියේදී අශේන් තමා පිළිබඳව යමක් රිහාන් හට පැවසුවේ නම් රිහාන් ඉඟියකින්වත් ඒ බව තමාට දැනෙන්නට ඉඩ නොහැරියේ මන්දැයි ශෙනෝලි ස්ටූඩියෝවේ දොර අසලට වී කල්පනා කළාය. අශේන් විසින් කර තිබුණේ කළ නොකළ යුතු යමක් වුවත් දැන් එය සිදුවී අවසාන නිසාත්, තමාට එය වෙනස් කළ නොහැකි නිසාත් ඇය සුසුමක් හෙළා දොර විවෘත කර ගෙන ස්ටූඩියෝවට ඇතුළු වූවාය.

ස්ටුඩියෝවට ඇතුළු වූ ශෙනෝලි කිසිවෙකු දෙසවත් උවමනාවෙන් නොබලා කෙළවරේ තිබූ සෝෆාව වෙත ගොස් වාඩි වූවාය. රිහාන් පැමිණ සිටි බව දුටුවත් ඇය උවමනාවෙන්ම ඔහු දෙස නොබලා බෑගය තුළ තිබූ laptop පරිගණකයකය පිටතට ගත්තාය. 

” බෑන්ක් එකේ වැඩේ කරගත්තද ශෙනෝලි? “

මේඝ ශෙනෝලි දෙසට හැරුනේ ඇය පැමිණි වහාම වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බව දුටු පසුවය.

” ඔව් කරගත්තා.මං උදේම ගිය නිසා තමයි ඉක්මනට ඒක ඉවර කරගන්න පුලුවන් වුණේ මේඝ ” 

ශෙනෝලි ඔහුට පිළිතුරු දී දුරකථනය අතට ගත්තාය. එහෙත් එය විවෘත කිරීමටත් පෙර මේඝ නැවතත් කතා කළේය.

“අර පෝස්ට් එක දැන් ටිකක් යට යන පාටයි නේද? හැබැයි අද උදෙත් කමෙන්ට් වගයක් වැටිලා තිබුණා.”

එය අසා සිටි අශේන්ගේ මුහුණ වෙනස් වූ අතර ඔහු වහාම සාක්කුවේ තිබුණු ජංගම දුරකථනය පිටතට ගත්තේය.

“අඩේ, මට ඒක සම්පූර්ණයෙන්ම අමතක වුණානේ “

” උඹ ඒක බැලුවේ නැද්ද අද? “

සිහින ඇසුවේය.

” උදේම බැලුවා.අලුත් අප්ඩේට්ස් මොනවද කියලා බලන්න බැරි උනා “

අශේන් දුරකථනය අතට ගනිද්දී මේඝත් සිහිනත් තමන්ගේ දුරකථනවලින් සමාජ මාධ්‍යවල පළවී තිබූ පුවත දිගහැරගෙන බැලූ අතර රිහාන් ද ඔවුන් අසලට පැමිණියේය.

“මේවා ඔක්කොම ෆේක් ප්‍රොෆයිල්ස් මේඝ. හොඳට බලපන්කෝ. ප්‍රොෆයිල් පික්චර්ස් විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ “

සිහින දුරකථනය මේඝ වෙත දිගු කළේය. අදාළ පුවතට යටින් දමා තිබූ ප්‍රතිචාර කිහිපයක්ම ලියා තිබුණේ අලුතින් සකස් කරන ලද එකම ආකාරයේ ගිණුම් කිහිපයකිනි. 

මේඝ ඒවා එකින් එක පරීක්ෂා කළේය.

” ඇත්තටම. සමහර ප්‍රොෆයිල්වල කිසිම විස්තරයක් නැහැ. පෝස්ට් එකක්වත් නැහැ.”

“එහෙනම් කවුරුහරි හිතාමතාම කරන වැඩක්”

අශේන්ගේ හඬ වෙනස් විය.

” නැත්නම් එකපාරට මෙහෙම ෆේක් ප්‍රොෆයිල්ස්වලින් කමෙන්ට් වැටෙන්නේ මොකටද? “

“කවුද එහෙම කරන්න ඉන්නේ අපිට ? අනිත් එක මට තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම ප්‍රොෆයිල්ස් හදාගෙන කමෙන්ට්ස් දාන්න තරම් මිනිස්සුන්ට වෙලාවක් තියෙනවද?”

මේඝ සියල්ලන්ම දෙස බලා ඇසූ අතර ඒ ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරක් තිබුණේ නැත.

ශෙනෝලි තම දුරකථනයෙන් සමාජ මාධ්‍ය පුවත විවෘත කළාය. අලුතින් වැටී තිබුණු ප්‍රතිචාර කියවන්නට පටන් ගත් ඇගේ මුහුණ ටිකෙන් ටික වෙනස් වූයේ එහි තිබූයේ සාමාන්‍ය විහිළු හෝ ඔවුන් දෙදෙනා ගැන වූ කතාබහක් නොවන බැවිනි. ඇගේ චරිතය ඉලක්ක කරගෙන ලියා තිබූ අප්‍රසන්න වචන කිහිපයක්ම එම ප්‍රතිචාර අතර දක්නට තිබුණු අතර ඇය ගැන කිසිවක් නොදන්නා මිනිසුන් ඇගේ ජීවිතය ගැන තීරණ දී තිබුණේ ඇයව හොඳින්ම දන්නා අය මෙනි. 

ශෙනෝලි දුරකථනය අතේ තබාගෙන නිහඬව ඒ දෙස බලා උන්නාය. ඒවාට පිළිතුරු දෙන්නට සිතක් නොවූවත් ඒවා නොදුටුවා සේ සිටීමටත් ඇයට හැකි වූයේ නැත.

“ශෙනෝලි?”

රිහාන්ගේ හඬ ඇසුණු විට ඇය හිස ඔසවා බැලුවාය.

” ඕවා ගැන හිතන්න එපා. මේ වගේ ප්‍රොෆයිල්ස් හදාගෙන කමෙන්ට් කරන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපි කලබල වෙලා ඕවට කතා කරන්න යන එක වෙන්න පුළුවන් “

රිහාන්ගේ එසේ පැවසූ පසුව ඇය මොහොතක් ඔහු දෙස බලා උන්නාය.

” ඒත් කවුරුහරි හිතාමතාම මේක කරනවා නම්, එයාට ඒක කරන්න තියෙන උවමනාව මොකක්ද කියලා මට හිතාගන්න බැහැ “

“ඒක තමයි අපි හොයාගන්න ඕනේ “

සිහින පැවසුවේ කල්පනාකාරීවය. 

මේඝ නැවතත් කමෙන්ට් කිහිපයක් කියවා බැලුවේය. ඒවායේ වචන වෙනස් වුවත්, ඒ සෑම එකකින්ම උත්සාහ කර තිබුණේ ශෙනෝලි පිළිබඳව අන් අය තුළ නරක අදහසක් ඇති කිරීමටය.

” මේක නිකම්ම පෝස්ට් එකක් දාලා අත ඇරලා දාපු වැඩක් නෙවෙයි වගේ. කවුරුහරි මේක දිගටම ඇදගෙන යන්න හදනවා “

මේඝගේ කතාවට ශෙනෝලි කිසිවක් කීවේ නැත. ඇයට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව තවත් කතාබහ කිරීමට නොවන අතර කවුරුන් හෝ තමන්ව මේ ආකාරයට ඉලක්ක කර ගැනීමට හේතුව කුමක්දැයි දැනගැනීමටය.එහෙත් ඒ සඳහා සැකකිරීමට නිශ්චිත අයෙක් ද ඇයට සිටියේ නැත.

අශේන් ශෙනෝලි දෙස බැලුවේය. ඇගේ මුහුණේ තිබූ නොසන්සුන් බව වටහා ගන්නට ඔහුට අපහසු වූයේ නැත.

” හරි, දැන් ඕක පැත්තකින් තියමුකෝ. මේක ගැන හොයන්න ඕනේ නම් පස්සේ බලමු. දැන් ඕක ගැනම හිත හිත හිටියොත් වෙන වැඩක් කරගන්න වෙන්නෙත් නැහැ අපිට අද “

අශේන් කතාව වෙනතකට යොමු කිරීමට උත්සාහ කළේ හිතාමතාමය.ඒ කෙසේ වුවත් සියලු දෙනාම දුරකථන පසෙක තැබීමට එය හේතුවක් විය.

” ඒක නෙවෙයි, මම සින්දුවක් ලිව්වා”

මේඝගේ මුහුණේ කුතුහලයක් මතු වූයේ සැනෙකිණි.ඒ වනවිට අශේන් විසින් එළි දක්වා තිබුණු ගීත වලින් බහුතරයක්ම ලියා තිබුණේ ඔහු වුවත් පෙර දිනයේ පැවැති රැස්වීමෙන් අනතුරුව ඔහු මේ තරම් ඉක්මනින් ගීතයක් ලියා අවසන් කරාවි යැයි මේඝ බලාපොරොත්තු වූයේම නැත.

” මොකක්? ඊයේනේ මීටින් එක තිබුණේ. උඹ මෙච්චර ඉක්මනට සින්දුවක් ලිව්වද? “

“ඔව්. අද උදේ ඒක ඉවර කළා “

අශේන් සෝෆාව අසලින් පුටුවක් ඇදගෙන වාඩි වූ අතර මේඝ ඔහු දෙසට හැරුණේ තවත් විස්තර අසාගැනීමට සූදානමිනි. අලුත් ගීතයක් පිළිබඳව කතාබහ කිරීම කණ්ඩායම් සාමාජිකයන් හට අමුතු දෙයක් නොවූවත්, අශේන් මෙතරම් ඉක්මනට ගීතයක් ලියා අවසන් කිරීම පිළිබඳව සියලු දෙනා තුළම වූයේ පුදුමයකි. 

” මොකක් ගැනද සින්දුව? “

සිහින ඇසූ අතර අශේන් මොහොතක් කල්පනා කර ශෙනෝලි දෙසද බලා අනතුරුව තම හඬ අවදි කළේය.

” මම සින්දුව ලිව්වේ කවදාවත් ලබාගන්න බැරි ආදරයක් ගැන”

මේඝගේ මුහුණේ සිනහවක් ඇඳුණේය.

” උඹ හිතනවද ඕක වැඩ කරයි කියලා?”

අශේන් පිළිතුරු දීමට පෙර නැවතත් ශෙනෝලි දෙස බැලුවේය. ඇය උන්නෙ කිසිදු වෙනසක් නොපෙන්වා ඔවුන්ගේ කතාවට සවන් දෙමිනි. ඇය දෙස මොහොතක් බලා හිඳි අශේන් ඉක්මනින්ම නැවත මේඝ දෙසට හැරුණේය.

” මට ශුවර් ඒක වැඩ කරයි කියලා. මේ ලෝකේ තමන්ට ඕන කරන ආදරේ ලබාගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒක කොල්ලන්ට විතරක් අදාල දෙයක් නෙවෙයි.කෙල්ලන්ටත් අදාලයි ” 

මේඝ අශේන් දෙස බලා උන්නේය. අශේන් තමා විසින් ලියන ලද ගීතය පිළිබඳව සිටින්නේ දැඩි විශ්වාසයකිනි. මෙතරම් ඉක්මනින් මෙවැනි ගීතයක් ලියා අවසන් කරන්නට තරම් එවැනි අදහසක් ඔහුගේ සිතට පැමිණියේ කෙසේදැයි මේඝ කල්පනා කළේය. 

අශේන් ඉන් අනතුරුව ගීතය පිළිබඳව කිසිවක් නොපවසා තම දුරකථනයේ සටහන් කරගෙන සිටි ගීතයේ පද සිහිනට සහ මේඝට පෙන්වූයේය. ශෙනෝලි නැවත තම ලැප්ටොප් පරිගණකය දෙස බලමින් තම කටයුතු කෙරෙහි අවධානය යොමු කළද ටික වේලාවකට පෙර රිහාන් තමන් සමඟ කතා කළ ආකාරයත්, අශේන් ගීතය ගැන කියද්දී තමන් දෙස බැලූ ආකාරයත් ඇගේ සිතින් මැකී ගියේ නැත.

” මොකෝ අශේන්? උඹටත් එ වගේ ලව් එකක් සෙට් වෙලාද? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here